වෙනස් වී තිබුණේ නෙවින් පමණක් බව ශාර්වරීට හිතුවේ ගහක කොළයක්වත් වෙනස් වී නොතිබුණ නෙවින් සේනාරත්න වාසය කරන කාල්ටන් අපාට්මන්ට් සංකීර්ණය දකිද්දීය. ඒ කාල්ටන් අපාර්ට්මන්ට්ස් වලත් ඒ අවට පාරවලුත්, ඒ ගහකොල පවා සැලුනේ “ආයෙමත් ආවාද? ඉතින් කොහොමද?” කියා අසන හිතවත්කමකින් බව ශාර්වරීට හිතුණාය. වෙනදා මෙන් අපාට්මන්ට් සංකීර්ණයේ වාහන අංගනයේ පිටිපස්සෙ ඇති ලිෆ්ට් එකෙන් උඩට යනවා වෙනුවට උරහිස වටා නෙවින් සේනාරත්නගේ අත රැඳී තිබියදී ඉදිරිපස ලිෆ්ට් එකෙන් උඩට යද්දිත් ශාර්වරී උන්නේ සුපුරුදු තැනක හිඳ නුපුරුදු අලුත් අත්දැකීමකට මුහුණ දෙමිනි.
මෙයට එහා පැත්තෙ ඇති ලිෆ්ට් එකක හොරෙක් මෙන් නෙවින්ව හමුවන්න ඔහුව බලන්නට ආ නිමේශයන් ගණනාවකට පස්සේ ආයෙ කවදාවත් එහෙම යන්නට පුලුවන් වේයැයි නොසිතුව තැනක මෙහෙම එන්නට ලැබීම ගැන තමන් සතුටු විය යුතුද පුදුම විය යුතු ද කියන එක ශාර්වරී ආයෙ ආයෙම හිතුවාය. නෙවින් උන්නේ ශාර්වරීට ඒ සිතුවිලි ගංගාව අස්සේ ඔහේ, නිදහසේ කිමිදෙන්න ඉඩ දී නිහඬ වෙමිනි. නෙවින්ගේ අතේ එල්ලී අපාට්මන්ට් එකට යන කොරිඩෝ එක දිගේ යද්දිත් ශාර්වරීට අතීතයේ වූ සියල්ලම ආයෙ ආයෙ මතක් වුනාය. ඒ අතීතය මහා දුරක රැඳී තිබුන එකක් නොවුනද ඒ සියල්ල වුණේ මෙයට කල්ප ගණනාවකට පෙර යැයි හිතෙන තරම් වේදනාවක් තමන් හිතෙන් වින්ද බව ශාර්වරී කොරිඩෝව දිගේ ඇවිද යන අතරවාරයෙත් කල්පනා කලාය.
“ඔයාට අවුල් නෑ නේද මාත් එක්ක මෙහෙම එන්න වෙච්ච එක?” නෙවින් ඇසුවේ අපාට්මන්ට් එකේ දොර හැර ශාර්වරීට ඇතුලට එන්නට පහසු ලෙස දොර අල්ලාගෙන ඉන්න අතරවාරයේය.
“නෑ, මං කලිනුත් ඇවිල්ලා තියෙනවනෙ” කියමින් සිනාසෙමින් අපාට්මන්ට් එක ඇතුලට ගියමුත් කිසිවක් වෙනස් වී නැති මේ ගෙදර ඇතුලේ තමන්ට අමතක කර දමන්නට වී තිබෙන නෙවින්ට කොහොමත් අමතක වී තිබෙන මතකයක් රැසක් ආයෙ ආයෙ හිත උඩට මතුවෙන්න දඟලන බව තේරුණාය.
“ඔයාට ඕන නම් වොශ් එකක් දාන් එන්න ඉක්මනට, මම කන්න මොනා හරි හදන්නද ටක් ගාලා? ලොකු දෙයක් නෙවෙයි”
“ඔයාට කරදරයි නේද?”
“කිසිම කරදරයක් නෑ. කොහොමත් මං උදේ කෝකටත් ඔයාව ගන්න එන්න කලින් බත් එක රයිස් කුකර් එකේ දාලා ආවෙ. ඒ නිසා කරීස් එකක් දෙකක් හදන්න විතරයි තියෙන්නෙ. මං ඔයාගෙන් අහන්න හිටියෙ, මම ඉස්සර කෑම හැදුවද? ඔයා ඒවා කාල තියෙනවද?”
“ඔව්”
“හොඳයිද?”
“ඔව් වරදක් නෑ”
“ආහ් ඒකනෙ, එහෙනම් ඔයා බයවෙන්න ඕන නෑනෙ අදත් කන්න. ඔයා වොශ් එකක් දාගෙන එන්න. මම ටක්ගාලා මොනවහරි රෙඩි කරන්නම්. රූම්ස් දෙකෙන් ඔයා කැමති රූම් එකක වොශ් රූම් එක යූස් කරන්න. දෙකම ක්ලීන් කරලා තියෙන්නෙ. ශැම්පු කන්ඩිශනර් එහෙමත් තියෙනවා” කියා නෙවින් සිනාසෙද්දී ශාර්වරී කලේ සිනා සී හිස සලා හැමදේම නතර වූ තැන වෙච්ච නෙවින්ගේ කාමරය වෙත ගිය එකය. ඇඳ රෙදි ද, ජනෙල් රෙදි ද වෙනස් වී තිබුණ එක ඇත්තකි. එහෙත් ඒ කාමරය ඇතුලෙ “මගෙ විතරයි නේද?” කියා ඇහුව තමන්වත්, සියලුම දේ අමතක වුණත් නෙවින්වත්, ඒ ආදරයවත් වෙනස් වී නෑ නේද කියන එක හිත ඇත්තටම සනසන්න හේතුවෙච්ච දෙයකි.
සීතල වතුර වැගිරෙන ශවරය යට නිරුවත් ගතින් තෙමී නැහැවෙද්දී මීට පෙර අතීතයේ දවසක නෙවින් විසින් අනන්ත හාදු ගංගාවකින් තමන්ව සිප ගනිද්දිත් මෙයාකාරයෙන්ම තමන් මේ ශවරය යටම නෑව බව ශාර්වරීට මතක් වුනාය.
“සීතලයි ද?” කියා නෙවින් එදා හාදු ගංගාවක් අවසානයේ තමන්ගෙන් අහද්දිත් ඔහුගේ සොඳුරු මුහුණ දොවාගෙන ආ වතුර බිංදු ඔහුගේ මුහුණ දිහා බලන්නට ඔලුව ඔසවාගෙන උන්නු තමන්ගේ මුහුණ මත වැටුණ විදිය ශාර්වරීට මතකය.
“නෑ” කියා තමන් කිව්වාට නෙවින් එදා තමන්ව පපුවට තුරුල් කරගත් අයුරුත්, ඇඟ පුරාම බොඩි වොශ් ගා සෝදා, අනතුරුව තුවායෙන් ඇඟ පිස දමා, ඒ තුවායෙන්ම තමන්ව ඔතාගෙන අත් දෙකට වඩාගෙන අරගෙන ගිය අයුරුත් ශාර්වරීට මතකය. අද ඒ නෙවින් උන්නා නම් තමන්ට මෙහෙම තනිවම නාන්න වෙන්නෙ නැති බව මතක් වෙච්ච එක හිත හීනියට රිද්දන්න හේතුවක් උනත් සදහටම නැතිවෙනවට වඩා මෙහෙම හෝ හමුවීම හොඳයි කියන එක හිතා හිත සනසවාගන්නවා හැර වෙන කරන්න දෙයක් නැති බව ශාර්වරී දැන උන්නාය.
නාගෙන කොන්ඩෙ පිසදාගෙන එද්දිත් නෙවින් උන්නේ කුස්සියට වී ලිපේ රත්වෙන මොනවා හෝ දෙයක් හැඳි ගාන ගමන් ය. ලිපේ රස්නෙට වගේම කොළඹට ආවේණික පරිසරයේ රස්නය නිසාවෙන්ම දාඩිය පෙරාගෙන උයන නෙවින් දකිද්දි හිත පොඩ්ඩක් විතර “පව්” කියා කිව්වාය.
“ඔයාට හොඳටම දාඩිය දාලා”
“රස්නෙයි නේ, මාර රස්නයක් මේ දවස්වල තියෙන්නෙ. මම රෑට නිදාගන්නෙත් ඒසී එක දාගෙන”
“හොඳ නෑ හැබැයි සෙම ඇවිස්සෙනවා” කියා ශාර්වරී කියද්දී නෙවින් කරේ පැත්තට හිස හරවා බලා හිනාවෙච්ච එකය. ඉස්සර දවසක උනා නම් මේ ලස්සන මිනිසා තමන්ගේද කියන එක ගැන තමන් දහස් වතාවක් උනත් පුදුම වෙන්න හේතුවක් උනත් හැමදේම අමතක උනාට පස්සෙත් තමන්ව මතක තිබ්බ එකේ අලුතෙන් ඔහු ගැන පුදුම වෙන්න දෙයක් නැති බව ශාර්වරී හිතුවාය.
“ඔයා ගිහින් වොශ් එකක් දාගන්න. මම ලිප ඕෆ් කරන්නම්”
“නෑ තව ටිකයිනෙ, නැත්තම් මේ නාලා ඇවිල්ලා ඔයාට දාඩිය දාවි ඊටපස්සෙ. ඔයා කුස්සියෙ ඉන්න එපා. රස්නෙනෙ. සෙටියෙ වාඩිවෙලා මොනවහරි බලන්න. නෙට්ෆ්ලික්ස් හරි එහෙම නැත්තම් පොත් තියෙනවා බලන්න” කියා නෙවින් කිව්වට මෙච්චර කාලයක් දුරින් ඉන්න එකේ දැන් ආයෙමත් මොහොතකට හෝ අඩියක් හෝ දුරින් ඉන්නෙ ඇයි කියා නොහිත ඉන්න ශාර්වරීට නුපුලුවන.
“නෑ මං මෙතන ඉන්නම්”
“ඇයි? කම්මැලිද?”
“නෑ”
“එහෙනම්”
“මෙච්චර කල් අපි ඈත්වෙලානෙ හිටියෙ, මට දැන් ඕන ඔයාගෙ ලඟින් ඉන්න” කියා ඉස්සර උන් ශාර්වරී නම් කියන්න ලැජ්ජාවෙන් හිත අස්සේම ඔය වචන හංගගෙන් ඉන්න ඉඩ තිබුණත් ජීවිතේ බොහෝ දේට ඉතා කෙටි කාලයක් ඇතුලෙ මුහුණ දුන්න ශාර්වරී උන්නේ හැඟීම් වචන කරන්නට උවමනාවටත් වඩා හොඳින් ඉගෙන ගෙනය.
“ඔයා දුක්වෙනවද අපිට අපිව මිස් වෙලා තිබුන කාලෙ ගැන”
“මුල් ටිකේ දුක් උනා, ඒත් දැන් මට හිතෙනව එහෙම කාලයක් අපිට තිබ්බ හන්දා අපිට අපිව ඉස්සරටත් වඩා විශ්වාස කරන්න පුලුවන් වගේම, අපි අතරෙ තියෙන සම්බන්ධෙ ඉස්සරට වඩා ස්ට්‍රෝන්ග් කියලා”
“හ්ම්ම්ම්, මං කිව්වනෙ මට මතක නෑ කියල මම ඇත්තටම ඔයාට ඉස්සර ට්‍රීට් කල විදිය. මගෙ අතෙන් වරදක් උනොත් මට කියන්න හොඳේ. මං කැමති නෑ ආයෙ ඔයාට පොඩ්ඩක්වත් රිද්දන්න”
උයා පිහා අවසන්ව, කුස්සිය අස්පස් කර, කෑම පිඟන් කුස්සියෙ පුංචි මේසෙ උඩින් තබා නෙවින් නාගන්නට යද්දී ශාර්වරී පොතක් අරගෙන නෙවින්ගේ ඇඳේ ඇලවුණේ කම්මැලිකමටය. කාමරයේ ඇඳ ලඟ සිට බලන කොට පෙනෙන්නෙ නිල් අහස පසුබිම් කරගත් නෙළුම් කුළුණය. ඇඳේ මෙහෙම හාන්සි වි ඒ සුන්දර දර්ශනය දිහා ඕන තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුලුවන් බව ශාර්වරී හිතුවේ පොත පැත්තකින් තබා ඇඳේ පැත්තට ඇලවී ඒ දිහාම බලන් ඉන්න අතරවාරයේය.
“මේ තරහා නැතුව කබඩ් එකෙන් මට ශෝට් එකක් අරගෙන දෙන්නකො” කියා නෙවින් බාතෘම් එකේ හිඳ කතා කරේ ඒ කල්පනාව අතරේය.
“ඕන එකක් කමක් නැද්ද?”
“ම්ම්ම් කොල පාට එක දෙන්න” කියා නෙවින් කිව්වට පස්සේ කබඩ් එක හැර ඒ කලිසම හොයද්දී නෙවින්ට අමතකව ඇතැයි හිතුන ඒ “නතර වුණ තැන” මතක සලකුණ ශාර්වරීගේ නෙත ගැටුණාය. “ඔයාට මේ ශර්ට් එක අයින් කරන්න වෙයි” කිව්ව තමාත් “නෑ මං ඒක අරන් තියෙනවා” කිව්වා අතීතයේ උන් නෙවින්ගේ කට හඬත් හිත අස්සේ දෝංකාර දෙද්දී කොල පාට කලිසම වෙනුවට ශාර්වරී අතට ගත්තේ ඒ සුදු පාට මතක සලකුණය.
කඳුලු වැගිරුනේ දුකටද සතුටටද කිය නිනව්වක් නැතත් ඒ දෙකම මුසු වූ පපුවට දරාගන්න බැරි කුමක් හෝ හැඟීමක් ඒ කඳුලේ ගැබ්ව තිබුන බව ශාර්වරීට තේරුණාය.
“කෝ දෙන්නකො” කියා දෙපාරක් විතර කිව්වත් ශාර්වරීගෙන් කිසි සද්දයක් නැති තැන නෙවින් තුවාය ගත දවටාගෙන නාන කාමරයේ දොර හැරියේ වෙලා තිබෙන්නෙ කුමක්ද කියා බලාගන්න හිතාගෙනය. තමන්ගේ ඇඳුම් කබඩයේ දොර හැරගෙන එතන බිම වාඩි වී ඔස්ට්‍රේලියාවෙදි පවා මේ ලේ බිංදුවක් ගෑවිච්ච ශර්ට් එක කාගෙද කියා හිතට වද දුන් ඇඳුම මූණට තියාගෙන ඉන්න ශාර්වරී අඬන බව නෙවින්ට තේරුණේ ඇගේ උරහිස් ගැස්සෙන තාලයටය.
“ඇයි අඬන්නෙ? මොකද්ද උනේ? අතවත් තුවාල උනාද?” කියා එතන දණ ගහගෙන අහද්දිත් ශාර්වරී මොහොතකටවත් හිස ඔසවා බැලුවේ නැත. එහෙම බලා තමන් නෙවින්ට කියන්න ඕන කුමක්ද කියන එක ගැන අදහසක් ශාර්වරීට තිබුනේ නැත.
“අනේ කියන්නකො ඇයි අඬන්නෙ කියල, මට ටිකක් බයයි. අනික මේ වගේ සිටුවේශන්ස් තාම මගෙ ඔලුවට පොඩ්ඩක් බර වැඩි කෙල්ලෙ, කියන්නකො” කියා නෙවින් පිණ්සේණ්ඩු වෙද්දි කඳුලු වලින් පෙඟුණ මුහුණින් හිස ඔසවා බැලූ ශාර්වරීට අහන්න තිබුනේ එකම එක ප්‍රශ්නයකි.
“මේ ශර්ට් එක ඔයා තාම තියාගෙන ඉන්නෙ මුකුත් මතක නැති හන්දද?” ශාර්වරී එහෙම ඇහුවට ඒ ප්‍රශ්නයට තමන් දෙන්න ඕන උත්තරේ මොකද්ද කියන එක ඇත්තටම නෙවින්ට හිතාගන්න පුලුවන් උනේ නැත.
“මේ ශර්ට් එක ඔයාගෙද? ඒක ලේ ගෑවිලා තියෙන්නෙ ඔයාගෙද?” කියා ප්‍රශ්නෙ කටෙන් එක පාර පිටවුනාට ඒ වචන අස්සේ හිතන්න බොහෝ දෙයක් තිබෙන බව නෙවින්ට හිතුනේ පස්සේය.
“මට තාම කිව්වෙ නැති, ඒ උනාට මං දැනගෙනම ඉන්න ඕන දෙයක් අපි අතරෙ උනාද බබා? ඔයා මට නොකිව්ව මොනව හරි දෙයක් අපි අතරෙ උනාද? අපි නතර වෙච්ච තැන කියල ඔයා එදා කිව්වෙ ඒකද?” ඒ කලබලය අස්සේ වේදනාවත්, ප්‍රශ්නයකුත් ගැබ්ව තිබුණ බව ශාර්වරීට නොතේරුණා නොවේ.
“ඔයා මට නොකියපු දේ ඒක නම්, අපි අතරෙ ඉස්සර තිබුණ බැඳීම දැන් නෑ කියලා ඔයා කියන්නෙ ඒක නම්, මට ඔයාව විතරක් මතක් වෙච්ච එක අපරාදෙ නේද?
ඇයි ශාර්වරී මට ඔයාව විතරක් මතක් උනේ. මට ඒකත් මතක් නොවී තියෙන්න නේද තිබුණෙ?” කියා මෙතෙක් වෙලා තමන් ලඟ දණ ගහගෙන උන්න නෙවින් නැගිට විසල් බැල්කනියේ ෆ්‍රෙන්ච් වින්ඩෝ එකෙන් පේන නිල් අහස දිහා බලාගෙන කල්පනා කරද්දී ඒ කතාව තමන්ට බය හිතෙන්න හේතුවක් වෙන්න ඕනද කියන එක ශාර්වරී ආයෙ ආයෙ හිතුවාය.