ශාර්වරී උන්නේ නුවර අත්තම්මාගේ ගෙදර පිටිපස්සේ කැනාස් පඳුරු ළඟ හිටගෙන කල්පනා කරන ගමන් ය. අතේ තිබ්බ තේක අත උඩම නිවෙන බව ශාර්වරීට මතක් වෙද්දිත් තේක තිබුනේ හොඳටම ඇල්වෙලාය. නංගි කැම්පස් යන්න පටන් ගත්ත අලුත හන්දා ඉක්මනට එන්න වෙන්නෙ නැති බව ශාර්වරී දනී.
ඉස්සර වගේ උදේම අවදි වී ගෙදර වැඩ පල කරන්න දැන් හිතට ආසාවක් නැත. අනෙක් අතට උදේට ඇහැරෙන්නේ නැතුව නොවේ. ඒත් කොච්චර උදෙන් ඇහැරුණත් ශාර්වරීට උවමනා ඇඳට වෙලා හාන්සි වී කල්පනා කර කර ඉන්නය. පසුගිය ගතවූ මාස කිහිපය පුරාවටම තමන් ගේ කල්පනාවන් ඇරඹුණේත් අවසන් වුණේත් නෙවින් සේනාරත්න කේන්ද්‍ර කරගෙන උනත් කාලයත් එක්ක නෙවින් සහ ඔහුගේ මතකයක් හදවතේ පතුලේම කුටියක සිර කර අගුලු දැම්මයින් පස්සේ ශාර්වරීගේ කල්පනා ලෝකය කේන්ද්‍ර කරගත්තේ තමන්ගේ ජීවිතය වැටුණ අගාධය සහ තමන් ඉන් ගොඩ එන්නේ කොහොමද කියන එකය. තමන් හැර දා ආ ඉගෙනුම් ක්‍රියාවලියට ආයේ තමන්ට යන එක පහසු නැති බව ශාර්වරී දනී. අසනීප වූ බව කියා හෝ ගතවුණු මාස කිහිපයේ වූ පාඩුව අල්ලගන්න් පුලුවන් කමක් තිබුණත් ශාර්වරී උන්නේ ආයෙ අධ්‍යාපනයට යොමු වන මානසිකත්වය නොවේ. හැමදේම ආයෙම අලුතෙන් පටන් ගන්න ඕන කියන අදහසකය. අතීතයෙන් බිඳක්වත් ආයෙ මේ වර්තමානයට ගෙන එන්නේ නැතැයි යන අදහසකය.
“ඔයා ආයෙ එච් එන් ඩී එකට කතාකරල විස්තරේ කියලා ආයෙ කෝස් එක කරන්න යන්න අක්කෙ. ආයෙ කොළඹ ගිහින් කරන්න බැරි නම් අක්කා මේ ළඟ පාත තැනක එකකට හරි හදාගන්න. ඔයා කොච්චර මහන්සි උනාද ඔය කරගත්ත ටිකවත් කරගන්න” කියා නංගි නිතර දෙවෙලේ කිව්වට ශාර්වරීට ඒකට දෙන්න තිබ්බේ එකම එක උත්තරයකි.
“අනේ මට හිතක් නෑ නංගි. මං ඇත්තටම කල්පනා කරනව මං ඇයි හුස්ම ගන්නෙ කියන එක පවා. මං මෙහෙමවත් ඉන්නෙ ඔයා ඉන්න හන්දා. ඔයත් නැති උනානම් මම මොනවා කරගනිවිද කියන්න දන්නෙ නෑ”
“මිනිස්සුන්ට ප්‍රශ්න වෙනවා අක්කෙ. හොඳ මිනිස්සුන්ගෙ හිත් රිදෙනවා වැඩියි. ඔයාට උනෙත් සමහරවිට එහෙම දෙයක් වෙන්න ඇති. ඒ උනාට අපිට හැමදාම ඉතින් ඕක ගැන හිත හිත දුක්වෙවී ඉන්න බැ නේද?
මට වෙලාවකට අරූව මතක් වෙද්දි ගිහින් මරලා එන්න හිතෙනවා අක්කෙ. ඇත්තමයි. අපි අමාරුවෙන් හරි හම්බ කරගත්ත දේකින් හරි සන්තෝසෙන් හිත නිස්කලංකෙන් උන්නා. මොක උනත් ඔයා හයියට උන්නා. ඔක්කොම විනාස කරලා දාල ඌ අන්තිමේ රටෙන් පැන්නා අන්තිමේ අපිට උනේ” කියා නංගී කියද්දී පවා ශාර්වරී කලේ හිනාවෙච්ච එකය.
“නෙවින්ගෙ වරදක් නෑ නංගි. ඔයාට මතකද අම්මා වතාවක් ඉඳන් කිව්වා කොච්චර ලස්සන උනත් අපි පතොක් මල් නුවර එලියෙවත් නුවර එලියෙ මල් කාන්තාරෙකවත් වවන්න හදලා වැඩක් නෑනෙ කියලා. ඒ නිසා මේ තරුණ කාලෙ අපේ හිතට එබිකන් කරන කෙනා කවුරු හෝ වේවා ඒ අය තමන්ගේ ජීවිතේ ඉස්සරහ කාලෙ ගෙවන්න, නතරවෙන්න පුලුවන් කාන්තාරයක්ද නුවර එලියක්ද කියන එක හොඳට හිතන්න ඕන කියලා. තමුන් ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕන තමන් පතොක් මලක් ද කඳුකර මලක් ද කියලා.
ඒ අනුව තමයි අපි නතරවෙන තැන හිතාගන්න ඕන කියලා. එහෙම බලද්දි නෙවින් වැරදි නෑ නංගි. වරද එයා මට බොරු කිව්ව එක. නොකිය හැංගිලා ගිය එක. ඒ ඇරෙන්න මං වගේ කෙනෙක් එයා වගේ කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ කියලා එයා හිතපු එකේ වරදක් නෑ. අපි කවුරු උනත් මුලින්ම හිතන්න ඕන තමන් ගැන නංගි. මං එයා ගැන හිතුවට එයා හිතලා තියෙන්නෙ එයා ගැන. මං කොහොමද නංගි ඉතින් ඒකට එයාට වරදක් කියන්නෙ” කියා අක්කා කිව්වට හිත අස්සේ ඇය කොච්චර නම් වේදනාවක් ගොඩගහගෙන ඉන්නවා ඇතිද කියා අයේශ්වරී තේරුම්ගත්තේ ඒ වචන එක්ක ඇය තමන් වෙත හෙලූ මන්දහාසය නිසාවෙනි.
එච්චර දුකක් ගැන කතාකරන ගමන් එහෙම හිනාවෙන්න පුලුවන් හිත අස්සෙ කප්පරක් දුකක් උහුලගෙන ඉන්න කෙනෙක්ට පමණක් බව තමන් කොහේ හෝ කියෙව්ව බව අයේශ්වරීට මතකය.
“ගෙදරටම වෙලා ඉන්න එකේ ඔයාට හිතෙන්නෙ නැද්ද මොකක් හරි පොඩි රස්සාවක් වත් හොයාගත්ත නම් හොඳයි කියලා. ගේ ඇතුලටම වෙලා කල්පනා කර කර ඉද්දි ඔයාට එපා වෙයි අක්කෙ”
“මට සනීපයි නංගි ගෙට වෙලා ඉන්න එක. මට බයයි එලියට පහලියට ගියාම මිනිස්සු මගෙන් එක එක දේවල් අහවි මං දිහා අමුතු විදියට බලාවි කියල. අනික මට බයයි මිනිස්සු එක්ක කතා බහ කරලා හිනාවෙලා ඉන්න? මට ආයෙ හිනාවෙන්න පුලුවන්ද කියලවත් මට මතක නෑ නංගි. සල්ලි හොයන්න ඕන බව මම දන්නවා. මටත් ඕන එහෙම කරන්න. මොකක් හරි රස්සාවක් කරන්න, ඒ උනාට” කියා ශාර්වරී එදා කිව්වට ලොකු දුකක් හිතේ තද කරගෙන අක්කා ගේ අස්සටම වෙලා ඉන්න එක ඇයගේ මානසික තත්ත්වය තව තවත් පිරිහෙන්න හේතුවක් වනු ඇතැයි බය හන්දාම අක්කාට රස්සාවක් හොයාදෙන්න අයේශ්වරී මහන්සි උනාය. කැම්පස් එකේ ඉන්න නුවර පලාතේ යාලුවන්ගෙ උදව්වෙන් උසස් පෙල කරන නංගිල මල්ලිලට පංති කරන්න හදාගත්ත එක මේ වෙලාවේ ලොකු උදව්වක් උනත් අයේශ්වරීට උවමනා උනේ ඒ සියල්ලම අස්සේ අක්කාවත් කොහොමත් ගොඩ දාගන්නය. දැන් මේ ලෝකේ තමන්ට කියා ඉන්න එකම ලේ නැයා අක්කාය.
