මම වෙන ම මලක් – 17

එහෙම කෝපයක් දියණිය කෙරෙහි ඇති කර ගැනීම ගැන දැන් නිර්මලාට දැනෙන්නේ ශෝකයකි. එමතු නොව ඇය “කොම්පැනියේ ලොක්කා” සහ නිලුපුලී හාද වනතුරු පවා බලා සිටියා ය. එහෙත් දියණිය සේවය කරන්නේ රදීෂ් ලියනාරච්චි ළඟ බව දැන් ඇය දනියි.

නංගී අයියාගේ සේවිකාවක වී තිබේ!

පාලිත ලියනාරච්චි මේවා දැනගතහොත් කෙසේ හැසිරේදැයි ඇය සිතා බැලුවා ය.

“මොකාද උඹේ ළමයගෙ මහ එකා?”

එසේ අසමින් ගුටි කෑ කිසිම දවසක පාලිතව පාවා දෙන්නට නිර්මලාට ඕනෑ වූයේ නැත. එසේ නොකරන්නට හේතුව ඔහුට ආදරය කිරීමම නොවේ. අක්කාගේ මරණයට හවුල් වන්නට තිබූ බිය ය. අක්කා මිය යාමේ ප්‍රධාන චූදිතයා තමන් වීම ගැන ඇය බිය වූවා ය. මඩකලපුවේ නොදන්නා මිනිසා ද වත්තේ උදවිය යෝජනා කරන ඕනෑම නමක් ද පිළි ගනිමින් ඉන්නට ඇය තීරණය කළේම ඒ හන්දා ය. සැබෑවටවම ඇයට පාලිතගේ නාමයක් කියන්නට නොසිතිණ.

නමුත් තවදුරටත් මේවා සඟවන්නට හැකිදැයි නිර්මලා සිතුවා ය. රදීෂ් විවාහක ය. ඒ හන්දා ඔහු නිලුපුලීට ආදරය කරන්නට ඉඩක් නැත. නමුත් රැවටීම් ගැන විශ්වාසය තබන්නට අසීරු ය.

“සිංහබාහුගෙනුයි සිංහ සීවලීගෙනුයි සිංහලයො පැවතගෙන ආවට අයියටයි නංගිටයි ළං වෙන්න දීලා මට බලන් හිටියැකි යැ.”

නිර්මලා තමන්ටම කියා ගත්තා ය. එහෙත් ඇගේ තාත්තා පාලිත බවට නිලුපුලීට කියන්නට ධෛර්යය නිර්මලාට නොවේ.

චාරු ලොකු අම්මා!

ඒ කතා කරන්නට වටින මාතෘකාවකි. ඒ මාතෘකාව ගැන නිලුපුලී සමඟ ඉක්මනින් කතා කරන්නට ඇය ඉන් අනතුරුව සිතා ගත්තා ය. සමහර මාතෘකා සම්බන්ධයෙන් කතා කිරීම පස්සට දැමීමේ කිසිම තේරුමක් නොවේ.

අතීතයේ සිදු වූ වරදක් ගැන තැවෙන්නට නිර්මලාට සිදු වී ඇත්තේ සිතා බලන්නටවත් කාලය වෙන් නොකිරීම හන්දා ය. සිතා බලන්නට බුද්ධිය පවා තිබියදී හැඟීම්වලට වහල් වෙමින් හිඳින දුලාජ් සිටියේ ද හොඳ මානසිකත්වයක නොවේ. සෙව්වන්දි කෙරෙන් මිදෙමින් අහස්‍යාට ළං වන්නට ඔහුට ඕනෑ විය. තමන්ගේ පවුල උගසට තබා සෙව්වන්දි ඔහුට අප්‍රමාණව බැඳෙමින් සිටිය ද අහස්‍යාට ඔහුගේ ප්‍රේමයෙන් අබ ඇටයක වටිනාකමක් තිබුණේ නැත.

නවීන පරම්පරාවේ සිහින කුමරෙකු සමඟ යුග ගීතයක් ගැයීම ඇගේ සංගීත ජීවිතයට යහපත් ය. එපමණකි. ඒ ඇරෙන්නට එහි වෙනත් කිසිම වටිනාකමක් නොවේ.

සෙව්වන්දිගෙන් මිදෙන මාර්ගයක් සොයමින් සිටි දුලාජ්ට පොටක් පෑදී තිබිණ. ඒ සෙව්වන්දි එක්තරා සාදයකදී තරුණ නලුවෙකු සමඟ රැයක් පුරා මධුවිත පානය කිරීම ය. එයට රැල් බුරුල් යොදා අසන්නට දේ ඇත. ඔහු ඒ වෙනුවෙන් සැරසුණේ ය.

“ශාක්‍ය කියන කතා අහලා උමතු වුණාද ඉතිං ඔයා? ගොඩක් අයට වෙන්නේ ඒකනෙ”

දුලාජ් උමතු මිනිසෙකු මෙන් හිනැහෙයි.ඔහු ඒ සිනාවෙන් ම ඇගේ දෑසට එබුණේ ය.

“මගේ අන්තංපුරේ කසාද බිරින්දෑවරුන්ට ඉඩ තියේ බබී.ඒත් ඒ තමන්ගේ කසාද පුරුසයට අයිති වෙලා මට හදවත පූජා කරනවනං විතරයි.තව තව ප්‍රේමවන්තයො හොයනවනම්, මල් යහනෙන් බැස පලයං ප්‍රභාවතී තමයි..”

සෙව්වන්දි  මහත් වියවුලෙන් දුලාජ්ගේ අත අල්ලා ගත්තේ ය.ඔහු එය ගසා දැම්මේ ය. දැන් උපරිමයෙන් කෝප වී ඇයට විශාල වරදක් පැටවිය යුතුම වේ. නැතිනම් මේ කතාව මෙතැනින් කෙළවර වන්නේ නැත.

“ශාක්‍යට ආදරේ කරන හිතෙනවනම් වහාම මගෙ දෑහට නොපෙනී යන්න සෙව්..”

සාදයකදී හමු වූ මිතුරෙකු සමඟ කතාබහ කිරීම කියන්නේ  ඔහු සමඟ ප්‍රේමයෙන් වෙළීම නොවෙන බවත් දුලාජ්ට පවසන්නට සෙව්වන්දිට බොහෝ වෙලා ගත විය.නමුත් ඔහු සිටියේ නෑසු කන්ව ය.

“කසාද මිනිහා තියාගෙන මගේ බෝඩිම් අස්සෙ රිංගපු ඔයා මට ආදරේ ඔප්පු කරන්න කියවන එක ලෝකේ තියන ලොකුම විහිළුවනෙ සෙව්වන්දි.ඔයාට පුලුවන් නේද තිලංකව වගේම මාවත් රවට්ටන්න..”

ඔහු අසයි.සැබෑවටම සෙව්වන්දි එක ප්‍රේමවන්තයාට ප්‍රේමවන්තයන් දහ දෙනෙකු සොයා ගත්ත ද දුලාජ්ට කිසිම හැඟීමක් නොවේ.නමුත් ඔහුට ප්‍රේම කරන ගැහැනු උමතුවෙන් ඔහු අසල රැඳීම ඔහුගේ එකම සතුට ය. ඔවුන් මඳ වෙලාවකට හෝ වෙනත් මිනිසෙකුට ආසක්ත වන්නේ නම් එහි සැඟවුණු රහසක් තිබෙන්නට පුළුවන

“මොනවද දුලාජ් මේ කියන්නේ?”

සෙව්වන්දි දරා ගත නොහැකි ශෝකයෙන් ඇසුවා ය.ඇගේ හදවත කැබලි දහසකට පිපිරී යමින් තිබිණ. ප්‍රේමය මෙතරම් වේදනාවක්දැයි ඇයට සිතේ.ප්‍රේමය නිදහස් හැඟීමක් බවටත් ප්‍රේමයට නිදහසේ හැසිරෙන්නට ඉඩ දිය යුතු බවටත් මන්තරයක් සේ පවසන දුලාජ්ගේ පරස්පර හැසිරීම ගැන පුදුම වෙමින් සෙව්වන්දි පැවසුවේ ශෝකයෙනි.නමුත් ඒවා අසන්නට තරම් දුලාජ්ට උනන්දුවක් නොතිබිණ.සෙව්වන්දි දුර්වලම නිලයට පහර දීම ඔහු එකම සොම්නස කර ගත්තේ ය.

“අච්චර කෝටිපති මිනිහෙක් බැඳල ඉන්න ගමන් මගේ මැසේජස් වලට දැපනෙ වැටුණු ගෑනි ඊළඟ සතියෙම මාව හොයන් ක ආවා.මට ඇනෙක්ස් එකක් අරන් දීලා මාව  නවත්තා ගත්ත.මං ආස්සරේ කරපු කිසිම ගෑනියෙක් මං ඉස්සරහ එච්චර උමතු වෙලා නෑ.එහෙව් එකියක් මට කියනව විශ්වාස කරන්නලු..”

එවන් පරිත්‍යාග කිරීම ම තමන්ගේ ආදරය ඔප්පු කිරීම නොවන්නේදැයි සෙව්වන්දිට සිතිණ.ඇය හඬමින් ද සුසුම් ලමින් ද එසේ අසද්දී  දුලාජ් වෙරළේ ගැටෙන මුහුදු රළ හා එක් වී සෙව්වන්දිට උස් හඬින් හිනැහුණා ය.

“පුලුවන් තරම් මිනිහව රවට්ටන ගෑනියෙක්ට මාව රවට්ටන්න බැරිද?”

සෙව්වන්දිට දැනුණේ කාන්තාරමය හැඟීමකි.තමන් අතරමං වී ගිය හැඟීමක් ඈ වෙළා ගත් අතර ඈ දුලාජ්ගේ අපහාස විඳිමින්ම ඔහුට බැගෑපත් වූවා ය.නමුත් දුලාජ් ඒවා නෑසුකන්ව හුන්නේ ය.

“වැද්දට කඩුව දෙන හැම කුමාරිටම අයිති ඉරණම මේකද ?”

හද බිතු ගැළවී එන ශෝකය වචනවලට පෙරළමින් ඈ ඇසුවා ය.මේ ප්‍රේමය දිනක අවසන් වී යන බව සෙව්වන්දි නොදන්නවා නොවේ.නමුත් ඒ දුලාජ්ගේ දරුණු සැකයට භාජනය වීමෙන් අනතුරුව යැයි ඇය මොහොතකටවත් සිතා තිබුණේ නැත.

“අමන ගති ඇති මෙවැනි අඟනන්

ම වැනියන් හට කුමන සරණද!”

මනමේ නාට්‍යයේ වැදි රජු ගයන ගී පදයක කොටසක් සෙව්වන්දිට සිහි වූයේ අහම්බයකිනි. දුලාජ් ද දැන් හිඳින්නේ එවැනි අදහසක ය.නමුත් මනමේ කුමරිය මෙන් “නැද්ද සිතේ අනුකම්පා” යැයි අසන්නට තරම් තමා අසරණ ව නැතැයි සෙව්වන්දිට හදිසියේ සිහි විණ.

දෙකොපුල් මත රූරා වැටෙන කඳුළු පිස දමමින් ඈ දුලාජ් හැර එන්නට ආවා ය.ඔහු මුහුදු වෙරළේ කළුවර අතර අතැර දමා නික්ම එද්දී ආපසු නොබලන්නට පවා ප්‍රවේසම් වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles