“මට දුවෙක් හිටියා. එයා නැතිවෙද්දි ඔයාගෙ වයසෙම වගේමයි. මට ඔයාගෙ පින්තූර දකිද්දි එයාවමයි මතක් වෙන්නෙ. ඔයා තරහා නැත්තම්, මුකුත් හිතන්නෙ නැතිනම් විතරක් මම ඔයාට රෝසි කියලා කතාකරන්නද? මගෙ දුවගෙ නම රෝස්මරි. මම එයාට රෝසි කියලා තමයි ආදරේට කතා කරේ. ඒක මගෙ හිත සනසගන්න මට ලොකු උදව්වක් වෙයි”
ඔය මැසේජ් එක ඇවිල්ලත් දවස් ගාණකට පස්සෙ තමයි කේශිනී ඕක දැක්කෙ. තමන්ගෙ මිතුරු හවුලෙ උන්නෙ නැති මනුස්සයෙක් එවපු මැසේජ් එකක් නිසා ඒක ඇවිත් තිබුනෙ මැසෙන්ජර් රික්වෙස්ට්ස් වලට. ඒව නිතරම බැලෙන්නෙ නැති හන්දා තමයි කේශිනී ඔය මැසේජ් එක දකින්න පරක්කු වුණේ.
මැසේජ් එක කියවලා වීව් දිස් ප්‍රොෆයිල් කියලා ගිහින් බලද්දි ඒ නැතිවුනා කියල තිබුණ රෝස්මරී දුවගෙ පින්තුර, රෝස්මරීගෙ තාත්තගෙ, එයාගෙ අම්මගෙ වගේම රෝස්මරීගේ එකම සොයුරාගෙ පින්තූර දකින්නත් කේශිනීට පුලුවන් වුණා.
නැතිවුණා කිව්ව දුව වෙනුවෙන් තාත්තා කෙනෙක් ලියලා තිබුන විස්තර කියවද්දි තාත්තා නැති කේශිනීට ඇත්තටම ඇඬුණා. දූලා තාත්තලට කොච්චර ආදරේද තාත්තලා ඒ වගේ දහස් ගුණයක් දුවලට ආදරෙයි කියලා කේශිනීට ඒව කියවද්දි හිතුණා. ඒ හැඟීම තමයි “අනේ කමක් නෑ අංකල්. ඔයා එහෙම කතාකරන්න. මගෙත් තාත්තා නෑ” කියලා මැසේජ් එකක් දාන්න කේශිනීව පෙළඹෙව්වෙ.
උපන්දිනේට සුබ පතන ඒවා, එදිනෙදා විස්තර කතා කරන ඒවා, පවුලෙ විස්තර. සුව දුක් විමසීම් මැද්දෙ මාස ගාණක් ගෙවිලා ගියේ කේශිනීත් පිටරට ඉඳලා කේශිනීට කතා කරපු නැතිවුනා කිව්ව රෝස්මරීගේ තාත්තා වෙච්ච ඇන්ඩෘත් අතර සබඳතාවය තව තවත් ශක්තිමත් කරමින්.
“ඔය මනුස්සයා එන්නෙ මොනවගේ දේකටද කියල හොඳට හිතල බලන්න හොඳේ. අපි දන්නෙ නෑනෙ දැන් කාලෙ මිනිස්සු ගැන. කරන දෙයක් පරිස්සමෙන්” කියලා ඔය හිතවත්කම දැනගත්ත යාලුවො කිව්වා උනත් කේශිනී නම් කිව්වෙම “කරදරයක් වෙන්නෙ ඉතින් මම එහෙ ගිහින් එයාව හම්බුනොත් හරි එයා මෙහෙ ඇවිත් මාව හම්බුනොත් හරිනෙ. චැට් කරා කියලා මුකුත් වෙන්නෙ නෑ” කියලයි.
අම්මලාට උනත් කේශිනී ඔය පොඩ්ඩක් පොඩ්ඩක් විස්තර කියලා තිබුනට මෙහෙම තමන් එක්ක ඇන්ඩෘ හොඳටම හිතවත් කියලා කියන්න තරම් ලොකු හේතුවක් නෑ.
අනික ඇන්ඩෘ වුණත් සැක හිතෙන විදියට පැය විසි හතරම කේශිනී එක්ක චැට් කර කර හිටියෙ නෑ. කේශිනී ඔෆිස් ඇරිලා ගෙදර එන වෙලාවට තමයි සමහර දවසට ඇන්ඩෘ වැඩට යන්නෙ. ඉතින් “මම දැන් ගෙදර ආවා, මම දැන් වැඩට යනවා” කියල මැසේජ් එකක් එහෙ මෙහෙ හුවමාරු උනා ඇරෙන්න නරක විදියෙ, සැකයක් හිතන්න පුලුවන් විදියෙ කතා බහක් දෙපැත්තකින් එක පැත්තකටවත් වුනේ නැති නිසා හිතේ කිසි කහටක් නැතුව කතා බහ කරන්න කේශිනිට පුලුවන් වුනා.
ඔහොම සෑහෙන කල් කතා කර කර ඉද්දි තමයි නත්තල් කාලේ ආවෙ. කේශිනිලා බුද්ධාගමේ හින්දා නත්තල් සැමරුවෙ නැති උනාට ඉතින් අලුත් අවුරුද්ද වෙනුවෙන් තෑගි බෝග ගන්න දේවල් වල විස්තර කේශීනී ඇන්ඩෘ එක්කත් බෙදාගත්තා.
“මම හැමදාම නත්තලට තෑගි අරගනිද්දි රෝස්මරී අපි අතරෙ නැති උනත් මම එයාටත් තෑගි අරගන්නව. මම මේ පාර හිතුවා රෝසි වගේම මට ඔයා ඉන්න නිසා මේ පාර ක්‍රිස්මස් එකට ඔයාට තෑගි පාර්සල් එකක් එවන්න. මට ලංකාවට එන්න පුලුවන් කවදද කියන දැන්ම කියන්න බැනෙ. ඒ නිසා එතකන් මම මේ තෑගි පර්සල් එක ඔයාට එවන්නම්”
“අනේ ඇන්ඩෘ කරදර වෙන්න එපා. මං වෙනුවෙන් සල්ලි වියදම් කරගන්නත් එපා” කියල කිව්වට කේශිනී ඇත්තටම හිත ඇතුලෙන් සන්තෝස වුණා. ඇහැටවත් දැකලා නැති මනුස්සයෙක්, පිටරටක ඉඳල තමන්ට තෑගි පාර්සලයක් එවනවා කියන එක මොනතරම් නම් සන්තෝසයක්ද?”
“මට කිසිම කරදරයක් නෑ කේශිනී. මට ඔයත් මගේ රෝසි වගේමයි. ඔයාට තෑග්ගක් එවන්න පුලුවන් වෙනවා කියන එක රෝසිට තෑග්ගක් අරගෙන දුන්න වගේ මට සන්තෝසයක්. ඔයාගෙ ඇඩ්රස් එක එවන්න මට. මම මෙහෙන් පාර්සල් එක දාලා ඔයාට ඉන්ෆෝම් කරන්නම්. ටික දවසක් යනවනෙ කොහොමත් එන්න”
ඒ විදියට තමයි කේශිනී ඇන්ඩෘ එවන නත්තල් තෑගි පාර්සලේ එනකම් බලාගෙන හිටියෙ.
“ඔයාගෙ පාර්සල් එක කස්ට්මස් එකෙන් තියාගෙනලු ටැක්ස් එකක් ගෙවලා තමයි රිලීස් කරගන්න වෙන්නෙ. ඒක මට ගෙවන්න පුලුවන්කමක් නෑ. ඔයාට පුලුවන්ද ඒක ගෙවලා ගන්න. පොඩි ගාණක් ගෙවන්න තියෙන්නෙ. මං එවපු පාර්සල් එකේ ඒ වගේ තුන් ගුණයක වටින බඩු තියෙනවා. මං ෆොටෝ වල එව්වෙ, අලුත්ම ඇපල් මැක් බුක් එකකුත් තියෙනවා” කියලා ඇන්ඩෘ කියද්දි කේෂිනී හිතුවෙ “එච්චර වටින තෑගි එවන එකේ ඔය පොඩි ගාණක් ගෙවලා ඒක ගන්න එක මොකද්ද?” කියලා.
හැබැයි සල්ලි ගෙව්වට පස්සෙ රෝසිගෙ ආදර තාත්තාවත්, කස්ටම්ස් එකෙන්වත් කේශිනීට කතා කරේ නෑ. පාර්සලයක් ආවෙත් නෑ. හැබැයි අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි ගොඩක් නම් තමන් නැති කරගත්ත බව විතරක් කේශිනීට අන්තිමේ තේරුණා.
මේ Parcel Scam කියන්නෙ ලංකාවෙ අපිට නුපුරුදු දෙයක් නම් නෙවෙයි. ඕන තරම් මේ වගේ කතන්දර අපි අහලා තියෙනවා. අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි, සමහරවෙලාවට ණය වෙලා ඉල්ලගත්ත සල්ලි පවා දාලා පිටරටවල් වලින් ආවා කියන පාර්සල් අරගන්න අපි දන්නෙ නැති, ඇහැටවත් දැකලා නැති මනුස්සයෙක්ට සල්ලි දාන එක අපේ ගොඩක් දෙනා කරනවා.
මේ වගේ දේකට හෙට දවසෙ ඔයත් මුහුන දෙන්න පුළුවන්. අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි නොදන්න කෙනෙක්ට දෙන්න කලින්, නොදන්න කෙනෙක්ව විශ්වාස කරන්න කලින් එක පාරක් නෙවෙයි දහ පාරක් හිතන්න අමතක කරන්න එපා.
තමන්ගෙ විස්තර Social Media වල දාද්දි වගේම, නොදන්න මිනිස්සුන්ව තමන්ගෙ Friend List එකට එකතු කරගනිද්දි, Chat කරද්දි පරිස්සම් වෙන්න ඕන මෙන්න මේ නිසාමයි!
මේ වගේ ගැටලුවක් වුණොත් අපි මොකද කරන්න ඕන කියන ගැටලුව ඔබටත් තිබෙන්න පුලුවන්. එවන් අවස්තාවක ඔබට ගත හැකි ක්‍රියාමාර්ග වන්නේ:
1. තර්ජනය කරන කෙටි පණිවිඩ, දුරකතන ඇමතුම්, අසභ්‍ය දර්ශන වල ජායාරූප, වෙබ් අඩවි වල පල කර ඇති දර්ශන/තොරතුරු වල URL, Screenshot ආදී සාක්ශි සමග ළඟම ඇති පොලිසිය වෙත යොමුවන්න
2. තර්ජනය කරන පුද්ගලයාගේ තොරතුරු නිවැරදිව දන්නේ නම් පොලිස් පැමිණිල්ල ඉදිරිපත් කරන වෙලාවේ ඒ තොරතුරු ලබා දීමට යොමුවන්න
3. වයස අවුරුදු 18ට අඩු නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිල්ලක් සඳහා Hotline අංක 1929 ඔස්සේ යොමුවන්න (පිරිමි/ගැහැණු දරුවන් දෙපාර්ශවයම වෙනුවෙන්)
4. කාන්තාවන් මුහුණ දෙන මෙවන් ගැටලුකාරී තත්ත්වයන් වලදී ළමා හා කාන්තා කාර්යංශයේ උපකාරක සේවා අංක 109 ඔස්සේ යොමුවන්න නැතිනම් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ Women Health Line අංකය වන 1938 වෙත යොමුවන්න
5. අසභ්‍ය වෙබ් අඩවිවල ඔබගේ ජායාරූප හෝ වීඩියෝපට ආදිය උඩුගත කරගත තිබෙන විටෙක එය ඉවත් කරගැනිමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) ආයතනයේ උපකාරක සේවා අංකය වන 101 වෙත යොමුවන්න
සයිබර් අවකාශයෙන් මිදුණ ජීවිතයක් ගැන මේ කාලෙ අපිට හිතන්නවත් බෑ.
හැබැයි පරිස්සමෙන් Surf කරන්න – Smart විදියට ජීවත්වෙන්න!
තොරතුරු මූලාශ්‍ර: ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේශ්ට තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු – චරක දමුණුපොල මහතාගෙන්