හිසකෙස් ගැලවී යාම වේගවත් කරන අපේ නරක පුරුදු ටිකක්

හිසකෙස් ගැලවී යාම කියන්නෙ වයස් භේදයක් හෝ කාන්තා පිරිමි භේදයකින් තොරව අපි බොහෝ දෙනෙක් අද වෙද්දි මුහුණදෙන ප්‍රධානම ගැටළුවක්නෙ.

දූෂිත පරිසරය, කාර්‍යබහුල ජීවන රටාව වගේම මානසික ආතතිය වගේ කරුණු මේ සඳහා හේතුවෙන්න පුළුවන්.

නමුත්, අපේ එදිනෙදා ජීවන රටාවේ සමහර පුරුදු නිසාත් ඔබේ හිසකෙස් ගැලවී යාම වේගවත් වෙන්න පුළුවන් කියල ඔබ කවදහරි හිතල තියෙනවද?

එහෙනම් අද ලිපිය කියවන්නකෝ.

ඔබේ හිසකෙස් ගැලවී යාම සිද්ධ වෙන්නෙ ඔබේ සමහර පුරුදු නිසාමයි කියල ඔබට තේරුන් ගන්න පුළුවන් වේවි. අපි බලමු මොනවද මේ හිසකෙස් වලට හානිකර පුරුදු කියල?

හිසකෙස් සඳහා සත්කාර කිරීම

ඔබ නිතරම හිසකෙස් වර්ණ ගන්වන කෙනෙක් නම්, හිසකෙස් වලට hair perm, relaxing, keratin හෝ straight වගේ සත්කාර කරන කෙනෙක් නම් ඒවා වලදි භාවිතා කරන සමහර රසායන ද්‍රව්‍ය නිසා ඔබේ හිසකෙස් ගැලවී යාම වේගවත් වෙන්න පුළුවන්.

රසායන ද්‍රව්‍ය වලින් වෙනස් කළ පසු ඔබ සතුව තවදුරටත් ඔබේ ස්වභාවික හිසකෙස් නොමැති බව ඔබ හොඳින් මතක තබා ගත යුතුමයි. 

ඒ නිසා ඔබ කරන සත්කාරය පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව, ආසාත්මිකතා පරීක්ෂණයකින් අනතුරුව සත්කාර කරන්න වගේම හොඳ ප්‍රමිතිගත නිෂ්පාදන භාවිත කරන්නත් එයින් පසු නිසි පරිදි හිසකෙස් නඩත්තු කරන්නත් ඔබ මතක තබාගත යුතුමයි. 

නොගැළපෙන ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතය

ඔබ හිසකෙස් ෂැම්පූ සහ කන්ඩිෂනර් කල පසු ඉතා විශාල වශයෙන් ගැලවී යනව නම්, ඔබ භාවිතා කරන නිෂ්පාදන වල ගැටළුවක් තිබෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ ඔබ ෂැම්පූ හෝ කන්ඩිෂනර් කරන ආකාරයේ වැරැද්දක් තියෙන්න පුළුවන්.

අනවශ්‍ය පරිදි වැඩි ප්‍රමාණයකින් ෂැම්පූ ඔබේ හිස්කබල මතට යෙදීම, ෂැම්පූ සහ කන්ඩිෂනර් කෙලින්ම හිසකෙස් මතට යෙදීම, හිසකෙස් තදින් ඇතිල්ලීම, හිසකෙස් වල වියළි බව ඇතිවී හිසකෙස් එකිනෙකට ඇලී හිසකෙස් ගැලවී යන්න හේතුවෙන්න පුළුවන්. 

ඒ වගේම රසායනික ෂැම්පූ වර්ග වලට වඩා ඔබේ හිසකෙස් වලට ආයුර්වේද ෂැම්පූ වර්ග සුදුසු වෙන්නත් පුළුවන්. 

ඒ නිසා ඔබට ගැළපෙන ෂැම්පූ සහ කන්ඩිෂනර් වර්ගයක් තෝරා ගැනීම නම් අනිවාර්‍යයි. 

හිසකෙස් වේලීම සහ පිරීම

හිසකෙස් වල අඟට තුවායකින් ගැසීම වගේම තෙත හිසකෙස් පනාවකින් පීරන පුරුද්දක් ඔබට තියෙන්න පුළුවන්.

හිසකෙස් වලට තුවායකින් ගැසීම නිසා හිසකෙස් අඟ පැළී හිසකෙස් වලට හානිවෙන්න පුළුවන්. තෙත හිසකෙස් ඉක්මණින් කැඩෙන්න සහ ගැටගැසෙන්න තියෙන හැකියාව වැඩියි. ඒ නිසා තෙත හිසකෙස් පනාවකින් පීරන විට හිසකෙස් කැඩී සහ ගැටගැසී හිසකෙස් වලට හානි වෙන්න පුළුවන්.

මේ දුර්වල හිසකෙස් ඉක්මණින් ගැලවී යාමේ වැඩි ඉඩකඩක් තියෙනවා. 

ඒ වගේම අධික රස්නයකින් ඔබේ හිසකෙස් වියළනය (hair dryer) භාවිතා කිරීමෙනුත් හිස්කබලට සහ හිසකෙස් වලට වන හානිය වැඩියි. අධික රස්නය නිසා හිසකෙස් වල ස්වභාවික තෙල් සහ මෘදු ගතිය ඉවත්වී හිසකෙස් වියළි සහ දුර්වල වෙන්න පුළුවන්. 

හිසකෙස් තදින් බැඳීම

හිසකෙස් තඳින් සහ ඇඳීමකට ලක්කර බැඳීම හිසකෙස් ගැලවී යන්න තවත් හේතුවක්.

හිසකෙස් නමා, අඹරීමට ලක්කරන කොණ්ඩා මෝස්තර වලින් හැකිතරම් ඈත්ව සැහැල්ලු කොණ්ඩා මෝස්තර පැළඳීමත් හිසකෙස් තද කරන කොණ්ඩ පටි, කොණ්ඩ කටු පැළඳීම සීමා කිරීමත් කරන්න පුළුවන්. 

ඒ වගේම තෙත කොණ්ඩයක් සමඟ නින්දට යන විට නින්දේදී ඔබේ හිසකෙස් කොට්ටය සමඟ තද වීමත් ඔබ පෙරළෙන විට සහ එහාමෙහා වන විට හිසකෙස් නැවීමට ලක්වීමත් නිසා කොණ්ඩය කැඩෙන්න තියෙන අවස්ථාව වැඩියි. 

ඒ නිසා තෙත කොණ්ඩය සමඟ නිදාගන්න පුරුද්ද අතහැරීම වඩා ප්‍රයෝජනවත්. 

හිස නොසේදීම

එදිනෙදා පරිසරයේ ඇති කුණු, දුහුවිලි හිස් කබලේ රැඳීම නිසා හිස් කබලට දහඩිය දැමීම, හිස්හොරි ඇතිවීම වගේ තත්වයන් ඇති කිරීම දකින්න ලැබෙනවා.

අපිරිසිදු හිස්කබල නිසා හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය සහ වාතාශ්‍රය ලැබීම සීමා වෙනව වගේම ඒ නිසා හිසකෙස් වල වර්ධනය අඩාල වීමත් හිසකෙස් දුර්වල වී ගැලවී යාමත් සිදුවෙනවා.

ඒ නිසා ඔබේ හිසකෙස් වලට ගැළපෙන මෘ දු ෂැම්පූ වර්ගයක් භාවිතයෙන් හිස් කබල හිස සෝදන්නත්, හොඳින් තෙතමනයෙ ඉවත් වූ පසු හිසකෙස් පීරා පිළිවෙලට සහ පිරිසිදුවට තබාගන්නත් අමතක කරන්න එපා. 

ආහාර පුරුදු

ඔබ කෙට්ටු වෙන්න හිතාගෙන ආහාර පාලනය කරන කෙනෙක්ද?

ඔබ ආහාර පාලනය කරන්න පටන් ගත්තට පස්සෙ ඔබ කෙට්ටු වෙනවත් එක්කම හිසකෙස් ගැලවී යාමත් වේගවත් වුණා නම් ඔබ නිවැරදි විදිහට ආහාර පාලනයක් නොකරන බව එයින් ඔබට ඉඟියක් ලබාදෙනවා. 

ඔබට අතාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසි පරිදි නොලබෙන විට හිසකෙස් ගැලවී යාම සිද්ධ වෙනවා. ඒ නිසා විටමින් සහ ඛණිජ වර්ග අඩංගු ආහාර වේලක් ලබාගන්න අමතක කරන්නත් එපා.

ඒ වගේම පර්‍යේෂණ මඟින් පෙන්වා දෙන අන්දමට දුම්බීමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස හිසකෙස් මූලවලට හානිවීම සිද්ධ වෙනවා. ඒ නිසා හිසකෙස් වර්ධනය අඩාල වෙනව වගේම හිසකෙස් ගැලවී යාමත් සිද්ධවෙනවා. 

ඒ නිසා සමබර ආහාර වේලක් ගන්නත් ශරීර සෞඛ්‍යයට අහිතකර පුරුදු අත් හරින්නත් අමතක කරන්න එපා.

මානසික ආතතිය

අනවශ්‍ය පරිදි කාර්‍යබහුල වීම මත ඇතිවෙන මානසික පීඩනය සහ නිසි පරිදි නින්දක් නොලැබීම වගේ ගැටළුත් වක්‍රාකාරව ඔබේ හිසකෙස් ගැලවී යාම වේගවත් කරන්න හේතුවෙනවා.

ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට විවේකය සහ නින්ද ලබා ගැනීම, ඔබට මානසික පීඩනය ඇතිකරන කරුණු වලින් හැකිතරම් ඈත්ව සිටීම වගේම මානසික අස්ථාවර වීම් වලදී අවශ්‍ය වෘත්තීය සහය ලබා ගැනීමත් ඉතාම වැදගත්.

නීරෝගීව සහ සන්සුන් මනසක් ඇතිව සතුටින් සැහැල්ලුවෙන් ඔබේ ජීවිතය ගත කරන්න අමතක කරන්න එපා. 

ඉතිං ඔන්න මේ පුරුදු ඔබටත් තියෙනව නම් ඔබේ හිසකෙස් ගැලවී යාමට හේතු තියෙන්නෙ ඔබ ලඟම බව දැන් ඔබට වටහා ගන්න පුළුවන්. 

මේ පුරුදු වලින් ඈත්වෙලා ඔබේ කොණ්ඩෙ හොඳින් බලාගන්න ලෑස්ති වෙමුද එහෙනම්?

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles