සතුටු මිනිස්සු ඉන්න රටවල්

ඔයා සතුටින් ද ඉන්නේ කියලා ජීවිතේ එක වතාවක් හරි අහලා තියෙනවා නේද? මතක් වෙනවද එහෙම ඇහුවම ඔයාට ලැබුණ උත්තරේ මතකද?  ඒ උත්තරේ මොක උනත්  අද අපි කියන්න යන්නේ ලෝකේ සතුටුම මිනිස්සු ඉන්න රටවල් ගැන. 

ලෝකයේ එක් එක් රටවල් ගැන සමීක්ෂණ කරලා  එක්සත් ජාතීන්ගේ සංවිධානය  මඟින්   තමයි මේ සතුටු රටවල්  දර්ශකය එළි  දක්වන්නේ. 2021 තමයි අවසාන විස්තරාත්මක වාර්තාව නිකුත් කරල තියෙන්නේ. 

මේ සතුටු දර්ශකයට රටවල් තෝරගන්නකොට දළ ජාතික නිශ්පාදනය, සමාජ සහයෝගීතාවය, නීරෝගි ආයු අපේක්ෂාව, සමාජයේ පරිත්‍යාගශිලීත්වය, තීරණ ගැනීමේ නිදහස,  වගේ කාරණා සලකා බලනවා. දර්ශකයේ ලකුණු ලබා දෙන්නේ දහයකින් කීයක්ද කියලා කියන්න පුලුවන් විදියට. උතුරු යුරෝපීය රටවල් තමයි සතුටු රටවල් දර්ශකයේ මුල් ස්ථාන අත් පත් කරගෙන ඉන්නේ නම්.ඒ රටවල් වල සමාජීය සහයෝගීතාවය සහ ජීවත් වීමේ සුවපහසුව කියන කාරණා ඒකට ඍජුවම බලපානවා. කාලයක් තිස්සේ මේ ලැයිස්තුවේ අංක එකට ඉන්නේ පින්ලන්තය. 

පින්ලන්තය 

පින්ලන්තය තමයි සතුටු රටවල් දර්ශකයේ ඉහලින්ම ඉන්නේ. ඒ ලකුණු 7.842ක් අරගෙන. මේ වාර්තාව හදපු අය කියන විදියට පින්ලන්තය අංක එකට එන්න ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන කාරණාව තමයි, සමාජයක් විදියටම එකිනෙකා විශ්වාස කරමින් අනෙකාට උදව් කරන්නට ඔවුන් නොපැකිලීම ඉදිරිපත් වීම. විශේෂයෙන්ම කොවිඩ් වසංගත කාලයේදී ඔවුන් විසින්  ලෝකවාසී  අනෙකුන් කෙරෙහි දක්වන ලද දයාව. ඊට අමතරව දූෂණ වංචා අවම රාජ්‍ය පාලනය සහ රිසි පරිදි ජීවිතය තුළ වන තෝරාගැනීම් සිදු කරන්නට ඔවුන්ට ඇති හැකියාවත් ඉහළ ලකුණු ලබන්න හේතු වෙලා තියෙනවා. එතකොට, ලෝකයේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ පින්ලන්තයේ කිව්වොත් ඒක හරියටම හරි. 

ඩෙන්මාර්කය 

ඩෙන්මාර්කය ලකුණු 7.620 අරගෙන සතුටු රටවල් දර්ශකයේ දෙවෙනි තැනට පත් වෙලා තියෙනවා. කොහොම වුණත් දළ ජාතික නිශ්පාදනය අතින්   සහ රාජ්‍ය පාලනයේ දූෂණ සහ වංචා කියන කරුණු අතින් ඩෙන්මාර්කය පින්ලන්තයට වඩා ඉදිරියෙන් ඉන්න නිසා ඊළඟ වාර්තාවේ සතුටු දර්ශකයේ පළමු තැනට ඩෙන්මාර්කය එන්න පුලුවන් කියලත් වාර්තාකරුවන් කියනවා. 

ස්විට්සර්ලන්තය 

ස්විට්සර්ලන්තය කිව්වාම නම් අපිටත් යන්න හිතෙන රටක්නේ. සතුටු රටවල් දර්ශකයේ තුන් වැනි තැන තමයි ස්විට්සර්ලන්තයට ලැබිලා තියෙන්නේ. ඒ ලකුණු 7.571 අරගෙන. ස්විට්සර්ලන්තයේ තමයි සාපේක්ශව ඉතාම නීරෝගිමත් ජනතාවක් ඉන්නේ. ඔවුන්ගේ ආයු අපේක්ෂා කාලයත් ඉතාම වැඩියි. ස්විට්සර්ලන්තවාසීන්ගේ වැටුප් මධ්‍යන්‍ය අගය ඇමරිකාවේ එම අගය වගේ 75% ගුණයක් ඉහල බවත් කියැවෙනවා. පිරිසිදු කම අතිනුත් ස්විට්සර්ලන්තයට මුල් තැනක් හිමිවෙනවා. ඩෙන්මාර්කය සහ අයිස්ලන්තය හැරුණම ලෝකයේ ආරක්ෂිතම රට විදියට  නම් කරන්නේත් ස්විට්සර්ලන්තය. 

අයිස්ලන්තය 

ලකුණු 7.554 අරගෙන සතුටු රටවල් දර්ශකයේ හතර වැනි තැන ඉන්න අයිස්ලන්තය පින්ලන්තය , ඩෙන්මාර්කය සහ නෝර්වේ වැනි රටවල් පවා අභිබවා යන සමාජීය සහයෝගීතාවයක් දරන රටක්. ත්‍යාගශීලීත්වය අතින් ඔවුන්ට මුල් රටවල් සියල්ලන්ම අතරින් දෙවෙනි තැන හිමිවීමත් විශේෂයි.

නෙදර්ලන්තය 

නෙදර්ලන්තය ගැන නම් පහුගිය ක්‍රිකට් ලෝක කුසලානේ කාලෙත් කතා කලානේ. ඉතින්, සතුටු රටවල් දර්ශකයේ පස් වැනියට ඉන්නේ ඒ නෙදර්ලන්තය තමයි. ඒ ලකුණු 7.464ක් අරගෙන. අයිස්ලන්තය දෙවැනි තැනට දාලා මුල් රටවල් අතරින් ත්‍යාගශීලීත්වය අතින් පෙරමුණ ගන්න සමත්වෙලා තියෙන්නේ නෙදර්ලන්තය.  ඒ විතරක් නෙවෙයි රට ඇතුලේ ඕනෑම ආකාරයක දූෂණ සහ වංචාවන් සිදුවන්නෙත් ඉතාම අඩුවෙන් බව වාර්තා වල සඳහන් වෙනවා. ඉතින් එහෙම වෙනකොට මිනිස්සු කොහොමටත් සතුටින්. 

නෝර්වේ

 7. 392 කියන්නේත් සතුටින් ඉන්න සෑහෙන්නම ගැලපෙන රටක සතුටු දර්ශකයේ ලකුණ. ලෝකවාසී ජනතාවගෙ නීරෝගි සෞඛ්‍ය වෙනුවෙන් නෝර්වේ රාජ්‍යයේ ප්‍රශංසනීය කැපවීම ඔවුන් සතුටු රටවල් අතර හය වැනි තැන දක්වා ගෙනෙන්නට විශාල බලපෑමක් කරලා තියෙනවා.  ඒ වගේම ඔවුන් බොහෝම සෞඛ්‍යමත්  සහ තුලනාත්මක  රාජකාරි සහ පෞද්ගලික ජීවිත ගෙවනවා. නෝර්වේ වැසියම් සාමාන්‍යයෙන් සතියකට වැඩ කරන්නේ පැය 38 ක් වගේ. ඇමරිකානු පුරවැසියෙක් සතියකට පැය 41.5 වැඩ කරන බව වාර්තා වෙනවා.  එතකොට නෝර්වීජියානු වැසියන්ට රාජකාරි නිසා ආතතිය දැනෙන්නේ ඉතාම අඩුවෙන්  වෙන්නත් පුලුවන්. මේ කාරණා වලට අමතරව නෝර්වේ රාජ්‍ය තුළ  අපරාධ සිදුවීම ඉතාම අඩු වීමත් මේ ලකුණු වලට එන්න බලපානවා.

ස්වීඩනය 

7.363  අරගෙන ස්වීඩනය ඉන්නේ හත් වෙනි තැන. ලැයිස්තුවේ හත් වෙනි තැනට ආවත්, අවම රාජ්‍ය  දූෂණය අතින් ඩෙන්මාර්කය සහ පින්ලන්තයටත් ඉහලින් තමයි ස්වීඩනය ඉන්නේ. ඒ වගේම ලෝකේ රටවක් 149 ක් අතරින් දළ ජාතික නිශ්පාදන අතින් ස්වීඩනය ඉන්නේ දාහතරවැනි තැන වීමත් විශේෂයි.

ලක්සෙම්බර්ග්, නවසීලන්තය, ඕස්ට්‍රියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, අයර්ලන්තය, එංගලන්තය, ජර්මනිය, බෙල්ජියම සතුටු දර්ශකයේ ඊළඟට ඉන්න රටවල්. මුල් රටවල් විස්ස තමයි පහුගිය කාලේ පුරාම දර්ශකයේ ඉදිරි ස්ථාන වල හිමිකාරත්වයට දිගින් දිගටම තහවුරු කරගෙන තියෙන්නෙ. 

ඒ වාර්තාවටව අනුව අසතුටුම රටවාසීන් ඉන්නේ ඇෆ්ගනිස්තානයේ. සිම්බාබ්වේ, රුවන්ඩාව, බොස්වානාව සහ ලෙසෝතෝ කියන රටවල් තමයි දර්ශකයේ  අන්තිමට ඉන්න අනෙක් රටවල්.

ඒ වගේම් සතුටු රටවල් දර්ශකයේ අපේ ශ්‍රී ලංකාවට හිමිවෙලා තියෙන්නේ 112 වෙනි තැන.  සතුටින්ම ජීවත් වෙන දර්ශකයේ උඩට යන්න නම්, රටක් විදියට එකතු වීම ඇරෙන්න වෙන විකල්පයක් නැති බවත් කියන්නම ඕනි.

ඒ කොහොම වුණත්, පොඩි පොඩි කාරණා වලින් හරි පෞද්ගලික සතුටවත් හදාගන්න කියලා තමයි අද ලියමන ඉවර කරනකොට ඔයාලාට කියන්නේ ..!

Related Articles

Don't Miss


Latest Articles