fbpx

සඳක් කළ සක්මන් -24

මා ආකාශ් දෙස බලා ගෙන සිටියේ ඇස් පිය සලන්නට පවා අමතක වූ ගාණට ය. ඔහු කතා කරන්නේ කුඩා දරුවෙකු ගේ සිතිවිලි ඇතිව ද කියා මට නො සිතුණා නොවේ. පාරේ ඉන්නා අසරණ බලු කුක්කෙකුට කන්නට යමක් දුන්නා කියා අපි ඒ කුක්කා ව ගෙදර ගෙන යන්නට නො සිතමු. බලු කුක්කා එවන් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ උගේ දුර්වල කම කියා මම සිතමි. ගෙදරට රිංගා ගන්නට හදතොත් ඇතැම් විට පින් තකා ලැබෙන බත් කට ද කුක්කා ට නො ලැබී යන්නට පුළුවන.

ආකාශ් විසින් මා ගෙදරට ගෙන එන්නට ඇසුව හොත් නෙරංජලා ගුරුගේ ගේ ප්‍රතිචාරයත් බලු කුක්කා ට බත් දැමූ තැනැත්තා ගේ ප්‍රතිචාරයට සම වීමට පුළුවන.

“එපා එපා අයියෙ. අනේ ප්ලීස්…අම්ම එක්ක ඔය වගේ දෙයක්නං දැම්ම කතා කරන්න එපා”

මම කලබලයෙන් ද බියෙන් ද තිගැස්මට පත් ව කීවෙමි. ආකාශ් මුදු බැල්මකින් මදෙස බැලුවේ ය.

“අපි දෙයක් ලබා ගන්න ඉල්ලන්න ඕනෙ ඒක ලබා ගන්න සුදුසු තත්වෙකට පත් වෙලා අයියෙ. මං ඔයාගෙ මාළිගාවට සුදුසුකම් සපුරපු කෙනෙක් නෙවෙයි නියල ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අපි තව ටික දවසක් බලමු”

මගේ උගුරෙහි වියළි බවක් මට දැනිණ. බලාපොරොත්තුවකට කියා යමක් විණි නම් ඒ උසස් පෙළ විභාගය ය. නමුත් විභාගය දින වල අම්මා තාත්තා ගේ මිතුරෙකු සමග හෝටලයක් වෙත ගිය සිද්ධිය නිසා ඇති වූ කලබැගෑනිය, මා මානසික වශයෙන් ඉතා පහළ අඩියකට ඇද දමන ලදී. ඒ හින්දා ම මා කෙසේ ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දුන්නා ද කියා හෝ තවම මට නිශ්චිත නැත. බොහෝ විට මා බලාපොරොත්තු ව සිටියාට වඩා ඉතාමත් දුර්වල තත්වයේ ප්‍රතිඵලයක් මට ලැබෙන්නට පුළුවන. එසේ වුව හොත් ගුරුගේ මැදුර මට තවත් දුරස් වේ!

“අම්මල විරුද්ද වුණත් මගෙ තීරණේ වෙනසක් වෙන්නෑ පූජා. අපි මැරි කරනව”

එය ස්ථිර සාර හඬකි. නො සෙලවෙන පොරොන්දුවකි. නමුත් මගේ ඇතුළාන්තය දෙදරවන්නට ඒ හඬ සමත් වූ බව කිව යුතු ය. ලොකු පුතා ව ගුරුගේ මැදුරට අහිමි වී තිබේ. ඒ මුණුපුරු මිණිපිරියන් සමග හුරතල් වෙමින් ජීවිතයේ විවේකී සමය ගත කරන්නට තිබුණ අවස්ථාව ගුරුගේ යුවළගෙන් උදුරා ගනු ලැබ තිබේ. දැන් බාල පුතාත් උත්සාහ කරන්නේ සිය මවු පියන් ට ඔහු ව අහිමි කරන්න ද? ඔහු ගේ දරුවන්වත් ඒ අත්තම්මා ට අහිමි කරවන්න ද?

