අධික හිරු රශ්මියෙන් ආරක්ෂා වෙන්න මෙන්න මේ වගේ දේවල් කරන්න

ඇඟ පුච්චලා දාන රස්නෙ සහ අව්ව දැන් අපේ දෛනික ජීවිතයේ සාමාන්‍ය දෙයක් වෙලා. හරියට ‍රස්නෙම රස්නෙ පෙට්ටියක් ඇතුළේ ඉන්නවා වගේ දැනෙන මේ පුදුම රස්නය, නිකම්ම කාලගුණික වෙනසක් විතරක් නෙවෙයි. විද්‍යාත්මකව “හීට් වේව්” එහෙමත් නැත්නම් උණුසුම් තරංග විදිහට හඳුන්වන මේ තත්ත්වය, දේශගුණික විපර්යාස එක්ක දැන් ඉස්සරට වඩා දරුණු විදිහට අපිට දැනෙනවා. 

මේ රස්නය නිකම්ම ශරීරයට දැනෙන අපහසුවක් විතරක් නෙවෙයි, හරි විදිහට සූදානම් වුණේ නැත්නම් අපේ සෞඛ්‍යයට ලොකු තර්ජනයක් වෙන්නත් පුළුවන් විදියෙ තත්ත්වයක්. ඒ නිසා, “අම්මෝ රස්නෙයි” කියලා ෆෑන් එක, ඒසී එක දාලා වැඩේ අතහැරලා දාන්නේ නැතුව, බුද්ධිමත් විදිහට මේකට මුහුණ දෙන එක අපේ වගකීමක්.

විශේෂයෙන්ම, මේ රස්නය හමුවේ වැඩිපුරම අවදානමට ලක්වෙන්නේ අපේ පවුලේ ඉන්න වඩාත්ම සංවේදී සාමාජිකයෝ. තමන්ගේ සිරුරේ උෂ්ණත්වය ලොකු අයට වගේ පාලනය කරගන්න බැරි කුඩා දරුවන් සහ බිළිඳුන් ගැන අපි දහස් වාරයක් විමසිලිමත් වෙන්න ඕනේ ඒ නිසා. ඒ වගේම ගර්භණී මව්වරුන් සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට මේ අධික රස්නය සහ විජලනය කියන්නේ මරණීය අවදානමක් පවා ගෙන එන්න පුළුවන් දේවල්. රස්නය නිසා ඇතිවන අධික රුධිර පීඩනය වගේම දරුවන් නියමිත කාලයට පෙර ලැබීම වැනි සංකූලතා ඇතිවීමේ ඉඩකඩ වැඩි නිසා, ඒ අය ගැන විශේෂ අවධානයක් යොමු කිරීම අනිවාර්ය වෙනවා.

ඉතින් මේ වගේ උණුසුම් කාලගුණයකදී ඔයාගේ පවුලේ අයව පරිස්සම් කරගන්නේ කොහොමද, හීට් ස්ට්‍රෝක් එකක ලක්ෂණ අඳුරගන්නේ කොහොමද සහ හදිසියක් වුණොත් කරන්න ඕනේ මොනවාද කියලා දැනගන්න මේ උපදෙස් ටික ඔයාට ගොඩක් උදව් වෙයි.

මොකක්ද මේ “හීට් වේව්” එකක් කියන්නේ?

 සරලවම කිව්වොත්, සාමාන්‍යයෙන් තියෙන්න ඕන උෂ්ණත්වයට වඩා වැඩි රස්නයක් එක දිගට දවස් කිහිපයක් පවතිනකොට තමයි අපි ඒකට “හීට් වේව්” එකක් එහෙමත් නැත්නම් උණුසුම් තරංගයක් කියලා කියන්නේ. වාතයේ තියෙන තෙතමනය වැඩි වුණාම අපේ ඇඟට දැනෙන රස්නය තවත් දරුණු විදිහට වැඩි වෙන්න මේක හේතුවක් වෙනවා.

මේ රස්නය ඇති වෙන්නේ කොහොමද? 

මේක ඇත්තටම ස්වාභාවික කාලගුණික සිදුවීමක්. වායුගෝලයේ තියෙන උණුසුම් වාතය එක තැනක හිරවුණාම තමයි මේ වගේ දරුණු රස්නයක් ඇති වෙන්නේ. හැබැයි දැන් ප්‍රශ්නය තියෙන්නේ දේශගුණික විපර්යාස නිසා මේ තත්ත්වය වෙනදාට වඩා දරුණු වෙලා තියෙන එකයි. හරිතාගාර වායු පිටවීම නිසා වායුගෝලයේ රස්නය වැඩි වෙලාවක් රඳවා ගන්නවා. අන්න ඒ නිසයි දැන් මේ හීට් වේව්ස් නිතර නිතර සහ හරිම සැරට අපිට දැනෙන්න පටන් අරන් තියෙන්නේ.

