රන් මල් දම් – 69

මන්දාරම්ද නිම්නාවී සමඟින් කාව්‍යා මුණ ගැසීමට යෑම පළමු රාජකාරිය කරගත්තේය. ප්‍රියලාල් අමතා ඔහු හමුවීම ඊළඟ දවසට කල් දමා ගත්තේය. නිවාඩු දින කිහිපයක් ඉතිරිව තිබූ නිසාම, ඔහු සියලු කටයුතු වෙනුවෙන්  ඉඩ වෙන් කරවා ගත්තේය. මන්දාරම් කාව්‍යා මුණ ගැසෙන්නට යන පුවතත්, ඇය මේ වනවිට සිටින තත්වයත් ජිනේන්ද්‍රට පැවසූවේ ඒ පිළිබඳව චානක සමඟද කතා බහ කර අවසානයේය. ජිනේන්ද්‍ර කිසිවක් සිතා ගන්නට නොහැකිව මෙන් බලා උන්නේය.

” මම නිම්නාවීව අරගෙන එහෙමම හයිවේ දාන්නම් ..උඹලා දෙන්නා පැයකින් විතර එහෙමම හයිවේ දාපං …”

අවසානයේ මන්දාරම් ජිනේන්ද්‍රගේ අදහසක් නොවිමසාම තීරණය කීවේය. එහෙත් ජිනේන්ද්‍ර එයට එකඟ වූයේ නැත.

” උඹලා ගිහින් බලලා වරෙං .. මම මෙහෙ ඉන්නම් .. අම්මත් තනියම නේ …”

” අම්මාව බලාගන්න වැඩ ඇරේන්ජ් කරලා තියෙන්නේ.. උඹ වරෙන්කෝ …”

” එහෙම කොහොමද බං එකපාරටම යන්නේ ?..  කාව්‍යා ඉන්න තත්වේ මොකක්ද කියලාවත් නොදැන ..”

 එලෙසින් විරෝධය පෑවා වුවද අවසානයේ ජිනේන්ද්‍ර ගමනට එකතු වූවේය. පැය කිහිපයකින්, කාව්‍යා සේවය කරන කන්‍යාරාමය සොයා ගන්නට ඔවුන්ට හැකි විය. ඔවුන් පැමිණි කාරණය නිම්නාවී සහ ඇගේ මිතුරිය කන්‍යා සොයුරියට පැහැදිළි කර පසු ඕ ඉතා කැමැත්තෙන් කාව්‍යා ඔවුන් හමුවට එවන්න  පොරොන්දු වුවාය.

”  එයා ගිෆ්ට් ෆ්‍රොම් ගෝඩ් කියලා හිතෙන කෙනෙක් … ඒත් එයාගේ ජීවිතේ හැමදාම අඩුවක් තියෙනවා කියලා  එයා කිව්වා.. සමහරවිට,  මේ මහත්තයාව දැක්කම ඒ අඩුව පිරේවි …”

නිම්නාවිලාට හිඳගෙන සිටින ලෙස පවසා ඇය  තාවකාලිකව සමුගත්තාය. නිම්නාවී මන්දාරම් දෙස බැලුවාය. මේ නිවැරදි කරන්නට සූදානමින් සිටින්නේ තමා අතින් සිදුවූ වරදක් බව නිම්නාවී දන්නා නිසාම ඇය සිටින නොසන්සුන්කම මන්දාරම්ට වැටහුණි. එහෙත් කිසිවක් නොවීම වැලලී යනවාට වඩා පැටලුණු, වැරදුණු අතීතය යළි අලුත් වී හිස ඔසවන්නට ඉඩක් ලැබීම යෙහෙයැයි ඔහු සිතුවාය.

නිම්නාවීගේ අනාගතයටද එය පහසුවක් වනවාට මන්දාරම්ට විශ්වාසයක් තිබුණි.

ජිනේන්ද්‍ර වයසෙන් අඩක් තරමේ වන තරුණයකු තරමට නොසන්සුන්ව උන්නේය. ඔහු වේගයෙන් දෙපා සොලවමින් උන්නේය.

” ඔය කකුල් දෙක එක විදියකට තියාගන්වකෝ … එහෙම නැත්නම්, කාව්‍යා මෙතනට එනකොට කකුල් දෙක ඇහිඳින්න වෙයි අපිට …”

චානක අනෙක් අයට නෑසෙන්නට ජිනේන්ද්‍ර වෙත එබී කීවේය. ජිනේන්ද්‍ර චානක වෙත අමනාප බැල්මක් හෙලුවා පමණි.

ඇය විවාහ වූ බව තමා දන්නා නමුත්, ඉන් පසුව ඇගේ ජීවිතයේ වූ කිසිවක් නොදන්නා බව ජිනේන්ද්‍ර මේ සිහි කරන්නේ සිය වෙනි වතාවත් ඉක්මවාය. ඇය පිළිබඳව සොයා බැලිම නවතා දැම්මේම ඉන් ඇගේ ජීවිතයට යම් බාධාවක් වේයැයි බියෙනි. එහෙත්, තමාට ඇය පසුපස සිටින්නට තිබුනා යැයි දැන් ජිනේන්ද්‍රට සිතෙන්නේය. එලෙස වූවා නම් ඇය ඇද වැටුණු හැම විටෙක අල්ලා ගන්නට තිබුණි.

” කමක් නැහැ …. දැන් එයා ශක්තිමත් ගෑණියෙක් .. මම ළඟ උන්නා නම් මෙච්චර හයියක් එයාට නොලැබෙන්නත් තිබුනා..”

ඔහුට එලෙස කියවුණි . එය චානකටද ඇසුණි. එහෙත් චානක එය ගලපා ගන්නට ජිනේන්ද්‍රගෙන් පිළිතුරු බලාපොරොත්තු වූයේ නැත.

” මට බයයි …”

” අපි ඔක්කොම ඉන්නවානේ… මොකටද බය වෙන්නේ ?… ඔයා කල්පනා එක්ක කාව්‍යාට කතා කරන්න ඉස්සෙල්ලාම ..පස්සේ අපි අයියාව මුනගස්වමු …”

ඔවුන් ට සෑහෙන දුරකින් හිඳ සිටින චානක සහ ජිනේන්ද්‍ර දෙස බලමින් මන්දාරම් කීවේය. නිම්නාවී හිස සැලුවාය. කාව්‍යා රෝද පුටුව තනිවම ක්‍රියාත්මක කරගෙනම ආවාය. පැමිණ සිටින්නේ කවුරුන්දැයි එක්වරම ගලපා ගන්නට නොහැකිව මෙන් ඕ ඒ මේ අත බැලුවාය. මන්දාරම් නිම්නාවීගේ හිස පිරිමැද එතැනින් නික්මුනේය. කල්පනා එලෙස්සින් විමසාගෙන නිම්නාවී අසලින්  හිඳගත්තාය.

” අඳුනගන්න බෑ ?…”

කල්පනා විමසද්දීම ඕ කල්පනාව හඳුනා ගත්තාය..

” දෙයියනේ කල්පනා අක්කේ… කොහේද මේ ?…”

” කොහේද මේ කියන්නේ ඉතින් … මෙහෙ තමයි …”

කාව්‍යා නිම්නාවී දෙසද විමසිල්ලෙන් බැලුවාය.

” අඳුනගන්න බෑ ?..”

කල්පනා ඉන් පසුව විමසුවාය. නිම්නාවී අසීරුවෙන් සිනාසුණාය. කාව්‍යා ඔවුන් වෙතට රෝද පුටුව සමීප කරගත්තාට. නිම්නාවි ඇගේ අතකින් අල්ලා ගත්තාය. කාව්‍යාට නිම්නාවීගේ මුහුණ අමතකව තිබුනේ නැත. එහෙත් ඕ උන්නේ නිම්නාවී කිසි ලෙසකින්වත් තමා හමුවට එන්නට හේතුවක් නොමැති බව සිතමිනි. එනිසාම මේ නිම්නාවී විය නොහැකි බව සිතමිනි. එහෙත් කල්පනා එලෙසින් විමසද්දී මේ නිම්නාවීමම බව ඕ තහවුරු කර ගත්තාය.

කාව්‍යා නිම්නවී වෙත හිතවත් සිනහවක් පෑවාය.

” ඔයාගේ හිනාව ඉස්සර වගේමයි නංගී …”

නිම්නාවී ඇගේ අත තදින් අල්ලා ගනිමින් කීවාය.

” කොහොම  හරි හිනාවෙලා ඉන්න  උත්සාහ කරනවා අක්කේ …”

නිම්නාවිද කාව්‍යාද එකම ගැඹුර දරන සුසුමක් හෙලූහ. නිම්නාවී සියල්ල පැවසීම ඇරඹිය යුතු වුවද  ඕ උන්නේ කිසිවක් ගලපා ගන්නට නොහැකිවය. කල්පනාද නිම්නාවීට බාධා නොකර සිටින්නට පරෙස්සම් විය. මේ වසර ගනනාවක් තිස්සේ කැකෑරෙමින් තිබූ යමක් නිසා, එක්වරම සියල්ල  ගලපා ගැනීම පහසු නැති බව කල්පනාද සිතුවාය.

” ඔයා දිගටම මෙහෙද ඉන්නේ ?…”

නිම්නාවී ඉන් පසුව ඇසුවාය.

” ඔව් .. වැකේශන් එකට මම සතියකට විතර ගිහින් අම්මලා බලලා එනවා.. අම්මලා මෙහෙ ඇවිල්ලා යනවා නිතරම …”

කාව්‍යා ඉතා සන්සුන් ලෙසින් පිළිතුරු දුන්නාය. ඕ සිටින්නේ ජීවිතය පිළිබඳව සෑහෙන අවබෝධයකින් බව බ= නිම්නාවී සහ කල්පනා යන දෙදෙනාටම සිතුණි.

“කාව්‍යා අපි ආවේ ඔයත් එක්ක වැදගත් දෙයාක් කතා කරන්න …”

නිම්නාවී කෙලෙසකම හෝ පිවිසුමක් සදාගන්නට සිතමින් කීවාය.

” ඔව් අක්කේ.. මට හිතුණා ඒත් .. එකපාරටම මෙහෙම ආවම …”

කාව්‍යාද ඇයට දැනුණ විමතිය එලෙසින්ම කීවාය.

” ඔයාට මතකයිද ජිනේන්ද්‍ර අයියාව ?…”

නිම්නාවී එලෙසින් විමසන විට කාව්‍යා තිගැස්සී යනු දෙදෙනාම දුටුවහ. ඕ පිලීතුරක් නොදී නිම්නාවී දෙස ඔහේ බලා උන්නාය. ඇගේ දෑස් රත් පැහැව යන බව දුටු නිම්නාවී ඇය වෙත තවත් ලංවන සේ අසුනේ ඉදිරියට වූවාය.

” අමතක නෑ නේද ?..”

කාව්‍යා එවර නැතැයි පවසන්නට හිස සැළුවාය.

” මං එයාව එක්කගෙන ආවා කාව්‍යා … මීට අවුරුදු ගානකට කලින්, මගේ තිබුන ආත්මාර්තකාමීකමට මම කල වරදක් පුලුවන් තරමින් හරි හරිගස්සන්න හිතාගෙන ආව ගමනක් මේ …”

නිම්නාවී එලෙසින් පවසද්දී කාව්‍යා වහා ඇගේ අතින් මිදුණාය. රෝද පුටුව පසෙකට කරගෙන අවට සිටින්නේ කවුරුන්දැයි බැලුවාය. කල්පනා වහා නැගිට රෝද පුටුවෙ පාලනය තමා සතු කර ගත්තාය.

” මොනවද අක්කේ මේ කරන වැඩ?… ඔයාලාට පිස්සුද ?… එයා කවුද ?.. මම කවුද ?… කේලමක් අහලා මම එයාව අතෑරලාම දැම්මේ… එයාට අඩුම තරමේ මම ඉඩක්වත් දුන්නේ නෑ කතා කරන්න .. එහෙම තියෙද්දී ඇයි ආයෙම .. අනෙක ..ඔයාලාට පේනව නේද මම ඉන්න විදිය .. මේ විතරක් නෙවෙයි, මානසිකවත් මම මහ බිඳුණු ගෑණියෙක් … ජිනේන්ද්‍ර අයියා තවම එයාගේ ජීවිතේ දේවල් හොයාගෙන යන ගමන් .. එයාට හොඳ ගෑණු ළමයෙක් බැඳලා සතුටින් ඉන්න දෙන්න … ඇයි මෙහෙ එක්කගෙන ආවේ..ප්ලීස් .. මම වැඳලා කියන්නම් ….එයාව එක්කගෙන යන්න ..කල්පනා අක්කේ .., මට යන්න දෙන්න ඇතුලට …”

කාව්‍යා හඬන්නටද ගත්තාය.

” ඒ කේලම කිව්වේ මමනේ කාව්‍යා… වැරදි මම …. ජිනේන්ද්‍ර අයියා තවව ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නේ .. ඔයා එනකල් බලාගෙන ඉන්නේ.. අනෙක එයා මේ ගමන ආවේ ඔයා පහු කරපු හැමදේම දැනගෙන … එක වතාවක් එයාට කතා කරන්න ඉඩ දෙන්න…”

පැය දෙකක්ම ඉක්ම යනතුරු නිම්නාවී සියල්ල පැහැදිලි කරාය. ඒ වනවිට ජිනේන්ද්‍රගේ ඉවසීම ඉක්ම ගොස් තිබුණි. ඔහු මන්දාරම් සහ චානකගේ විරෝධය නොතකාම නිම්නාවීලා උන් දෙසට ඇවිද ආවේය. ඔහු ඇවිද එන බව පලමුව දුටුවේ කාව්‍යාය. ඕ අසුන මත ගල් ගැසෙන තරමින් විය. ජිනේන්ද්‍ර පැමිනෙන්නේ ඉවසීම අවසානයේ බව දැන උන් නිම්නාවීද , කල්පනාද ඔහු නවතාලන්නට උත්සාහ නොකරමින් පසෙකට වූහ.

ජිනේන්ද්‍ර පැමිණියේ කාව්‍යා දෙස බලාගෙනමය. ඔහු ඕ අසලින් බිම දණ නවා හිඳගෙන ඇගේ දෑතින්ම අල්ලා ගත්තේය.

” මෙච්චර දෙයක් වෙනකොටවත් මාව මතක් නොවුනේ කොහොමද කවී ?… මම කිව්වනේ, තනියි කියලා හිතෙන ඔනිම වෙලාවක මට කතා කරන්න, මම ඉන්නවා ඔයාට කියලා…”

ජිනේන්ද්‍ර උන්නේ කාව්‍යාගේ සියලු අයිතීන් ඔහු වෙත පවරාගෙනය. කාව්‍යා ඉකි ගසමින් හැඬුවාය. කල්පනා නිම්නාවීද කැටුව පසෙකට ඇවිද ගියාය.

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles