සිහින අසපුව – 2 කොටස

පළමුව කවීන් සුරියබණ්ඩාර ද, දෙවනුව සුහර්ෂා සූරියබණ්ඩාර ද නිවසින් පිටව ගිය පසු අවසානයේ විහාරා ද පිටව යන්නට සූදානම්ව ආරාධ්‍යා අසළට පැමිණියාය. ඇය හැඳ සිටින තැනින් තැන ඉරී ගිය ඩෙනිම් කලිසමත්, කලු පැහැති කෙටි ටී ෂර්ට් එකත්, නිල්පාට පාවහන් යුවළත් නිසා ඇය කෙරෙන් දිස්වන්නේ ක්‍රීඩාශීලී නව යෞවනියකගේ ස්වභාවයකි. කලකට පෙර සිට පිළිවෙලකට ඇඳුම් ඇඳීම අත හැර දැමුවද, ඇය බොහෝ සුන්දර යයි ආරාධ්‍යාට සිතිණ.

“ලස්සනයි ඔයා අද.”

විහාරාගේ හිසේ සිට පාදාන්තය තෙක් විමසිලිමත් ලෙසින් බැලූ ආරාධ්‍යා පැවසුවාය.

“ලස්සන සාපේක්ෂයි.”

සිනාවකින් තොරව විහාරා පැවසුවාය.

“ඔයාට ලස්සනට පෙනුනට අපේ සුහර්ෂා මැඩම්ට නම් මම කිසිම වැඩකට නැති පිස්සියක් විතරයි. රස්තියාදුකාරියක් විතරයි. එයා කවදද මගේ ලස්සනක් දැක්කෙ?”

කරාබු යුවළක්, මාලයක්, ඔරලෝසුවක් කිසිදිනෙක නොපළඳින විහාරා දෙස මව බලන කෝණය වෙනස් බව ආරාධ්‍යාට සිහියට නැගිණ.

“මිනිහා මැරිච්ච ගෑනියක් වගේ අත කර පාලුවට එළියට යනවා. අඩුම තරමෙ කරාබු දෙකක්වත් දාගන්නවා විහාරා.”

ඇගේ සාමාන්‍ය වර්යාවන් වෙනස් වු මුල් කාලයේ අම්මා විහාරාට පවසන අයුරු ආරාධ්‍යාට ඇසී තිබිණ.

“අතකර පුරා ආබරණ ගොඩක් පළඳින්නෙ වටිනාකමක් නැති ගෑනු කියලා මං ගොඩක් ආදරේ කරපු කෙනෙක් මට කියලා තියෙනවා.”

එදින නංගී පැවසුවේ අම්මාට ඇනුම්පදයක් ලෙසින්දැයි ආරාධ්‍යාට නොවැටහිණ. ආබරණ වලට මහත් ප්‍රියතාවයක් දක්වන අම්මා රන් ආබරණ එකතු කිරීම විනෝදාංශයක් ලෙස සැළකුවාය. ඇය සතුව නා නා මෝස්තර වල රන් අබරණ රැසක් තිබේ. උපන් දිනය වැනි විශේෂ අවස්ථා වලදී තමාටද මාලයක්, වළල්ලක්, කරාබු යුවළක් ඇගෙන් තෑගි වශයෙන් ලැබුණද ඒවා පළඳින්නට ආරාධ්‍යා ද ප්‍රිය නොකළාය.

“මේ කෙල්ලන්ට පිස්සු.”

නිවසින් බැහැර යද්දී පවා දෙකන් පෙති වල පළඳා ඇති කරාබු යුවළ හැරෙන්නට අන් කිසිදු ආබරණයක් නොපළඳින තමා දෙස බලන අම්මා පවසන්නේ සිත් වේදනාවෙන් යයි ආරාධ්‍යාට සිතී තිබිණ.

“මං යනවා.”

විහාරාගේ කටහඬින් ආරාධ්‍යා කල්පනා ලොවින් මිදුනාය.

“කොහෙද යන්නෙ?”

“ලෝකෙ රවුම්. මග හොඳට තියෙනවා නම් ඇස් දෙක පේනවා නම් කොහේ යන්න බැරිද අක්කෙ? මං යනවා.”

විහාරා නිවසින් පිටව යන දෙස ආරාධ්‍යා බලා සිටියේ කම්පිත සිතින් යුතුවය. ඇය යන්නේ කොතැනකදැයි කිසිවෙකු නොදනී. අම්මාට සහ තාත්තාට ඇය යන එන තැන් පිළිබඳන සොයා බැලීමට වෙලාවක් හෝ උවමනාවක් නැත. සුහේල් නම් තරුණයා සමග ප්‍රේමයෙන් බැඳී සිටි අවධියේ විහාරා බොහෝ ආකර්ෂණීය චරිතයක් වු බව ආරාධ්‍යාට සිහි විය. ගී ගයන, නටන, කුඩා දේකට පවා හඬ නගා සිනාසෙන විහාරා, නිවසින් පිටව යද්දී තමා බදා වැළඳගෙන සිප ගන්නා අයුරු සිහිනයක් මෙන් මතකයට නැගේ. දැන් ඒ සියල්ලම නිමා වී තිබේ. විහාරාගේ සිත තුළ පවතින වේදනාව කෙතරම් වන්නට ඇත්දැයි ආරාධ්‍යා කල්පනා කළාය.

“හසිත් සර් බ්‍රෙක්ෆස්ට් ගන්න ආවෙ නෑනෙ බේබි.”

ආරාධ්‍යා අසළට පැමිණි රංජනී පැවසුවාය. සාමාන්‍යයෙන් අම්මා සිය කාර්යාලයට ගොස් අඩ හෝරාවක් පමණ ගත වන්නට පෙර හසිත් නිවසට පැමිණෙන බව ඇයට සිහියට නැගිණ. එහෙත් අද ඔහු මේවනතුරුත් නොපැමිණියේ ඇයි?

“මට මෙව්වා අස් කරලා දාන්නවත් විදියක් නෑ.”

රංජනී පවසන්නේ නොරුස්නා ලෙසිනි.

“බේබි මැඩම්ගෙ ඔෆිස් එක පැත්තෙ යන්නෙ නැද්ද?”

“නෑ.”

ආරාධ්‍යා පැවසුවාය. අම්මා විසින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයට අයත් ගොඩනැගිලි පිහිටා ඇති ඉඩම නිවසට කිලෝමීටයක් පමණ දුරින් පිහිටා තිබුණද, ආරාධ්‍යා එහි යාමට මැලි වූවාය. සේවක සේවිකාවන් මධ්‍යයෙහි රැජිණක් මෙන් පසුවන ඇය සැමියා හෝ දරුවන් එහි යනවාට කැමැත්තක් නොදක්වන බව ඉවෙන් මෙන් දැනේ. හදිසි අවශ්‍යතාවයකට හෝ එහි ගිය විටෙක ඇය හැසිරෙන්නේ වරදක් කර හසු වූ සිසුවියක දෙස විදුහල්පතිනියක බලන බැල්මෙනි. ආරාධ්‍යා එයට ප්‍රිය නොකළාය.

“මං කෝල් එකක් දීලා මැඩම්ගෙන් අහන්නද හසිත් සර් එනවද කියලා.”

රංජනී ඇසුවාය.

“රංජනී රංජනීගෙ පාඩුවෙ ඉන්න. එයා එන වෙලාවක ඒවිනෙ. සමහරවිට අද එහෙන් කන්න ඇති. කෝල්ස් දිදී මතක් කරන්න ඕන නෑනෙ.”

එසේ පැවසුවද, හසිත්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් තමා ද මෙතෙක් වේලාවක් ආලින්දයේ රැඳී සිටි බව ආරාධ්‍යාට සිහි විය.

“අනේ මන්දා බේබි.”

මඳ වේලාවක් බලා සිටි රංජනී නික්ම ගියාය.

ආරාධ්‍යා නිවසින් පිටතට පැමිණියාය. මුහුද දෙසට ඇවිද යාමට ඇති වූ සිතිවිල්ල මැඩ පවත්වා ගැනීමට ඇයට නොහැකි විය. ඒවනවිට හිරු රැස් හොඳින් පතිතව තිබුණද, වැටකෙයියා සෙවනක හිඳගෙන මුහුද දෙස බලා සිටින්නට ඇත්නම් යයි ඇයට සිතිණ.

ආරාධ්‍යා ගේට්ටුව හැරගෙන මුහුද දෙසට ගමන් කරන්නට වූවාය. මුහුදේ හඬ දුර සිටම ඇයට ඇසෙන්නට විය. සිතිවිලි ජනිත කරන්නට මුහුද කදිම තෝතැන්නක් නොවේදැයි ගමන් කරන අතරේම ඇය කල්පනා කළාය. තමා විසින් ලියමින් සිටින නවකතාවේ ඉදිරිය සැලසුම් කර ගැනීමට මෙම නිශ්චල සහ සුන්දර පරිසරය අත් වැලක් කොට ගත හැකිය.

“නෝනා… මුහුද පැත්තට යනවා වගෙයි.”

ආරාධ්‍යා ඉදිරියට පැමිණෙමින් සිටි ගැහැනිය නතර වූවාය. ඇයට එක්වරම ගැහැනිය හඳුනා ගත නොහැකි විය.

“මේරිනෙ. මට අඳුනගන්න බැරි වුනා.”

ධීවර කාන්තාවන් සහ ළමුන්ගේ සුබ සාධනය වෙනුවෙන් අම්මා විසින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයෙන් පැවැත්වෙන උත්සව වලදී සහ වැඩමුළු වලදී පෙරමුණ ගෙන වැඩ කරන මේරි බාහිරව බොහෝ වෙනස් වී තිබේ. ඇය දරුවකු ලැබීමට සිටින බව විමසිල්ලෙන් බැලූ ආරාධ්‍යා දුටුවාය.

“මේකා හම්බ වෙන්න ආවට පස්සෙ මම ගොඩක් මහත් වුනා නෝනා.”

උදරයට අත තබා මේරි පවසන්නේ සිනාමුසු මුහුණින් යුතුවය. ‘නෝනා’ යනුවෙන් ආමන්ත්‍රණය නොකරන්නැයි ඉල්ලා සිටින්නට සිතුණද ආරාධ්‍යා සිය සිතිවිල්ල මැඩ ගත්තාය. අසරණ ගැහැනියට සිය බැඳීම සහ ආදරය පල කරන්නට අවස්ථාවක් ලබා දිය යුතුය.

“නෝනා ඔෆිස් එක පැත්තෙ යනවද?”

“නෑ. මං මේ මුහුද පැත්තට යන්න කියලා.”

“පරෙස්සමෙන්.”

මේරි පැවසුවාය.

“ලස්සනට හිටියට මතක නේද එයා පහුගිය කාලෙ කරපු හරිය?”

මේරි පවසන්නේ සුනාමිය පිළිබඳව විය යුතුය. ඒවනවිට දැරියකව සිටියද සුනාමියෙන් සිදු වූ හානිය එසේ මෙසේ එකක් නොවන බව ආරාධ්‍යාට සිහිවිය. තම නිවසත්, ඒවනවිට එක් ගොඩනැගිල්ලක පිහිටා තිබූ අම්මාගේ සංවිධානයේ කාර්යාලයත් සුනාමියෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබු අයුරු මතකයට නැගෙයි. ඒවනවිට අම්මා සහ තාත්තා සමග විදේශ සංචාරයක ගොස් සිටියෙන් ජීවිත බේරා ගන්නට හැකි වූ බව අම්මා අදත් පවසයි.

“මං මේ අසරණ ධීවර ජනතාව වෙනුවෙන් කරපු යහපත් දේවල් නිසා තමයි අපේ ජීවිත බේරුනේ.”

ඇය බොහෝ අවස්ථා වල පවසන අයුරු ආරාධ්‍යාට ඇසී තිබිණ.

“දවල්ට උයන්න හාල් ටිකක් ගන්න කඩේට යනවා. මං යන්නම්.”

මේරි සමුගෙන ගිය පසු ආරාධ්‍යා මුහුද දෙසට ගමන් කරන්නට වූවාය. මුහුද දෙස සිට හමා එන සුළඟ ඇගේ හිසකෙස් අවුල් කර දමන්නට වූයේ දඟකාරියක මෙනි. ඇය සෙමෙන් සෙමෙන් වෙරළ දෙසට ඇවිද ගියාය. වැල්ල බදාගත් බිම්තඹුරු වැල් වල දම් පැහැති මල් රැසක් පිපී තිබිණ.

“ලස්සනයි.”

ඇයට සිතිණ. බිම් තඹුරු යාය පසු කරගෙන වෙරල දිගේ ඇවිද යද්දී ඈතින් පෙරලී ආ මුහුදු රළ ඇගේ දෙපා මුල හැපී බිඳී ගියේ සුදු සිනා නංවමිනි. ආරාධ්‍යා පහත් වී සිප්පි කටුවක් අහුලා ගත්තාය.

“සිප්පි කටු අයිති මුහුදට.”

කිසිවකුගේ හඬ ආරාධ්‍යා පසුපසින් ඇසිණ. ඇය හැරී බැලුවාය. හසිත්… ආරාධ්‍යාගේ සිත තුළ  දහසක් මල් පිපිණ.

“ඒ වුනාට මේක දැන් අයිති මට.”

ඇය සිනා පිරි මුවින් යුතුව පැවසුවාය.

“බලෙන් අයිති කර ගන්න හැදුවට සිප්පි කටු මුහුදට අයිතියි කියන ඇත්ත යට කරන්න බෑ මිස්.”

“මිස්?”

ආරාධ්‍යා ප්‍රශ්න කළේ සිනාමුසු මුහුණින් යුතුවය.

“ඇයි හසිත් මට මිස් කියන්නෙ?”

“මිස් තවම මිස් නිසා. මිසිස් කෙනෙක් වුන දවසක එහෙම කතා කරන්නම්.”

“පිස්සා…”

ආරාධ්‍යා හඬ නගා සිනාසුනාය. හසිත් අභියසදී දැනෙන මේ සැහැල්ලු හැඟීම නිවසේදී නොමැත්තේ මන්දැයි ඇය කල්පනා කළාය. ඇය සිතිවිල්ලේම අතෙහි තිබූ සිප්පි කටුව මුහුද දෙසට විසි කර දැමුවාය.

“ඇයි ඒක මුහුදට විසි කළේ?”

හසිත් ඇසුවේය.

“අයිති නැහැයි කියන දේවල් බලෙන් තියාගන්න හොඳ නැති නිසා.”

හසිත්ගේ මුවෙහි මෙතෙක් වූ සිනාව අතුරුදහන් වූයේ මන්දැයි ආරාධ්‍යා කල්පනා කළාය.

“ඇයි මූණ වෙනස් වුනේ?” 

ආරාධ්‍යා ඇසුවාය. ඔහු පිළිතුරක් නොදුන්නේය. උදෑසන ආහාර ගැනීමට නිවසට නොගොස්  ඔහු මෙහි පැමිණියේ මන්දැයි ආරාධ්‍යා කල්පනා කළාය. 

“අන්න රංජනී බලාගෙන ඉන්නවා ඔයා බ්‍රෙක්ෆස්ට් ගන්න එනතුරු.”

“රංජනී විතරද?”

“නෑ. බ්ලැක් ෂූස් බලාගෙන ඇති. ඔයා අතින් කන්න.”

හසිත්ගේ මුවග මුදු සිනාවක් නැගිණ. තම නිවසේ ඇති කරන පූසා වන බ්ලැක් ෂූස්ට හසිත් බොහෝ ආදරය කරන බව දැන සිටියාය. සපත්තු පැළඳුවාක් මෙන් කකුල් පමණක් කලු පැහැ ගත් පූසාට එම නම තැබුවේ මල්ලී මලීෂ ය. මලීෂ සිහිපත්ව ආරාධ්‍යාගේ මුවින් සුසුමක් පිට වූයේ නිතැතිනි. 

“ඇයි අද බ්‍රෙක්ෆස්ට් ගන්න එන්න වෙලා ගියේ?”

ආරාධ්‍යා ඇසුවාය.

“ඊමේල් වගයක් දාන්න තිබුනා. වැඩ ඉවර කරන්නෙ නැතිව කන්න බොන්න යන්න මැඩම් ඉඩ දෙන්නෙ නෑනෙ.”

අහුලා ගත් සිප්පි කටුවක් මුහුද දෙසට විසි කරන හසිත් පැවසුවේය. 

“මං හිතුවෙ අපේ අම්මගෙ නීතිරීති හසිත්ට නෑ කියලා.”

හසිත්ගේ මුහුණ නැවතත් වෙනස් විය. ඔහු ආයාසයෙන් සිනාසුනේය.

“එහෙමම නෑ. මට වුනත් ගෙදරින් කෑම කන්න කියලා මැඩම් කිව්වෙ මට ගැස්ට්‍රයිටිස් ආවට පස්සෙ.”

“හරි. හරි. එහෙනම් ගිහින් කන්න. නැත්නම් පමා වුනා කියලා අම්මා බනීවි.”

“මැඩම් ගියා. ඊටපස්සෙ තමයි මාත් මේ ආවෙ.”

ආරාධ්‍යා දෙතොල් තද කරගෙන දෑසින් සිනාසුනාය.

“බයික් එකේ එද්දි දැක්කා ගෑනු ළමයෙක් වෙරළට වෙලා ඉන්නවා. බයික් එක නවත්තලා මාත් මෙහාට ආවා.”

“ඇයි ඒ?”

“මං මුහුදට ආස නිසා.”

“එහෙමද? ඉක්මනින් යන්න හසිත්. රංජනී බලා ඉන්නවා ඔයා එනතුරු.”

“යන්නම්. ඔයත් එනවද?”

තමා මුහුද දෙසට පැමිණියේ හෝරාවක් දෙකක් මෙහි ගෙවා දමන්නට බව පවසන්නට සිතුණද ආරාධ්‍යාට එසේ නොපැවසුවාය.

“යමු.”

ඇය එකඟතාවය පළ කළාය. ඈත සිට පෙරලී ආ රළගෙඩියක් වෙරලේ හැපී බිඳී ගියේ ඇය හැඳ සිටි ගවුමද තෙමා දමමිනි.

“හොඳ වැඩේ.”

හසිත්ගේ සිනාවෙහි වූයේ එම අරුතදැයි ආරාධ්‍යාට සිතිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles