ලිංගාශ්‍රිත රෝග ගැන ඔබත් මිථ්‍යා මත දරනවා ද?

ඈ මගේ මිතුරියක්. අපි ඇයට සුධර්මා යැයි කියමු. ඇගේ පෙම් සබඳතාවට ගෙදරින් වූ බලවත් විරෝධය නිසාම සොයා දෙන ඕනෑම කෙනෙකුට කැමැත්ත දීමට ඈ සිත දැඩි කරගෙන සිටියා. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 26ක් ඇති. බාහිර පෙනුමෙන් ඇගේ පරණ පෙම්වතාට මෙන් කඩවසම් පෙනුමක් ඔහුට තිබුණේ නැහැ. කොහෙත්ම ඔහු සතුව ආකර්ෂණීය කතාබහක් හෝ හැසිරීමක් පවා ඈට සොයාගන්නට තිබුණේ නැහැ. නමුත් යමක් කමක් ඇති පවුලක තරුණයෙක් නිසා දෙමව්පියන් ඔහුට අකමැත්තක් පෙන්වූයේ නැහැ. ඉතින් විවාහය තීන්දු වුණා.  ඉතා ඉක්මණින් ඔවුන් විවාපත් වුණා. ඛේදවාචකය ඈ සොයා ආවේ ඉන් ඉක්බිතිවයි.  ඇගේ සැමියා ලිංගික බෙලහීනතාව යන කායික අඩුපාඩුවෙන් මෙන්ම එනිසාම උපන් ලිංගික සැකය යන මානසික අඩුවෙන්ද යුතු අයෙක් බව ඈට පළමු දිනයේ දීම වැටහුණා. 

 සැමියාගේ මව්පියන් පුතුගේ මේ ගැටළුව දැන සිටියා. සියල්ල ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බව පවසමින් සුධර්මාගේ පවුලෙන් මේ තත්වය වසන් කර තැබීමට ඔවුන් වගබලාගත්තා. දින කිහිපයක් ගතවුවත් කිසිදු ලිංගික සබඳතාවයක් ඇති කරගැනීමට අසමත් වූ සැමියාගේ දුර්වලතාවයට ඔහුගේ නිවැසියන් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වෙනුවට අමුතු ප්‍රතිකාරයක් ආරම්භ කළා. ඒ සැමියාගේ රහස් ප්‍රදේශයට පොල්කටු අඟුරු දුම් ඇල්ලීමය. ඉන් ඔහුගේ දුර්වලතාව සමනය වෙතැයි ඔවුන් විශ්වාස කළා. ඒ  ප්‍රතිකාරයේ බලය කෙතරම්ද කියනවා නම් සති කීපයක් තුළ ඈ දීගය හැරදමා ගෙදර පැමිණියා. 

තාක්ෂණය, සන්නිවේදනය සමඟ දැනුම අලුත් කරමින් අප කොයිතරම් යාවත්කාලීන වුණත්, මිනිසුන් මිත්‍යා විශ්වාසවලින් ගැලවී නැති බවට මේ හොඳ නිදසුනක්. වෛද්‍ය  විද්‍යාව තුළ පැහැදිලි ප්‍රතිකාර ක්‍රම තිබිය දී පවා ලිංගිකත්වය හා බැඳුණු මිථ්‍යා මත සමාජයේ මේ තරමට ම ප්‍රචලිතව පැවතීම ඇත්තෙන් ම ඉතා ඛේදනීය තත්වයක්. 

ලිංගික දුබලතා,  ලිංගික ක්‍රියාවලිය සම්බන්ධව පමණක් නොවෙයි, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳවත් බොහෝ මිථ්‍යා මතවාද අපේ සමාජයේ ඉතා බහුලයි. ඒවා පිළිබඳව කාන්තා අප දැනුවත් විය යුත්තේ අපේ ආරක්ෂාව සඳහා පමණක් නොව අපේ පවුල, දරුවන් සහ අපේ හිතමිතුරන්ද මේ සම්බන්ධව අර්බුදකාරී අවස්ථාවන් වෙත ළඟා වීමෙන් වැළැක්වීමටයි. මේ ලිපියෙන් අප ඔබේ අවධානය යොමුකරන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සම්බන්ධව ඇති මිථ්‍යා මත කිහිපයක් පිළිබඳවයි. 

මුඛ සංසර්ගය නම් කමක් නැහැ.

මුඛ සංසර්ගය යනු ලිංගික රෝග බෝ වීමට ඉඩ ඇති ලිංගික ක්‍රියාකාරකමකි. මුඛ සංසර්ගෙයේ පමණක් යෙදීමෙන් කන්‍යාභාවය රැක ගැනීමට හැකි වුවත්, ගැබ් ගැනීමෙන් වැළකීමටත් අවස්ථාවක් ලැබුණත් ලිංගික රෝගවලින් ආරක්ෂාවක් එමගින් නොලැබේ. එමගින් ගොනෝරියා, හර්පීස් සහ සිපිලිස් වැනි රෝග ඇති වීමට අවස්ථාව තිබේ.

හොඳට හෝදගත්තම හරි 

බොහෝ අය ලිංගික  ක්‍රියාවලියෙන් පසු විශබීජනාශක හෝ සබන් යොදා සෝදා ගැනීම මගින් ලිංගික රෝග බෝ වීම අවම වන බව විශ්වාස කරති. එයින් ලිංගාශ්‍රිතව ඇති පවිත්‍රතාවය රැක ගැනීමට හැකි වුවත් ලිංගික රෝග බෝ වීම අවම නොකරයි. 

එයාට තියෙනව නම් මම දන්නවා නේ? 

රෝගාබාධ ඇති අය පහසුවෙන් හඳුනාගත හැකිය යන්න තවත් එක් මිථ්‍යාවකි. ඇතැම් රෝගවල මූලික ලක්ෂණ පෙන්වනු ලබන්නේ ශරීර ගත වී දිගු කලක් ගත වූ පසුවය. එබැවින් බාහිරින් නිරෝගී බව පෙනෙන පුද්ගලයෙකු සමග යහන් ගත වන කෙනෙකු යහනෙන් බැස යන්නේ ලිංගාශ්‍රිත රෝගයක් සමග විය හැකිය. 

අපි ඉතින් වටේ යන්නෙ නැහැනේ.

ලිංගාශ්‍රිත රෝග බෝ වන්නේ බොහෝ පිරිසක් සමග සංසර්ගයේ යෙදීමෙන් බව සිතීම තවත් එක් මිථ්‍යාවකි. ඔබ ආරක්ෂිත වුවත් ඔබ සමග එකතු වෙන කෙනා රැගෙන එන රෝග ඔබට වැළඳිය හැකිය. ලිංගිකත්වය සම්බන්ධව වඩාත් ආරක්ෂාකාරී වන්නැයි කියන්නේ එබැවිනි. ඔබ ලිංගිකව එක් වන්නේ එක් අයෙකු හෝ සීමිත පිරිසක් සමග වුවත් නියමිත රෝග වැළැක්වීමේ පියවර අනුගමනය කරන්න. එසේත් නොමැති නම් ඔබේ සහකුරුගේ විශ්වසනීයත්වය පිළිබඳව අවධානය යොමු කරන්න. 

ඒඩ්ස් තියෙන කෙනෙක් නම් ඉතින් කිස් කරත් ඇති.

සිප ගැනීමෙන් පවා ඒඩ්ස් බෝ විය හැකි බව බොහෝ දෙනෙකු විශ්වාස කරති. එහෙත් සත්‍ය වන්නේ කෙළ මගින් එච් අයි වී නොහොත් ඒඩ්ස් බෝ නොවන බවය. එච්. අයි වී. සිප ගැනීමකින් බෝ වීමට ඇත්තේ ඉතාම අඩු ඉඩකඩක්  වන අතර, එසේ වීමට නම් ලිංගිකව එක්වන දෙදෙනාටම විදුරුමස් වලින් ලේ ගැලීමේ තත්ත්වය හෝ වෙනත් මුඛ තුවාල තිබිය යුතුය. නමුත් සිප ගැනීම මගින් වෙනත් ලිංගාශ්‍රිත රෝග බෝ වීමේ අවදානමක් ඇත. එහෙත් ශිෂ්ණය හෝ වෘෂණ කෝෂ මුඛ මාර්ගයෙන් සිපගැනීම් තුළ එම අවයවයන්හි කිසියම් ආසාදිත තත්ත්වයක් පැවතුණහොත් රෝග බෝවීමේ අවදානමක් පවතී.

පොදු වැසිකිළියෙදිත් බෝ වෙන්න පුළුවන්

මෙය නිවැරදි මතයක් නොවේ. ලිංගාශ්‍රිත රෝගවලට හේතුවන වෛරස හෝ බැක්ටීරියා ආදී විශබීජ මානව ශරීරයෙන් පිටත වෙනත් මතුපිටක සජීවීව නොපවතී. වැසිකිළි අසුන මගින් හෝ වෙනත් උපාංගයක් මත තිබී හෝ එබඳු රෝග බීජයක් ශරීරගත වූ අවස්ථා පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක වාර්තා නැත. 

හපෝ!  ඕවා බලන්න යන්න පුළුවන්ද? 

ලිංගික රෝග පිළිබඳව පරීක්ෂා කරවා ගැනීම්වලට යාමට බොහෝ දෙනෙකු මැලි වෙති. එයට හේතුව නම් පෞද්ගලිකත්වයට හානියක් සිදු වේය යන අනියත බියයි. නමුත් සැබෑව වන්නේ, ඔබ එවන් තැනකට යන විට සිටින්නේ කිසිම හැඳුනුම්කමක් නැති පිරිසකි. ඇතැම්විට ඔබේ නම ගම පවා සැඟවීමට ඔබට හැක. එවන් සායනවල සිටින සුළු සේවකයන්ට පවා මේ පිළිබඳව දැනුමක් ඇති අතර රෝගීන් හෝ සේවා ලබා ගන්නන්ගේ පෞද්ගලිකත්වය රැකීමට ඔවුන් බැඳී සිටී. 

එමෙන්ම අනෙක් සායනවලට සාපේක්ෂව මිත්‍රශීලී සහ රස්තියාදුවෙන් තොර සේවා සලසන්නට මෙම සායන සහ ඒකකවල කාර්යමණ්ඩල සමත් වේ. එබැවින් අනාරක්ෂිත ලිංගික හැසිරීම් ඔබට තිබිණි හෝ ඔබේ සහකරු ගැන සැකයක් ඇති වී නම් කළ යුතු හොඳම දේ වන්නේ එවන් සායනයකට ගොස් පරීක්ෂා කරවා ගැනීමය. 

හැදුණොත් ඉතින් ඉවරම තමා.

ලිංගික රෝගවලින් ආරක්ෂා වීමට ඇති හොඳම ක්‍රමය නම් ඒවා ශරීරගත වීමට ඇති අවස්ථා අවම කරගැනීමය. එම ආරක්ෂාව සලසා ගැනීමට උත්සාහ ගන්නැයි කීම මේ සම්බන්ධ ප්‍රමුඛතම වෛද්‍ය උපදෙසයි. එහෙත් එවන් රෝගයක් වැළඳීමෙන් ජීවිතය සපුරා විනාශ වීමක් සිදු නොවේ. නිසි ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරමින් ඒවා සම්පූර්ණයෙන්ම සුව කිරීමට හෝ තාවකාලිකව අඩපණ කිරීමට තරම් වෛද්‍ය විද්‍යාව අද දියුණුය. 

ඒ අනුව හඳුනාගෙන ඇති ප්‍රබල ලිංගාශ්‍රිත රෝග අටෙන් හතරක් සපුරා සුව කළ හැකි අතර අනෙක් අට අඩපණ කිරීමට හෝ පාලනය කිරීමට හැකියාව ඇත. සිපිලිස්, ගොනෝරියා, සුදු බිංදුම යන රෝග සුව කළ හැකි අතර එච්අයිවී ඒඩ්ස්, හෙපටයිටිස් බී, හරිපීස් සහ පැපිලෝමා වෛරසය සුව කළ නොහැකි වේ. 

කෙසේ වුවද මේ පිළිබඳව වෛද්‍ය වෘත්තිකයන් දක්වන අදහස වන්නේ වෙනත් ඕනෑම ලෙඩකට මෙන් මෙවන් රෝගවලට ද නිසි ප්‍රතිකාර ගැනීමට කිසි සේත් මැලි විය යුතු නැති බවයි. ලිංගාශ්‍රිත රෝග වළක්වා ගැනීමෙන් සහ ඒ සම්බන්ධව දැනුවත් වීමෙන් මිථ්‍යා මත බැහැර කිරීම අතිශයින්ම වැදගත් වේ. එයින් නිරෝගී සහ ලෙඩ රෝග පිළිබඳ මනා දැනීමක් ඇති කාන්තාවක් වන්නටත් මිත්‍යා මත සමාජයෙන් උදුරා දැමීමේ මෙහෙවරට එක්වන්නටත් ඔබටත් මටත් අවස්ථාව සැලසෙයි

Related Articles

Don't Miss


Latest Articles