හැමදාම බිත්තර කන්න හොඳද?

බිත්තර කියන්නෙ අපේ ආහාර වේලට නිතරම එකතු වෙන ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරන ලාභදායීම ආහාර වලින් එකක්. 

අද පවතින ආර්ථික රටාව එක්ක මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ගමන්ම පවුලේ පෝෂණ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න වෙහෙසෙන අපේ ගෘහණියන්ට ගොඩක් වැදගත් වෙන ලිපියක් එක්ක තමයි අද අපි ඔබත් එක්ක එකතු වෙන්න තීරණය කරේ.

අපේ ආහාර වේලට බිත්තර එකතු කර ගැනීමේදී අපිට ඇතිවෙන ප්‍රධාන ගැටළු වලින් එකක් තමයි හැමදාම බිත්තර කන්න හොඳද කියන ප්‍රශ්නය. 

එහෙනම් අපි බලමු මේ ගැටළුවට විසඳගන්නෙ කොහොමද කියල.

කියන තරම්ම බිත්තර ගුණදායකද?

සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් ප්‍රෝටීන 6g කට ආසන්න ප්‍රමාණයකින් වගේම pප්‍රධාන වශයෙන් විටමින් A, විටමින් D, විටමින් E, විටමින් B12, විටමින් B9 (ෆෝලේට්) සහ ලුටෙයින් යන පෝෂක වලිනුත් සංතෘප්ත වෙනවා.  

විටමින් A, ඔබේ ඇස් වල නීරෝගී බව සහ පෙනීම වැඩිදියුණු කර, පරිවෘත්තීය ක්‍රියා සහ සෛලවල වර්ධනය උත්තේජනය කරන්නත්, 

විටමින් E, ඔක්සිකාරක හානි වලින් සෛල වලට ඇතිවිය හැකි විවිධ හානි වැළැක්වීමට ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත්, 

විටමින් B12, ස්නායු සෛල සහ රුධිර සෛල නීරෝගීව පවත්වා ගැනීමටත්, 

විටමින් D, රුධිර පීඩනය අඩු කරන්න, මානසික ඒකාග්‍රතාව පවත්වා ගන්න, අස්ථි වල ශක්තිමත් බව පවත්වාගන්නත්,  

විටමින් B9, නව රතු රුධිරාණු ඇතිවීම උත්තේජනය කරන්න වගේම ගර්භණී සමයේ කළලයේ නීරෝගී වර්ධනයටත් උපකාරී වෙනවා.

ඒ වගේම කැරට්, කහ, බතල සහ සැමන් වලත් අඩංගු වෙන කැරටිනොයිඩ ලෙස හඳුන්වන කාබනික වර්ණකයක් වන ලුටෙයින් වයසත් සමඟ ඇතිවෙන ඇස් පෙනීම දුර්වල වීම අඩුකරන්නත් උපකාරී වෙනවා. 

බිත්තර සුදු මදයේ සහ බිත්තර කහ මදයේ අඩංගු වන්නෙ එකිනෙකට වෙනස් පෝෂ්‍ය පදාර්ථයි. බිත්තර සුදුමදයේ බිත්තර වල අඩංගු සම්පූර්ණ ප්‍රෝටීන ප්‍රතිශතයෙන් 60% ක් අඩංගු වන අතර බිත්තර කහ මදයේ වැඩිපුරම කොලෙස්ට්‍රෝල් අඩංගුව පවතිනවා. 

මීට අමතරව හිසකෙස් සහ සමේ නීරෝගී බව ආරක්ෂා කරන්න, හදවත නීරෝගී කරන්න සහ ශරීරයට අවශ්‍ය ශක්තිය උපකාරී වෙන පෝෂකත් බිත්තර වල අඩංගු වෙනවා. 

ඉතිං ඇත්තටම බිත්තර කියන්නෙ කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි තරම් පෝෂ්‍ය පදාර්ථ වලින් සංතෘප්ත වී ඇති ආහාරයක් බව දැන් ඔබට වටහා ගන්නට පුළුවන් ඇති.

හැමදාම බිත්තර කන්න හොඳද?

ඔබට හෘද වාහීනි ආශ්‍රිත රෝග නැත්නම් ඒ වගේම ඔබේ රුධිරගත කොල්ස්ට්‍රෝල් මට්ටම නියමිත ලෙස පවතිනව නම් දවසකට බිත්තරයක් ආහාරයට ගැනීමේ ගැටළුවක් නැහැ.

එහෙමත් නැත්නම් ඔබට බිත්තර සුදුමද දෙකක් සහ බිත්තර කහමද එකක් දිනකට ආහාරයට ගන්නත් පුළුවන්. 

හෘද වාහීනී ආශ්‍රිත රෝග වලින් සහ රුධිරගත කොලෙස්ට්‍රෝල් මට්ටම සෞඛ්‍යාරක්ෂිත නොවන මට්ටමක පවතින ඔබ, ආහාරයට ගන්න බිත්තර ප්‍රමාණය සතියකට බිත්තර තුනකට හෝ හතරකට සීමා කිරීම වඩා ආරක්ෂිතයි. 

ඒ කොහොම වුනත් දිනකට බිත්තර කහ මද එකක් පමණක් ආහාරයට ගැනීම වඩාත් සුදුසු බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

ඒ බිත්තර කහ මදයේ ඇති සංතෘප්ත මේදය, රුධිරයේ LDL කොලෙස්ට්‍රෝල් (ශරීරයට අහිතකර කොලෙස්ට්‍රෝල්) මට්ටම වැඩි කරන්න හේතුවෙන්න පුළුවන් නිසයි.

බිත්තර ආහාරයට ගනිද්දි තෙල් එකතු කර ඔම්ලට් හෝ බිත්තර බුල්ස් – අයි ක්‍රමයට පිස ආහාරයට ගන්නවට වඩා බිත්තර තම්බා හෝ පෝච් (poach) ක්‍රමයට පිසගෙන ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. 

ඔබට හෘද රෝග, දියවැඩියාව හෝ කොලෙස්ට්‍රෝල් ඇත්නම් එහෙමත් නැත්නම් ඔබ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයෙක් නම් සතියකට ආහාරයට ගත යුතු බිත්තර ප්‍රමාණය ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර අවබෝධයක් ගැනීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි.

රුධිරයේ කොල්ස්ට්‍රෝල් මට්ටම වැඩි කරන එකම හේතුව ඔබ ආහාරයට ගන්න බිත්තර හෝ බිත්තර කහ මදය පමණක්ම නොවන බවත් අපි ඔබට මතක් කරනවා. ඒ නිසා බිත්තර සමඟ ආහාරයට ගන්න අනෙක් ආහාර ගැනත් ඔබේ සැළකිල්ල යොමුකල යුතුමයි. 

බිත්තර කියන්නෙ ඉතාම වටින ප්‍රෝටීන ප්‍රභවයක් කියල දැන් ඔබට වැටහෙනවනෙ. ඒ නිසාම සෞඛ්‍යාරක්ෂිත පරිදි බිත්තර ආහාරයට ගැනීමට මේ ලිපිය සමඟ ඔබට වැටහීමල් ලැබෙන්න ඇති කියල අපි විශ්වාස කරනව.

ඔබේ කෑම පිඟානට ගුණදායක දේවල් එකතු කරගන්න උදව් වෙන තවත් වැදගත් ලිපියක් සමඟ නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නව.

සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles