මේ කතාව පටන් ගත්තේ පොලිසියෙන් ය.
ඒ සපුමල්ගමේ හැමෝම ලතා විදියට දැනගෙන උන්නු පුශ්පලතා පරණමාන අන්තරස්දාන වීමත් එක්කය.
පොලිසියට ආවේ පුශ්පලතාගේ පුතා වෙච්ච සමන්, දූ වෙච්ච සෙව්වන්දි සහ උන් දෙන්නගෙ කසාද ස්ත්‍රිය හා කසාද පුරුෂයා වුණු හේමා සහ අසෝකය.
“මොකද්ද පැමිණිල්ල” කියා ඇසුවේ ඒ වෙලාවේ පොලිසියේ උන්නු කොස්තාපල් වීරසිංහ ය.
“අපේ ගෙදර උන්නු එක්කෙනෙක් අන්තරස්දාන වෙලා” කිව්වේ ලතාගේ ලොක්කා වෙච්ච සමන් ය.
“ගෙදර උන්නු මොන එක්කෙනාද අන්තරස්දාන වෙලා තියෙන්නෙ?”
“අපේ අම්මා” කොස්තාපල් වීරසිංහ සමන් දිහා ඇහැ කරකවා බැලුවේ ඒ කතාව ඇහුණයින් පස්සෙය. ඒ වෙලාවෙ එක එක ඒවට පොලිසියට ඇවිත් උන්නු මිනිස්සු කීප දෙනෙකුත් සමන් දිහා මහ අමුතු තාලෙට බැලූහ.
“අම්මා? අම්මලා එහෙන අන්තරස්දාන වෙනවද ඕයි? ඇත්ත කියනව තමුසෙලා ඒ වයසක මනුස්සයව බලාගන්න කරදර හන්දා කොහෙ හරි මුඩුක්කුවකට ගිහින් දාලා ඇවිල්ල දැන් මෙතන සුදනා වෙන්න පොලිස් ඇන්ට්‍රි දාන්න එනවා නේද?” කියා කොස්තාපල් කාරයා කෝචෝක් එකට අහද්දී මල පැන්නත් මේ පොලිසිය විත්තිය මතක් වෙච්ච හින්දා සේම හේමා උරහිසට අත තිබ්බේ “තරහ ගන්න එපා අනේ” කියා හින්දාත් සමන් පැන්න මල ටික ආයෙ ඇතුලට දමාගත්තේය.
“අපේ අම්මව කොහෙවත් දාන්න අපිට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ මහත්තයා. අපි උදේ නැගිටිද්දි අම්මා කාමරේ හිටියෙ නෑ”
“කාමරේ හිටියෙ නෑ කියලා ඉතින් තකහනියෙ පොලිසියට ඇවිල්ලා හරියන්නෙ නෑනෙ. දන්න අඳුරන තැන්වලට අහල බැලුවෙ නැද්ද කතාකරලා. ඔය වයසක ගෑනුන්ට ගෙවල්වල ඉන්න කම්මැළි උනාම අහල පහල තැන්වලට යනවනෙ ඕපදූප කතාකරන්න. ඉස්සෙල්ලා එහෙම හොයල බලලා එනවා. තමුසෙලා මේ අල්ලපු ගෙදර මනුස්සයට පඩයක් ගියත් බෝම්බයක් කියලා හිතලා පොලිසියට එන උදවියනෙ”
“ආයෙ අමුතුවෙන් එහෙ මෙහෙ බලන්න දෙයක් තිබ්බෙ නෑ මහත්තයා. යන විත්තිය ලියලා තියලා ගිහින් තියෙන්නෙ. ඒකමයි මේ තකහනියෙ ආවෙ. ගිය එක නෙවෙයි පුරස්නෙ. එක එක ගුබ්බෑයම් අස්සෙ රිංගලා අන්තිමෙ කොටෝගත්තාට පස්සෙ ආයෙ අපි ළඟට වැටෙන්න ආවහම කරදරෙයි නව නිංගිරාවයි දෙකම අපිටනෙ.
ඒකයි අපි මේ ආවෙ”
“කෝ ලියුම අරං ආවද? දෙන්න බලන්න මෙහෙට” කිව්වයින් පස්සේ කොස්තාපල් වීරසිංහගෙ අතෙන් ලියුම් කඩදහිය තිබ්බේ සමන් ය.
කාටවත් ආමන්ත්‍රණයක් නොකර ලියා තිබ්බ ලියුම මෙන්න මෙහෙමය.
“මං යනවා. මං ගැන හොයන්න කරදර වෙන්න උවමනා නෑ. කොහොමත් මහ ගේ තාත්තා නැතිවෙන්න කලින් ලියලා තිබ්බෙ මගෙ නමට හන්දා උඹලට ඒකට කරන්න දෙයක් නෑ. මං ඔප්පුව අරගෙන ආවෙ. උඹලගෙ කරදර නැති කාලෙ අපි ආපහු ඇවිත් ඒකෙ නතර වෙනවා”
“මොනවද දැන් මේ තමුසෙලා කරනවය කියන කරදර? ලැජ්ජ නැද්ද ඕයි අම්මල තාත්තල වයසට ගියයින් පස්සෙ ඒ මිනිස්සුන්ගෙ ගෙවල් දොරවල් හෙම ලියාගන්න ඔච්චර තනන්නෙ” කියා කොස්තාපල් වීරසිංහ ආපසු වාරයක් කතාව පටන් ගත්තේ සමන් ඇතුලු පිරිස දෙස බලාගෙනය.
“අපි ගෙවල් දොරවල් ලියලා ඉල්ලුවෙ නෑ මහත්තයා. අපි කිව්වෙ ඉන්නවනම් අපිට ලැජ්ජ කරන්නෙ නැතුව ඉන්න කියලා. එහෙම කිව්වා කියලා තමයි ඔය පොදි බැඳගෙන ගෙනිහිල්ලා තියෙන්නෙ. ලැජ්ජ නැතිකමනෙ. වයසට යද්දි මිනිස්සු මේ පින් දහම් කරගන්න ඕන කාලෙ වෙන වැඩ නැතුවට” කියා සමන් එතනින් කතාව නතර කලේ නංගි වෙච්ච සෙව්වන්දි ඇහෙන් කිව්ව මොකද්ද කතාවක් හින්දා විත්තිය කොස්තාපල් වීරසිංහට නොතේරුණා නොවේ.
“දැන් ඒ මනුස්සය යන තැනක ගිහින් තියෙන්නෙ හොඳ සිහියෙන් නම්, යන්න කලින් තමුසෙලට කියලත් ගිහිල්ල නම් මොන එහෙකටද ආයෙ මේ තකහනියෙ පොලිසියට ආවෙ?”
“ආවෙ අම්මා ගිහින් තියෙන්නෙ වෙන මිනිහෙක් එක්කල හන්දා” පොලිසියෙ උන්නු මිනිස්සුත් කොස්තාපල් වීරසිංහත් පොඩ්ඩක් විතර සයිලන්ට් මෝඩ් එක ඔන් කරගත්තේ ආං ඒ කතාව ඇහුණයින් පස්සෙය.
වයස අවුරුදු පණස් ගාණක් වෙච්ච, දූ දරුවන් උස් මහත් වී ඒ දරුවන්ටද දරුවන් ඉන්න අත්තම්මා කෙනෙක් තමන්ගේ සැමියා මිය ගියයින් පස්සේ වෙන මනුස්සයෙක් එක්ක විවාහ වීම තියා සම්බන්ධයක් පවත්වා ගැනීමත් වරදක් ලෙස කොස්තාපල් වීරසිංහ, සමන්, සෙව්වන්දි, හේමා සහ අසෝක ඇතුලු පිරිසම හිතන බවට ඒ සයිලන්ට් මෝඩ් එක හොඳටම කියා පෑහ.
“මිනිහා මැරිලා, තමන්ගෙ ළමයින්ට පවා ළමයි ඉන්න ආච්චි අම්මා කෙනෙක් කරන වැඩ ද මහත්තයා මේවා? අපි කොහොමද රස්සාවකට යන්නෙ? අපෙ දරුවො කොහොමද ඉස්කෝලෙට යන්නෙ? මිනිස්සු අපෙන් අහන්නෙ නැද්ද අම්මා පැනලා ගියා නේද කියලා? අපෙ ළමයින්ට අනික් උන් විහිලු කරන එකක් නැද්ද ආච්චි පැනලා ගියා නේද කියලා? ඒ ලැජ්ජාව හන්දයි අපි ආයෙ අපෙ අම්මව ගෙදර එක්කරගෙන එන්න යන්නෙ. අපේ අම්මා තමන්ගෙ දරුවො ගැන නොහිතුවට අපි හිතනව අපෙ දරුවො ගැන. මූණවත් බලන්න හිතක් නෑ මට ආයෙ එයාගෙ. ඒ වුණාට අර පවුලෙ මිනිස්සුන්ට වෙන නරක නාමෙන් ගලවගන්න ඕන හන්දා ඔය වැරැද්දට සමාව දීල තමයි අපි මේ එක්කන් එන්න හදන්නෙ. අපි විතරක් ගියොත් එන්නෙ නැති හන්දා තමයි අපි පොලිසියට ආවෙ” කියා සමන් හෑල්ල කියා ඉවර වෙද්දී මෙච්චර වෙලා නිශ්ශබ්දව උන්නු අසෝකා නිදිකුම්බ කොලයක් වගේ ඔලුව උස්සා කොස්තාපල් වීරසිංහ දිහාව බැලුවේය.
“අනික ඔය මෙයාලගෙ අම්මා පැනල ගිය මනුස්සයා මට නම් හිතෙන්නෙම මහ හොරෙක් කියලා. මිනිහා ඉස්සර ඉගැන්නුවෙ කුරුණෑගල පැත්තෙ ටියුටරියකලු. එහෙම පැත්තක උගන්නපු එකෙක් මොකටද මහත්තයා මේ සපුමල්ගම වගේ පැත්තකට එන්නෙ? මොකක් හරි ඔතන හොරයක් තියෙනවම තමයි.
අනික මිනිහනෙ අර පන්සලේ අමද්‍යප සංගමේ පටන් ගත්තෙත්. කටේ අරක්කු ටිකක් ගාගන්නෙ නැතුව, සුදු නැශනල් ඇඳන් ඉන්න මිනිස්සු කියන්නෙ ලෝක අණ්ඩපාලයො විත්තිය අපිට වඩා හොඳට පොලිසියෙ මහත්තැන්ලා දන්නෙ නැතෑ. එළිපිට දේවල් කරන්නෙ නැති උන් මහත්තයො හොර රහසෙ තමයි ඔක්කොම මගඩි නටන්නෙ. මට හොඳට විශ්වාසයි ඕක මහ පල් හොරෙක්. ගමෙන් ගමට ගිහිල්ලා මිනිහා ඇරිච්චි ගෑණුන්ව රවට්ටගෙන උන්ගෙ දේවල සූරාකන හොරෙක්. කොහෙද අපෙ අම්මලට මේ වයසට නැති අමාරුවක් නෙ ඔලුවට ගහලා තියෙන්නෙ. උගන්නන්න කියලා ඇවිල්ලා අන්තිමේ උන් මේ නාකි ගෑණු දපනෙ දාගන්න එක තමයි කරලා තියෙන්නෙ” කියා කිව්වයින් පස්සෙ උනත් “මේක මේ පොලිසියට මැදිහත් වෙලා විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි, ඕක පවුල් ප්‍රශ්නයක්නෙ. ඔහෙලා ගිහිල්ලා අම්මයි ඒ අම්මව එක්කරගෙන ගිය මනුස්සයයි එක්කල කතාබහ කරලා ප්‍රශ්නෙ විසඳගන්න” කියා කොස්තාපල් වීරසිංහ කොච්චර කිව්වත් ආපස්සට වල්ගෙ පස්ස පැත්තෙ ගහගෙන යන්න අදහසක් සමන්, හේමා, අසෝක, සෙව්වන්දිට තිබ්බෙ නැත.
“පොලිසිය සමග යමි – අම්මා කැටුව එමි” කියල හිතාගෙනම ආව ගමන අන්තිමේ කොස්තාපල් වීරසිංහව එක්කරගෙන යෑම පිණිස සමන්ගෙ පර්ස් එකෙන් ගාණක් වීරසිංහගෙ පොකට් එකටත් මාරු විය.
කොස්තාපල් වීරසංහ ඉස්සර කරගත් පරණමාන පවුලේ උදවිය අම්මා ගියායැයි කියන ඉසව්ව හොයා යද්දිත් පුශ්පලතා පරණමාන උන්නෙ අලුත විවාපත් වෙච්ච කෙල්ලකගේ සන්තෝසයෙන් හිනාවෙමින් ගෙයි ඉස්සරහ පඩිය උඩ වාඩි වී තමන්ගේ දෙවනි පුරුශයා වූ සෝමසිරිට කියා හිස පීරාගන්න ගමන් ය.
ඒ බවක් දැක සමන් ගේ කටෙන් “මුගෙ අම්මට” කියා කියවෙන්නට ගියත් තමන්ට දැන් වැදගත් වෙන්න උවමනා තමන්ගේ අම්මා මිසක සෝමසිරියගෙ අම්මා නොවෙන විත්තිය මතක් වෙච්ච හන්දා සේම හේමා උරහිසට අත තිබ්බේ “තරහ ගන්න එපා අනේ” කියන්නා නිසාවෙන් හිතට ආව වචන කටෙන් එළියට දාගන්නෙ නැතුව ඉන්න අවසරයක් ලැබුණි.
තමන්ගේ දරුවන් පොලිසියෙ මහත්තැන් කෙනෙක් එක්ක ඇවිත් ඉන්නවා දැක්කත් කලබල වුණේ පුශ්පලතා පරණමාන නොවේ. ඇය තමන් මෙපමණ වෙලා වාඩි වී උන් තැනින් නැගිටිද්දී ඊට කලින් නැගිට්ට සෝමසිරි තමන් වෙත යොමු කල අත් වාරුවේ එල්ලී නිහඬවම දරුවන් සහ පොලිස් කොස්තාපල්වරයා දෙස බලා උන්නාය.
“මේ පුශ්පලතා නෝන වෙන්නැති?” කියා කොස්තාපල් වීරසිංහ ඇහුවේත් ඒ නිහඬ නිස්කලංක, ඒත් ගෑණු හයිය වෑහෙමින් තිබුණ ලතාගේ දෙනෙත් දිහා එක එල්ලේ බලන්න තමන්ට හයියක් නැති බව හිතමිනි. ඒ දෙනෙත්වල තිබුණේ “පොලිසිය සමග ආවද – මම ආයෙ නොඑමි” කියන අදහස විත්තිය වීරසිංහටත් නොතේරුණා නෙවෙයි.
“මේ දරුවො කලබල වෙලානෙ එයාලගෙ අම්මා එකපාර අන්තරස්දාන වෙලා කියලා”
“එහෙම කලබල වෙන්න හේතුවක් තිබ්බෙ නෑ මහත්තයා. මම ඔක්කොම දේවල් බොහොම පැහැදිලිව ලියල කරලා කියලා තමයි ආවෙ. එහෙම එකේ මේ මහත්තයව එක්කරගෙන මෙහෙ ආවෙ අහවල් එහෙකටද කියන්න මම දන්නෙ නෑ” කියා ලතා දරුවන් දිහාවට එක බැල්මක් වත් යොමු නොකර කියා දැම්මාය.
“අම්මෙ මේ අපිට ලැජ්ජ කරන්නෙ නැතුව ආයෙ ගෙදර යන්ද? අපි කොහොමද ගමේ මිනිස්සුන්ට මූණ දෙන්නෙ? මොනවද අපි අහන මිනිස්සුන්ට කියන්නෙ?”
“අම්මා කසාදයක් කරගෙන ගියා කියන්න. ඕක කියන්න බැරිකමක් නෑනෙ. අනික කොහොමත් මම තව මාසෙකින් හමාරකින් ගෙදෙට්ට ආය ආවම ඒ මිනිස්සු ඕක දැනගන්නවනෙ”
“එහෙම කොහොමද කරන්නෙ? හරි කතාවක්නෙ ඒක. ඒක අපෙ මහගෙදර, මේ කොහෙවත් ඉඳන් ආව පිට උන්ට ලගින්න දෙන්න ඒව අම්බලම් නෙවෙයිනෙ”
“පිට මිනිහෙක් මෙතන නෑ. මෙතන ඉන්නෙ මං කසාද බැන්ද මනුස්සයා. උඹල කැමති නමකින් කතාකරහල්ල. හැබැයි මට ඒ මනුස්සයව පිට නෑ” කියා ලතා කියද්දි ආයෙ වතාවක් සමන්ට කට අරින්න දුන්නොත් මේක කෙලවර වෙන්නෙ වලියකින් විත්තිය තේරුණ හන්දාම වීරසිංහ සමථ මණ්ඩල රාජකාරිය කරන්න හිතුවේය.
“පොඩ්ඩක් ළමයි කියන දේත් අහන්නකො නෝන. තමන්ගෙ අම්මා,වයස අවුරුදු පණහා පැන්නයින් පස්සෙ ආය වතාවක් කසාදයක් කරගන්නවා කියන එක ළමයින්ට උණත් ලැජ්ජයිනෙ…”
“මොකටද ලැජ්ජ? ලැජ්ජ වෙන්න ඕන මම කසාදයක් නොකරගෙන මිනිහෙක්ව ගේ අස්සෙ දාගත්ත නම් නෙ? මහත්තයට එන්න කලින් තේරුණේ නැද්ද මේ ළමයි කියන හතරදෙනා මෙතනදි හිතලා තියෙන්නෙත් තමන් ගැන මිසක් මං ගැන නෙවෙයි කියන එක. අපෙ මහත්තය මැරෙනකම් කරේ මුන්ට කැඹුරුව එක. කමක් නෑ අපි හදපු ළමයිනෙ කියමුකො. ඉන්පස්සෙ මුන්ව කසාද බන්දල දීලා මුන්ට ළමයි හම්බුණයින් පස්සෙ මුන්ට අපිව මතක් වුණේ ළමයින්ව බලාගන්න ඕන වුණාම. අරක හදිසියි මේ ගමන හදිසියි කියලා අහන්නෙ කරන්නෙ නැතුව ළමයි බමයි උස්සන් ඇවිත් මං ළඟ අතෑරල යනවා. මුං පොඩි කාලෙ මුන්ව බලාගන්න මං පුදුම දුකක් වින්දෙ. ඒ කාලෙ අඩුම මගෙ මනුස්සය ඉඳිය මට නිදහසේ දොට්ට පිලට යන්නවත් ඉස්පාසුවක් දෙන්නෙ. මං මේ වයසක ගෑණි, දැන් ඉන්නෙ ළමයි එක්ක දඟලන්න කරන්න ඇහැක් වයසක නෙවෙයි කියල තේරෙන්නෙ නැති උන් වගේ තමයි උන් හැසිරුණේ. අම්මට මොකෝ වෙන වැඩ තියෙනවය, තාත්තත් නැති එකේ පාලුව හරි මැකෙනවනෙ, අපිට උදව්වක් කරන්නකො කියල කිසි ලැජ්ජාවක් නැතුව ළමයි දාලා යනව. උයන්න බැරි උනාම ඇවිල්ල මං අමාරුවෙන් හදාගත්ත වැංජනේ දෙක අරගෙන යනවා. මහත්තයගෙ පෙන්ශන් එක එන දවසට මොකක් හරි බැරි අමාරුකමක් හදාගන්නවා. මට පන්සලකටවත් යන්න නිදහසක් නෑ. එහෙම මම හිතේ නිදහස වෙනුවෙන් සෝමෙට ලංවෙච්ච එක වැරදියි කියලා මහත්තයා කියන්නෙ කොහොමද?
මාත් ගෑණියෙක්. මාත් මනුස්සයෙක්. මාත් කැමතියි හිත නිස්කාංසුවෙ තියන් ඉන්න. මගෙ කසාද පුරුසය එක්ක එද්දි මට අවුරුදු දහ අටයි. එදා ඉඳලා ඒ මනුස්සයා මැරෙන කම් අවුරුදු විසි පහකට කිට්ටු වෙන්න මම වචනෙකින්වත් උන්දැට වරදක් කලේ නෑ. මං දැන් වෙන මනුස්සයෙක්ව කසාද බැඳගත්තා කියන එක උන්දැට පෙනුනනම් උන්දැ ඒකටවත් මක්කවත් කියන්නෙ නැති විත්තිය මං දන්නවා.
මං ලෙඩක් දුකක් වෙච්ච වෙලාවටවත් ඔය දරුවො කියන උන් ආවෙ නෑ. මට උවමනා එපාකම් තියෙද කියල බැලුවෙ කරේ නෑ. එහෙම උන් තකහනියෙ මං මේ අයෙ බැන්ද කිව්වම උඩ පැනං ආවෙ මට ආදරේට නෙවෙයි. උන්දැලට ලැජ්ජාවක් වෙයි කියන එකට. තාත්තගෙ දානෙට අබ ඇටේක දෙයක් අරගෙන ආවෙවත් තඹ සතෙක උදව්වක් කරන්න ආවෙවත් නෑ. මැරිච්ච මිනිහෙක්ට පිං දෙන එහෙකට එහෙම කල එවුන් ජීවත්වෙලා ඉන්න මට කොහොම කරාවිද? මට මතකනෙ මගෙයි සෝමෙගෙයි ඇයි හොඳැයිය දැනගත්ත දවසෙ ඔය අපේ බෑණා හන්දියෙ බාර් එකේ ඉඳගෙන සෝමේ ටියුටරියෙ වැඩ ඉවර වෙලා යද්දි ලවුස්පීකරේ දාගෙන වගේ කියල තිබ්බ වලත්ත කතා. එහෙම එවුන් එක්ක මොන සමාදානද? මං මැරිලයි කියලා හිතාගත්ත නම් ඉවරනෙ. මං ගැන කියන්න ලැජ්ජ නම්. අම්මෙක් නෑ වගේ උන්නම ඉවරයි.
අනේ මහත්තයා මම නම් ආයෙ එන්නෙ මට එන්න හිතිච්ච දවසට. ගේ තියෙන්නෙ මගෙ නමට හන්ද හිතුණොත් ගේ විකුණල මම වෙන අහකට යනවා සෝමෙ එක්ක. මට දැන් ඕන මගෙ තැනක මට ඕන විදියට වැටිල නිස්කාංසුවෙ ඉන්න. අවුරුදු ගාණක් එක දිගට කරගෙන ආව සුමේ නතර කරල නිදහසේ හුස්මක් කටක් ගන්න. එහෙම එකේ මහත්තයත් ඔය ආ විදියටම මුන්දැල එක්ක යන්න.
උන්ගෙ ලැජ්ජාවල් උන් එපාය හදාගන්න. මට ඒවට කරන්න දෙයක් නෑ. හැබැයි මට හරි සෝමෙට හරි ආය එක එක තැන්වල වනචර කතා කියල හරි කරදර කරන්න හරි ආවොතින් ඊලඟ වතාවෙ පොලිසියට එන්නෙ මං තමයි”
ReplyForwardAdd reaction |