සීත මාරුතේ -10

අප පසු වෙත්දී මුණිවර නෙතු හරවා අප දෙස බැලු බව මම හොඳට ම දුටිමි. නමුත් මා සමගින් කතා කරන්නට ය කියා ඔහු රිය නතර කළේ නැත. විදුනි ට මා ඒ අහඹු හමුව ගැන කී විට ඇය හයියෙන් සිනහ වූවා මිස සතුටුදායක පිළිතුරක් ලැබුණේ ද නැත. 

“එයා ඉතිං ඔය ගුරුතලාව බොරලන්ද වැලිමඩ හපුතලේ ඔය වටේ ඕන වෙලාවක ඕන තැනක ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා”

නමුත් මගේ හිතට අමුත්තක් දැනිණ. ඒ අමුත්ත කුමක් ද කියා හරියට හැඳින ගන්නට මා අපොහොසත් වූවා පමණකි.

“ඔයා කැමතිනං ඉතිං ගිෆ්ට් එකක් දෙන්න. එයා කැමතිනං ගනී..නැත්තං ගන්නැතුව ඉඳී. ඒ ගැන වොරි වෙන්නැත්තං දෙන්න”

මුණිවර ට දෙන්නට විමසූ තිලිණය ගැන ඇගේ අදහස ද එබඳු අමුතු එකකි. නිතර ම ප්‍රසන්න සිනහවකින් හිඳින, තෘප්තිමත් තරුණියක සේ පෙනෙන ඇය, මුණිවර සේ ම මගේ සිත් ගත්තේ ය. නමුත් ඔහු සේ ම ඇය ව ද මට මුළුමනින් වැටහුනේ නැත. කෙසේ වෙතත් මම ඔහු වෙනුවෙන් රන් හා රිදී පැහැති කෆ්ලින්ක්ස් යුවලක් හා ටයි පින් එකක් සහිත තෑගි කට්ටලයක් මිල දී ගතිමි. 

ඒ තෑග්ග ලස්සන රිදී පැහැති කොළයකින් දවටා ගෙන, මැදින් පේපර් රිබන් මලක් ද අලවා ගෙන, මා සඳුදා උදෙන් ම මිස්ට් ෆීල්ඩ් වෙත ගියේ වෙනස් විදිහේ සතුටකින් නැහැවෙමිනි. මගේ ස්කූටිය රථ ගාලෙහි නවතා මා දිය දහර හරහා පාලම මතින් යත්දී රතු, කහ, තැඹිලි කාෆ් මසුන් පොර කමින් මා වෙත පැමිණියහ. ගෙදරින් ගෙන එන්නට පුරුදු ව උන් පාන් පෙති ටික කඩා මම උන් වෙත දැමුවෙමි.

“මං එනකල් බලා ගෙනද හිටියෙ ඕගොල්ලො…ඕගොල්ලොන්ට හිතෙන්නැද්ද අරය එහෙම බලං ඉන්නව ඇති කියල…”

මත්ස්‍යයන් එක්ක මා කතා කළේ වට පිට බලමින් කිසිවෙකු පෙනෙන ඇසෙන මානයක ඇත්දැයි සැක බිය ඇතිව ය. මා මත්ස්‍යයන් ට ගෙදරින් පාන් ගෙනෙන බව සමහරුන්  දැන සිටියත් ඔවුන් සමග කතා කරන බව කිසිවෙකු දන්නවා යි නො සිතමි. සැබවින් මේ මිස්ට් ෆීල්ඩ් මීදුම් පියස මගේ සිත වසඟ කරගෙන තිබිණි ද මා මඳකට නතර කරවන තැනක් ලෙස මේ දිය පහර හඳුන්වා දිය හැක. කෑම දමනා නිසාවෙන් දැන් කාෆ් ලා රංචුව පිටින් මගේ සෙවනැල්ල දුටු විට පාලමට ලං වෙති.

“එයා මාව දැක්කහම මූණ පුප්පගෙන අහක බලනව කියල විතරයි මං දන්නෙ අනේ”

සුපර්වයිසර් කුටියට ගොස් බෑග් එක තබනා ගමන් මම ඇස් පා කොට යැව්වෙමි. ආඩම්බරකාරයා අහක බලා ගෙන සිටියේ ය. මම තෑගි පාර්සලය ද ගෙන ඔහු ගේ කුටිය ඉදිරියේ සිට ගතිමි. මුණිවර මට ඇතුළට එන්නයි හිස සැළුවේ කුඩා කර ගත් දෑසිනි. මම ඉක්මනට මේසය වෙත ගොස් දෑතින් ම එය ඔහු වෙත පෑවෙමි.

“ෆස්ට් සැලරි එකෙන් ගෙදර අයට ගිෆ්ට් අයිටම්ස් ගන්න ගමං මිස්ට මුණිවරටත් පොඩි ගිෆ්ට් එකක් ගත්ත. ලොකු ගාණක ලොකු තෑග්ගක්නං නෙවේ. මං දන්නව ඉතිං මිස්ට මුණිවරට මේක ලොකු දෙයක් නෙවේ කියල. සුවනියර් එකක් විදිහට විතරයි. කමන් නෑ ඉතිං.. කැමති නං විතරක් ගන්න”

මා එය ඔහු වෙත දිගු කර ගෙන සිටියේ කාටූන් චරිතයක් සේ වෙන්නට ඇත. මගේ හඬ මට ඇසුණේ ද කාටූන් කටහඬක් සේ ය. මගේ මුහුණේ වූ සිනහව කොයි තරම් මෝඩ කාටූන් සිනහවක් වූවා ද කියා නම් සිතා ගත නො හැකි ය.

මගේ කියවිල්ල පුරාවට ඔහු මගේ මූණ දෙස බලා උන්නේ කාටූන් එකක් බලනා වැඩිහිටියෙකු ගේ ඇස් දෙකකිනි. කෙසේ නමුත් මගේ දෙඩවිල්ල අවසාන වූ පසු ඔහු ගේ මූණට ආ සිනහව, කාටූන් එකේ හාස්‍යය නිසා උපන් විදිහේ අවඥා සහගත එකක් නොවේ. එය ගැහැනු හිතක් වසඟ කර ගන්නා, මා වගේ උමතු කෙල්ලක සිහිසන් කරවනා, සුශන්ත් සිං රාජ්පුත් ගේ අයස්කාන්ත, ආකර්ෂණීය, මනස්කාන්ත සිනහව ම ය.

මුණිවර සිං රාජ්පුත්!

මගේ මුහුණේ වූ හිනාව කොහොම තුනී වී ගියා ද කියා මම ම නො දනිමි. ඔහු ගේ ඒ සිනහව දුටු ප්‍රථම වතාව එය විය යුතු ය. ඒ තරම් මන බඳනා සිනහවක් ඔහු හංගා ගෙන සිටි එක හොඳ ය. නැත්නම් රැකියාව ලැබෙන්නට පෙර මා සියල්ල අවුල් කර ගනු නිසැක ය.

“තෑන්ක් යූ”

ඔහු අතක් පා එය මවෙතින් ලබා ගත්තේ ය. 

“ඇයි ඉතිං මං තෑග්ගක් එපා කියන්නෙ…”

මා ඉදිරියේ ම කිසි ගාණක් නැතිව ඔහු පරෙස්සමට කවරය ගලවන්නට වූයේ ය. එතකොට නම් මට දැනුණේ පොළොව හාරා ගෙන හැංගෙන උවමනාවකි. ඒ දුටු විට ඔහු ගේ මූණට එන සාවඥ සිනහව මට පේන්නා පේන්නා සේ විය. මුණිවර කවරය ගැලවූයේ දැවටුම් කඩදාසියට අංශු මාත්‍රික සීරීමක් හෝ නොවන ඉවසීමකිනි. මගේ අතට මෙය ලැබුණා නම් ඔය කඩදාසිය මේ වෙත්දී ඉරී, පොඩි වී, ගුලි වී අවසාන ය.

අන්තිමට එය මතු විය. එක වරක් මදෙස බැලූ මුණිවර ඇසුරුමේ පියන හැරියේ ය. මම ඇස් පිය නො සලා ඒ මූණ දෙස බලා ගෙන සිටියෙමි. ඒ මුහුණෙහි ඇඳෙනා එක රේඛාවක් හෝ මග නො හැරෙනු වස් බලා ගෙන ම සිටියෙමි. ඔහු පෙට්ටිය අතට ගෙන වඩාත් මුහුණ වෙතට ලං කොට බලා එහෙම ම ඇස් මවෙත හැරවූයේ ය.

“තෑන්ක් යූ වෙරි මච්”

එපමණකි. ඔහු සිය අවධානය මුළුමනින් ම වෙනතක යොමු කළ බව ඊළඟ මොහොතේ නැගිට පොත් රාක්කය වෙත හැරී ෆයිල් එකක් ගැනීමෙන් මට පෙනිණි. ඉවත් වී යනවා මිස ඒ වෙලාවේ වෙන කරන්නට දෙයක් වූයේ නැත. අඩු තරමින්, ඊයේ මා හොයා ගෙන ආවාද කියා හෝ අසන්නට මට දිරියක් වූයේ නැත.

දිසානායක මහතා ට ද මම කමිසයක් තිලිණ කළෙමි. ඒ මට ගුරු මුෂ්ටියකින් තොර ව වැඩ පුහුණු කිරීම වෙනුවෙනි. 

“මං එයාපෝට් යනකොට මේක ඇඳං යනව”

ඔහු අව්‍යාජ සතුටකින් කීවේ ය. මම සතුටින් වැඩ කළෙමි. 

මල් කඩන්නට සිටින්නේ ගැහැනු ළමයින් ය. මල් කැඩීමට අමතර ව වගාව ට අවශ්‍ය ජලය හා පොහොර සපයමින් ද වල් පැල හා ඉදී යන කොළ ඉවත් කරමින් ද දවස පුරා ඔවුහු වෙහෙසෙති. නමුත් ඒ වෙහෙස, මල් අතරේ සිටින නිසා ඔවුන් ට අමතක කළ හැකි වෙනවා යි මම සිතමි. දහවලට හරිතාගාර තුළ උණුහුම් ය. අව්වට නිරාවරණය වෙමින් දවස ම ගත කළ යුතු වේ. නමුත් ඔවුහු සිනහ වෙමින් වැඩ කරති.

“ඕගොල්ලො වගේ සතුටෙන් වැඩ කරන අය  ඔෆිස් එකකවත් ඇති කියල මං හිතන්නෑ”

 තේ විවේකයේ දී ඔවුන් සිනහ වෙමින් කතා  කරමින් සැහැල්ලුවෙන් සිටින වෙලාවක මම තරුණියකට කීවෙමි. ඇය අලුතෙන් සිනහ වූවා ය.

“අනේ ඉතිං මෙතනදි හිනා වෙලා ඉන්න එකක් තමයි මිස්”

“ඒ කිව්වෙ…”

“නෑ ඉතිං…මෙතනට හතා මාර වෙද්දි වැඩට එන්න පාන්දර නැගිටගෙන උයන්න ඕන. ගෙදර සේරෝම සුමේ කරල ඇවිත් ආයෙ වැඩ ඉවර වෙලා ගෙදර යන්නෙ ඒ සුමේටමනෙ. ඒ කළා කියලත් සැනසිල්ලක් තියේයැ…එක්කො බීගෙන ඇවිත් රණ්ඩු…නැත්තං සල්ලි ප්‍රශ්න. ගෙදර සේරෝම කර ගන්න ඕනෙ මේ පඩියෙන්නෙ මිස්”

“ඇයි මහත්තය හම්බ කරන ඒව…”

“මේ වැඩ කරන ගෑනු වැඩි දෙනෙක්ගෙ මිනිස්සු ගෙවල් ගැන බලන්නෙ නෑ මිස්. කීයක් හරි හම්බ කළොත් ඒක බොන්න මදි. ඒකනෙ ගෑනු අපිට මෙහෙම දුක් විඳින්න වෙලා තියෙන්නෙ”

මගේ පපුව දැවී ගියේ ය. ඔවුන් ගේ සිනහවෙන් පමණක්, ඔවුන් ලොව සතුටෙන් ම සිටිනා ගැහැනුන් යයි මම අනුමාන කළෙමි.  පිටතින් බලා ජීවිත වල අභ්‍යන්තරය ගැන නිගමන වලට එළඹීම මොන තරම් නම් වරදක් දැයි ඒ සුළු මොහොත මට පසක් කරවනා ලදී.

ඔවුන්, ඒ අහිංසක ගැහැනුන් වෙනුවෙන් යමක් කළ යුතු යයි මම සිතා ගතිමි. 

එදා  වැඩ නිම වී මා සිටියේ ගෙදර යමිනි. ගුරුතලා විදු බිමේ පිවිසුම් දොරටුව අසල සුරුවම ළඟ දී ස්කූටිය පසු කොට මුණිවර ගේ ජීප් රිය රතු පාටින් දිළිසෙමින් මා ළඟ ම නැවතිණ. මට තිරිංග ඇල්ලී තිබුණේ මාත් නො දැන ය. මගේ මුව මඳක් විවර වී තිබෙන්නට ඇත. නමුත් මටත් වඩා විශ්මයක් තිබුණේ ඔහු ගේ ඇස් වල ය. රියෙහි වීදුරුව පහත් කළ ඔහු නළල ද රැලි නංවාන විදුහල්පති ස්වරයකින් හඬ ගොරෝසු කොට මා ප්‍රශ්න කළේ ය.

“මොනාද කරන්නෙ මෙහෙ…”

මම හෙල්මට් එක ගලවා අතට ගතිමි. දෙතොල් තද කොට ගෙන ඇස් මඳක් හකුලා ගෙන මාත් සැර බව පෙන්නුවෙමි.

“මං ඉන්නෙ මෙහෙනෙ…මිස්ට මුණිවර මොනාද කරන්නෙ මෙහෙ…එදත් මං දැක්ක එනව. කාව හම්බ වෙන්නද මෙහෙ එන්නෙ…”

වහා වීදුරුව වසා දැමූ හෙතෙම රිය දොර හැර ගෙන අශ්වයෙකු සේ බිමට පැන්නේ ය. මම දෙතොල් උල් කර ගෙන නො බිය ව සිටියෙමි. බිය වන්නේ කුමට? මේ ඔහු ගේ මිස්ට් ෆීල්ඩ් නොවේ. මේ ගුරුතලාවේ අපේ අප්පච්චිගේ පාසලයි. අපේ නිල නිවාස වන්නේ මෙහි ය. ඒ ගැන ප්‍රශ්න කරන්නට ඔහු කවුදැයි දැන ගැනීම මගේ අයිතියකි.

“මං කාව හම්බ වෙන්නද මෙහෙ එන්නෙ කියල ඔයාට කියන්න ඕනද…”

“අනේ නෑ. මං මොනාද මෙහෙ කරන්නෙ කියල ඇහුව නිසයි මාත් එහෙම ඇහුවෙ. මගෙ ගේ මෙහෙනෙ. ඒකනෙ මං එන්නෙ”

“මොකද්ද…”

“මගෙ ගේ මෙහෙ කියලයි කිව්වෙ”

ඒ වෙලාවේ නම් ඉසිහින් නො රිස්සුමක් මා තුළ ද ඇති වෙමින් තිබිණි. ඔහු කතා කරන්නේ මා ව පොල් කුඩු ගාණට දමා ඔහු මේ ගුරුතලාවේ අයිතිකාරයා මෙනි.

“මොකද්ද ඔයාගෙ ගේ…”

“හරි ඉතිං මගෙ ගේ නෙවෙයි. ඒ වුණාට අපි ඉන්නකල් අපේ ගේනෙ. අප්පච්චි ඉස්කෝලෙ වැඩ කරනකල් අපේ ගේ මෙහෙ තමා තියෙන්නෙ”

“කවුද ඔයාගෙ අප්පච්චි…”

” මිස්ට මුණිවර මේ මෙතනත් මාව ඉන්ටවීව් කරනවද…”

“කවුද ඔයාගෙ අප්පච්චි…”

“වයිස් ප්‍රින්සිපල්”

“රන්මුතුගේ සර්…”

“හ්ම්..”

“ඒ කියන්නෙ ඔයා රන්මුතුගේ සර්ගෙ දුවද…”

“මිස්ට මුණිවරට ශුවර් නැද්ද…අප්පච්චිව හම්බ වෙලා අහන්නකො මං දුවද කියල”

“ඉතින් ඇයි ඔයා කලින් මට නොකිව්වෙ…”

“ඇයි මං කියන්නෙ…මිස්ට මුණිවර ඉන්ටවීව් එකේදි මගෙන් ඇහුවෙ නෑනෙ අප්පච්චිගෙ නම මොකද්ද කියල”

ඔහු මොහොතක් මදෙස බලා සිටියේ මා දිය වී යන විදිහේ බැල්මකිනි. ඊළඟට දෙතොල් තද කර ගෙන දෑත් සාක්කු වල ඔබා ගත් හෙතෙම මොහොතක් බිම බලා ගෙන සිට හැරී යළි රියට නැගුණේ ය. එය නික්ම යන විටත් මා සිටියේ හෙල්මට් එක වැලමිටේ එල්ලා ගෙන දෙපා ඇඟිලි තුඩු වලින් බිම තද කර ගෙන ය. ඔහු ගේ රිය පිටුපසින් ඉන්පසු මම හෙමිහිට ඉදිරියට ගියෙමි. මුණිවර ගේ රිය කාර්යාලය ඉදිරියේ නතර වෙත්දී,  එය පසු කර ගෙන පාසල මැදින් වැටී ඇති ගුරු පාරේ මම ඉදිරියට ගියෙමි. මා ඔහු පසු කරත්දී මුණිවර ගේ හා මගේ ඇස් තත්පරයෙන් සියයෙන් පංගුවක් තරම් සුළු නිමේශයකට එකට හමු විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles