මා හද මට නැති විට -28

“අම්ම කෙනෙක්ගෙ හිතක් රිද්දලා දිනාගන්න කිසිම දේක වටිනාකමක් නෑ වගේ හිතෙනවනම් දැන්මම ඔය ළමයා ගැන හිතන එක නවත්තන්න මල්ලි. එයා වේදනා වින්ද කෙනෙක්. ඔයාගේ ආදරේ ගැන එයාට කියලා එයාගේ ආදරේ ලබාගෙන ඊටපස්සෙ අත් අරින්න නම් එපා.”

අම්මා මේ සම්බන්ධය තරයේ ප්‍රතික්ෂේප කිරීමේ පැහැදිලි සත්‍යය ගැන සිතමින් නිර්වාන්ට අක්කා එසේ පැවසුවා ය.එහෙත් නිර්වාන් එය අසා හුන්නේ මඳ සිනාවකිනි.සමහර දේ දරා ගන්නටම වෙන මොහොතකදී ඔහුගෙන් නැඟෙන්නේ මෙහෙම සිනාවක් බව නිසලි දැන සිටියා ය.

“මං රුවන්දී එක්ක රිලේෂන්ෂිප් පටන් ගත්තම අම්මා එයාට හරියට කැමති වුණා.ඔයා රහල්ව බැන්දේ අම්මගෙ ආශිර්වාදෙන් නෙවෙයිද? දෙමව්පියන්ගෙ ප්‍රාර්තනාවකට ලොකු දේවල් කරන්න පුලුවන්.ඔව් ඒක ඇත්ත තමයි අක්කේ .ඒත් අපි ගන්න තීරණයක් වැරදි නෑ කියලා පේන වෙලාවකට පවා එයාලා අපි කරන්නේ නරකම දේ කියලා ඉමෝෂනලි බ්ලැක් මේල් කරන එක නරකයි.මම දන් නෑ අම්මා ලාවන්‍යාට කැමති වෙයිද කියලවත්. අකමැති වෙලා ඒක කෙලින් කිව්වට කමක් නෑ. ඒත් ඉමෝෂනලි බ්ලැක්මේල් කරන්න දෙන්න නම් බෑ.”

වැඩිහිටි පුද්ගලයෙකුට තමන් ගන්නා තීරණ සම්බන්ධයෙන් වගකියන්නට හැකි විය යුතු වේ.එක් මිනිසෙකු අතින් ප්‍රතික්ෂේප වූ ගැහැනියක් දරා ගැනීමේ තීරණය තමන්ගේ ය.ඈ ඔහු අතින් ප්‍රතික්ෂේප වූයේ ඔහුගේ ආකාරයට ගැළපෙන්නියක නොවන නිසා මිසක ඇගේ වෙනත් ගැටලුවක් නොවන නිසා බව නිර්වාන් අවබෝධ කරගෙන හිඳියි. ලාවන්‍යාගේ විවාහයේ අමිහිරි කතා උෂාන් ද සෙනුරි ද පවසද්දී නිර්වාන් ඒවා අසා සිටියේ අසීරුවෙනි  සැබෑවටම ගැහැනියක එබඳු දුක් උසුලන්නට ඕනෑ නැති වග ඔහු විශ්වාස කරයි. අවාසනාව කියන්නේ නිර්මාණය කර ගත් කතන්දරයකි.මෙලොව වසන කිසිම ජීවියෙකු අවාසනාව මිටින් ගෙන පැමිණෙන්නේ නැත. ජීවිතය සම්බන්ධ අමිහිරි අත්දැකීම් ඕනෑම කෙනෙකු ජීවිතයේ එක් කාලයකදී ලබන්නට ඉඩ තිබේ. ඒවා ග්‍රහ තාරකා හෝ වාසනාව සහ අවාසනාව තීරණය කරන බව සිතීමම අනුවණ ක්‍රියාවකි. ඒවා ලබා දෙන්නේ තමන්ගේ බව සිතන මිනිසුන් ය. රිදවීම් ලබා දෙන්නන් ජීවිතයෙන් එලවා දැමූ පසු බොහෝ දේ යහපත්ව සිදු වන වග නිර්වාන් විශ්වාස කරයි.

“අම්මා මට කිව්වෙ රහල්ගෙන් දික්කසාද වෙන්න හිතන්නවත් එපා. ආයේ මාව පෝරුවක නග්ගන්නේ කොහොමද කියලා”

නිර්වාන් ඒ කතාවට හිනැහුණේ ලෝබ නැතිව ය. නමුත් රහල් ගැන සිහි වෙද්දී තමන්ට පෝරුවක නගින්නට හැකි වේදැයි නිර්වාන්ට විශ්වාස නැත. කිනම් මොහොතක හෝ ඒ අප්‍රසන්න මස්සිනාගේ බෙල්ල කරකවා දැමීමේ වරදට තමන් සිරගත වන්නට ඉඩ ඇතැයි ඔහු සිතී ය.

“තව කෙනෙක් එක්ක කාලයක් ජීවත් වුණු කෙල්ලක් පෝරුවෙ කලන්තෙ දානව.ඒත් හිතේ කිසිම කැමැත්තක් නැතුව රොබෝලා වගේ පෝරුවට නගින කෙල්ලො ඒ විනාඩි ගාණම අගේට ඉන්නව කියන එකම බොරුවක්නෙ අක්කේ.ඇත්තටම තමන් අකමැති කසාදයක් වෙනකොට පෝරුවෙන් බැහැල දුවන්න කෙල්ලන්ට පුලුවන් වෙන්න ඕන.ඒ නැතුව තමන් කැමති කොල්ලෙක් එක්ක එකට ජීවත් වෙලා ඒ මනුස්සයා අතින් රැවටිලා ඒ සම්බන්දෙ හරි කසාදෙ හරි කැඩෙන කෙල්ලො ඊළඟ වතාවේ පෝරුවක කලන්තෙ  දාලා හරි යන් නෑ.කාටත් වඩා ලස්සනට හිනා වෙන්න ඕන එයාලා.කුණාටුවක් පහු කරලා වසන්ත කාලෙට යන මිනිස්සු තමයි වැඩියෙන්ම හිනා වෙන්න ඕන”

එසේ පැවසූ නිර්වාන් අක්කාගේ කුස මෘදුව පිරි මැද්දේ ය 

“අර ගොබිලා එක්ක ඉන්නම බැරිනම් ඩිවෝස් වෙමු අක්කේ. සෙනුරිගේ යාලුවෙක් ඉන්නවා ලෝයර් කෙනෙක්. මං එයාට කතා කරන්නම්. ඔයාටයි චූටි දූටයි සදහටම මම ඉන්නවා. ඔයාව හොඳ කොල්ලෙක් හොයලා කසාදත් බන්දනවා මම.”

නිසලි ගවුම් කරින් කඳුලු පිස ගත්තා ය. ඉනික්බිති මල්ලිගේ බාහුවට හිස ගසාගෙන ඔහේ මොහොතක් සිටියා ය. අක්කාට සරදම් කරන කොලුවන්ට ගුටි ගසා ගැනීමට හඬ ගැසූ දෙකේ පන්තියේ කොලුවා උස්මහත් වී ඇත.නමුත් ආදරය එහෙමම ය.

“ඔයා ඒ නංගිට ළං වෙන්න. ආදරෙයි කියන්න. එයා කැමති වුණොත් එතනින් එහා සේරෝම මං බලා ගන්නම්.”

නිසලි යන්නට ගියේ මල්ලිගේ හිස අත ගාගෙනම ය.

“අහම්බෙන් ජීවිතේට එන මිනිස්සු ආපු වේගෙන්ම ආයේ යන්න යනව.ජීවිතේ කියන්නේ ඒකට.මං නිකං බොරුවට දවස් ගාණකට හරි හීනයක් දැක්කා.”

තේජගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුවත් එය නොලැබුණු තැන ලාවන්‍යා එසේ සිතමින් හිත රිදවා ගැනීම ඇරඹුවා ය.කෙටි කාලයක් තුළ සමීප වූ කෙනෙකු සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කර ගන්නට තරම් අනුවණ වීම ගැන ඇය තමන්ටම දොස් නගන්නට වූවා ය.සන්තෝසය පිණිස කිසිම හේතුවක් නොවූ නිසා අහඹු හේතු සොයමින් සතුටු වන්නට ගිය තමන්ගේ හිත ගැන ඇයට දැනෙන්නේ වේදනාවකි. ඔහු මිරිඟුවක් වග සිත තවම නොපිළිගත්තත් ඇයට හද දැදිරි වන වේදනාවක් දැනේ. අනුත්තරාට පිළිතුරක් ලබා දෙන්නට තේජට ඕනෑවටත් වඩා කාලය තිබිණ. නමුත් ඔහු කිසිවක්ම පවසා නැත.

“තනිකම මට දැනෙන්නෙ නෑ කියලා මම මාවම රවට්ටගත්තට මං තරම් රැවටිලාද කියලා මට තේරෙන්නේ මේ වගේ වෙලාවකදි. “

ඇය තමන්ටම කියා ගත්තා ය. වචනයෙන් නො පැවසුවද ගැහැනුන්ගේ දෑසෙහි ඇඳෙන කතා කියවා ගන්නට  පිරිමින්ට හැකියාව ඇතැයි කොහෙන්දෝ කියවූ කතාවක් ඈ සිහිපත් කළා ය. තම හදවත ඔහු වෙනුවෙන් උත්කර්ශයට පත්වී ඇති අන්දම අනුත්තරා කියන්නටත් කලින් තේජ වටහා ගන්නට ඇත.නමුත් ඔහුට එය භාර ගන්නට ඕනෑකමක් නැති හැඩකි.

“කසාදයක් කඩාගෙන ගෑනියෙක්ව බාර ගන්න මිනිස්සු ලෑස්ති නෑ පුතේ.ඔයා ඔය කසාද කඩාගන්නේ නැතුව ඔහොමම හිටියොත් අඩුම තරමේ ඔයාට ලෝකෙට පේන්න රැකවරණයක් හරි තියනවා. දික්කසාද ගෑනියෙක්ගෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න මිනිස්සු මේ ලෝකෙ වැහි වැහල.එහෙම මිනිස්සු ඔයා පස්සේ වැටෙනවට මම කැමති නෑ.”

භවන්ත ජීවිතයෙන් එළවා දමන්නට සැරසෙද්දී අම්මා එසේ පැවසුවා ය. ඒ භාතියගේ වර්ගයේ පිරිමින් ය. නමුත් තේජ ප්‍රයෝජනයක් නොගෙනම ප්‍රේමය ඉවත දමා තිබේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles