මන්දාරම් බිල්පත ගෙවා එන තෙක් නිම්නාවී උන් අසුනේම හිඳ උන්නාය. මන්දාරම් පැමිණ ඕ ඉදිරියේ හිඳ ගත්තේ ඇය වෙත නිල්වන් නෙත් බැල්මක් පාමිනි. නිම්නාවී එහි ගිලී නොසෙල්වී බලා උන්නාය.
” තාත්තා එහෙ වැඩ ඉවර කරගන්නකල් මෙහෙම ඉමු … මම කෝපි දෙකකුයි, ලාවා කේක් එකකුයි ඕර්ඩර් කලා … ඔන්න ඔහේ බඩටනේ කියලා කාලා ඉමූ …”
ඔහු පාසැල් ප්‍රේමවන්තයෙකු මෙන් ලාබාල හඬකින් නිම්නාවී වෙත එබී කීවාය. නිම්නාවී දෙතොළින්ද,ඇස් අග්ගිස්සෙන්ද, දෙකොපුල් මතින්ද සිනා වැසි වැට්ටුවාය. මන්දාරම් දෙස හිස එක් ඇලයකට නවා බලා උන්නාය.
” දැන් සෑහෙන්න කෑවනේ ඒත් ….”
ඕ සිනාව ගිලෙන්නට නොදීම එලෙස කීවාය.
” ඔව් ඉතින් … මේක කන්නත් ඉඩ නැත්තේ නෑනේ …මූණ දැක්කම කියන්න පුලුවන් …”
” ඒ කියන්නේ ගෑණු ළමයින්ගේ මූණු දිහා බලලා කෑම ඕර්ඩර් කරලා සෑහෙන්න පුරුද්දක් තියෙනවා වගේ නේද ?….”
නිම්නාවී ඇස් උස්සා, මදක් අසුනේ කෙලින් වී හිඳගෙන, උරහිස් පද්දා ඇසුවාය. මන්දාරම් එවර හිනා වැහි තමා මතින් වැටෙන්නට දී බලා උන්නේය. ඇහි බැම නිම්නාවී තරමටම උස්සා ඇය කී දේ නිවැරදි බව පෙන්වූවාය. ඉන් පසුව දෙතොල් එකිනෙක තෙරපවා, කොපුල් පුම්බා නිම්නාවී සතු යමක් තමා වටහා ගත් බව ඇඟවූයේය.
” කෙල්ලෝ ඇයි ආදරේ එක්කම පැරලලි ජෙලස් එකත් අරන් යන්නේ ?…”
මන්දාරම් මේසයෙන් මදක් ඉදිරියට නැවී, නිම්නාවීගෙන් විමසුවේය. ඔහුගේ හඬ අතිශය අවුලවන සුළු විය. නිම්නාවීගේ දෑස් විසල් විය. තමා අවසන් වරට පැවසූයේ කුමක්දැයි ඇයට සිහියක් වූයේ නැත. ඕ සුවපහසු ලෙසින් ඉන්නට උත්සාහ කලාය. ව්‍යාජ සුවපහසු බවක් ආඩ්‍ය කරගත්තාය.
” ම්ම්ම්….”
මන්දාරම් වෙනස් නොවී එකම ඉරියව්වෙන් උන්නේය. ඇය උන්නේ තමාට අඩියක්, හමාරක් දුරින් සිටින ඇවිස්සුම්කාරකයෙන් ගැලවී ගන්නට නොහැකිවය.
” මොකක්ද අහන්නේ?.. ඔහොම බලාගෙන ඉන්න එපා…මිනිස්සුත් ඉන්නවා….”
ඕ තමා ඉන්නේද සෙත්ගේ ඇස් වලින් ගැලවී ගත නොහැකිව,ඒවායේ ඇලවීගෙනම බව අමතක කරමින් එලෙස කීවාය. මන්දාරම් සිනාසුණේය.
සත්තයි, ඒ සිනහවෙන් නිම්නාවීගේ හදවත තුළ මළ සෛලීය හැඟීම් සිය ගණනක් පණ ගැසුවේය. වසර එකොළහක් තිස්සේ මියයමින් තිබූ හැඟීම් නහර සිය ගණනක් ගැසී ගියේය.
” ඉතින් … මට කියන්නේ … ඔයා අහක බලා ගන්නකෝ ….”
මන්දාරම් කීවේය. සිනහව අඩුවක් වූයේ නැත. රෝමය ගිණි ගනිද්දී නීරෝ වීණා වාදනය කිරීම කෙතරම් නිදහස් හැගීමක් ලෙසින් නීරෝට දැනෙන්නට ඇතිදැයි මන්දාරම් කල්පනා කලේය. නිම්නාවීගේ මව, පසන් රණවීර, තම මව, ප්‍රියලාල් අංකල්, ජිනේන්ද්‍ර, තම ආයතන ප්‍රධානියා, නිම්නාවීගේ පියා මේ සියලු දෙනා එකිනෙකා හා ගැටෙන හා නොගැටෙන ගැටීම් වල වෙලී ඇත. තමා ඒ සියලු දෙනා හා සමඟ වන ගැටීම් වල කොටස්කරුවෙක් බවද මන්දාරම් දනී. එලෙස තිබියදීත් නිම්නාවී සමඟින් වන ප්‍රහර්ෂණීය තත්පර ගිලිහී යන්නට දිය නොහේය. අහම්බකාරකව වුව මේ ලැබී ඇති තත්පර ගිලිහී යා දිය නොහේය.
නිම්නාවී තිගැස්සුණාය. වහා වේගවත් හුස්මක් සමඟින් ඕ පසෙකට වූවාය. අසුනේම හරි බරි ගැසුණාය. එහෙත් මන්දාරම් උන්නේ නොසෙල්වීය. ඉන් නිම්නාවී පත් වූයේ සුලු පටු අපහසුවකට නොවේය.
ඕ වටපිට බලමින් සෙත්ගේ ඒකාත්මික බව බිඳහෙලන්නට උත්සාහ කලාය.
” නිම්නාවී ….”
මන්දාරම් යළි ඇය ඇමතූ ස්වරයෙන් ඕ යළි ඔහු තුළ ගිලුණාය. ඕ උන්නේ ඇයට ඇයව අමතකව යන සිතිවිලි එක්කය.
” කන්න …”
මන්දාරම් එක්වරම අසුනේ පිටුපසට වූයේය. නිම්නාවී මේසය මත වූ ලාවා කේක් කැබැලි දෙක සහ කෝපි කෝප්ප දෙක දුටුවේ ඉන් පසුවය. ඕ සෙත් දෙස බැලුවාය. ඔහු මුව මත වු සිනහවේ අංශුමාත්‍රික කොටසක්වත් නොවෙනස් බව ඕ අත් දැක්කාය. අයෙකුගේ සිනහවට ඇබ්බැහි වීම ද, අයෙකුට ඇබ්බැහි වීමද මහා ප්‍රාමාණික දුරකින් ඇති කාරණා දෙකක්යැයි අයෙකුට සිතිය හැක. එහෙත් මේ ඇබ්බැහීන් දෙකම ලොව ඇති අතිශයම භයානක ඇබ්බැහීන් බව දැන් නිම්නාවී අත් දකිමින් ඉන්නා බව සැක නැත.
නිම්නාවී ඇගේ ජංගම දුරකතනය සෙස බලා එවෙලෙහි ඇති පරිසරය වෙනස් කර ගැනීමට උත්සාහ කලාය. එහෙත් පරිසරයේ පාලනය වූයේ මන්දාරම් සතුවය.
” මගේ ප්‍රශ්නේට උත්තරයක් නම් ලැබුණ් නැ …”
මන්දාරම් ඉන් පසුවද කීවේය. නිම්නාවී තමා සතු වන ශක්තීන් සෙත් ඉදිරියේ පාමින් නැගී සිටීමට උත්සාහ කලාය.
” මොන ප්රශ්නේටද ?….”
නිම්නාවී මන්දාරම් හා ගැටෙන උත්සාහයක් ගත්තාය.
” කෙල්ලෝ ඇයි ආදරේ එක්කම පැරලලි ජෙලස් එකත් අරන් යන්නේ කියලා මම ඇහුවා නේ නිම්නාවී …”
මන්දාරම් යළි විමසුවේය. වචනවල වූ ස්වරවලවත් වෙනසක් නොවෙන්නට ඔහු වග බලා ගත්තේය. නිම්නාවී ලාවා කේක් කැබැල්ලක් සහිත සුදු පැහැ පිඟාන තමා වෙත ලං කරගත්තේය.
” මොනවා අහනවාද මන්දා ?… ඔයාගේ ඔලුව වැදිලාද සෙත් … එච් ආර් මැනේජර් කෙනෙක් නේද ඔයා..කොහොම මිනිස්සුන්ව බලාගත්තාද දන්නේ නෑ …”
නිම්නාවී එක හුස්මෙන් කියා අවසන් කලාය. ඉන් පසුව වීරත්වයක් ආරූඩ කරගෙන තම සෙත් දෙස බැලුවාය.
” ඔලුව නම් වැදුණේ නෑ …. “
” ශුවර් නෑ ඒක … මේ ප්‍රශ්න ඉවර වුනාම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නගන්න වෙනවා….”
” කමක් නෑ ..පෙන්නලා බලන්න පුලුවන් ඉතින් ඔයාට සැකයක් ඒම තියෙනවා නම් නිම්නාවී .. ඔයාගේ නේ …. සම්පූර්ණ අයිතිය, වගකීම්, බලතල පවරන්නම් …”
මන්දාරම් උන්නේ නොනවතින ප්රහර්ෂයකය.
පෙරදා සෙත් වැලඳගෙන පෙම කීවාට නිම්නාවීට මෙය පහසු නැත. ඔහු වඩා ඉහළ අහසටම නැගෙන්නේය.
” අනේ …”
ඕ හිස පසෙකට ඇල කර කීවාය. මෙලෙස නොවේය. මෙහෙම නොවේය. ඇය උන්නේ කොපුල් රතු කරවාගනිමිනි. මන්දාරම් මඳ උස් සිනහවක් පෑවේය.
” කාලා ඉන්න .. කොෆී එක නිවෙනවා…”
ඒ අතරේ මන්දාරම්ගේ ජංගම දුරකතනය නාද වූයේය. එහි ඉන්නේ ප්‍රියලාල් බව පෙනෙද්දී මන්දාරම් එයට පිළිතුරු දුන්නේ විමතිය එක්කය.
” හෙලෝ …”
” පුතා …ප්‍රියලාල් අංකල් …”
” ඔව් අංකල් …. “
” පුතා බිසිද ?…”
” නෑ අංකල් ..යාලුවෙක්ගේ වැඩකට පොඩ්ඩක් එලියට ආවා…”
නිම්නාවී තිගැස්සුනාය. ඒ කිව් මිතුරා තමාද ?… මිතුරෙක්ද ?… ඕ අමනාප බැල්මක් මවා ගත්තාය. ඔහොම වචන වලටත් රිදවා ගැනීමේ පුරුද්ද , අවුරුදු ගනනාවක් නොලැබෙන ප්‍රේමයකට ආශිර්වාද කරමින් තමාට රිදෙන්නට හැරි යුවතියකට සුදුසුදැයි ඕ දැන උන්නේ නැත.
ඉන් පසුව කිසිවක් ඇයට ඇසුණේ නැත.
” ඒයි …”
” යාලුවෙක් කිව්වේ කාටද .?…”
ඕ එක්වරම ඇසුවාය.
” මොන ?…”
” කෝල් කරපු කෙනාට ඔයා කිව්වේ, යාලුවෙක්ගේ වැඩකට ආවා කියලා.. යාලුවා කිව්වේ මටද ?.. මං යාලුවෙක්ද ?…”
ඕ ඒ ඇසුවේත් එකම හුස්මටය,
මන්දාරම් යළි මේසය මතින් ඇය වෙත නැඹුරු වූවේය.
” යාලුවා කිව්වේ දිලුම්ට .. ඇයි අවුලක්ද ?..අහ්හ් ..”
නිම්නාවීගේ සිහිය යළි මෙපිටට වැටුනේය. තමා මේ කිනම් දෙයක් කියවන්නේදැයි තමා තුලින්ම ලැජාවෙන් විමසුවාය.
” අගේන් ද සේම් ක්වෙශ්ශන් ගර්ල්… කෙල්ලෝ ඇයි ආදරේ එක්කම පැරලලි ජෙලස් එකත් අරන් යන්නේ ?..’
ස්වර වෙනස් වූයේම නැත. නිම්නාවී දෙතොල් නොපිට පෙරලා මඳ සිනහවක් පෑවාය. මන්දාරම් ගේ මුවෙහි යළි මැවූනේ ඕ ආසක්ත වන ඒ සිනහවය.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |