“මම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි නිසා මම දන්නෙ නෑ මල්ලි ඇත්තටම ඔයාගෙ කන්ඩිශන් එක මොකද්ද කියලා කියන්නෙ. සමහරවිට ඇක්සිඩන්ට් එකෙන් වෙච්ච ශොක් එක නිසා ඔයාට නිකන් එක එක දේවල් මතක් වෙනවා වෙන්නත් පුලුවන්. එහෙම නැත්තම් ඇත්තටම මල්ලි අපි දන්නෙ නැති උනාට ඔයාට හම්බුන කෙනෙක් වෙන්න පුලුවන්. ඔයාගෙ ජීවිතේ ඉඳපු හැමෝම අපි දන්නෙ නෑනෙ. ඔයා කෝකටත් ලක්ශාන් මල්ලිට කතා කරලා බලන්න”
“ලක්ශාන්ට කතා කරල අහන්න පුලුවන්. ඒ උනාට මට ඒ මනුස්සයවත්, ඒ මනුස්සය එක්ක මට තිබ්බෙ මොන වගේ සම්බන්ධයක්ද කියලවත් මතක නැතුව මේ වගේ දේකට කතා කරාම එයා උනත් වරදක් හිතන්න පුලුවන් නේද?”
“අනේ මල්ලි මම කවදාවත් හිතන්නෙ නෑ ලක්ශාන් නම් එහෙම හිතාවි කියලා. ඒ ළමයා කොච්චර වොරි උනාද කියල මම නෙ මල්ලි දන්නෙ ඔයා ඇක්සිඩන්ට් වෙච්ච වෙලේ. ඒ ළමය තකහනියෙ මෙහෙ ආවත් එක්ක ඔයා සිහිය නැතිවෙලා ඉද්දි බලන්න. එහෙම එකේ ඔයා මේ වගේ දේකට ඒ ළමයට කෝල් කරා කියල වරදක් හිතාවි කියල මම හිතන්නෙ නැ. අනික ඉතින් ඔයාගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නෙ. දන්නෙ නැතෑ ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා එහෙම ගැන’ කියා අක්කා නෝන්ඩි හිනාවක් දැම්මට නෙවින්ට ඒ කිසිත් මතක නැත. තමන් අතීතයේ ජීවත් වුණායැයි කියන ඉතාම කඩවසම්, හිනාවෙමින් උන්නු, කෙල්ලන් වටකරගෙන උන්නු නෙවින් මාධූර්‍ය සේනාරත්න වනාහී තමන්ටත් අමතක, නුපුරුදු මිනිසෙකි.
ගූගල් එකට ගොස් නෙවින් සේනාරත්න කියා සර්ච් කල විට එන මිස්ටර් ශ්‍රී ලංකා පැජන්ට් වලද, රෑම්ප් වෝක් වලද, ඇඩ්වටීස්මන්ට් වලද පෙනී උන්නේ තමාමද කියාත් තමන් රාත්‍රියේ කල්පනා කරමින් සිතූ බව ඇත්තකි. ඒ පින්තුර අස්සේ තමන්ගේ ලඟින් ඉන්න ගැහැණු ළමයෙකු ඉන්නවද කියා හෙව්වේය. ඒ පින්තුර අතර බොහෝ තැන්වල තමාගේ ලඟින් කෙල්ලක් කොච්චර උන්නත් ඒ හිනෙන් දකින මුහුණුවර ඒ කිසිම කෙල්ලකගේ මුහුණේ ඇඳි තිබුණේ නැත.
හැම රැයක්ම ගෙවුණේ ඒ එකම ප්‍රශ්නය අහන හීනයෙනි.
“මගේ විතරයි නේද?” කියා අහන ඇය කවුද කියා දන්නෙ නැතත් ඇයව දකින්න, කතාකරන්න, හමුවෙන්න හිත මෙච්චර වලිකන්නේ ඇයිද කියන එක නෙවින්ට ප්‍රශ්නයකි. අනෙක් අතට තමන් කොහොමත් ඉන්නේ තමන්ගෙ අතීතයේ වෙච්ච දේවල් මොනවද කියා දැනගන්න ආසාවකිනි. අක්කා දන්න දේවල් ටික අක්කා කිව්වද, අන්තර්ජාලය දන්න දේවල් ටික අන්තරජාලය පීරා හොයාගත්තද, ඒ කිසිවෙකුත් නොදන්නා යම් කිසි බැඳිමක් තමන්ට මේ හිනෙන් පෙනෙන කෙල්ල එක්ක තිබී ඇති බව ඒ හීන කියයි.
“මං කාත් එක්ක හරි අෆෙයාර් එකක් තිබිලා තියෙනවා. අෆෙයාර් එකක් නැතුව කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් අහන්නෙ නෑනෙ මගේ විතරයි නේද?” කියලා. මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳියනම් එයා මේ වෙච්ච සිද්දි එක්ක මට කතා කරන්න ඕනනෙ. එහෙම කතා කරේ නෑ කියන්නෙ එයා අපේ අක්කලගෙ එහෙම නම්බර්ස් දන්නෙ නෑ කියන එකනෙ. මගෙ ෆෝන් එක ඩැමේජ් උනාට පස්සෙ මට එෆ් බී අයි ජී ලොග් වෙන්න බැරි එකේ එයා මට මැසේජස් එවලද දන්නෙ නෑ? මට පාස්වර්ඩ් මුකුත් මතක නෑනෙ. සමහරවිට මම ඔස්ට්‍රේලියා එන්න කලින් එයා එක්ක යාලුවෙලා ඉන්න ඇති. කාටවත් කියලා නෑ කියන්නෙ යාලුවෙලා ගොඩක් කල් වෙන්න බෑනෙ” කියා හිත ඇතුලෙන්ම කියන කතාවට නෙවින් රුකුල් දුන්නේය.
ලක්ශාන්ට දුරකතන ඇමතුම දුන්නේ ඒ අනුවය.
“මට ඇත්තටම උඹව මතක නෑ කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ මචං. මං නිකන් මට උඹව මතකයි වගේ බොරුවට රඟපාන්න ඕනත් නෑනේ”
“උඹ ඔහොම කතාකරද්දි මටත් උඹව අමතකයි වගේ නෙවියා. උඹ කවදාවත් ඔහොම කතා කරලා නෑනෙ. උඹ බීලා උන්නු වෙලාවකවත් ඔහොම කතා කල ඩයල් එකක් නෙවෙයිනෙ. ඒව මොක උනත් උඹ ආයෙ ඔහොම ඉන්න එක මට මාර වටිනවා. උඹ ආයෙ කවද්ද ඇවිල්ල මේව භාරගන්නෙ?”
“මොනවද?”
“ඇයි බං උඹේ අපාට්මන්ට් එක දැන් සෑහෙන කාලයක් තිස්සෙ වහලා දාලා තියෙන්නෙ. උඹ එනකම් මං බිස්නස් එක එහෙම බලාගත්ත එක ඇත්ත. ඒත් බං මේවා උඹේනේ. උඹ ආයෙ ඇවිත් මේව බලන්න ඕන නේද? මොඩ්ල් ඒජන්සි එකේ මිනිස්සුත් බලන් ඉන්නෙ, ඒවට නම් උඹට නිවාඩු පාඩුවේ යන්න ඇහැකි.
තාරුකත් නිතරම උඹව මතක් කරනවා. තාරුකත් ප්‍රෙග්නන්ට් නෙ බං”
“තාරුකා කිව්වෙ කවුද?”
“අප්පා මට අමතක උනානෙ උඹට මතක නෑනෙ කියල. මගේ වයිෆ් නෙ බං. උඹ මාත් එක්ක ඒකිව අමතකයි කියල කිව්වට කමක් නෑ බුදු අම්මෙ නෙවියො ඒකි ඉස්සරහ නම් අමතකයි වගේ රඟපාන්නවත් එපා. අන්තිමේ ඒකට නාහෙන් අඬල උඹේ වාහනේ හැප්පිච්ච එකාගෙ අම්මලට හිට බණින්න ගනී. මං නෙ දන්නෙ” කියා ලක්ශාන් හිනා වෙවී කියද්දිත් නෙවින් ඒකට හිනාවෙන්න පවා දෙතොල් මෑත් කරගත්තේ අපහසුවෙනි. හිත කියන්නේම “දැන් අහන්න ලක්ශාන්ගෙන්” අර ගැන කියා උනත් කතාව පටන් ගන්න ඕන කොහොමද කියා හිතාගන්න බැරිය. එහෙත් ලක්ශාන් දන්න දෙයක් අහගන්න පුලුවන් වෙන්නේ ඉතින් කතාව කොහෙන් හෝ පටන් ගත්තොත් විතරය.
“මං ඇත්තටම කතා කලේ මචං උඹෙන් උදව්වක් ඉල්ලගන්න. මං දන්නෙ නෑ මං මෙහෙම කතා නොකර ඉඳලා මේ වගේ දේකට උඹට කතා කල එකවත් හරිද කියලා. ඒත් මගෙ ඔලුවට මාර කරදරයක් මේක. මට වෙන කතාකරන්න කෙනෙක් නති නිසාමයි අක්කා කිව්වෙ උඹට කතා කරලා බලන්න කියලා” නෙවින් කියද්දේ මේ කියන්නේ යන්නේ වෙනස් වගේම වැදගත් දෙයක් වන්නට හැකි බව ලක්ශාන් තේරුම්ගත්තේ නෙවින්ගේ කට හඬේ රැඳී තිබිච්ච ස්වරයෙනි. මනුස්සයෙකුට තමන් ජීවත්වෙච්ච අවුරුදු තිස් අටක අතීතයක අමතකව යනවා යැයි කියන එක ඇත්තටම දරාගන්න අමාරු දෙයකි. අවුරුදු තිස් අටක් පුරා එක් රැස් කරගත් දුක හිතෙන සතුටු හිතෙන, පරිස්සම් කරගන්න මහන්සි වෙච්ච මතක ආයෙ නැති වී ගියයින් පස්සේ හොයාගන්න, බැක් අප් කරගන්න හැකියාවක් ඩිවයිස් එකකට වගේ මනුස්සයෙක්ට හැකියාවක් නැත. අනෙක් අතට නෙවින්ගේ අක්කාගෙන් දැනගත්ත හැටියට නෙවින් ගේ මතකය ආයෙ කිසි දිනක එන්න ඉඩ තියෙන එකක් ද නොවේ. ඔහු ජීවිතය ඉස්සරහට ගෙවාගත යුත්තේ තමන්ගෙන් සහ අනෙක් හිතවතුන්ගෙන් අහගත්ත දේවල් මත බව ලක්ශාන් නොදන්නවා නොවේ. \
“ඕන දෙයක් අහපං මචං, මට උදව් කරන්න පුලුවන් දෙයක් නම් මම උදව් නොකර ඉන්නෙ නෑ කියල උඹ කෙසේ වෙතත් ඉස්සර උන්නු නෙවින් නම් දැනගෙන හිටියා. ඒ හන්දා බය නැතුව ඕන දෙයක් අහපන්”
“ලක්ශාන් මචං මට කවුරු හරි කෙල්ලෙක් හිටියද? මට අෆෙයාර් එකක් තිබ්බද?” කියා නෙවින් එකපාර අහද්දි තමන් කල යුත්තේ “එක කෙල්ලෙක්? එකෙක් නෙවෙයි බං උඹට කෙල්ලො කීයක් නම් උන්නද?” කියා විහිලුවක් කරන්නද “ඇයි බං උඹ එහෙම ඇහුවෙ?” කියා අහන්නද කියා ලක්ශාන්ට හිතාගන්න නොහැකිය.
නෙවින් ආපසු කතාව ඇරඹුවේ ලක්ශාන් එහෙම හිතමින් උන්නු නිහඬතාවය අතරවාරයේය.
“මං එකපාර මෙහෙම කතා කරලා උඹෙන් එහෙම අහපු එක ගැන උඹට පුදුම ඇති. ඒ උනාට මට ඇත්තටම පොඩි ප්‍රශ්නයක්. පොඩි නෙවෙයි බං මගෙ ඔලුවට ලොකු ප්‍රශ්නයක්” කියා නෙවින් කියන්න පටන් ගත්ත හීනය ගැන කතාව ගැන තමන් කියන්න ඕන කුමක්ද කියා ඇත්තටම ලක්ශාන්ට හිතාගන්න බැරිය.
“දැන් ඔය කියන කෙල්ලගෙ රූපෙ ඇඳිලා තියෙන්නෙ උඹේ හිතේ විතරනෙ. මම දැකලා නෑනෙ, උඹට මම උඹ කතා බහ කරපු කෙල්ලන්ගෙ ෆොටෝ එහෙම එවන්නම් බලන්න. උඹ බලපන් ඒ ෆොටෝ වල උඹ ඔය කියන කෙල්ල ඉන්නවද කියල? එහෙම නැත්තම් කරන්න තියෙන්නෙ එක දෙයයි බං”
“මොකද්ද?”
“උඹ ලංකාවට ඇවිත් උඹේ අපාට්මන්ට් එකේ නතර වෙයං, උඹ ආව බව දැනගත්තම සමහරවිට ඒ කෙල්ල උඹව බලන්න හරි එන්න පුලුවන් නෙ. අනේ මන්දා බං මට වෙන දෙයක් නම් හිතාගන්න බෑ කරන්න ඕන”