හද සාගරේ – 4

0
1272

එදා දෙව්රම් අවදි වූයේ උදයේ නොවේ. එතකොට හිරු මුදුන් වී රස්නයක් ද දැනෙමින් තිබිණ. මැදියම් රැයක් වන තුරු ම මී විතක් සමග හුදෙකලා වී හිඳ නින්ද ගියේ කීයට දැයි ඔහු ම දන්නේ නැත. අමුතු කෙඩෙත්තුවක් සිරුර ට දැනිණ. හැම සෛලයකට ම ඇල්කොහොල් උරා මත් වී ඇත්තා සේ ය. අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන, යහන අත පත ගා ඔහු දුරකතනය සොයා ගත්තේ ය. මධ්‍යහ්නය ද පසු වී යමින් තිබේ!

තවත් ටික වෙලාවක් නිදිමත තුනී වන තුරු යහනට වී සිටි දෙව්රම් නැගී සිටියේ ආයේ නම් ඒ අතීතය දෙස හැරී බලන්නේ නැතැයි අදිටන් කරගෙන යි. ඔහු ට වෙහෙස ය. ඊටත් වඩා නීරස ය. කුණු ගොඩ වලට වට වෙන්නේ නිලමැස්සන් ය. ඒවායෙහි ම වට වී ගෙන රස විඳින්නේත් තලු මරන්නේත් ඔවුන් ය. සමනලුන් බඹරුන් දුගඳ හමනා සීමාවක රැඳෙන්නේ හෝ නැත. දැන් ඔහු ට ද උවමනා සපූ නමැති ඒ අතීත  කුණු ගොඩෙන් ඉවතට පැන දුවන්නටයි.

දිය නාගන්නට නැගී සිටිනා ගමන් ඔහු යළිදු දුරකතනය එහෙ මෙහෙ කොට බැලුවේ ය. අර විශේෂ අංකයෙන් කෙටි පණිවිඩයක් ඇවිත් ඇති බව නෙතු ගැටුණේ එවිටයි.

“හිතට දුක ඇති. ඒත් වුණ දේවල් දැන් වෙලා ඉවරයිනෙ. ඒ නිසා ඒව අමතක කරල හිත හදාගන්න. අඬන්න ඕනනං ඇති තරං අඬල හරි. ඒත් දිගටම ඩ්‍රිංක්ස් ගන්න එපා. ඔයාටම වද දී ගන්න ඕන නෑනෙ. දවල් වෙනකල් නිදාගෙන හරි නැගිටින්න. ඔෆිස් යන්න. වැඩ කරනකොට හිත රිදෙන මතක අමතක වෙලා යයි. හැමදාම සතුටෙන් ඉන්න!”

දෙව්රම් සන්දනායක ගේ මුහුණේ ලස්සන සිනහ රැල්ලක් ඇඳී ගියේ ය.

“පිස්සු කෙල්ලෙක්”

 ඔහු යහනෙන් බිමට පැන්නේ නව යෞවනයෙකු සේ ය. නාන කාමරයට වැදී සිහිල් දිය බින්දු යටට වී සිටිත්දී ද ඔහු ට ඒ කෙටි පණිවිඩ හා වාචික කතා බහක් නැති නිර්ණාමික ඇමතුම් සිහි විය. ඒ සියල්ල සිදු වෙන්නට පටන් ගෙන දැන් වසර කිහිපයක් ගෙවී ඇතිවා විය යුතු ය. නමුත් ඒ ගැන කිසි දාක ඔහු  විශේෂත්වයකින් සිතා නැත. ඒ කවුද කියා සොයා බලන්නටවත් උවමනාවක් දැනී නැත. ඒ යුවතියක බව අනුමාන කළ හැකි වී ද ඇයගෙන් කිසිදු හානියක් නැති බවට විශ්වාසයක් තිබි නිසාදෝ ඔහු ඒ ඇමතුම් පවා වදයක් කර නො ගත්තේ ය. දුරකතනයෙහි ගබඩා කරගෙන නො තිබී ද ඒ අංකයෙන් ඇමතුමක් එත්දී වහා ඔහු එය හඳුනයි. දුරකතනය සවනට ගනිමින් ‘හෙලෝ’ කියන්නේ ම මඳහසකිනි. කෙසේ වෙතත් ඔහු දැඩි අපේක්ෂා භංගත්වයකට පත් වී කිසිදු සන්තෝෂයක් ඉතිරි වී නැතිව සිටි  වෙලාවක වුව මුහුණට සිනහවක් ගෙනෙන්නට ඒ නාඳුනන යුවතිය සමත් ය. අද ඔහු ට ඈ විශේෂිතව දැනුණේ එබැවිනි.

