රන් මල් දම් – 55

මන්දාරම් දින දෙකක් නිවාඩු ලබා යළි සේවයට වාර්තා කලේය, එදිනම පසන් රණවීර සමඟ සාකච්චාවක් වෙනුවෙන් වෙලාව වෙන්ව ඇති බව ඔහු දැනගත්තේ සේවයට වාර්තා කලාට පසුවය.  සැනින් සිහි වූයේ එදින රැයේ නිම්නාවී ඔහුගේ පසෙකින් ඇවිද ගිය අයුරුය. නිම්නාවී ඔහුගේ පසෙකින් හිඳ උන් අයුරුය. ඉන් පසුව සැනින් ජිනේන්ද්‍ර පැවසූවද සිහි විය.

“නිම්නාවීගේ තාත්තා නිම්නාවීව ඩිෆෙන්ස් කරන්න අරගෙන … පසන්ට කියලා ආයේ නිම්නාවිව මීට් වෙන්නත් එපා කියලා … අම්මාටත් ටිකක් තදින් කතා කරලා කියලා තමයි කිව්වේ.. මේ සිද්දිය මේ විදියට නොවුනා නම්, තාත්තාගේ හිතේඒ  ආදරේ එලි නොවෙන්නම තිබ්බා කියලා පොර කියන්නේ..එහෙම නොවුනා නම් නිම්නාවීගේ ජීවිතේ මෙහෙම වෙනස් නොවෙන්නම තිබුනාලු.”

ජිනේන්ද්‍ර ඉන් පසුව පැවසූ ආකාරයට පසන් සහ නිම්නාවීගේ පියා අතර යම් උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව ඇත. අවසානයේ පසන් නිවෙසින් නික්ම ගොස් ඇත්තේ කෙලෙසකින් හෝ නිම්නාවී ලබා ගන්නා බවට දිවුරා බවද ජිනේන්ද්‍ර පැවසූ බව මන්දාරම්ට සිහි විය.

මන්දාරම් මොහොතක් දැස් වසාගෙන උන්නේය. ඉන් පසුව කැබිනය තුල අඩි කිහිපයක් ඇවිද්දේය, කෙලෙසක හෝ මෙම හමුව වෙනුවෙන් තමාටද සහභාගී වීමට සිදුවන බව අවධාරණය කරගත්තේය. ඉන් පසුව අදාල ලිපි ගොනු සකස් කර ගත්තේය.

පසන් රණවීර  නියම වෙලාවට වැඩ කරන මිනිසෙකු බව මන්දාරම් දැන උන්නේය. හමුව යොදාගෙන තිබුනේ පස්වරු එකටය. මන්දාරම් දොළහයි හතලිස්පහට රැස්වීම් කාමරය වෙතට ඇතුළු වූයේය. කිහිප දෙනෙකු රැස්වීම් කාමරය සකසමින් උන්නේය.

මන්දාරම් අන් පිරිස සමඟින් හමුවට අදාල කාරණා පිළිබඳව කතා බහ කරමින් උන්නේය. පසන් එක හමාර පසුවනතුරුද පැමිණියේ නැත. අවසානයේ ඔහු පැමිණියේ කලබලයෙන් ඇමතුමක යෙදී සිටින අතරේමය. මන්දාරම් අසලින් පසන් පසු වෙද්දී ඒ කතා බහ මන්දාරම්ට ඉතා හොඳින් ඇසුණි. ඒ ඇසෙද්දීම හදවත එය වහා ග්‍රහණයද කර ගත්තේය.

” මට ඔය බයිලා වැඩක් නෑ.. ඩයස් මට  අදාලත් නෑ..පැයකට දෙකකට හරි මට ඒකි ඕනිමයි … හිතුණොත් මං ඒකිව බලෙන්ම බඳිනවා..බැඳලා ඩිවෝස් එක නොදී ඉන්නවා.. බලමු මහ එකා එතකොට කරන හැටි ……”

ජිනේන්ද්‍ර පැවසූ කතාව සමඟ සියල්ල ගැලපෙන්නට මන්දාරම්ට වැඩි වෙලා අවශ්‍ය වූයේ නැත. හද ගැස්ම ඉතා වේගවත්ව නැඟුණි. කල යුත්තේ කුමක්දැයි වැටහුනේ නැත. ඔහු චානකට පණීව්ඩයක් යැව්වේය.

” චානා ක්ලාස් ඉවර වෙලා ජිනේන්ද්‍ර  අයියා මුණ ගැහෙන්න යන්න ඕනි …උඹ අදටත් අම්මා ළඟට නංගීව සෙට් කරහං නර්ස් ගියාම ….”

තාවකාලිකව පෞද්ගලික රෝහලකින් ගෙන්වා ගත් හෙදිය සවස හය වන විට නික්මෙන්නේය, ඉන් පසුව චානකගේ පෙම්වතියව අදත් අම්මා ළඟ තබන්නට මන්දාරම් ක්ෂණිකව සැලසුම් කලේය. මේවා මෙහෙම කරන්නේ ඇයිදැයි ඇයට වැටහෙන්නේ නැත. එහෙත් සිදු කල යුතු බව ඉන්තේරුවෙන්ම වැටහෙන්නේය.

” මොකෝ එක පාරටම ?…”

චානක පෙරලා විමසා තිබුණි.

” උඹ ඔහොමම අපේ ඔෆිස් එකට වරෙන් .. ආවම කියන්නම් ..පසන් එක්ක මීටින් එකක් දැන්…”

චානක ඒ කෙටි පණිවිඩයේ අග වචන කිහිපය දුටු වහාම තිගැස්සුණේය.

” පිස්සු නටන්න නම් තියාගන්න එපා..උන්ගේ ගිණි උන්ට නිවාගන්න දියං …”

” හරි බං ..උඹ වරෙන් ….”

පසන් වෙනදා වූ ඒකාග්‍රතාවයෙන් හමුවේ නොවුන් බව මන්දාරම්ට සේම අනෙක් සගයන්ටද වැටහුනේය. ඒ තියා පසන්ටද කිහිප වතාවකම පැවසිය යුතු දෑ සිතා ගත නොහැකිව සිර වූයේය.

අවසානයේ ඔහු පිරිසෙන් සමාව අයැද, හමුව සඳහා වෙනත් දිනක් යොදා ගැනීම පිළිබඳව විමසුවේය. ඒ පිළිබඳව එකඟතාවයෙන් පසු පසන් නික්මුනේද කිසිවෙකු හා ඇමතුමක හිඳගෙනමය.

” සල්ලිකාරයෝ නේ.. මේක නැත්නම් ඒක වෙන්න බිස්නස් තියෙනවානේ ..මොකක් හරි ගෑණු  හුටපටයක් ..  මහ එකා දන්නේ නෑ මගේ හැටි … ඒකි දන්නේත් නෑ තවම පසන් කියන්නේ කවුද කියලා කාට හරි බැණගෙනමයි ලිෆ්ට් එකෙන් බැස්සේ…”

තම කාර්‍යාලයේ අයෙකු තවකෙකුට පවසනු මන්දාරම් අසා උන්නේය. ජිනේන්ද්‍ර පැවසූ ආකාරයට නිම්නාවීගේ පියා පසන් හා දැඩි එදිරිවීමකින් සිටින බව පැහැදිලිය,

සිදුවීම දැනගත් චානක මන්දාරම් ගන්නා තීරණයකට එකංග වී නිහඬ වූයේය, එනිසා ජිනේන්ද්‍රට තුමක් ලබාදී ඔහුට පානදුර අවන්හලක් වෙත එන ලෙස පවසා මන්දාරම් සහ චානක පිටත් වූහ.

” මේක තනිකරම මහ පටලැවිල්ලක් බං .. සේරටම වැඩිය ප්‍රහේලිකාව ඔය නිම්නාවී කියන එකී ..පසන් කියන මිනිහාව බඳින්න ඒකිට උවමනාවක් තිබ්බේ නැත්නම් ඔය අවුරුද්දක්ද, දෙකක්ද කොහෙද ඒකි මොන මඟුලකටද ඌ එක්ක නඩත්තු වෙලා තියෙන්නේ…? වැඩක්ම නැති වැඩක්නේ …”

” අපි ඔහොම හිතන්නේ උඹයි, මමයි දන්න කාරණා ටිකෙන් නේ බං…”

මන්දාරම් චානක දෙස නොබලා, සුක්කානම එක් අතකින් හසුරුවමින් කීවේය.

” දැන් උඹ හැරෙන්නේ මොකාටද කියලා හිටහංකෝ …ඉස්සෙල්ලාම … ජිනේන්ද්‍ර අයියා අර සීසීටීවී පෙන්නපු වෙලේ පොල්ලෙන් ගහපු නයා වගේ එහෙට මෙහෙට පිබ පිබ ඉඳලා, ඒකි අද තමයි මන්දාරම්ගේ හැටි දැනගන්නේ ඒකයි මේකයි කියලා, පොලිසිත් ගිහිල්ලා, ඒකිගේ තාත්තාට ටෝක් කරලා, ඒකිව කූඩුවට නොදැම්මත් රැයක් පොලිසියෙත් තියලා, ඒකිගේ මූණට හිනාවෙන්නේවත් නැතුව ඇවිල්ලා… දැන් මේ එක එක සිද්දි ජස්ටිෆයි කර කර උබ මොකක්ද බං කරන්න හදන්නේ ?….”

චානක එක හුස්මටම විමසුවේය. මන්දාරම් සිනාසුණා පමණි.

” හිනාවෙයං උඹ පස්සේ..ඉස්සෙල්ලම මේ යන ගමනේ සංක්ශිප්ත අරමුණ හරි මට කියහං …”

” ආදරේ …”

මන්දාරම් එක්වරම කීවේය. චානක ගේ මුව අඟුළු වැටුණේය. මන්දාරම් යළි එයම කීවේය.

” මේ යන ගමනේ සංක්ෂිප්ත අරමුණ ආදරේ චානා … තව  හිතලා බැලුවම ඒකි අම්මාව හප්පලා දාලා ගියාට වඩා බලු වැඩක් මම ඒකිට කලා කියන වරදෙන් මිදෙන්න යන ගමනක් මේ … අරාකාර කෝටිපති පවුලක වැඩිමල් කෙල්ල, අපේ ගෙදරට එහෙම බොරුවක් ගොතාගෙන ඇවිල්ලා, අම්මගේ ඔක්කොම වැඩ කරලා, අඔඉට කන්න උයලත් දීලා, තිබ්බොත් රෙදිත් සෝදලා වනලා, මගේ ඇස් වලින් ඒකිගේ ජීවිතේ සැනසීම හොයාගන්න හදපු එකට කලගුණ සලකන්න යන්නේ මේ …. නිම්නාවී බොරුවක් කලේ නෑ බං .. එදා අන්තිම දවසේ යනකොටත් ඒකි මට ආදරේ බව පෙන්නලයි ගියෙ.. ඒත් එදා ගෙදර ගියහම මොකක්ම හරි කාරණාවක් ඒකිව ආපස්සට ඇද්දා .. දන්නෙ නෑ ඒක මොකක්ද කියලා…”

චානක මිතුරා දෙස බලා උන්නෙ වෙස් පෙරලීමේ සීග්‍රතාවය සහ කෝණය වටහා ගන්නට නොහැකිව මෙන් ය.  නිම්නාවී නම ඇසෙනවිටත් පරල වෙන්නට බලා උන් මිනිසාය මේ.

” යසයි …”

චානම අවසානයේ කීවේය. මන්දාරම් යළි සිනාසුනේය.

” දැන් නිම්නාවී කියන්නේ මන්දාරම්ට අල්ලන්නවත් බැරි අහසක පායපු තරුවක් බං… ඒක මට නොතේරෙනවා නෙවෙයි … ඒත් මේ වගකීම ඉවර කරමු … පසන් බලන් ඉන්නේ නිම්නාවිව කොහොම හරි කොටු කරගන්න ….ඒක ජිනේන්ද්‍ර අයියා හරහා දිලුම්ට කියන්න ඕනි … ඉතා ඉක්මනින් …”

” මට තේරෙන්නේ නෑ බං ඔය ලොජික් ….”

” තේරුම් ගන්න උත්සාහ නොකර ඉමු බං … ජීවිතේ මෙහෙම තමයි .. අත ලඟටම එන සමහර වාසනාවන්ත තත්පර අල්ලගන්න කලින් අතුරුදන් වෙනවා…”

” පිස්සෙක් වගේ කියවන්නෙපා බං … නිම්නාවී හිතාගෙන ඉන්නේ උඹ ඒකි එක්ක මරාගෙන මැරෙන්න තරහෙන් ඉන්නේ කියලා … උඹ එදා හැසිරුණ විදියට එහෙම හිතන එකේ වරදකුත් නෑනේ…”

“ඉතින් ……”

” උඹ ඔය කියන දුර අහසේ තියෙන තරුව වල්ගා තරුවක් වෙලා උඹේ ඔඩොක්කුවට කඩාගෙන වැටෙන්න පුලුවන් කියලා කිව්වේ ඒ ….”

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles