ඒ හැඟීම් සමුදාය දරාගන්නා හැටියක් ආර්ය නිර්වාන් මහානාම දැන සිටියේ නැත. කැළතී රළ නගනා ඒ හැඟීම්, උන් හිටි ගමන් හුම්මානයක් සේ හිතෙන් පිටතට දැඩි ප්‍රවේගයකින් විස්ථාපනය වේ. ඔහු අසුනෙන් නැගිට කාර්යාල කාමරය තුළ සක්මන් කළේ ය. යළිත් අසුන්ගත වූයේ ය. යළිදු නැගිට ඔබ මොබ ඇවිද්දේ ය. බැරි ම තැන දුරකතනය ගෙන අමාගී ට ඇමතුමක් ගත්තේ ය.
ඈ සිටියේ ආර්ය ව නහවා සුදු සළුවෙන් ඔතා දෑතින් ගෙනැවිත් යහන මත තබමිනි.
“අපේ හා පැටිය චූටි කාලෙත් මෙහෙම තමයි සෙද්දකින් ඔතාගෙන අරං ආවෙ”
ආයු සතුටෙන් සිනහ වූයේ ය.
“හා පැතිය තූති කාලෙ කෝමද..”
ඔහු ට නැවත නැවත ද ඒ හුරතල් ගැන අමාගී ලවා කියවා ගන්නට ආසා හිතිණි.
“හා පැටිය චූටි කාලෙත් හරිම දඟ මල්ලක්. මෙන්න මේ විදිහටම තමයි සූඳයි ගෑවෙ”
ඇය ඕඩිකොලෝන් පවුඩර් ගල්වමින් ආයුව තව තවත් සිනහ ගැන්වූවා ය. යහන පසෙක තිබූ ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ ඒ වෙලාවේයි. ලොකයියා ලෙස ඉංග්‍රීසි අකුරෙන් ආලෝකවත් වී ඇති තිරය දෙස බලා හිඳිනා දෑස් වල ආදරය වාං දැමුවේ ය.
“ලොකයියෙ කියන්න”
“මොනාද…”
ඇගේ කොපුල් වල රක්ත වර්ණයක් ඉහිරිණ. ආර්ය ට ආයු ගේ හුරතල් හඬවල් ඇසිණ. ඔහු පපුව පිරෙනා හුස්මක් ගත්තේ ය.
“ඔෆිස් ගියාට වැඩ කරන්නැද්ද ආ…”
“වැඩ කරන්නෙ කොහොමද… මේකනං මහ පිස්සුවක් වගේ අප්ප. මට දැං ඔයාව බලන්නෝනෙ”
“මොකද්ද…”
අමාගී දෑස් ලොකු කරගත්තා ය.
“මට දැං ඔයාව බලන්නෝනෙ”
“මේ… වීඩියෝනං ඔන් කරන්නෙපා හොඳේ. මං මේ ආයුව නාවල ආයුට වැඩිය නාල යකා මාක් එක වගේ ඉන්නෙ”
“කොහොමත් යකා මාක් එකනෙ ඉතිං”
“ඒකනෙ මුණිවර සලකුණකට පිස්සු වැටුණෙ”
අමාගී හඬ නගා සිනහ වූවා ය.
“තව පැය දෙකකින් මං එනව. ඔයාට කොතනටද එන්න පුළුවං…”
“මෙ…ම්මට කොහෙටවත් එන්න බෑ දැන්”
“මං බලන් ඉන්නව. ආවෙ නැත්තං බලාගමුකො”
“ලොකයි…යෙ… කොහොමද අනේ එන්නෙ… මොනා කියලද එන්නෙ… අනේ මට බෑ අනේ…”
“පබ්ලික් ලයිබ්‍රරි එක ළඟ මං බලං ඉන්නව”
“කියන දේ අහන්නකො අනේ”
“තව පැය දෙකකින් මං එතන. ඔයා එනකල් කීය වෙනකල්හරි ගෙදරනං එන්නෑ”
“මහ හිතුවක්කාරයි අනේ. ඔන්න මට බැරිවෙයි හොඳේ”
“ඒක මන්දන්නෑ. මං එතන ඉන්නව”
ඔහු ගේ පසින් දුරකතන සම්බන්ධය විසංදි විය. හෘද ස්ඵන්දනය වැඩි වී, රුධිර සංසරණය තීව්‍ර වී, ඈ උණුසුම් වෙමින් සිටියා ය. මුළු සිරුර පුරාම රසවත් තිගැස්මක් සරැලි නැගුවේ ය. ආශාවේ බලාපොත්තුවක් හිත කොනිති ගසන්නට විය. නමුත් බියක් ඒ සියල්ල අතරින් හිස ඔසවයි. ආශාවත් බියත් එකට එක් වූ තැන මැවෙනා ඒ තිගැස්ම මීට පෙර ඈ විඳ නැති එකකි. ආයුව මණී ට බාර දී ඈ නාන කාමරයට වැදී දිය නෑවේ රසවත් නො සන්සුන් බවක් ලියලා වැඩෙත්දීයි. හදිසියේම ගණ දෙවි නුවණ පහළ විය. මහජන පුස්තකාලයෙන් අවසන් වරට පොත් දෙකක් ගෙනැවිත් දැන් මාස දෙකකටත් වැඩි ය. තාත්තා ගේ අසනීපය නිසා පුස්තකාලයට යාම අමතක වී ම ගියේ ය.
“පොත් දෙක රිටර්න් නොකර ගොඩක් කල් තාත්ති. ලොකු දඩේකුත් ගෙවන්න වෙයි. මං ඉක්මනට ගිහිං මේක රිටර්න් කරල එන්නද තාත්ති… උයල ඔක්කොම කරල තියෙන්නෙ. මං මණී ආන්ටිට කියන්නං ඇවිත් බෙදල දෙන්න කියල…”
වචන නො පැටලෙන්නට අමාගී ට උත්සාහයක් දරන්නට සිදු විය. ඇස් වලින් තාත්තා වෙනසක් දකීවිද යන බිය ද ඈ තුල විය. මේ විදිහේ රහස් ගමනක් මීට පෙර කිසි දාක ඈ ගිහින් නැත. නමුත් පුස්තකාලයට යනවා කියන්නේත් බොරුවක් නොවේ. ඉන් පසු ආර්ය හමුවෙනවා කියන්නේ එහි අතුරු කතාවකි. මේ ගමන යන්නට ම ඕනේ යයි හිතේ ගැඹුරු තැනක් කෑ ගසා කියයි. ඒ තිගැස්මට ද රහසිගත මිහිරියාවට ද අවනත වෙන්නට, යටත් වෙන්නට ගැහැනු හදෙහි වන්නේ නොතින් ආශාවකි.
“ඕනෙ නෑ මට බෙදාගන්න පුළුවන්. කලබලයක් නෑ සුදූ පරිස්මට ගිහින් එන්නකො. මගෙ පර්ස් එකෙන් සල්ලි ගන්න”
තාත්තා ට පුංචි බොරුවක් හෝ කරන්නට සිදු වීම හිතට වදයකි. නමුත් මේ යන්නේ වැරදි ගමනක් නොවේ කියා සිතන්නට ඇය රිසි වූවා ය.
පුස්තකාල නැවතුමෙන් බසයෙන් බැසගන්නා විට හද ගැස්ම පිටතට ද ඇසෙනා තරම් විය. ඇය දිවගෙන ගොස් පොත් දෙක ආපසු ලබා දී වෙනත් පොත් දෙකක් ගත්තේ අතට අහු වුණාට ය. වෙනදා වාගේ ඒ පොත් වල මුල මැද අග කියවනු තබා ලේඛකයාගේ හෝ කතාවේ නම කියවන්නට තරම් හෝ ඉස්පාසුවක් වූයේ නැත.
අමාගී පිටතට පැමිණෙන විට ආර්ය ගේ මෝටර් රථය නැවතී තිබිණ. ඈ එහි ගොඩ වූයේ කලබලයෙනි. හුස්ම ගත්තේ වේගයෙනි. ආර්ය නිසංසල පිරිමි දෑසකින් සන්සුන් ව මේ පුංචි කලබල කෙල්ල දෙස බලා සිටියේ ය. තවමත් ඇගේ වරලෙහි තැන් තැන් තෙත් ය. ශැම්පු හා කන්ඩිශනර් ද සිලිකන් ඔයිල් ද බොඩි වොශ් හා බොඩි ලෝෂන් ද ඕඩිකොලොන් ද යන සියලු සුවඳ වර්ග එකට කැලතුන අලුත් සුවඳක් නිර්මාණය වී ඇගෙන් විහිදෙයි. ස්ත්‍රී ෆෙරමෝන ද සමග මුහු වූ විට ඒ සුවඳට ආදර සුවඳ යන නම තබනු හැකි ය.
“මොක්… ක… ද ඔහොම බලන්නෙ…”
“ගිලින්න හිතෙනව”
ඔහු රිය පණ ගන්වා ගත්තේ අඩ සිනහවකින් එසේ කියමිනි. ‘ඔයා කොහොමහරි ආවනෙ’ වැනි ජයග්‍රාහී සතුටක් ඒ මුහුණෙහි තැවරී තිබිණ.
“මෙහෙමම මං ගෙදර යන්නෝනෙ. තාත්තිට කියල ආවෙ ලයිබ්‍රරි එකට පොත් දෙක රිටර්න් කරල දුවං එනෝ කියල”
ඒ නෝක්කාඩුවකි. ආර්ය ගේ සිනහව නැවත ද පිපිණ.
“මොකද ඔහොම හිනා වෙන්නෙ…”
“මාමණ්ඩි කැමැත්ත දීලනෙ තියෙන්නෙ. ඊට පස්සෙ කෙල්ලව කොහෙටහරි උස්සනව කියන එක ඊසිනෙ”
“මේ ලොකයියෙ එන්නෙපා ඕවට හරිද…”
අමාගී ආර්ය ගේ කන් පෙත්තක් රිදෙන්නට මිරිකුවා ය. “ඌයි” කියමින් ඇගේ අත අල්වා ගත් හෙතෙම, ඒ අත සිය කකුල මතින් තබා අල්වාගත්තේ ය. ස්නේහ හැඟුමක් රැල්ලක් සේ ඇගේ සිරුර දිග දිව ගියේ ය. ඕ හෙමිහිට ඔහු වෙතට නැඹුරු වී ඒ අත් බාහුව මත නිකට තැබුවා ය. ආර්ය ඇගේ නළලෙහි ඉක්මන් හාදුවක් තැබුවේ ය.
“සුවඳයි”
“ඇයි එන්න කිව්වෙ…”
“මෙහෙම ටිකක් ළඟින් තියං ඉන්න ඕනවුණ නිසා”
“ආයු ඇඬුව මං එනකොට”
“ආයුට වගේම මටත් ඔයාව ඕනෙ”
“මේක මට තනිකරම හීනයක් ලොකයියෙ”
“මේ මට ගෑනු ළමයෙක් ගැන මෙහෙම දැනෙන පළවෙනිපාර සුදූ”
“එතකොට නිධී…”
අමාගී ආර්ය ගේ දෑසට එබීගෙන සිටියා ය. ඔහු ඇගේ මුහුණ බලා ඉදිරි මග දෙස බැලුවේ ය.
“ඒක ආදරයක් නෙවේනෙ සුදූ. ප්‍රපෝසල් එකක් කිව්වට වැරදිත් නෑ”
“ඒ කියන්නෙ මටද ඉස්සල්ලම ආදරේ කරන්නෙ… අනේ ලොකයියෙ”
ඇය දෑස් ඔහු ගේ උරහිස මත හොවා ගත්තා ය. කමිස උරහිසට කඳුළක සීතල දැනිණ.
“මං වෙනුවෙංම හිටියට කෑන්ක් යූ සුදූ… ආයිනං අපි වෙන් වෙන්නෑ”
ආර්ය සිය කොපුලක් අමාගී ගේ හිස් මුදුනෙහි ස්පර්ශ කළේ ය.
කාලය ඉගිලෙනවායි සිතුණ තරම ය. වැඩි පිරිසක් නැති, පෙම් යුවළ දෙක තුනක් පමණක් සිටි නිසංසල අවන්හලක හෝරාවක් ගෙවන්නට ඔවුහු ගිවිසගෙන සිටියහ. නමුත් පෙම්වතුන්ට හෝරාවක් යනු කාලයක් ද? අමාගී ආර්ය ගේ වැලමිට සන්ධිය සිය දෑතින් ම වැළඳගෙන සිටියා ය.
“දුරේ අංකල් කලබල වුණොත් එහෙම… අපි යං නේද…”
“තව චුට්ටක් ඉඳල යං ලොකයියෙ. මේ මගෙ ජීවිතේ කවදාවත් මට අමතක නොවෙන දවසක්. මෙහෙම ගැස්මකින් කෙනෙක්ව හම්බවෙන්න මං කවදාවත් ඇවිත් නෑ. ඔයා එන්න කියපු වෙලාවෙ හිතට දැනිච්ච හැඟීම්… එහෙම ආසාවකින් ගමනක් යන්න කවදාවත් මං ලෑස්ති වෙලා නෑ. එච්චර වෙලාවක් කවදාවත් මං කණ්ණාඩියක් ඉස්සරහ ගත කරලත් නැතුව ඇති. මේ ආවෙ ඔයාව හම්බවෙන්න නෙවෙයිනං කීයටවත් ආයු එහෙම අඬද්දි මං එන්නෑ ලොකයියෙ. මෙහෙම දවසක් ජීවිතේට එකතු වුණේ ඔයා නිසා. චූටි කාලෙ ඔයාගෙ ළඟින් ඉන්න ඔයාගෙ අතින් අල්ලන්න ආස වුණ මතක… ඔයා මාව ගණං ගන්නැතුව අයින් වෙනකොට දැනිච්ච දුක… ඒ මතක උඩට මෙහෙම දවසක් එයි කියල කවුද හිතුවෙ…”
ඔවුන් දෙදෙනාට කතා බහ කරන්නට අවස්ථාවක් අවශ්‍ය යයි කීවා නම් දුරේශ් ඊට එරෙහි නොවනු ඇත. නමුත් කාටත් රහසේ මෙහෙම හමු වීමක වන මිහිර, එවන් අවස්ථා දහස් ගණනකින්වත් ලද නො හැකි වනු ඇත. ඕනේ නම් ඔවුන් දෙදෙනාට එකට ගෙදර යන්නට තිබිණ. නමුත් ආර්ය අමාගී ව කැබ් රියකට ගොඩ කොට ඔහු යළි කාර්යාලයට ගියේ ය. ඇය ගෙදර එන තුරු, දැන් කොහේදැයි අසන්නට ඔහු දුන් ඇමතුම් ගණන! කැබ් රථ රියදුරා තනිව සිනහ වූයේ ය.