එකම එක හාදුවක් – 34

0
3468

දෙතොල් මත වැටෙන නෙවින් ගේ හාදු මෙච්චරම ලස්සන බව ශාර්වරීට තේරුණේ හාන්සි වී නිදාගන්න උනත් පුලුවන් තරම් විශාල සෙටියේ නෙවින්ගේ පපුතුරේ හාන්සි වී හීන් සැරේ ඔහුව සිපගන්න වෙලාවේය.

වඩා සුන්දර ඒ හාදුද නැතිනම් හාදුවක් දී අවසානයේ තමන් දිහා බලා නෙවින් දෙතොලිනුත් දෙනෙතිනුත් නගන ඒ සිනාවද කියා හිත අහද්දී ශාර්වරී කලේ නෙවින්ගේ ගැඹුරු ඇස් අස්සේ කිමිදෙමින් ඒ ඇස් කියන්නට තනන කතාව තේරුම් ගන්න උත්සහ කරන එකය. මීට පෙර හිස්ව තිබුණු ඒ ඇස් අස්සේ තමන්ගේ රුව දකින්න ලැබුණ එකම සතුටක් ය. නෙවින්ට තමන්ව උස්සන එක, වඩාගන්න එක, කරකවන එක අමාරුවක් නැති දෙයක් බව ශාර්වරීට සිතුනේ තමන් ඔහුගේ ඇස් අස්සේ ගිලී ඉන්න මොහොතක මෙච්චර වෙලා ඔහුගෙ පපුව උඩ හාන්සි වී උන්නු තමන්ව සෙටිය උඩ හාන්සිකරවා නෙවින් තමන්ගේ පපුව උඩට ආ වෙලාවේය.

“මම බරයිද? ඔයාට අමාරුයිද?” 

“නෑ, ඔයා ජිම් ගියාට ඔයාගෙ ඇඟ එච්චර බර නෑ”

“මගෙ ඔලුව ටිකක් අතගාන්නකො” කියාගෙන නෙවින් පපුව උඩින් ඔලුව තියද්දී “මේ වෙන දේවල් වෙන්නෙ ඇත්තටමද? එහෙම නැත්තම් හීනෙන්ද?” කියා හිත අහපු එක සාධාරණය.

චිකනුත්, පරිප්පුත්, සලාදත් එක්ක බත් අනා කට කට නෙවින්ට කවද්දී, අනන්ත හාදු වැස්සක තෙමෙද්දිත් “කවදහමහරි දවසක කවදමහරි දවසක නෙවින්ව නැති උනොත් මම කොහොමද ඒක දරාගන්නෙ?” කියන ප්‍රශ්නෙ හිත හීන් සැරේ අසමින් උන්නත් ශාර්වරී ඒ සියල්ල මොහොතකට අමතක කර ඒ මොහොතේ තමන් වෙත වැටෙන ආදර වර්ශාවේ අපූරුවට, හිත පුරා නැහැවෙමින් උන්නාය.

ආදරේ පටන් ගන්නේත් පවතින්නේත් එහෙම බව ශාර්වරී තේරුම්ගත්තේ ඉන් පසුව ගෙවුන කාලය පුරාවටමය. නෙවින් සමග ඇවිදින්න ගිය හවස් වරුද, ඉඳහිටක ඔහුගෙ අපාට්මන්ට් එකේ හාදු වැසි මැද්දේ ගෙවුණ අඩ හෝරාවන්ද, රෙස්ටුරන්ට් එකට ශාර්වරීව බලන්න එන බොරු හොර ප්‍රේමණීය ගමන් එක්කද, ඒ ආදර කතාව වඩ වඩාත් ලස්සන වුණ බව නෙවිනුත් ශාර්වරීත් මුලු හිතෙන්ම පිළිගත්හ. තමන් වටා වාසය කරන බොහෝ දෙනෙකුගේ ඇස් වලින් ඒ ආදර කතාව වසං කරගෙන ඉන්න උත්සහ කරත් උගුරට හොරා බෙහෙත් කන්න බැරි බව ශාර්වරී දැනගත්තේ නංගි දවසක් ඇහුව කතාවත් එක්කය.

“ලා ලූනා එකේ පැස්ටා එහෙම රසයි නේද?” කියා අයේශ්වරී ඇහුවෙ ලෙක්චර්ස් ඉවර වී ගෙදර ආ ශාර්වරී නාගෙන ඇවිත් කණ්ණාඩිය ඉස්සරහට වී කොණ්ඩෙ පීරමින් ඉන්න වෙලාවකය. ගැස්සුනේ අත ද හිතද කියා හිතාගන්න බැරි උනත් තමන් අතේ තිබිච්ච පනාව බිම වැටිච්ච හින්දා හිත ගැස්සිච්ච පාර අතත් ගැස්සිච්ච බව ශාර්වරී හිතුවාය.

“දන්නෙ නෑ, මං කොහොමද දන්නෙ?”

“ආහ් දන්නෙ නැද්ද? ඊයෙ කාපු ඒවයි රස අද අමතක වෙන්නෙ ඇයි ඩිමෙන්ශියා ද දැන් ඔයාට?” කියා නංගි අහද්දි මේකි තමන් නෙවින් එක්ක ඊයේ ලා ලූනා එකට ගිය විත්තිය දැක ඇති බව තේරුම්ගත්තත් එහෙම දෙයක් නොවිච්ච විදියට දිගටම ඇක්ට් කරන්න ශාර්වරී හිතුවේ ඉස්කෝලේ ස්ටේජ් ඩ්‍රාමා වල රඟ පෑව ළමා නිලියට ආයෙ උඩට එන්න දෙන්න ඉඩ දෙන ගමන් ය.

“මොනවාද කියන්නෙ? දෙයක් කියන්න තියෙනම් කෙලින්ම අහනවනෙ නිකන් බොරුවට වටෙ පිටෙන් එන්න හදන්නෙ” කියා ලෝඩ් පකීර් වගේ කිව්වට කරගත්ත ගොං කමක තරම කියා හිතුනේ නංගි ඊලඟට අහපු එකත් එක්කය.

“අනේ මට මේ කෙලින් අහන්න බැරිකමක් නෑ. හංග හංග ඔක්කොම කරන මිනිහා මට කෝචෝක් දාන එකනෙ ලොකුම වැඩේ. මං දැක්කා ඊයෙ අර යාලු නැහැයි කිව්ව මිනිහා එක්ක ලා ලූනා එකේ ඉඳන් පැස්ටා කනවා.

කනවා නෙවෙයි කවනවා. පුදුම ආදරයක්නෙ තිබ්බෙ.” කියා අයේශ්වරී පෙම් හිනාව දාගෙන කියද්දි ඉතින් හෙන චරිතාංග නිලිය කියන් හිතන් උන්නු ඒව අමතක කර හිනාවෙන්න වෙච්ච එක ගැන ශාර්වරීට දුක නැත.

“අම්මට කියන්න එපා හලෝ හොඳේ”

“අනේ මේ තමුසෙ හිතුවද මම මේ එහෙම ලව් ඉලව් කර කර යනවා කියලා. පිස්සුද ඕයි. ඒක නෙවෙයි තමුසෙ මාර ඩයල් එකක්නෙ. මොන මායම් දාලද අරූව සෙට් කරගත්තෙ? ඌ සිරාවටම ලස්සනයිනෙ? ලඟට ලස්සනද? මිනිහා හොඳද? බොනවද?”

“අනේ මේ මං දාපු මායමක් නෑ. කතාබහ කරලා තමා යාලු උනේ. ලස්සනයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නංගි. ලස්සනයි. වෙලාවකට මට හිතෙනව මං මේ ගත්තෙ මෝඩ තීරණයක්ද කියල නංගි? අපිට ලංවෙන්න පුලුවන් කෙනෙක් නෙවෙයිනෙ නේද?”

“එව් ගොඩයා… මොට්ටයො යාලුවෙච්ච ගමන් මේ කසාදෙ ගැන හිතන්න යන්න එපා. එහෙම ගෑණුන්ට පිරිමි කැමති නෑ. පොඩ්ඩක් සෝශල්, ෆෝවර්ඩ් කෙල්ලෙක් වගේ හැසිරෙනවා. මිනිහා කොහොමත් ආශ්‍රය කරන්නෙ ඒ වගේ මොඩ්ල්ස්ලා එකේ, හැසිරීමෙන් නිකන් අර බොලඳ නවල් වල ඉන්න මිනිහගෙ පස්සෙ බල්ලෙක් වගේ යන ගෑණු චරිත නං රඟපාන්න හදන්න එපා. ආඩම්බරකමට ඉන්නවා”

“අනේ නංගි බොරු චරිත රඟපාන්න ඕන නෑනෙ. ඒ රඟපෑම් කරන්න පුලුවන් ටික කාලෙකටනෙ. කවදහරි මට ඇත්ත චරිතෙ පෙන්නන්න වෙන හන්ද මුල ඉඳලම ඒකපෙන්නන එක හොඳයි පස්සෙ වෙනස් වෙන්න බලාගෙන ඉන්නවට වඩා.

ඒත් මට බය තියෙන්නෙ එයා ජීවත්වෙන ලෝකෙ ජීවත්වෙන්න තියා ඒ ලෝකෙට අඩියක් තියන්නවත් මට පුලුවන් වෙයිද කියන එක ගැන නංගි. ඔයා දන්නවනෙ. අපි නිකන් අහසයි පොලවයි වගේනෙ”

“ඔයා පොලොව එයා අහස නම්, ඔය දෙන්න කරන්න ඕන අක්කෙ අහසටයි පොලවටයි එකතුවෙන්න ඇහැක් තැනක් හොයාගන්න එක. මම මේ විත්තිය අම්මට කියන්නෙ නෑ. ඒ උනාට මම දෙයක් කියන්නද ඔයා තරහා වෙන්නෙ නැත්තම්”

“මොකද්ද?”

“නෙවින් මොන වගේ මිනිහෙක් වෙන්න පුලුවන්ද කියල මට වඩා පොඩ්ඩක් හරි හොඳට ඔයා දන්නවා ඇතිනෙ. එයාගෙයි අපෙයි අතරෙ තියෙන වෙනස්කම් එච්චර ලොකු නම්, ඔයා ඕනවට වඩා ඇටෑච් වෙන්න යන්න එපා අක්කෙ. අන්තිමේ එයාලා හිත හදාගනී. ඔයාට තමයි හිත හදාගන්න අමාරු වෙන්නෙ”

එදා රෑ නෙවින් කෝල් කරන තුරුත් ශාර්වරී උන්නේ නංගි කිව්ව ඒ කතාව ගැන කල්පනා කරන ගමන් ය. අලුතෙන් ආදරේක බැඳිච්ච අක්කට නිදහසේ ප්‍රේම කරන්න ඉඩ දී අයේශ්වරී කාමරෙන් එලියට ගිය හන්දා වෙනදා වගේ රඟපෑම් නොකර නෙවින් එක්ක කතාකරන්න ශාර්වරීට ඉඩ හම්බුනාය.

“නංගි දැකල ඔයයි මමයි ඊයෙ අර කැෆේ එකේ ඉන්නවා”

“ගෙදරින් මොකක් හරි ප්‍රශ්නයක් දැම්මද?”

“අනේ නෑ, ඒත් නංගි ඇහුවට පස්සෙ මට තව හංගන්න බැරි උනා අයියේ. මං ඒ හන්දා එයාට කිව්ව අපි දෙන්න යාලුයි කියලා. ඔයා තරහද ඒකට?”

“ඇයි කෙල්ලෙ මං තරහා වෙන්නෙ? ඇත්තනෙ කියලා තියෙන්නෙ ඔයා. මං දෙයක් අහන්න හිටියෙ, මමයි ඔයයි යාලුවෙලා තාම පොඩි කාලයක් බව ඇත්ත. ඒත් ඔයාට මාව විශ්වාස කරන්න හේතුවක් තව ඕනනම් මම ගෙදරට ඇවිත් අම්මා එක්ක උනත් කතාකරන්නම්”

“අනේ නෑ එහෙම දෙයක් ඕන නෑ.මට ඔයාව අවිශ්වාස නෑ. මං කිව්වෙ අර නංගි අහපු හන්දා. ඒක ඔයාට ප්‍රශ්නයක් වෙයිද නොදන්න හන්දා. ඔයා තරහවෙයිද දන්නෙ නැති හන්දා”

“එහෙම දේකට මං පොඩ්ඩක්වත් තරහා වෙන්නෙ නෑ. හැබැයි මං ඊලඟට කියන්න යන දේ හන්දා ඔයා මාත් එක්ක තරහ වෙයිද දන්නෙ නෑ?”

“මොකද්ද?”

“මට ටික කාලෙකට ඔයාගෙන් ඈත්වෙන්න වෙනවා”

“ඒ කිව්වෙ? ඇයි ඒ?”

“මට හිතුනා ආයෙ පාරක් අපි දෙන්න ගත්තෙ මේ තීරණේ හරිද කියල හිතලා බලන්න. මං ඒ නිසා හිතුවා පොඩ්ඩක් ඔයාගෙන් ඇත්වෙලා මේ ගැන හිතන්න”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here