දිය නාගත් දෙව්රම්, ඉක්මනින් සැරසී කාර්යාලයට ගියේ ය. නො ගියත් එය ගැටළුවක් වන්නේ නැත. සාමාන්‍යයෙන් ඔහු එහි යන්නේ සතියකට දින කිහිපයක් පමණකි. නමුත් මේ දවල් වී අවදි වූ අහඹු දිනයෙහි ඔහු ට එහි යන්නට සිතිණ.

දෙව්රම් සැරසුණේ කාර්යාලීය විලාසිතාවෙන් නොවේ. සුදු කපු කමිසයක් නිල් ඩෙනිම් කලිසමක් මතින් දමාගෙන සැහැල්ලු ලෙස ය. විලවුන් සුවඳ ඔහු ට ම නැවුම් ප්‍රබෝධයක් ගෙන දෙයි. නමුත් පෙර දා දේහගත කළ ඇල්කොහොල් වල ක්‍රියාකාරීත්වය මුළුමනින් අවසාන වී නැත. හිසරදයක් දැනෙමින් තිබිණි ද ඔහු එය අමතක කොට දැමුවේ ය.

පැමිණෙතැයි බලාපොරොත්තු පොදි බැඳගෙන හිඳ නො පැමිණි දාක දැනෙන රිදුම මෙන් ප්‍රකෝටි වාරයක ප්‍රහර්ශයක්, නො පැමිණෙතැයි සිතා හිඳ හදිසියේ පැමිණි වෙලාවක ඇති වේ. ආදියා ට මේත් එවැනි දවසකි. දෙව්රම් අද කාර්යාලයට එතැයි ඇය සිහිනයකිනිදු සිතුවේ නැත. නමුත් මන්දාරම් හවසක හදිසි රත්තරන් පාට හිරු එළියක් සේ ඔහු කාර්යාල දොරෙන් ඇතුළු වූයේ ය. පුරුදු ලස්සන සිනහව ඔහු ගේ මුහුණ සරසා තිබිණ. දිගු අඩි තබා සැහැල්ලුවෙන් ඔහු සිය කියුබිකල් එක දෙසට යත්දී ආදියා බලා සිටියේ විශ්මයෙන් මුව මඳක් විවර කරගෙන ය. ඇගේ  ඇස් වලින් කඳුළු ගලන්නට ලං වූවා සේ ය. කම්මුල් පුපුරු ගැසුවේ ය. දෙතොල් පත් වෙව්ලමින් තිබිණ. රුධිර සංසරණය වේගවත් වූ බවට ද සැකයක් නැත. අනිච්ඡානුගව හුස්ම නො වැටුණේ වී නම් ඇයට හුස්ම ගන්නට පවා අමතක වෙන්නට තිබිණ.

“ඔය කට වහගන්නව. මැස්සෙක් රිංගයි”

කියමින් මල්ෂා ඇගේ විවර වූ මුව මතින් අතක් තැබුවා ය. ආදියා යෙහෙළිය දෙස බැලුවේ දෑස් වඩාත් ලොකු කරගෙනයි.

“ඇ… විත්…”

“ඉතිං හොඳයිනෙ… සතුටු බෝනස් එකක්”

“දෙයියනේ… විශ්වාස කරගන්නත් බෑ”

“හැමදාම නෑ නංගී…”

“අනේ අද හරිම කිව්ට්. එයා පව් මල්…”

“මංගලාට ඇහුණොත් එහෙම තෝව සම්බෝල කරයි. දැං ඒකා දිහා ගිලින්න වගේ බලං ඉන්නැතුව වැඩක් කරගනිං”

දෙතොල් පියන් තද කර සිනහව ඈ තුළ ම හිර කරගෙන ආදියා පරිගණක තිරය වෙත යොමු වූවා ය. මඳ වෙලාවකින් අභ්‍යන්තර දුරකතනය ඔස්සේ දෙව්රම් ගෙන් ඇමතුමක් ආවේ ය.

“අර… ඉරාක් ටාගට් කරං කරන ටීවී කමර්ශල් එකට එස්ටිමේට් කරපු බජට් රිපෝට් එක එවන්න මට”

“ඕකේ මිස්ට දෙව්රම්”

රිසීවරය තබනා ගමන් ම මංගලා ආදියා දෙසට හැරුණා ය.

“ඉරාක් කමර්ශල් එකේ බජට් රිපෝට් එක ඉල්ලනව”

“හා…”

ආදියා වෙතින් දිස් වූයේ කලබලකාරී උනන්දුවකි. මල්ෂා යෙහෙළිය වෙතට නැඹුරු වී රහසක් කීවා ය.

“ඉබ්බ දියට දාන්නද ඇහුවම ඇන්නෑවේ කිව්වලු”

“නෑ… ඉබි මස් ඕනෙ කිව්වහම ඉබ්බ තුනපහ පිටේ බැඳගෙන ම යනවලු”

ඉක්මන් කොට වාර්තාවේ මුද්‍රිත පිටපතක් ලබාගත් ඕ, එය ෆයිල් එකක බහාලමින් ම දෙව්රම් ගේ කියුබිකල් එක වෙතට ගියා ය. කලබල වැඩි කමට කඩදාසි ෆයිල් එකෙන් ගිලිහී බිම වැටෙන්නට ගියේ ය. ආදියා වහා ඒ අල්වාගත්තා ය.

“ආ… ආ… කුලප්පුව වැඩී”

කොල්ලෙක් තෙපරබෑවේ ය. ආදියා ඔහු ට රවමින් ම සීතල වීදුරු කුටියට ඇතුළු වූවා ය. පුරුදු සිනහව, ඔහු ගේ කුටියට පැමිණෙන අය පිළිගන්නට අඩුවක් නැතිව සැපයිණි.

“ගුඩ් මෝනිං මිස්ට දෙව්රම්”

කියා කියවුණේ ආදියා ගේ හිතේ වූ කලබල වැඩි කමට ම ය. නමුත් එසැනෙන් ඇයට සිහි වූයේ ඔවුන් දිවා ආහාර ද ගෙන පැමිණි බවයි. ඕ වහා නිවැරදි කළේ අත් ඔරලෝසුව දෙස බලමිනි.

“සොරි… ගුඩ් ආෆ්ටර්නූන්…”

“බොස් ඔෆිස් එන වෙලාව නේ…”

මිත්‍රශීලී සිනහවකින් දෙව්රම් ලිපිගොනුව පෙරළා ගත්තේ ය. ඔහු අස පරණ ඇල්කොහොල් වල සැර තවමත් වේ. දිය නෑව ද, විලවුන් නෑව ද ඒ සැර පුසුඹ මුළුමනින් පහ වී නැත. හිස හරවා කාර්යාල සගයන් දෙස බලත්දී මල්ෂා ඇදෙස බලා හිඳිනයුරු ආදියා ට පෙනිණ. මල්ෂා අභිනයෙන් යමක් විමසූව ද ආදියා ට ඒ වැටහුණේ නැත. ඈ වචන භාවිතා නො කරමින් නහය හකුළා ගනිමින් හා දෙතොල් උල් කරමින් ‘ගඳ’ යයි හැඟවූවා ය. මල්ෂා වමනය දැමීමක් හැඟවූවා ය. ආදියා හිටියේ සිනහව තද කර ගැනීමේ උත්සාහයක් දරමිනි. මඳ වෙලාවකින් ඇය යළි දෙව්රම් දෙස බලත්දී, විධායක අසුනේ හොඳින් හරි බරි ගැහී, කකුලක් පිට කකුලක් දමාගෙන, නිකට අතැඟිලි මත රඳවාගෙන, හිස ඇද කොට ඔහු ඇදෙස බලා සිටියේ ය. ආදියා ගේ සිනහව වහා පහ ව ගියේ ය. ඇය බිම බලාගෙන එකත්පස් වූවා ය. ඒත් දෙව්රම් ගේ ඒ බැල්ම මඳ වෙලාවක් ඒ විදිහට ම පැවතිණ.

“සොරි ඇල්කොහොල් ස්මෙල් එක එනවනං. මං ඒ ගැන එච්චර හිතුවෙ නෑ. නාලත් ආවෙ අප්ප”

“අනේ නෑ නෑ මිස්ට දෙව්රම්. එහෙමෙකක් නෑ”

ආදියා කෙතරම් කලබල වූයේ ද යත් කවරක් පැවසිය යුතු ද කියා හෝ ඇයට සිතා ගත හැකි නොවිණ.

“ඕකේ. මං මේක චෙක් කරල කතා කරන්නං. මොකද්ද නම කිව්වෙ… අ…ලි…ය…”

“අනේ අලිය නෙවෙයි… ආදියා…”

ඔවුන් දෙදෙනාට ම සිනහ නැගුණේ එක වර ය.

“අන්න හරි. ආදියා. මට ඔය නම මතක හිටින්නෙම නෑ. මං කතා කරන්නං ආදියා”

ඈ වීදුරු කුටියෙන් පිටතට පැමිණියේ සිනහව තද කරගෙන ය. නමුත් මල්ෂි වෙත යත්දී එය පුපුරා ගියේ ය. මංගලා හැරී රවා බැලුවා ය.

“මිස්ට දෙව්රම් මගෙ නම කිව්වෙ අලියා කියල”

ආදියා සිය අසුනෙහි හිඳ මේසයෙහි හිස ඔබාගෙන සිනහ වූවා ය. දෙව්රම් එක මොහොතකට ඒ කෙළිකාර සිනහව වීදුරු පව්ර අතරින් දුටුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here