මේ රස්නයෙන් වැඩියෙන්ම බැට කන්නේ කවුද?

ඇත්තටම කිව්වොත් මේ දරුණු රස්නය ඕනෑම කෙනෙක්ගේ සෞඛ්‍යයට ලොකු තර්ජනයක්. හැබැයි “හීට් ස්ට්‍රෙස්” එහෙමත් නැත්නම් රස්නය නිසා ඇඟට ඇතිවන පීඩනය දරාගන්න බැරිම පිරිසක් ඉන්නවා. ඒ තමයි කිරි දරුවෝ, පොඩි ළමයි, ගැබිණි අම්මලා සහ වයසක අය.

පොඩි දරුවන්ට මේක මාරම භයානකයි 

ලොකු අයට වඩා පොඩි දරුවන්ට මේ රස්නය මාර විදිහට බලපානවා. විශේෂයෙන්ම දරුවන්ගේ ඇඟේ වතුර අඩු වෙන එක මැරෙන්න උනත් හේතුවක් වෙන්න පවා පුළුවන්. ඒකට හේතුව තමයි, වැඩිහිටියන්ගේ ඇඟ වගේ නෙවෙයි, දරුවන්ගේ සිරුරේ උෂ්ණත්වය පාලනය කරගන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. ඉතින් මේ වගේ රස්නයක් වෙලාවට ඒ අය සම්පූර්ණයෙන්ම යැපෙන්නේ ලොකු අය ඒ අයට කරන උදව් සහ ආරක්ෂාව මතයි.

ගැබිණි අම්මලා ගැනත් පරිස්සම් වෙන්න ඕනේ 

අධික රස්නය සහ විජලනය නිසා ගැබිණි අම්මලා වගේම කුස ඇතුළේ ඉන්න දරුවත් ලොකු අනතුරකට මුහුණ දෙනවා. දරුවා ලැබෙනකොට බර අඩු වෙන්න, නියමිත කාලයට කලින් දරුවා ලැබෙන්න වගේම දරුවා කුස ඇතුළේදීම මියයන්න පවා මේක හේතුවක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අම්මලාටත් කලින්ම ප්‍රසූත වේදනා ඇති වෙන්න, ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්නත් මේ දරුණු රස්නය බලපානවා.

කල්තියා ලෑස්ති වෙමු 

රස්නයට කලින් සූදානම් වෙන එක තමයි හොඳම දේ. අද දවසේ, මේ සතියේ හරි මේ මාසයේ හරි රස්නයයි, වාතයේ තෙතමනයයි කොහොම වෙයිද කියලා කලින්ම දැනගෙන ඉන්න එක ඔයාට ලොකු උදව්වක් වෙයි. එතකොට එළිමහනේ කරන වැඩ කටයුතු ඒ අනුව ප්ලෑන් කරගන්න පුළුවන්නේ.

ඒ වගේම ගෙදර Emergency kit එකක් ලෑස්ති කරලා තියාගන්න එක හරිම වටිනවා. ඒකේ මේ දේවල් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ:

  • ජීවනී පැකට් කිහිපයක්.
  • උණ කටුවක්..
  • වතුර බෝතල්.
  • ඇඟ තෙමලා සිසිල් කරන්න පිරිසිදු තුවා හෝ රෙදි කැබලි.
  • බැටරි දාපු පොඩි ෆෑන් එකක් හෝ Mister එකක්.
  • රස්නය නිසා ඇතිවන අමාරුකම් හඳුනාගන්න සහ ඒවට කරන්න ඕන දේවල් තියෙන චෙක්ලිස්ට් එකක්.

තව දෙයක්, හදිසියක් වුණොත් උදව් ඉල්ලන්නේ කාගෙන්ද කියලා දැනගෙන ඉන්න. ළඟම තියෙන ඩොක්ටර්ගේ, හොස්පිට්ල් එකේ හරි ඇම්බියුලන්ස් සේවාවක හරි ෆෝන් නම්බර් එකක් සටහන් කරලා තියාගන්න එක වැදගත්.

ගෙදර කූල් එකේ තියාගමු 

ගෙදර උෂ්ණත්වය අඩු කරගන්න මේ පුංචි දේවල් ටික කරන්න:

  • දවසේ රස්නය වැඩිම වෙලාවට (විශේෂයෙන් දවල් කාලයේදී) ජනේලවල රෙදි වහලා තියාගන්න.
  • හැබැයි රෑ වෙද්දී ජනේල ඇරලා තියන්න, එතකොට හුළං ඇවිත් ගෙදර ඇතුළ කූල් වෙනවා.
  • ෆෑන් හරි කූලර් හරි තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න අමතක කරන්න එපා.

රස්නයෙන් බේරී සිටිමු 

පුළුවන් තරම් දවසේ රස්නය වැඩිම වෙලාවට එළිමහනට යන එක නවත්තන්න. ඔයාගේ දවසේ වැඩකටයුතු උදේ පාන්දර හෝ හවස් වරුවේ වගේ දවස සිසිල් වෙලාවලට සැලසුම් කරගන්න උත්සාහ කරන්න. මොකක් හරි විදියකින් එළියට යන්නම වෙනවා නම්:

  • අව්වෙන් බේරෙන්න සන්ස්ක්‍රීන් පාවිච්චි කරන්න.
  • හැමවෙලේම හෙවණක් තියෙන තැනක ඉන්න බලන්න.
  • ආරක්ෂාවට කුඩයක් හෝ තොප්පියක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න.

ඇඟ සිසිල්ව තබාගමු 

ඇඟ ඇතුළතින් වගේම පිටතින් කූල් එකේ තියාගන්න මේ දේවල් කරන්න:

  • වතුර බොන්න: පිපාසය දැනෙනකම් ඉන්න එපා. නියමිත කාල පරාසයන් ඇතුළත නිතර නිතර වතුර බොන්න.
  • ඇඳුම් පැළඳුම්: රස්නය වෙලාවට තද ඇඳුම් ඇන්දම ඇඟ තවත් රත් වෙලා ඉක්මනින් විජලනය වෙන්න පුළුවන්. ඒ නිසා සැහැල්ලු, ඇඟට බුරුලට තියෙන ඇඳුම් අඳින්න. මේ කාලයට කපු ඇඳුම් තමයි හොඳම. ඒකෙන් සමේ පලු දැමීම අඩු වෙනවා වගේම දාඩිය හොඳින් උරාගන්නවා. ඒ වගේම රෑට නිදාගද්දීත් කපු රෙද්දෙන් මහපු ඇඳ ඇතිරිලි පාවිච්චි කරන්න.
  • වතුර බෝතලයක් සහ තුවායක්: හැමවෙලේම වතුර බෝතලයක් සහ පොඩි තුවායක් ළඟ තියාගන්න. ඇඟට මාරම රස්නයක් දැනෙනවා නම්, ඒ තුවාය වතුරෙන් තෙමලා බෙල්ල වටේ දාගන්න. ඒකෙන් ඇඟේ රස්නය බහිනවා.

දරුණු රෝග ලක්ෂණ හමුවේ වහාම ක්‍රියාත්මක වෙමු

රස්නය නිසා ඇතිවන අධික පීඩනය සමහර වෙලාවට හරිම භයානක වෙන්න පුළුවන්. ඒ නිසා පහත සඳහන් දරුණු රෝග ලක්ෂණ පවුලේ කාගෙන් හරි පෙනෙන්න තියෙනවා නම්, තත්පරයක්වත් පරක්කු වෙන්න එපා:

  • වහාම ගිලන් රථයකට කතා කරන්න, නැත්නම් වෙනත් වාහනයක් ලෑස්ති කරගෙන ඉක්මනින්ම රෝහලකට හෝ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට එයාලව රැගෙන යන්න.
  • ඔයාගේ සහජ බුද්ධිය විශ්වාස කරන්න. “මේක සාමාන්‍ය රස්නයක්නේ, ටිකකින් ඇරිලා යයි” කියලා හිතලා අවදානමක් ගන්න එපා.
  • පොඩි හෝ සැකයක් තියෙනවා නම්, වෛද්‍ය ආධාර ඉල්ලන්න දෙපාරක් හිතන්න එපා. මොකද මේ වගේ වෙලාවක ගන්න ඉක්මන් තීරණයකින් ජීවිතයක් බේරගන්න පුළුවන්.

මූලාශ්‍ර: https://www.unicef.org/parenting/emergencies/heat-wave-safety-tips

Related Articles

Don't Miss


Latest Articles