“ඔයා හිතුවක්කාර වෙන්න හදන්නැත්තං මං කැමතියි”

මම අමාරුවෙන් කියා ගතිමි. ඒ බිඳුණු අස්ථාවර හඬකිනි. අපේ අනාගතය ගැන සැබවින් මා තුළ කිසිදු විශ්වාසවන්ත බවක් හෝ පැහැදිලි කමක් නො වන්නේ ය. මේ ගමන අඳුරේ අත පත ගාන්නා බඳු එකකි. අඳුරට ශාප කරනවා ට වඩා එක පහනක් හෝ දල්වා ගැනීම වටී කියන කියමන මම අසා ඇත්තෙමි. මේ කුඩා රැකියාව මට එහෙව් පහන් සිළකි. නමුත් ගුරුගේ මැදුර තෙක් ගමන් කරන්නට එපහන් සිළෙහි ආලෝකය ප්‍රමාණවත් යයි සිතන්නට තරම් උමතුවක් මට නැත.

ආකාශ් පිටකොටුවේ මධ්‍යම බස් නැවතුමට නොව මහ නුවර මගේ නේවාසිකාගාරයේ පිවිසුම් දොරටුව අසලට ම මා ගෙන ගොස් ඇරලූයේ ය. ඒ වගේ රැකවරණයක් ගැන ගැහැනු හිතක ඇති වන්නා වූ ලෝබ කම සාමාන්‍ය පොදු දෙයකි. උත්පලා හා ශකිලා වෙතින් කියවුණේ ඒ පොදු ගැහැනු ආශාව කියා මම සිතමි.

“අපිට නැතත් කාට හරි එහෙම කොල්ලෙක් ඉන්න එක ගැන සතුටු වෙන්න තමයි තියෙන්නෙ”

“මාත් හොයන්නෙ ආකාශ් වගේ කොල්ලෙක්ව. එහෙම කෙනෙක් මුණ ගැහෙනකල් කවදහරි වෙනකල් තනියම ඉන්නව”

“උඹට එපානං ඒ කොල්ලව මට දීපං පූජා”

මම ඔවුන් ගේ සියලු කවටකම් වලට සිනහවකින් පිළිතුරු දී, ඔහු ට වන ඉල්ලුම ගැන ආකාශ් ට ද දුරකතනයෙන් කීවෙමි.

“ඒක තමයි කියන්නෙ. ඔයාට අගේ නැති වුණාට අපි වටින කොල්ලො”

ඔහු ආඩම්බර වූයේ ය.

“කවුද කිව්වෙ මට අගේ නෑ කියල. මං වගේ කෙල්ලෙක්ට අගේ වැඩියි කියලයි කියන්නෙ…කවදාවත් වටිනාකමක් තීරණය කරන්න බැරි තරං…”

නුවර අහස අරා නැගෙමින් පැවති සඳ වත දෙස බලා ගෙන මම මිමිණුවෙමි. නේවාසිකාගාරය පිහිටන පැරණි ගොඩනැගිල්ල ඉදිරියෙහි අතු පතර විදා වැඩුණු රොබරෝසි ගහ පා මුල වන සිමෙන්ති බංකුව, මේ නේවාසිකාගාර ජීවිතයෙහි මා කැමති ම තැනකි. දැන් මල් වරා ඇති ගස ශාන්ත ය. මා මෙහි පැමිණෙත්දී ගස මල් දරා සිටියේ ය. නටුව අතැර ලිය මල්, බංකුව මුල්ලක ගුලි ගැසී අතැර යන ලෝබ කමකින් සිටියා මතක ය.

“මේ හොස්ටල් එකේ මනුස්ස වාසයක් තියෙනව කියල ඔය බංකුව දැන ගත්තෙ පූජා ආවට පස්සෙ තමයි”

ශාලිකා වතාවක් සිනහ වෙවී කීවා ය. රාත්‍රිය උදා වෙත්දී බංකුවට විත් ඔහේ බලා සිටීම දැන් මට පුරුද්දට ගොස් ඇති සැටියෙකි. යාබද මෙතෝදිස්ත පල්ලියක ඉංග්‍රීසි භාෂාවෙන් කෙරෙන දේව මෙහෙයක හඬ මගේ සිත සන්සුන් කරන්නේ මා එම ආගම පිළිබඳව කිසිවක් ම දන්නා නිසා නොවේ. ඕනෑ ම ආගමක් සතු ව මිනිස් සන්තානය දැහැන් ගත කිරීමේ වශීයක් වන් බලයක් වන නිසා ය.

“මට පොරොන්දු වෙන්න. දැන්ම අම්මට මුකුත් කියන්නෑ කියල”

ශාන්ත වූ සිතින් ම මම ආකාශ් වෙතින් ඒ පොරොන්දුව ද ගතිමි. ඉනික්බිති හදවත වඩාත් නිස්කලංක විය. සමහර දේවල් වඩාත් සාර්ථක වන්නට නම් කාලය ගත යුතු ය. කාලයට බොහෝ දේ කළ හැකි ය!

මහනුවර ජීවිතයට මම ඇබ්බැහි වෙමින් සිටියෙමි. ඊට බලපෑ හේතු ගණනාවක් මට හැඳින ගත හැකි විය. පළමු වැන්න නම් ගෙදර පරිසරයට කුඩා කල සිට ම මා තුළ වූ අකමැත්තයි. තාත්තා ගේ සහ පිරිවර සමගින් උදා වන හැනදෑවටත් ගෙවී යන රාත්‍රියටත් මම ගෙතුළ සිට වෛර කරමින් සිටියෙමි. සඳ එළිය පොදක් දකින්නට හෝ මා රාත්‍රියේ මිදුලට බැස්සේ කලාතුරකිනි. ඇතැම් විට හෝරා ගණන් වැසිකිලි අවශ්‍යතා දරා ගෙන සිටි අත්දැකීම් වලින් ද මට අඩුවක් නැත. දැන් රාත්‍රියේ දී ත් මට නිදහසේ පිටතට පැමිණිය හැක.

පාසලේ දී හැරුණ විට ගමේ මට මිතුරු ඇසුරක් වූයේ නැත. මා කොළඹ බාලිකාවක වීම මත මුලදී ම මාව ගමේ ළමයින් විසින් දුරස් කොට තබන ලදී. මම බලයෙන් කිසිවෙකු ගේ සමාගමය පැතූ කෙනෙකු නො වූයෙමි. දැන් මට සිත් සේ ඇසුරු කරන්න ට යෙහෙළියන් දෙදෙනෙකු ම සිටිති. පාසල් මිතුරියන් සේ නොව ඔවුන් ජීවිතය පිළිබඳව අත්දැකීම් ඇති අය ය. දර්ශනයක් ඇති අය ය. ඔවුන් ගේ කතා අසා සිටීම තුළ මට උකහා ගත හැකි දේවල් අපමණ තිබිණි. ගෙවල් වලින් ඈත් වී නේවාසිකාගාර ගත ව රැකියා කිරීම නිසා ඔවුහු නිදහස් ජීවිතයක් ගෙවූහ. මා ද තව දුරටත් ළමයෙකු නොව වැඩිහිටියෙකු බව මා තහවුරු කර ගනිමින් සිටියේ ඔවුන් වෙතිනි. අනිත් අතට පාසල් යෙහෙළියන් ට වඩා නිදහස් ලෙස මට ඔවුන් සමග මගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කළ හැකි විය. නො කියා දරා ගත් දේවල් තිබුණත්, යම් යම් කාරණා ගැන ලැජ්ජා වීමකින් තොර ව හෙළි දරව් කිරීමට තරම් වැඩිහිටි මනසකින් මට ඔවුන් ඇසුරු කළ හැකි විය.

පෙර පාසලේ ඉගැන්වීමේ කටයුතු ද මා කරන ලද්දේ තෘප්තිමත් සිතකිනි. කුඩා හෝ වැටුපක් ලැබීම ද, ආශා හිතුණ දෙයක් මිලදී ගන්නට තරම් අතේ මුදලක් ගැවසීම ද මා තුළ අභිමානයක් දලු ලන්නට හේතු වී තිබිණි. ඒ නිසා මහ නුවර ජීවිතය මට ප්‍රිය විය. සතියකට වතාවක් හෝ විත් ආකාශ් ඒ චිත්‍රයේ වර්ණ ගල්වා ගියේ ය.

තාත්තා ව පොලීසියට අල්ලා ගෙන ගිය බව කියන්නට අම්මා මට හදිසි දුරකතන ඇමතුමක් ගත්තේ, මා ගෙදර ගොස් යළි නුවර විත් මසකට පසු ය. ගෙදර ගිහින් එන්නට හිත හිතා හිටියත්, මොන්ටිසෝරි විවිධ ප්‍රසංගය සඳහා කටයුතු සූදානම් වෙමින් තිබි නිසා මම ගෙදර යාම පමා කරමින් සිටියෙමි. සති අන්තයේ ද පුහුණුවීම් පැවැත්වුණේ ය. විවිධ ප්‍රසංගය නිම වීමෙන් පසු ගෙදර යාම වඩාත් නිදහස් බව මගේ යෙහෙළියන් දෙදෙනා ගේ ද අදහස විය. 

අම්මා කතා කළේ කලබලයෙනි. පොලීසීයට අල්ලා ගෙන යාම යනු තාත්තා ට අලුත් දෙයක් නොවුණේ ය. එනිසා ම එහි අපට ද අමුත්තක් නො විණ. කල්ලී ගැසී ගංජා වැනි මත් ද්‍රව්‍ය භාවිතා කිරීම සේ ම මළ ගෙවල් වල බූරුවා ගැසීම වැනි තහනම් ක්‍රීඩා වල නිරත වීම, ඔහු ව පොලිස් රැහැනට හසු වූ ප්‍රධාන හේතු ය. හැම විට ම වගේ කෙරුණේ පොලීසියට ඇප ලබා දී එතැනින් ම නිදහස් ව පැමිණීම ය. නැතහොත් පොලීසිය විසින් උසාවියට ඉදිරිපත් කරනු ලැබ එහි දී ඇප ලබා දීම ය. නමුත් මේ වතාවේ අම්මා ගේ කලබලයට අනුව පෙනුණේ මෙය වෙනදා ට පුරුදු තත්වයක් නොවන බවයි.

“මේ සැරේනං ලේසි වෙන එකක් නෑ ලොක්කි. තාත්තා අවුරුද්දකට හමාරකටවත් හිරේ වැටෙයි කියලයි කට්ටිය කියන්නෙ”

අම්මා ගේ ඒ ප්‍රකාශය මා තුළ පුපුරා යාමක් සිදු කරන ලදී.

“අනේ අම්මෙ…ඇයි ඒ…”

“තාත්ත ළඟ ගංජා වගයක් තිබිල ලොක්කි”

“ඉතිං ඕක වෙනදටත් වෙන දේනෙ”

“ඒත් මේ සැරේ වෙනදා වගේ නෙවෙයි”

“ඇයි ඒ…”

“තාත්තා ළඟ ඒවා ලොකු ප්‍රමාණයක් තිබිල තියෙනව ලොක්කි. කිලෝ ගාණක්. ලක්ෂ ගාණක් වටින බඩුලු”

“ඉතිං තාත්තට කොහෙන්ද ඒවා…එච්චර වටිනාකමක් ගෙවල ඒව ගන්න සල්ලි…”

මට ඒ කිසිවක් වැටහුණේ නැත.

“තාත්තට සල්ලි නෑ තමයි. ඒත් කීයක් මරි වැඩියෙං හම්බ කර ගන්නනෙ ඔය වැඩේට හවුල් වෙලා තියෙන්නෙ. අනේ ලොක්කියෙ. මොකක් කර ගන්නද කියල මට තේරෙන්නෙ නෑ. ඔයා ගෙදර එන්න”

ඇය මගේ මවු වූවා ට රැකියාවකින් මා ව එසේ කැඳවන්නට අම්මා ට වුව නුපුළුවන. අපේ ගෙවල් ඇතුළේ වන පෞද්ගලික ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට අප රැකියාව කරන ආයතන බැඳී නොසිටී. මේ වගේ කාර්ය බහුල අවස්ථාවක මට නිවාඩු ලබා දෙන්නට පාසල කොහෙත් ම එකඟ වූයේ නැත. එනිසාවෙන් මා ගෙදර පැමිණියේ මගේ තනි කැමැත්තට ය. ඉවික්බිති පාසල මා සේවය හැර ගියා සේ සලකනු ඇත.

ආකාශ් ට කතා කොට පිළිතුරක් හොයන්නට තරම් මට කාලයක් වූයේ නැත. මම මගේ බඩු මුට්ටු බෑග් කිහිපයකට ඔබා ගෙන ත්‍රීරෝද රියකින් බස් නැවතුම තෙක් පැමිණියෙමි.

“අපරාදෙ පූජා ජොබ් එක නැති කර ගන්නෙ”

මා නුවර කොළඹ නගරාන්තර බසයට නැගෙන්නට පෙර උත්පලා කී වෙනි වතාවට ද මන්දා නැවත කීවා ය.

“තමංගෙ පෞද්ගලික උවමනාවකට නිවාඩුවක් ගන්න බැරි තැනකට කඹුරල ඇති වැඩකුත් නෑනෙ”

ශකිලා ගේ  රැඩිකල් අදහස් වලට වෙනදා සේ සිනහ වෙන්නට තරම් දිරියක් මට වූයේ නැත. මා ආකාශ් ට කතා කළේ බසය ගමන් අරඹා ටික දුරක් යත්දී ය.

“මං පෙටා වලට එන්නං. දැං ඉතිං වෙන කරන්න දෙයක් නෑනෙ”

ඔහු කීවේ ය. මම ජංගම දුරකතනය බෑග් එකට දමා එය තුරුලු කර ගෙන ඇස් දෙක පියවා ගතිමි.

තාත්තා හා මා අතරේ කුඩා කල පටන් වූයේ ඒ තරම් හොඳ සබඳකමක් නොවන බව සැබෑ ය. ඔහු නංගීට සේ මට ආදරයෙන් කතා කොට හෝ නැත. එයට හේතුව මා තාත්තා ගේ ක්‍රියා කලාපය අනුමත නො කරමින් කළ අරගලය බව මම දන්නෙමි. නීති විරෝධී හෝ ගෙදරට හිතකර නොවූ තාත්තා ගේ ඇවතුම් පැවතුම්, අප ව අපෙන් බොහෝ දුරස් කරන ලදී. 

නමුත් ඒ මගේ තාත්තා ය. අතීතයේ දිනෙක ඔහු ව බූරු පොලක සිට පොලීසියට කුදලා ගෙන ගියා යි ආරංචි වූ දිනෙක සේ ‘හොඳ වැඩේ’  කියා කේන්තියෙන් නිහඬ වෙන්නට දැන් මට නුපුළුවන.

මම ඔහු ගේ ලොකු දුව වන්නෙමි. ගෙදර වගකීමක් ගත හැකි එක ම තැනැත්තිය මම වන්නෙමි. තාත්තා ව දිගු කාලයකට සිපිරි ගෙදරට යවන්නට හැර කෙසේ නම් මා බිම බලා ගෙන නිහඬ වන්න ද? අම්මා ට කිසිවක් ගැන බරක් පතලක් හෝ අවබෝධයක් නැත්තේ ය. නංගී නිසා පවුලට එකතු වී සිටින පිරිමියාත් හිර ගෙදර නිවස කර ගත්තෙකි. තාත්තා ට යමක් කමක් ඇති ඥාතීන් සිටිය ද, අපේ පවුලේ වන මේ අඳුරට ම නැඹුරු වූ ස්වභාවය නිසා ඔවුන් හා අප අතර ඒ තරම් සමීප ඇසුරක් නොවේ. ඕනෑ ම දේකදී දුව ගෙන එන්නට ඉන්නේ නැන්දා ළඟ ජීවත් වන ආච්චම්මා පමණකි. නමුත් ඇයට ද තාත්තා ට ඇප දී උසාවියෙන් නිදහස් කර ගැනීම වෙනුවෙන් යමක් කර ගත හැකි තත්වයක් ඇතැයි මම නො සිතමි.

තාත්තා ගේ ලොකු දුව වශයෙන්, වැඩිහිටි සමාජයට අවතීර්ණ වී සිටින එක ම දුව වශයෙන් මේ වෙලාවේ ඔහු ට සිටින්නේ මා පමණකි. ඔහු ගැන බලන්නට සිටින්නේ ත් මා පමණකි.

“ඔයා ආව කියල මොනා කරන්නද..තනියම ඔයාට මේ ගමන නො එන්නයි තිබුණෙ”

මා දුටු වන ආකාශ් කීවේ ය. ඔහු ගේ මූණේ හොඳක් නොවූ බව බැලූ බැල්මට මට පෙනිණ.

“මොනා හරි කරන්න ඉන්නෙ මං විතරනෙ අයියෙ…මං මොනා හරි කරන්නම ඕනෙ. එහෙම නැතුව තාත්තා හිරේ යනකල් නිකං බලන්ඉන්නද මං…ආ…”

මගේ හැඟීම් ද මගේ පාගනයෙන් නිදහස් වී තිබිණි. තාත්තා වෙනුවෙන් මගේ ලේ කකියන්නට වූයේ ය. ඔහු ගේ ඇස් වල මේ මොහොතේ තිබිය හැකි අන්ත අසරණ පෙනුම මට මැවි මැවී පෙනෙන්නට වූයේ ය.

“දැං ඔයාට පුළුවන්ද ඔය වගේ කේස් එකකට පොලීසි උසාවි යන්න…ඒක වැදගත් ගෑනු ළමයෙක්ට කරන්න පුළුවන් වැඩක් කියලද ඔයා හිතන්නෙ…”

මම ආකාශ් දෙස ම බලා සිටියෙමි. ඔහු ගේ ඇස් කෝපයෙන් ද නො රිස්සුමෙන් ද මන්දා දිළිසෙමින් තිබිණි. නමුත් ඔහු වෙනුවෙන් හෝ පසු බාන්නට මට ඕනෑ වූයේ නැත. තාත්තා! ඔහු මගේ තාත්තා ය!

“ඒක තමයි ඔයා තේරුං ගන්න ඕන දේ අයියෙ. මේ තමයි අපේ ජීවිතේ. අපේ ජීවිත වල මොන වැදගත් කමක්වත් නෑ අයියෙ. තවත් ටිකක් කල් මෙහෙම හිටියොත් ඔයා හොඳටම තේරුං ගනියි. අපි දෙන්න රේග් පාරක පීලි දෙකක් වගෙයි අයියෙ. ලං වෙනව වගේ එකතු වෙනව වගේ ඈතට පෙනුණට ඇත්තට ඒක කවදාවත් වෙන දෙයක් නෙවෙයි. තේරෙනවද දැං ඔයාට…”

මම හුස්ම ගන්නේ පවා නැති ව කියවා ගෙන ගියෙමි. මට හැඬුම් ආවා නොවේ. නමුත් ඇස් වල තෙතක් තිබෙනවා මට දැනුණේ ය. 

තාත්තා වෙනුවෙන් මම මගේ රැකියාව අත් හළෙමි. ඇතැම් විට තාත්තා වෙනුවෙන් මට ආකාශ් ව ද අත් හැරෙන්නට පුළුවන. පපුවේ දැවීමක් දැනුණෙන් මම මුව ද මඳක් විවර කොට හුස්මක් ගතිමි. ආකාශ් මගේ අතකින් ඇද ගෙන ගොස් රියෙහි ඉදිරි අසුනට මා නැංවූයේ ය. පණ කෙන්දක් නැති රොබෝ ආත්මයක් සේ මම එහි හිඳ ගතිමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x