මතක දිගහැරුම 30 – අප්සාරි සිංහබාහු තිලකරත්න

තිස්වන දිගහැරුම,

තාත්තගේ සැත්කම සිදු කල පසු , ගෙවුනු දිනයක මා තාත්තා සමග රෝහල් කාමරයට වී සිටින අතරතුර දී රාත්‍රි 9:30 ට පමණ එකවරම වෛද්‍ය ශිවම්ගේ පණිවිඩයක් රැගෙන හෙදියක් පැමිණියාය.ඔහු පවසා තිබුණේ හැකි ඉක්මනින් පැමිණ ඔහුව මුණ ගැසෙන ලෙසයි . සාමාන්‍යයෙන් එම වෙලාවට වෛද්‍ය ශිවම් පැමිණෙන්නේ නැති නිසා මට ඔහුව හමුවීමට කී කාරණාව කුමක්දැයි සිතාගත නොහැකි විය.මා හැකි ඉක්මනින් වෛද්‍ය ශිවම් ගේ කාර්යාලයට දිවගියේ කුමක් හෝ හදිසි අවස්ථාවක් යැයි සිතමිනි.මා ඔහුගේ කාර්යාලයට යන විට ඔහු සිටියේ ඉතාම සිනාමුසු මුහුණකිනි.

මංගල උත්සවයකට සහභාගී වී සිටි ඔහුට හදිසියේම රෝහලෙන් ලැබුණු දැනුම් දීමක් මත රෝහලට පැමිණීමට සිදුව තිබුණි.ඒ, තාත්තාගේ වෛද්‍ය වාර්තාව පැමිණ තිබූ නිසාය.එය පරීක්ෂාකර මා හට කතා කිරීමට අවශ්‍ය වූ නිසා තමන් හැකි ඉක්මනින්ම රෝහලට පැමිණි බව වෛද්‍ය ශිවම් මා හා පැවසුවේය.ඉතා සිනාමුසු මුහුණකින් සහ සතුටින් පසුවූ ඔහු මට තවදුරටත් පැවසුවේ ඔහු සතුව සුබ ආරංචියක් ඇති බවයි.සැත්කම අවස්ථාවේදී ඔහු ,ඔහුට කළ හැකි සියල්ල කළ බවත් ,එදින ඔහු සැත්කමෙහි කොටසක් කර කොටසක් නොකර හිටියා නම් නැවතත් තාත්තාගෙ උදරයෙහි කැපුම විවෘත කිරීමට සිදුවන බවත් පැවසුවේය.

” ඔයා දන්නවද , රිපෝට් එකේ තියෙන්නේ තාත්තාට කැන්සර් එකක් කියලා තමයි.අපි හිතුවේ අපි මේක අඳුර ගත්තේ පරක්කු වෙලා සහ මේක ගොඩක් පැතිරිලා කියලා.නමුත් මේ රිපෝට් එකේ හැටියට මේක පැතිරිලා නැහැ.ඉක්මනටම හැදෙන පිළිකාවක් වෙච්ච මේක තිබිලා තියෙන්නෙ පළවෙනි අවධියේ. අපි ඉක්මනට මේක හොයා ගෙන කපලා අයින් කරපු නිසා මෙතනින් එහාට මට කරන්න දෙයක් නැහැ “

වෛද්‍ය ශිවම් එම වදන් පෙළ කීවේ ඉතාම සතුටින් ය.තාත්තාගේ සැත්කම අතරතුර දී ඔහු කළ හැකි සියල්ල කිරීම නිසා නැවතත් තාත්තාට වේදනා විඳින්නට සිදු නොවීම ගැන ඔහු වඩාත් සතුටු විය. දෙවියන් මගේ මූණ බැලූ බව කියමින් වෛද්‍ය ශිවම් තාත්තාගේ වෛද්‍ය වාර්තාව මා අතට දුන්නේය.ජීවිතයේ මා වඩාත් සතුටු වූ මොහොතවල් වලින් එකක් ලෙස එම මොහොත මට නම් කල හැකිය.පිළිකාවකට කල යුතු ප්‍රතිකාර ක්‍රමයක් හෝ වෙනත් බෙහෙත් වර්ගයක් හෝ තාත්තාට නියම කළ යුතු නැති බව ද වෛද්‍ය ශිවම් මට පැවසීය.සියල්ල සිදුවී තිබුණේ තාත්තාගේ වාසනාවටය. සාමාන්‍යයෙන් පිළිකා රෝගීන් හට කෙරෙන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව මා අසා ඇත්තෙමි.ඒවායෙන් ඔවුන් විඳින වේදනා ද මා දැන උන්නෙමි. නමුත් එම කිසිදු අත්දැකීමක් මගේ තාත්තාට විදින්නට සිදු නොවීම පිළිබඳව මා යළි යළිත් දෙවියන්ට ස්තූති කළෙමි.අප යහපත් දේවල් කරමින් යහපත් ආකාරයට ජීවත්වනවා නම් අප හට දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙන බව මා පසක් කර ගත්තෙමි.සේවකයෙකුට වත් සැර පරුෂ අයුරින් නොසැලකූ, සියලු දෙනාටම කරුණාවෙන් සලකමින් ආගමානුකූලව ජීවත් වූ මගේ තාත්තාට දෙවියන්ගේ ආශිර්වාදය හිමි වී තිබුණි.

තාත්තගේ වෛද්‍ය වාර්තාව පැමිණි දිනට පසු දිනකදී , හෙදියක් ලෙස සේවය කළ මගේ ඥාති සහෝදරියව මට මුණගැසුණි.ඉන් පසුව තාත්තාගේ ශල්‍යකර්මය සිදු වූ ආකාරය ඇය අපට විස්තර කළාය.වෛද්‍යවරයා විසින් තාත්තාගේ උදරය කැපීමට ලක් කර ඇත්තේ මා දුන් නැකත් වේලාවටම ය.උදරය විවෘත කිරීමෙන් පසුව සම්පූර්ණ බඩවැලම ඔහු පිටතට ගෙන ඇත.පිටතට ගත් බඩවැල දුටු පසු වෛද්‍යවරුන් සහ හෙදියන් සියලු දෙනාම විමතියට පත් වී තිබුණි.කහ පැහැයෙන් යුත් පරිප්පු ඇට මෙන් ඇට වර්ගයක් තාත්තාගේ මුළු බඩවැලම පුරා පැතිර තිබි ඇත.එය දුටු පසු වෛද්‍යවරුන්ගේ මුහුණුවල දක්නට තිබී ඇත්තේ බලාපොරොත්තු සුන්වුනු ආකාරයකි. ඔවුන් සිතා ඇත්තේ තාත්තාට ඇති පිළිකාව මුළු බඩවැල පුරාම පැතිරී ඇත කියාය.

ඒ අවස්ථාවේදී එතැන සිටි එක් වෛද්‍යවරයෙක් පවසා ඇත්තේ මෙය පැතිරි ඇති නිසා කිසිවක් සිදු කිරීමෙන් පලක් නැති බවය.එවිට වෛද්‍ය ශිවම් මගේ තාත්තාව පෙන්වා, මොහුගේ වැඩිමහල් දියණිය මොහුව ජීවත් කරවීම සඳහා ඉමහත් වෙහෙසක් ගන්නා බවත් එම දියණිය තාත්තාට ඇති ආදරය සහ ඇය තමන්ගේ තාත්තාව ජීවත් කරවීමට ගන්නා වෙහෙස වෙනුවෙන් මොහුගේ බඩවැලෙහි හට ගෙන ඇති ගෙඩිය ඉවත් කර මුළු බඩවැලම සුද්ධ පවිත්‍ර කර දමන බවත් පවසා ඇත. විනාඩි හතලිස් පහෙන් අවසාන කළ හැකි බව පැවසූ සැත්කම පැය පහමාරක් පුරාවටම කිරිමට සිදු වූයේ වෛද්‍ය ශිවම් විසින් මගේ තාත්තා වෙනුවෙන් කළ හැකි සියල්ල ම සිදු කළ නිසා බව මගේ ඥාති සහෝදරිය පැවසුවාය.එම නිසා මා නිරතුරුවම වෛද්‍ය ශිවම් හට මගේ මුළු හදවතින්ම ස්තූති කලෙමි.

කෙසේ හෝ අවසානයේ දී තාත්තා සුව වී නැවත නිවසට පැමිණියේය.ඔහු එසේ සුව වී නිවසට පැමිණීම අප සියලු දෙනාගේම සිත්වල සැනසීම උදා කරන්නට සමත් විය.අප වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කරන හා අප වෙනුවෙන් හැකි අයුරෙන් වෙහෙසුනු තාත්තාව තවදුරටත් මහන්සි නොකිරීමට මා තීරණයක් ගත්තේ ඉන් පසුවය.ඉතා හොඳ රැකියාවක නිරත වූ මට, මගේ මුළු පවුලම රැකබලා ගැනීමට හැකියාව ඇත යනුවෙන් හොඳ ආත්ම විශ්වාසයක් මා සතුව විය

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles