සීනි පිළිකාකාරක ද?

පිළිකාකාරක ආහාර පිළිබඳ අන්තර්ජාලයේ ඔබට ඕනෑතරම් ලිපි හමුවෙනවා. එහෙත් මේ බොහොමයක් මිත්‍යා මත බවයි විශේෂඥයින්ගේ අදහස වන්නේ. අපි අද පිළිකාකාරක ආහාර ගැන ප්‍රබල මිත්‍යා මතයක් වන සීනිවලින් පිළිකා වර්ධනය වනවාද යන්න විද්‍යාත්මක ව  විමසන්නට සූදානම්.

පිළිකාවට පෝෂණය බලපානවා ද? 

පෝෂණය ඔබේ සෞඛ්‍යයට ඍජු බලපෑමක් එල්ල කරනවා. අඩු පෝෂණයක් ලබා ගැනීමත් පිළිකා ඇතිවීමට හේතුවක් විය හැකියි. ඇමරිකානු පිළිකා සංගමය විසින්  සිදුකළ පර්‍යේෂණවලින් හෙළි වන්නේ පිළිකා රෝගීන් 6කින් එක් අයෙක්ට එය වැළඳීමට හේතු වන්නේ අඩු පෝෂණය, ස්ථුලතාවය, ව්‍යායාම මදබව හෝ මධ්‍යසාර වලින් එකක් හෝ කිහිපයක් බවයි. පිළිකාවලින් තොර දිවිපෙවතක් ගත කිරීමට ඔවුන් නිර්දේශ කරන්නේ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමයි. 

සෛලවලට ශක්තිය ලබා දෙන්නේ මොනවාද? 

අපේ ශරීරයේ සියලු සෛල සිය ශක්තිය නිපදවාගැනීමට සීනි භාවිතා කරයි. සරල ව, අප ලබාගන්නා කාබෝහයිඩ්‍රේට් අපේ ශරීරයේ සෛල ක්‍රියාකාරීත්වයට ශක්තිය ලබා දෙයි. සෛල යනුවෙන් හඳුන්වන විට පිළිකා සෛල සඳහාත් එසේමයි. නමුත් සෛල වර්ධනය සඳහා බලපාන එක ම පෝෂකය සීනි පමණක් නොවෙයි. සෛලවලට ප්‍රෝටීන්, මේදය වැනි පෝෂකවලිනුත් වර්ධනයට අවශ්‍ය දේ ලබා ගත හැකියි. 

ඇමෙරිකානු පිළිකා සංගමයට අනුව සීනිවලින් තොර ආහාර වේලක් ලබා ගැනීම පිළිකා සෛල වර්ධනය වීම නතර කරනවා යැයි කීමට සාක්ෂි නැත. සීනි නැතිනම් අනෙකුත් පෝෂකවලින් පිළිකා සෛල වර්ධනයට අවශ්‍ය දේ ලබා ගත හැකියි.

පිළිකා නවතන ඩයට් තිබෙනවාද?

කෙසේ නමුත් ඇමෙරිකානු පිළිකා විශේෂඥයින් විශේෂයෙන් මේ පිළිබඳ තව දුරටත් කරුණු දක්වමින් මෙසේ කියයි.  සමහර ඩයට්වලට tumors (පිළිකා සෛල නිසා ඇතිවන ගෙඩි) විශාල වන වේගය අඩු කළ හැකි යි. විශේෂයෙන් ම කාබෝහයිඩ්‍රේට් අඩු මේදය වැඩි ketogenic diet එකත් සමග ම සිදුකරන chemotherapy සහ radiation ප්‍රතිකාර සමග සමහර ආකාරයේ tumors වර්ධනය වන වේගය අඩු කළ හැකි බව ඔවුහු පවසති. 

කෙසේ වෙතත් මෙය සිදුවන ආකාරය පිළිබඳ නිශ්චිත නිගමනයක් තව ම දිය නොහැකි අතර, එය පර්‍යේෂණ මට්ටමේ පවතී. 

පිළිකා වැළැක්වීම ගැන කුමක් කිව හැකිද? 

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සැන් ඩියාගෝ මුවර්ස් පිළිකා මධ්‍යස්ථානයේ ලියාපදිංචි පෝෂණවේදියෙකු සහ සෞඛ්‍ය සම්පන්න ව ආහාර ගැනීමේ වැඩසටහනේ අධ්‍යක්ෂවරියක් වන ක්‍රිස්ටීන් සූමාස්, අධික සීනි ප්‍රමාණයක් අනුභව කිරීම සහ පිළිකා අවදානම අතර ඇති සම්බන්ධය මෙසේ  සටහන් කර ඇත. 

“සීනි විශාල ප්‍රමාණයක් එකතු කරන ඕනෑම දෙයක් කැලරි විශාල ප්‍රමාණයක ප්‍රභවයකි. විශේෂයෙන්ම කාන්තාවන් සඳහා පිළිකා අවදානම වැඩි කරන දේවල් දෙස බලන විට සීනි නිසා ඇතිවන අධික ස්ථුලතාවය නිසා ශරීරයේ අතිරික්ත මේදය මගින් පිළිකා වර්ධනය වීමේ ඉඩක් ඇත.”

නිගමනය

ඔබේ ආහාර වේලෙන් සීනි සම්පූර්ණයෙන් කපා දැමීම පිළිකා වර්ධනය වීම වළක්වන්නේ නැත. නමුත් පර්‍යේෂණවලින් පෙනී යන්නේ අඩු කාබෝහයිඩ්‍රේට් ආහාර සමහර පිළිකා ප්‍රතිකාරවල කාර්යක්ෂමතාව වැඩි කළ හැකි බවයි. 

පිළිකා සහ සීනි අතර ඍජු සම්බන්ධයක් නැති බව දැන් ඔබ දන්නවා. ඒ කෙසේ වෙතත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැති නිසා, සීනි වුවත් අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලබා ගැනීම සුදුසු බවයි අප ඔබට යෝජනා කරන්නේ.

Related Articles

Don't Miss


Latest Articles