එකම එක හාදුවක් – 46

0
2992

පහුවෙනිදාට උදේ වෙනතුරු නෙවින් බලා සිටියත් ශාර්වරී උන්නේ “අනේ අද උදේ වෙන්නෙ නැත්තම්” කියා හිත හිතය. නෙවින් තමන්ව රැවැට්ටුවා යැයි හිතා ඇඳටම වී කල්පනා කර කර ගත කල මාස ගණනාවක් අමාරුවෙන් ගෙවා අවසන් කලාට පස්සෙ අයෙම වතාවක් ඒ සිතුවිලි තමන් සොයා එන එක ගැන තමන් බයවෙන්න ඕන බව දැන උන්නු හන්දාම ශාර්වරී අමාරුවෙන් උනත් නුවරට උරුම උදේ සීතල මැද්දෙ ඇහැරී ඇඟ පත සෝදගත්තාය. මෙච්චර සීතල වතුරෙන් ඇඟ සෝදාගත් වෙන දවසක නම් හිතට වගේම ගතටත් නැවුම් බවක් දැනෙන්න ඕන නමුත් අද මුලු හිතම තිබුණේ මැරිලා මෙන් හන්දා එහෙම හැඟීමක් හිත අහලකවත් තිබුණේ නැත.

“මං හිතුවෙ ඔයා අද යන එකක් නෑ” කියලා උදේ පාන්දර ඇහැරී කාමරේ ලයිට් එක දාගෙන කොණ්ඩෙ පීරන අක්කා දිහා බලාගෙන කිව්වාට හිත ඇතුලෙන් උන්නේ සන්තෝසයෙනි. අක්කා අද වැඩට යන විත්තිය නෙවින්ට කිව්වනම් ඔහුට පහසු වෙලාවක ගොස් අක්කාව හමුවෙන්න පුලුවන්කම තිබේ. ඒ බව මුහුණෙන් නොපෙන්වා අයේශ්වරී උන්නේ අක්කාට එක එක දේවල් කියන ගමන් ය.

“නෑ ගෙදරට වෙලා ඉද්දි එක එක ඒවා හිතෙනවා වැඩියි. ඒකමයි මම යන්න කියල හිතුවෙ”

“ඒක හොඳයි. කොහොමත් මල් අස්සෙ ඉද්දි හිත සැනසෙනවනෙ”

“මගේ හිත නම් මල් නෙවෙයි නංගි මල් වත්තකට අරගෙන ගියත් හැදෙයිද කියල තමයි මටත් දැන් තියෙන ප්‍රශ්නෙ” කියා අක්කා හෙලූ සුසුම විත් තමන්ගේ ඇඟේ හැපුණේ ඒ සීතල උදේ තවත් සීතල කරමින් බව අයේශ්වරීට හිතුනේ නිකමටය.

“සමහර වෙලාවට අක්කෙ අපිට අකමැත්තෙන් උනත් ගන්න වෙනවා තීරණ හිත ගැන හිතලම. මම කැමති නෑ මේකට ඇත්තටම ලොකුවට මගේ ඉන්පුට් එක දෙන්න. මොක උනත් මේක ඔයාට සම්බන්ධ ප්‍රශ්නයක්නෙ. ඒ උනාට ඔයා මගෙ අක්ක හන්දයි ඇත්තටම දැන් අපි දෙන්නට ඉන්නෙ අපි දෙන්න විතරයි හන්දයි මට ඇස් කන් පියාගෙන ඉන්න බැරි හන්දමයි මං මේක කියන්නෙ. ඔයා තව පාරක් දෙපාරක් ආයෙ ඕක ගැන හිතන්න අක්කෙ.

නෙවින් ආපහු ඇවිත් ඉන්නෙ ඔයාට ආදරේ කරන්න හිතාගෙන නම්, ආදරේ නිසාම නම් අතීතෙ දෙයක් උනේ නෑ කියල හිතල ආපහු සතුටෙන් ඉන්න ඔයාලට පුලුවන් නේද?” කියා නංගි ඇහුවද තමන් ඇත්තටම කරන්න ඕන මොකද්ද කියන එක ශාර්වරීටත් ප්‍රශ්නයකි, තමන් නෙවින්ට ආදරේ නැතැයි කිව්වොත් ඒක බොරුවකි. ආදරේ බව ඇත්තක් නමුත් ආදරේ කරන්න තනියෙන් බැරි වග ඇත්තකි. තමන් සහ නෙවින් අතර සම්බන්ධයක් තිබුණ බව ඇත්තක් නමුත් ආපහු එහෙම සම්බන්ධයක් පටන් ගන්න නම් තමන් කරන ආදරේට පෙරලා ආදරේ කරන්න නෙවින්ට පුලුවන්කමක් තියෙන්න ඕනය. ප්‍රශ්නෙ ඇත්තේ එතනය. ඔහු පෙරලා ඇවිත් හිඳින්නේ ආදරේ කරන අදහසකින්ද කියන එකය. 

“ඔබෙ දෙතොල් පෙති ලිහී

පිපුණු හස රැල් විලේ

හද දියව ගලා යයි රැළි ලමින් සැලි සැලී

මෙවන් සුව ‍ පෙර නොවිඳි

තුන් සිතම සලිත වී

සසර සැරි සරණ තෙක්

ඔබ මගේ ඔබ මගේ” 

බස් එකේ නැග දළදා වීදියේ “ළපෙති” මල් කඩේට යන අතරවාරයේ ශාර්වරී උන්නේ බස් එකේ වාදනය වෙමින් තිබුණ වික්ටර් රත්නායකගේ සසර සැරි සරන තෙක් ගීතයට සවන් දෙමින්‍ ය. ඒ වනාහී දහසක් මතකයන් අවදිකරන ගීතයක් බව හිතෙන්නට හේතුව හිත ඇතුලෙ පෙර අතීතයේ තමන්ට ආදරය කලා වූද තමන් ආදරය කලා වූද නෙවින් ගේ සිනහසෙන සොඳුරු රූපය ඇඳීයාම බව ශාර්වරී හිතට කිව්වාය. නංගී විසින් කියන්නට යෙදුන කතාව කොතෙක් අමතක කරන්නට හැදුවද හිත ඇදෙන්නේම ඒ වචන වෙතය.

“නෙවින්ට මං ගැනවත්, අපේ අතීතෙ ගැනවත් මුකුත් මතක නැත්තම්, එයා මං කියල කෙනෙක් ඉන්නවද කියල හොයාගෙන ආවෙ එයාට අර හීනෙන් වගේ පෙනිච්ච දෙයක් හන්දා නම් ඒ දේ පෙනුනෙ නංගි කිව්ව විදියට මකන්න බැරි විදියට, අමතක කරන්න බැරි විදියට මං ගැන මතකයක් එයාගෙ හිත අස්සෙ හැංගිලා තිබිච්ච හන්දද? ආදරේ කියන්නෙ ඒකද?

ආයෙමත් වතාවක් නංගි කිව්ව වගේ නෙවින් බලාපොරොත්තු වෙන්නෙ මේ හැමදේම අලුතෙන් පටන් ගන්නද? එයාට හැමදේම අමතක වුනාට මට කිසිම දෙයක් එහෙම අමතක වෙලා නැති එකේ මම කොහොමද ආයෙම හැමදේම අලුතෙන් පටන් ගන්න හිතන්නෙ? එයා මාව මතක තියාගෙන ඉඳිය වගේ මොන දේ උනත්, මමත් මේ වෙලාවෙ කරන්න ඕන අතීතෙ අමතක කරල නෙවින් වගේම අලුතෙන් හිතන, අලුත් මනුස්සයෙක් වෙන එකද? එහෙම හිතන එක ලේසි දෙයක් වුණත් අලුතෙන් ආදරේ කරන එක, ඒකත් තමන් ආදරේ කල, ඒත් තමන්ව අමතක වෙච්ච පරණ ආදරවන්තයටම ආයෙම අලුතෙන් ආදරේ කරන එක ලේසි දෙයක්ද?” ශාර්වරී බස් එකේ නැගී දළදා වීදිය පැත්තට එද්දී නෙවින් උන්නේ ලක්ශාන් එක්ක නතර වෙච්ච හෝටලේ කාමරයේ බැල්කනියේ දොර හැරගෙන ඈතින් පේන සුන්දර කඳු පංති දිහා බලාගෙන කල්පනා කරන ගමන් ය. 

“මම මේ ප්‍රපෝසල් එක ටයිප් කරල ඉවර වෙච්ච ගමන් අපිට යන්න පුලුවන් නෙවියා. උඹට අවුලක් නෑ නේද?” කියා ලක්ශාන් අහන්නේ ඇඳ උඩ වාඩි වී ඉන්න ගමන් ලැප්ටොප් එක දිග ඇරගෙන ඒ වෙතටම ඇහැ යොමු කරමිනි.

“අවුලක් නෑ, එයාගෙ නංගි මැසේජ් එකක් දාලා තිබ්බා එයා අද වැඩට ගියා කියලා” කියා නෙවින් ආයෙම වතාවක් කාමරයේ බැල්කනියෙන් පෙනෙන කඳු පංතිය දිහා බැලුවේය.

“අම්මටසිරි නංගිත් මැසේජ් කරන්න පටන් ගත්තද? අන්තිමේ නංගි සෙට් වෙයිද දන්නෙ නෑ අක්කව හොයාගන්න ඇවිල්ලා” කියා ලක්ශාන්ට කියවුනේ මෙතන මේ ඉන්නේ සුපුරුදු නෙවින් බව හිතුන හන්දා මිසක් මතකය අමතක වෙච්ච, ඒ අමතක අතීතයට සම්බන්ධ කෙනෙක් ආයෙම හොයාගන්නට ආ නෙවින් කෙනෙක් ඉන්න බව ඇත්තටම අමතක වෙච්ච හන්දාය. රැකියාවේ වැඩකට සම්බන්ධ පරිගණක තිරය වෙතම නෙත යොමාගෙන උන් නිසා බැල්කනියේ හිඳ හැරී බලා නෙවින් නැගූ අමනාපය මුසු වෙච්ච බැල්ම ලක්ශාන්ගේ නෙත ගැටුණේ නැත.

දම් පාට ඕකිඩ් ද, සුදු පාට ඒරම් ලිලීද, පාට පාට රෝසමල්ද වෙනද වගේ හිත නිවන්න හේතුවක් වුනේ නැතිබව හිතට තේරුම් ගිය නමුත් ශාර්වරී උන්නේ සුපුරුදු සිනහව දෙතොල් මත ඇඳගෙන “ළපෙති” මල් කඩේට ආ පාරිභෝගිකයන්ට මල් වලින් සංග්‍රහ කරමිනි. 

සුන්දර දිගු කඩා හැලෙන කෙස් කළඹක් තියෙන, දණහිසට වඩා කෙටි ගවුමක් ඇඳගෙන, සිනාසෙමින් බෝනික්කියක මෙන් උන් කෙල්ලක අතේ එල්ලාගෙන ආ සොඳුරු පෙම්වතා කහ පාට රෝස මල් පුරවාගත් බඳුනකට අත යොමා “මේ මලක් කීයද?” කියා ඇහුවේ එක තප්පරයකට පමණක් පෙම්වතියගේ දෙනෙතින් දෙනෙත් මුදවා ගෙන ශාර්වරී දෙස බලා සිනාසෙමිනි.

“එක මලක් සීයයි”

“එහෙනම් මල් දහයක් දෙනවද?” කියා ශාර්වරීට කියූ පෙම්වතා ආයෙම වරක් පෙම්වතිය දෙස බලා “”ඔයා ආස කහ රෝස මල් වලට කිව්ව නිසා ගත්තෙ දහයක් ඇති නේද?” කියා ඇහුවේත් සිනාසෙමින් ය. ඒ කෙල්ල එයට උත්තර දුන්නේත් සිනාසෙමින් මිස වචන වලින් නොවේ.

“මෙයා ආස නෑනෙ රතු රෝස මල්වලට. මං ඒත් කිව්වා සාමාන්‍යයෙන් බෝයි ෆ්‍රෙන්ඩ්ලා අරගෙන දෙන්නෙ රතු ඒවා කියලා. ඒ උනාට එයාට ඕන කිව්වෙ කහ මල්” කියා ශාර්වරී අතට රුපියල් දහසක නෝට්ටුවක් තබන ගමන් හිනාවෙමින් කිව් පෙම්වතාට පසුපසින් හිඳගෙන උන් රුව දෙතොල් මත මැව්වේ අතීතයේ සිර වී තිබුණ, එලියට ගන්නට අමතක ව තිබුන ශාර්වරීගේ ඒ ප්‍රේමණීය සිනාවයි.

කෙල්ලත් කොල්ලත් වෙලඳසලෙන් නික්ම ගිය බවවත් ශාර්වරී නොදැක්කේ තමන්ගේ දෙනෙත් එක එල්ලේම ඒ දෙනෙත් මත ඇලී තිබුණ නිසාවෙනි. මේ ඉතින් අතීතය මතක් වෙන නිමේශයන් ය. නෙවින්ව මුලින්ම දුටු මොහොතේත් නෙවින් තමන් දිහා බලාගෙන උන්නෙ මෙයාකාරයෙන්ම සිනාවක් නැති බැල්මකින් බව ශාර්වරීට මතකය.

නෙවින් ඉදිරියට එද්දී හිත ගැහෙනුත්, එයට සමගාමීව ගත වෙව්ලනවාත් දැනුන බව ඇත්තකි. කඳුලු බිංදුවක් ඇස් වලින් වැගිරුණේ දුකටද සතුටටද කියා කියන්න ශාර්වරීටත් තේරුමක් නැත.

එහෙත් බිමට වැටෙන්නට නොදී ඒ කඳුලු බිංදු තමන්ගේ පපුව අස්සේ හංගගන්න නෙවින් කටයුතු කලේය. 

ආදරය නිසා හෝ කුමක් හෝ හේතුවක් නිසා, හිත කියූ කුමක් හෝ දෙයක් නිසා කම්මුල් රෝස පාට කරගෙන කඳුලු වක්කරමින් උන් කොටම කොට ශාර්වරීව හීන් සැරේ පපුවට හේත්තු කරගත්ත නෙවින් ඒ හිස මත සියුම් සිපුමක් තිබ්බේය.

“උස කොල්ලන්ට කෙල්ලෙක්ගෙ නළල කිස් කරනවට වඩා ආදරේ පෙන්නන්න ලේසි විදියක් තියෙනවා” 

“මොකද්ද?”

“බුදු සරණයි කියන එක” 

ඒ අතීතය මතක් වුණේ ශාර්වරීටය. කඳුලු අස්සෙන් ආයෙම ඉපදුණේ ඒ පරණ ආදරයමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here