ඩිජිටල් තිර වලින් ඔබේ ඇස් පරිස්සම් කරගන්නෙ කොහොමද?

තාක්ෂණයත් එක්ක නිතරම ගණුදෙණු කරන්න පුරුදු වුන පරම්පරාවක් විදිහට ජංගම දුරකථනය සහ පරිඝනකය වගේ ඩිජිටල් තිර සහිත උපාංග අපි නොදැනුවත්වම අපිට බොහොම සමීප වෙලා තියනවනේ. 

ඡායාරූප ගන්න භාවිතා කරපු කැමරාව, දවස් ගැන දැනගන්න භාවිතා කරපු දින දර්ශනය, රූපවාහිනිය, ගුවන් විදුලිය වගේ උපකරණ භාවිතය සීමා කරන්න විතරක් නෙමෙයි මුදල් ගණුදෙනු කරන්න නිතර දෙවේලෙ ගොඩවැදුණු බැංකු ගමන්, කාර්‍යාලීය අවශ්‍යතා සඳහා ගමන් බිමන් පවා සීමා කරන්න දුරකථනය සහ පරිඝනකය මඟින් ලබාගන්න පුළුවන් සේවා නිසා අපිට හැකියාව ලැබිල තියෙනව. 

එදිනෙදා කාර්‍යබහුල ජීවන රටාව එක්ක මුදල්, කාලය සහ ශ්‍රමය ඉතිරි කරගන්න ලැබුණ මේ අවස්ථාව ගොඩක් වටින බව අපි කවුරුත් පිළිගන්න කාරණාවක්නෙ.

නමුත්, මේ ඩිජිටල් තිර නිතරම භාවිතා කිරීම නිසා විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිවෙන බවත් අපි අනිවාර්‍යෙන්ම මතක තබා ගත යුතුමයි. 

වැරදි ඉරියව් නිසා කොන්දට සහ බෙල්ලට ඇතිවෙන හානි, හිසරදය, ව්‍යායාම හිඟකම නිසා ඇතිවෙන කොලෙස්ට්‍රෝල්, හෘද රෝග වගේ බෝ නොවන රෝග වගේම ඇස් වලට ඇතිවෙන හානි මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

ඉතිං මේ ලිපිය හරහා අපි අද කතා කරන්න සූදානම් වෙන්නෙ ඩිජිටල් තිර භාවිතය නිසා ඔබේ ඇස් වලට වෙන හානිය අවම කරගන්නෙ කොහොමද කියලයි.

මුලින්ම අපි බලමු ඩිජිටල් තිර භාවිතා කිරීම නිසා ඇතිවෙන ඇස් සම්බන්ධ ගැටළු මොනවද කියල.

ඩිජිටල් තිර භාවිතයේදී ඇතිවෙන අක්ෂි ගැටළු

  • ඇස් වියළීම
  • ඇස් වටා ප්‍රදේශය නළල අවට ප්‍රදේශයේ අධික වේදනාව සමඟ ඇතිවෙන හිසරදය
  • බොඳවී පෙනීම
  • ඇස් කැසීම
  • ඇස් වලින් කඳුළු ගැලීම

ඩිජිටල් තිර භාවිතා කිරීම නිසා ඇස් වල පෙනීමේ දුර්වලතාවයක් ඇතිවෙන බව පර්‍යේෂණ මඟින් මේ වනතුරු සනාථ කරගෙන නොමැති වුනත් ඉහත සඳහන් කළ අපහසුතා ඇතිවෙන බව තහවුරු කරගෙන තිබෙනවා. 

දැන් අපි බලමු මේ ගැටළු වලක්වා ගන්න අපිට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියල

20 / 20 / 20 නීතිය පිළිපැඳීම

ඔබ යම් ඩිජිටල් තිරයක් එක දිගට පැය භාගයකට වඩා බලන් ඉන්න කෙනෙක් නම් මේ නීතිය පිළිපැඳීම ඉතාම වැදගත්.  

මෙහිදී ඔබට අනුගමනය කරන්න තියන්නෙ හරිම සරල පියවර කීපයක්. ඒ තමයි,

පියවර 01 – විනාඩි 20 ක් ඩිජිටල් තිරය දෙස බලා හිඳීම

පියවර 02 – තත්පර 20 ක් ඩිජිටල් තිරයෙන් ඇස් ඉවතට ගෙන සිටීම

පියවර 03 – අඩි 20 ක් ඈතින් ඇති වස්තුවක් දෙස ඒ තත්පර 20 දී බලා සිටීම

ඔබට ඉතා සමීපව ඇති වස්තූන් දෙස දිගු කාලයක් බලා සිටීමට ඔබේ ඇස් නිර්මාණය වී නොමැති බව ඔබ හොඳින් මතක තබාගත යුතුමයි. 

ඒ නිසා, ඇස් වලට සහ බෙල්ලට විවේකයක් ලබාදෙන මේ සරල පියවර අනුගමනය කිරීම නම් අත්‍යාවශ්‍යයි. 

අඩු ආලෝකයක් ලැබෙන ස්ථානයක් තෝරා ගැනීම

ඔබ ඩිජිටල් තිර භාවිතා කරන විට ඒ අවට පරිසරය මඳ ආලෝකයක් නොමැති තැනක් වීම ඔබේ ඇස් වලට වැඩි පහසුවක් ලබාදෙනවා.

ඒ නිසා හොඳින් ඉර එළිය වැටෙන දීප්තිමත් ස්ථානයක ඔබේ පරිඝනකය හෝ ජංගම දුරකථනය භාවිතා කරනවට වඩා අඩු ආලෝකයක් ඇති තරමක් අඳුරු ස්ථානවල ඩිජිටල් තිර භාවිතා කිරීම වඩා යෝග්‍ය වෙනවා. 

ඒ නිසා ඔබට හැකිනම් තිර රෙදි යොදා ජනෙල් ආවරණය කරන්නත් අඩු දීප්තියක් ඇති විදුලි පහන් භාවිතා කිරීමත් එය ඔබට පහසුවක් ගෙන දේවි. 

Computer glass පැළඳීම

ඩිජිටල් තිර වලින් නිකුත්වෙන නිල් ආලෝකය ඇසට සෘජුව ඇතුළුවීම වළක්වන පරිඝනක තිර ඉදිරියේ පළඳින කණ්ණාඩි / computer glass පැළඳීම ඔබේ ඇස් ආරක්ෂා කරගන්න ඔබට අනුගමනය කරන්න පුළුවන් තවත් ඉතාම වැදගත් ක්‍රියාමාර්ගයක්.

ඊට අමතරව මේ කණ්ණාඩි නිසා

ඇස්වල පීඩනය හා තෙහෙට්ටුව අඩු කිරීම,

පෙනීම වැඩිදියුණු වීම, 

ආලෝක පරාවර්තනයෙන් ඇසට සිදුවන හානි අවම කිරීම සිදුවෙනවා.

මේ පිළිබඳව විස්තරාත්මක තොරතුරු smart lady අපේ https://smartlady.lk/article/30065/benefit-using-computer-glasses/ ලිපිය හරහා දැනගන්න ඔබට පුළුවන්. 

ඩිජිටල් තිර නිසි පරිදි සකසන්න

පරිඝනකයේ සහ ජංගම දුරකථනයේ අකුරු වල විශාලත්වය වැඩි කිරීම, නිවසේදී තිරයේ දීප්තිමත්බව (brightness) අඩු කිරීම, පරිසරයේ ආලෝකය අනුව ස්වයංක්‍රීයව තිරයේ දීප්තිමත් බව අඩු වැඩි කිරීමට ජංගම දුරකථනයට අවස්ථාව (automatic brightness setting) ලබාදීම වගේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. 

ඒ වගේම පරිඝනක හා ජංගම දුරකථන වල දකින්න ලැබෙන night mode සහ eye comfort mode වගේ පහසුකම් ලබාගන්නත් ඔබට පුළුවන්.

නිවැරදි දුර පවත්වා ගන්න

ඩිජිටල් තිර හා ඔබේ ඇස් අතර පරතරය අඩුම තරමින් අඟල් 16 ත් 18 ත් අතර ප්‍රමාණයක්වත් පවත්වා ගන්න ඔබ මතක තබා ගන්නම ඕන.

එය හිසරදය, ඇස් රිදීම, බොඳවීම, කඳුළු ගැලීම වගේ තත්වයන් වළක්වා ගන්න ඔබට උදව් වෙනවා.

ඇස් පිල්ලම් ගහන්න

ටිකක් අමුතු දෙයක් කියල ඔබට හිතුනත් ඩිජිටල් තිර භාවිතා කරන වෙලාවල් වලදී හැකි සෑම විටම ඇහි පිල්ලම් ගහන්න නම් අමතක කරන්න එපා.

ඇස් පිල්ලම් ගහන හැම වෙලාවකදීම ඔබේ ඇස්වල වියළි ගතිය ඉවත්වෙලා තෙතමනයක් ලැබෙනව වගේම තිරය දෙසට අවධානය යොමු කරන්නත් ඇස් වලට පහසුවක් ලැබෙනවා. 

මීට අමතරව,

ජංගම දුරකථනයෙන් රූපවාහිනී වැඩසටහන් හෝ චිත්‍රපට නැරඹීම හැකිතරම් අඩු කිරීම,

සමාජ මාධ්‍ය වල සැරිසැරීම සීමා කිරීම,

විවිධ සාද, උත්සව, හෝ වැඩසටහන් වලදී දුරකථනය භාවිතයෙන් වැළකීම,

ජංගම දුරකථනය නරඹමින් ආහාර ගැනීමෙන් වැළකීම වගේ සරල වෙනස්කම් කීපයක් ඔබේ ඇස් ආරක්ෂා කරගන්න ඔබ නොසිතන තරම් උදව් වෙන්න පුළුවන්.

ඉතිං, ඇස් දෙක වගේ ඔබ ඇස් දෙක බලාගන්න මේ කාරණාත් මතක තියා ගන්න කියල අපි ඔබට ආදරෙන් මතක් කරනවා. 

Related Articles

Don't Miss


Latest Articles