ශාර්වරීට නුවර ටවුන් එකේ මල් කඩේක වැඩට එන්න පුලුවන් උනේ ඒ විදියටය. දළදා වීදිය පැත්තේ මල් වඩම්, මල් බොකේ ආදිය විකුණන ඒ කඩේ දැක්ක හැටියේම මෙතන හිත නිවන තැනක් බව අමුතුවෙන් තේරුම්ගන්න ශාර්වරීට උවමනා උනේ නැත. පාර අයිනක, නමක් දන්නෙ නැති ලස්සන කහ පාට මල් පිපිච්ච වැලක් යටින් ඇවිත් ගොඩවෙන්නට තියෙන “ළපෙති” මල් කඩේට උරුම වී තිබුණේ නුවරට උරුම කලාත්මක අභිමානය එක්ක මුහුවෙච්ච වින්ටේජ් ලස්සනකි.
“ළපෙති” කඩේ හිමිකරුවන් වෙච්ච කුලතුංග යුවල කාලාන්තරයක් තිස්සේ කරගෙන ආවේ මේ ව්‍යාපාරය බව ශාර්වරී දැනගත්තේ “සහයට තරුණ ගැහැණු ළමයෙකු අවශ්‍යයි” කියා සටහන් කර තිබූ දැන්වීම ඔස්සේ නංගි එක්ක ගිය දවසේය.
“අපි ඇත්තටම කෙල්ලෙක්ව හෙව්වෙ මල් එක්ක වැඩ කරන්න හොඳ මලක් වගේ කෙනෙක් කියල මමයි මහත්තයි දෙන්නම හිතපු හන්දා. අපි දෙන්නාම මේක කරන්නෙ ආසාවෙන්. අපේම වත්තකින් තමයි හැටන් වල ඉඳලා කඩේට මල් එන්නෙ. බිස්නස් එකක් කරනවා කියන පරමාර්තෙට වඩා අපිට ඕන උනේ මල් කියන්නෙ ඕනම රිදිච්ච හිතක් සනසන්න හේතුවෙන බේතක් වගේ දෙයක් කියලා හිතන දකින කෙනෙක්ව මෙතන වැඩට ගන්න. අපේ දරුවො ඉතින් මේව දකින්නෙ සිල්ලරේටනෙ දූ. එයාලට මේ වගේ රාජකාරි තත්ත්වෙට හොඳ මදි.
දූ පදිංචි වෙලා ඉන්නෙ මෙහෙමද?” කියා සිනාවෙන ගමන් මින්ට් තේ කෝප්පයක් තමන් ඉස්සරහින් තැබුව කුලතුංග මහත්මිය ඒ සිනාව එක්කම අක්කා නගෝ දෙන්න දිහාවම බැලුවාය. ඒ වෙද්දිත් කුලතුංග මහත්මයා උන්නේ කණ්ණාඩිය යටින් ශාර්වරී අරගෙන ආ ජීව දත්ත පත්‍රිකාව කියවන ගමන් ය.
එක බස් එහෙක ආ හැකි දුරක පදිංචිව හිඳීම මෙන්ම, අම්මා තාත්තත් නැතුව අසරණ වෙච්ච කෙල්ලන් දෙන්නෙක්‍ට උපකාරයක් කල යුතුය යන හැඟීමම ශාර්වරීට “ළපෙති” මල් කඩේ සේවයට එන්නට පාර කැපුවාය. මහා ලොකු වේතනයක් ගෙවන්න හැකියාවක් තිබ්බේ නැතද “නිකන් ගෙදරට වෙලා මනෝ විකාර කල්පනා කර කර ඉන්න එකේ හිත හැදෙන්නවත් අක්කා එතනට යන්න අක්කෙ” කියා නංගීගේ රුකුල් දීම ශාර්වරීට එහේ යන්නට උදව් කලාය.
මේ සියල්ල අතරේ නෙවින් උන්නේ සිහිනයෙන්ද, බොඳ වුණු මතක පුංජයන් වගේද ඇවිත් නිරත්තරව මනසට වද දෙන ඒ අමතක අතීතය ගැන හොයා බලන්න ආපහු ලංකාවට යන අදහසකය.
ප්‍රේමයත් විරහවත් අපේ ජීවිතේ ඉදිරියට අරගෙන එන්නේ දෛවය බවත්, අපට අමතක බොහෝ දේ අපේ ජීවිත ගොඩ නැගී ඒ නොපෙනෙන පුද්ගලයාට අමතක නොවන බවත් දෙතැනක, දෙයාකාර වේදනාවක ගිලී උන් ශාර්වරීත් නෙවිනුත් දැන උන්නේ නැත.
නෙවින් උන්නේ අමතක අතීතය මතක් කරගන්න තනමින් ය.
ශාර්වරී උන්නේ මතක අතීතය අමතක කර දමන්නට කැපවෙමින් ය.