(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“ලැප්ටොප් එක කැඩුණයින් අත කැඩුණා වගේ” කියලා විනුරි දමින්දට කිව්වෙ දමින්දගෙ ලප්ටොප් එක අරගෙන හරි එයාට සබ්මිට් කරන්න තියෙන ආටිකල් ටිකක වැඩ කරන්න හිතාගෙන. බබාලා දෙන්න නිදාගත්තම ඉතින් විනුරිට වැඩක් පලක් කරගන්න වෙලාවක් හම්බෙන්නෙ මේ වෙලාවට විතරයි.
විනුරි “ලැප්ටොප් එක ගන්නද?” කියලා අහපු ප්‍රශ්නෙට ඇඳේ හාන්සිවෙලා ෆෝන් එකෙන් ටක ටක ගෑවිල්ලෙ ටයිප් කර කර උන්නු දමින්ද උත්තර දුන්නෙ ඔලුව හොල්ලල. තමන් කියපු දේ හරියට අහගෙන ඉඳලද උත්තර දුන්නෙ කියන එකත් විනුරිට එවෙලෙ හිතුනට මොකෝ ඒකට නාස්ති කරන්න වෙලාව තිබුණෙ නැති හන්දා ලැප්ටොප් එක අරගෙන විනුරි කාමරේ තිබ්බෙ පුටුවෙන් වාඩිවුනා. ලැප්ටොප් එක ඔන්කරලා වර්ඩ් එක ඕපන් කරගෙන ලියන්න පටන් ගනිද්දි තමයි එක දිගට ෆේස්බුක් මැසෙන්ජර් එකෙන් නොටිෆිකේශන් එන්න පටන්ගත්තෙ. “මේ මහ රෑ කවුද මෙච්චර මැසේජ් දාන්නෙ?” කියන සැකේ හිතිච්ච හන්දමයි විනුරි ඒ නොටිෆිකේශන් එකකට ගිහින් බැලුවෙ.
ගින්න ඇවිලුනේ ඉන්පස්සෙ. කවුදෝ මන්දා කෙල්ලෙක් එක්ක දමින්ද රෑ තිස්සෙ චැට් කරලා තිබ්බ ඒව, ෆන් එකක් දෙන්න කියල ඉල්ලපුව දැක්කම තරහට කලින් කඳුලු ඉස්සර වුණා.
“තමුසෙ ඇයි මට මෙහෙම කලේ? ලැජ්ජ නැද්ද? දරුවන්ගෙ මූණ මතක් වුණේ නැද්ද? මට ඩිවෝස් එක ඕන” වගේ දාහක් කතන්දර, ඇඬිලි දෙඩිලි රැවිලි පිප්පිලි වලින් පස්සේත් “දරුවන් ගැන හිතා” දමින්දට සමාව දෙන්න විනුරි හිතුවා.
“මට මොන වරද කරත් මේ දරුවන්ට තාත්තා කෙනෙක් ඉන්න ඕන. තාත්තල ලැජ්ජ නැතුව වනචර වැඩ කරාට දරුවන්ට ලැජ්ජ නැතුව පාරෙ බැහැලා යන්න පුලුවන්කම තියෙන්න ඕනනෙ.මං ඒ නිසාමයි සමාව දෙන්න හිතුවෙ. නැතුව තනියෙන් උන්න නම් මම දමින්දව දාලා යන්න දෙපාරක් නෙවෙයි එකපාරක්වත් හිතන්නෙ නෑ. මං ගැන නෙවෙයි අඩුමගානෙ දරුවො ගැනවත් හිතන්න තිබ්බනෙ වනචර කම් කරන්න කලින්” කියල හිතෙන් හිතපු එක ඇත්ත. ඒ වුණාට තමන් ඔය වචනෙන් කිව්ව වගේම දමින්දට ඇත්තටම සමාව දුන්නද කියන ප්‍රශ්නෙ විනුරිගෙ හිතටම ආවෙ පස්සෙ පස්සෙ වෙච්ච දේවල් හන්දා.
දරුවො පොඩි වරදක් කරත් තමන් දරුවන්ට බණින බවත් “හැදියන් පුලුවන් නම් මහ එකා වගේම” කියල නරක විදියට දරුවන්ට කතා කරන බවත්, තමන් ඉස්සර වගේ ලස්සන අඳින්න පලඳින්න, උයන්න පිහන්න තියා කන්න බොන්නවත් උනන්දුවක් නෑ කියලා විනුරිට තේරුණා.
හිත හොඳටම රිදුණෙ ඉස්කෝලෙ හෝම් වර්ක් කලේ නෑ කියන එකටත් දරුවට “උඹලත් උඹලගෙ මහ එකා වගේමයි හැදෙන්නෙ. අහන්න එපා මං කියන දෙයක්. හිතන්න එපා මං ගැන. පුලුවන් නම් මාව මරාගෙන කාපිය” කියලා බැණපු දවසෙ දරුවො දෙන්නා අඬන්නෙ නැතුව තිගැස්සිලා වගේ බලාගෙන උන්නු විදිය දැකලා. හිත රිදිච්ච වෙලාවෙ දරුවො දෙන්නව පපුවට තද කරගෙන කඳුලු දරුවන්ගෙ කිරි සුවඳ හමන කෙස් අස්සෙ හැංගුවට “තමන් කොච්චර හිතෙන් දමින්ද තමන්ව රවට්ටපු එක අමතක කරන්න හිතුවත් ඒක වෙලා නෑ” කියන එකත්, තමන් ඉන්නෙ නිරවුල් මානසික තත්ත්වයක නෙවෙයි කියන එකත් විනුරිට තේරුම් ගියා.
විනුරි උපදේශනයට ආවෙ ඒ විදියට.
අනියම් සබඳතා කියන දේවල් ඇති නොවී තියෙන්නෙ නෑ. ඒක මේ අදකාලෙ සමාජ මාධ්‍ය භාවිතය එක්ක තව තවත් වැඩි වෙලා තියෙනවා. සමහරු තමන්ගෙ සහකරු හෝ සහකාරියගෙ අනියම් සබඳතාවයක් අහු උනාම සමාව දී හෝ නොදී වෙන් වීමකට යන්න හිතුවට හැමෝම ඒ තීරණය ගන්නෙ නෑ. සමහරු හිතනව එක වතාවක් සමාව දීලා බලනවා කියලා.
ඉතින් අද මේ ලිපියෙන් අපි කතාකරන්නෙ අන්න ඒ ගැන. “සැමියාගේ අනියම් සබඳතාවයකට සමාව දුන්න” ඔබට.
එහෙම දෙයක් වුණාට පස්සෙ ඔයා හිතන්න පුලුවන් “මම මේ වතාවට සමාව දීලා ආයෙ හොඳින් ඉන්නවා” කියලා. හැබැයි කොහොමවුණත් ඔය සමාව දීලා ආපහු හොඳින් ඉන්නවා කියන එක කරන්න ඇත්තටම හරි අමාරු දෙයක්. හිතකට තුවාලයක් වුනාම ඒකට හරියාකාර ප්‍රතිකාරයක් නොකරම ඒ තුවාලය ඔඩු දුවනවා. අලු යට වුණත් ගිනි පුපුරු රැඳිලා තියෙන්න පුලුවන් වගේම ඒ ගිනි පුපුරු විටෙන් විට උඩට මතුවෙන්න ඉඩ තියෙනවා.
මේ වගේ සිදුවීමකින් පස්සෙ ඔයාගෙ සහකරුවා ෆෝන් එක පාවිච්චි කරනවා දැක්කත්, ඔයාව දකිද්දි කෝල් එකක් කට් කරනවා වගේ දැක්කත් සැකය එකතුවෙච්ච දෙයක් හිතෙන එක නතර කරන්න අපිට අමාරුයි.ඒවා ඇතිවෙන එක සැකයක් විතරක්ම කියල කියන්න අපිට බෑ, මොකද මේවා කලින් ඔප්පු වෙච්ච දේවල් නිසා.සැකය කියන්නෙ කොහෙත්ම සිදු වෙන්නෙ නැතුව අපි මනකල්පිතව ගොඩනගාගන්න දෙයක්.
උදාහරණයක් විදියට අපි යම් තැනක ඉද්දි අපේ දෙයක් නැති උනොත් අපි වගේම පොලිසිය උනත් මුලින්ම සැකය යොමුකරන්න ඒ දේ නැතිවෙද්දි එතන හිටපු මිනිස්සුන්ගෙන් ක්‍රිමිනල් රෙකෝඩ් එකක් හෝ,මේ වගේ පෙර අවස්තාවකදි සැකකරුවෙක් වෙලා තියෙන කෙනෙක්ව. ඒක තමයි අපි හැදිලා තියෙන විදිය. මේ වගේ අවස්තාවල ඕනම බිරිඳකගෙ හිතේ තමන්ගෙ සැමියා ගැන “ආයෙ මෙයා මාව රවට්ටනවද?” කියන කුකුස ඇතිවෙනවා. සමහරවෙලාවට සැමියා ආයෙ වරදක් නොකරත් බිරිඳගෙ පැත්තෙන් එයා හරි අසරණයි. තමන් ආදරය කරන කෙනෙක් තමන්ව රවට්ටනව කියන එක දරාගන්න අමාරු දෙයක්. ආදරය කරපු කෙනෙක් තමන්ව රවට්ටල කියල දැන දැන ඒකට සමාව දීලා ආදරේ කරන එක ඊටත් වඩා අමාරු දෙයක්. සමාව දෙන්න හිත හදාගන්න කොච්චර අමාරුද කියල දන්නෙ සමාව දීපු කෙනෙක් හෝ සමාව දෙන්න උත්සහ කරන කෙනෙක් විතරයි.
ඒ නිසමයි මෙවන් දේකට මුහුණ දුන්න කෙනෙක් ඉතාම ශක්තිමත් විය යුතු වගේම, එහෙම දෙයකට මුහුණ දුන්න කෙනෙක් මේ සමාව දීම කරලා තියෙන්නෙ ඉතාම අමාරුවෙන් බව තේරුම්ගන්න ඕන. ඒක හරිම අමාරු කාලයක්. ජීවිතේ කියන්නෙ මිනිස්සුන්ට කොහොමත් අපහසු දෙයක්. මෙවනි දෙයකට මුහුණ දුන්න කෙනෙක්ට ජීවිතේ කොහොමත් අපහසුයි. ලෝකෙට පෙන්නගෙන ඉන්න ඕන, දරුවන්ට පෙන්නගෙන ඉන්න ඕන වෙස් මුහුණක්. හිතෙන් කොච්චර ඇඬුවත් එළියෙන් හිනාවෙලා ඉන්න ඕන. ඒක කරන්න ලේසි දෙයක් නෙවෙයි.
මේ වගේ අවස්තාවක “මාව එයා රැවැට්ටුවා” කියල හිතේ පිරිලා තියෙන තරහ ඔයා නොදැනුවත්වම දරුවො ඉන්නවනම් දරුවො පිටින්,රැකියාවක් කරනවනම් එතන ඉන්න අය පිටින් යන්න ලොකු ඉඩක් තියෙනව. ඒ වගේ දේකට මුහුණ දෙන බාහිර සමාජය ඇත්තට අසරණ වෙලා, ජීවිතේ අමාරු අඩියක ඉන්න බිරිඳ “හරිම නපුරු, ඇඟට කඩන් පනින, තරහ යන” කෙනෙක් විදියට දැක්කට තමන්ගෙ අසරණකම දන්නෙ ඒ ප්‍රශ්නෙට මූණ දුන්න කෙනා විතරයි.
තාත්තා කරපු වැරදි වලට දරුවන්ට බනින එක ලොකු වරදක් වෙන්නෙ ඒක ඒ දරුවන්ගෙ මනසට වගේම Personality එකට ලොකුම ලොකු නරක බලපෑමක් ඇති කරන නිසා.
ඉතින් මේ වගේ අවස්තාවක ඔයා මොකද කරන්න ඕන?
සමාව දුන්නා කියල හිතනවනම්, එතනින් එහාට ඔයා ජීවිතේ ඉදිරියට අරගෙන යන්න ඕන”මම සමාව දුන්නා, මම සමාව දෙන්න ඕනද” කියල හිත හිතා නෙවෙයි. පවුලක මුල් තැන බිරිඳට එහෙම නැත්තම් අම්මට හිමිවෙනව. ගේ ඇතුලෙ අවුලක් ඇති කරන්න වගේම නැති කරන්නත් ඇයට අසීමිත හැකියාවක් තියෙනවා. මනස වැටිලා කියල පෙන්වන බොහෝ දේ ඇගෙන් වෙන්න පුලුවන්. හරියට උයන්නෙ පිහන්නෙ, අස්පස් කරන්නෙ නෑ. දරුවන්ට බනිනව. තමන් ගැන සැලකීමක් නෑ. ඒ විදියට සමාව දීලා වැඩක් නෑ. අඬන්න ඕන දරුවො නැති තැන්වල. මොකද දරුවන්ගෙ ජීවිතේට මේ වගේ දේවල්වලින් Effect වෙන්න ඉඩක් නොදෙන එක අපේ වගකීමක් වෙන්න ඕන. වැරදි කලේ අපි නම් ඇයි දරුවො ඒකට විඳවන්න ඕන කියන එක නිතරම හිතන්න.
වෙලාවක් දාගෙන දරුවො එක්ක එක්කහු වෙලා ගේ අස් කරන්න. දරුවො ආස දේවල් හදන්න. දරුවො කීපදෙනෙක් ඉන්නවනම් එක එක දරුව ආස දෙයක් හදලා දෙන්න දවස් වෙන් කරගන්න. ඒකට කියන්නෙ Consideration එහෙම නැත්තම් සැලකීම. විශේෂයෙන්ම මානසිකව සලකන එක හරි වැදගත්. දරුවො ඉගෙන ගන්නෙ ගෙදරින්, දරුවො ඒ ඉගැන්වීම් මත තමයි අනාගතයේ තමන් මොන වගේ කෙනෙක්ද වෙන්නෙ කියන එක තීරණය වෙන්නෙ.
දරුවන්ට Consideration උගන්වන්න.මොකද මේ Consideration කියන දේ නොදන්නකම තමයි Cheating වලට ගොඩක්ම හේතුවෙන්නෙ. දකින දකින කෙනා ලස්සනයි කියල හිතල ගෙදර ඉන්න බිරිඳව අමතක කරලා එහෙම යන්න පුලුවන්කමක් නෑ කිසිම කෙනෙක්ට. එතනදි තමයි ඒ Consideration කියන දේ වැදගත් වෙන්නෙ. පොඩිකාලෙම දරුවන්ට ඒ වගේ දෙයක් උගන්වන එක “තාත්තා කල වරද දරුවා අතෙන් අනාගතයේ නොවෙන්න” හේතුවක් වෙන්න පුලුවන්.
ඒ වගේම තමයි වෙනද වගේම හෝ වෙනදටත් වඩා ඔය ගැන හිතන්න. Self control වෙන්න, ලස්සනට අඳින්න, ආස දෙයක් කන්න. හිනාවෙන්න උත්සහ කරන්න. වැරදි කරපු හස්බන්ඩ්ට්ට පේන්න නෙවෙයි ඔයාගෙ හිතට සතුටක් අරගෙන එන්න කියල හිතාගෙන කරන්න. ඔයා “සමාව දුන්නා” කියලා කිව්වට ඔයාගෙ ක්‍රියාවෙන් ඒක පේන්නෙ නැත්තම්, “ගෙදර ඉන්න එපා වෙනවා, වයිෆ් ගෙ බර බරේ” කියල හස්බන්ඩ්ට කියන්න ඉඩක් තියෙන්න පුලුවන්.
ඒ නිසා ඔයා ඔයා වෙනුවෙන් ලස්සනට ඉන්න. ඔයා ගැන හිතන්න. ප්‍රශ්න ඇතිවෙනවා. ප්‍රශ්න වලට ගොඩක් උත්තර තියෙනවා. Cheating කියන ප්‍රශ්නෙට ඔයා තෝරගත්තෙ උත්තරේ “සමාව දීම” කියන එක නම් ඒ සමාව දීම හිතෙන් වගේම ක්‍රියාවෙනුත් පේන්න ඕන කියන එක අමතක කරන්න එපා!
මේ වගේ අවස්තාවකදී ඔබ මානසික උපදේශන සහයක් බලාපොරොත්තු වනවා නම් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ද කරගැනීම සඳහා Smartlady Admin වරියක සම්බන්ද කරගන්න පුලුවන්!
ReplyForwardAdd reaction |