හද සාගරේ – 5

0
3940

පාට වෙනස් නොවෙන සේ මුකුණුවැන්නා මැල්ලුම ඉක්මනට ළිපෙන් බා තැබූ ජිනාදරී, මැටි කරමූඩි හැර අනිත් ව්‍යාංජන හට්ටි වලට එබුණා ය. චිකන් කරියක් ද කහ බෝංචි මාළුවක් ද සිත්මි වෙනුවෙන් සුදට පරිප්පුවක් හා පපඩම් බැදුමක් ද දිවා ආහාරය වෙනුවෙන් සැකසී තිබේ.

“ලොකු දුව… ඇවිත් කන්න. ඔය පොඩි එකාටත් කන්න දෙන්න”

ඇය කතා කරන පමාවෙන් සාරධා දැරිය ද එල්ලාගෙන මුළුතැන්ගෙට ආවා ය.

“බඩගින්නෙ හිටියෙ මං”

මොන වැරදි තිබුණ ද ඇය එහෙම කියත්දී ජිනාදරී ගේ පපුව පිච්චිණි. අකීකරුකම් කොට ජීවිතය වරදා ගත්තාට සාරධා ද ඇගේ කුසින් වැදූ කාලයක් ඇය ආදරයෙන් ඇති දැඩි කළ දියණියයි. ඇස් දෙකේ  තියාගෙන පරිස්සම් කළත් ඇයව රැකගත නො හැකි වනු ඇති බව මල්වර නැකතේ දී කියැවී තිබිණ. එදා සිට ම ඒ කතාව බොරුවක් කරනු වස් ජිනාදරී නො කළ දෙයක් නැත. නමුත් දෝතෙහි වූ පැන් අහුරක් නො දැනී ම අතැඟිලි අතරින් රූරා ගියා සේ ඒ අනාවැකිය සනාථ විය. ගෑනු ළමයෙකු සඟවාගෙන ගොස් විවාහ කර ගත්තා කියා පවුලක් නඩත්තු කිරීමේ හැකියාවක් දිනේශ් ට එදා තිබුණේත් නැත. අද ඇත්තේත් නැත. ජිනාදරී ට දුක නිශ්ශංක ගැන ය. දරුවන් දීග දී බරෙන් නිදහස් වෙනු වෙනුවට ඔහු ට දැන් තවත් පවුලක බර අදින්නට සිදු වී තිබේ. දිනේශ් උදේට හැඳ පැළඳගෙන ගෙදරින් නික්ම ගියාට මොනවා කරනවාද කියා කිසිවෙක් නො දනිත්‍. කාලයකට ඔහු අනුන්ගේ ත්‍රීරෝද රියක් හයර් කරයි. බ්‍රෝකර් වැඩ කරනවා කියා සාරධා අම්මාට කියයි. නමුත් කට ගොන්නක් බීගෙන එන්නට මිස ඔහු හම්බ කරනා මුදලක් බිරිඳගේ  හෝ දරුවාගේ කෑම් බීම් වලට නම් වියදම් නො කරයි. ඔහු ගේ බඩගෝස්තරය පුරවන්නට සිදුව ඇත්තේ ද නිශ්ශංකට ම ය. ඒ මදිවාට දැන් තවත් ළමයෙකු සාරධා ගේ කුසට ඇවිත් තිබේ.

“දැන් මේ ළමයවත් මොන්ටිසෝරි දාන්න ඕනෙ. ඉස්සරහට ඉස්කෝලෙ යන්න ගත්තහම කොච්චර වියදංද… ළමයින්ගෙ ඕන එපාකං හරියට බලන්න කරන්න විදිහක් නැතුව ළමයි හදන්න එපා. නිකංම එළියට දැම්මට වැඩක් නෑනෙ. උන්ට යන කලක් හදල දෙන්න ඕනනෙ”

කුස්සියේ පුටුව මත ම හිඳ සාරධා බත් කන්නට පටන් ගත් විට ජිනාදරී කතාවට මගක් පාදාගත්තා ය. ඒ, සාරධාට හෙමිහිට කිව යුතුමයි කියා ජිනාදරී විසින් සිතා ඉන්නා ලද දෙයකි.

“ළමයි හදන්නෑ ඉතිං හැදෙනව මිසක්”

ඇය ඇඟට පතට නො දැනී කීවේ කිසිදු වගකීමකින් තොරවයි. තමන්ගේත් නිශ්ශංකගේත් දරුවෙකු මේ තරම් වගකීම් විරහිත වූයේ කෙසේ ද කියා සිතා ගත නො හැකි ව ජිනාදරී ගේ අතක් කම්මුලට ගියේ ය.

“අනික ඔය කඩපිල් වල නිදියන හිඟන්නන්ටත් ළමයි හම්බවෙන්නෙ. කොහොම හරි හැදෙයි ඉතිං”

“මෙලෝ දැන උගත්කමක් නැති මෝඩ ගෑනියෙක් වගේ කතා කරන්නෙපා සාරධා. ඔක්කොම වැඩ ෆේල් වුණත් නමට හරි උසස් පෙළට වෙනකල් ඉස්කෝලෙ ගියානෙ ඔය ළමය. ඔහොම පතෝල වැටකොළු වගේ ඉඳල බෑ. ගෑනියෙක් ඔළුව කල්පනා කරල කටයුතු කළොත් තමයි පිරිමියෙක්ව වුණත් හදාගන්න පුළුවං. බඩක් හදාගන්න එක විතරක් නෙවෙයි ගෑනියෙක්ට කරන්න තියෙන එකම දේ. ඔය දිනේශ්ව කොහොමහරි මොකක් හරිම රස්සාවකට යවන්න බලන්න. තාත්තට වුණත් හැමදාම බෑනෙ තවත් පවුලක් නඩත්තු කරන්න”

“අම්මලට ඉතිං මං තමයි හරියට බර. නංගි කිසි බරක් නෑ. එයා කියන කියන දේට සල්ලි වියදං කළා. ප්‍රයිවට් කැම්පස් එකටම කීයක් ගෙවලද ඔය උපාදි කඩමාල්ල ගත්තෙ”

“නංගිගෙ උපාධියට තාත්ත අතිං වියදං කළේ නෑ සාරධා. ඔයා නොදන්න දේවල් කියවන්න එපා. නංගි ඩිග්‍රි එක කළේ ලෝන් එකක් අරං. දැන් ඒක ගෙවන්නෙත් එයා. ඒ ළමය පුළුවං වෙච්ච දවසෙ ඉඳන්ම තමන්ගෙ දේවල් තනියම කරගත්ත මිසක් තාත්තට බරක් වුන්නෑ”

“ඔව් ඔව්. අම්මලට ඉතිං හැම දේටම මමනෙ හූනියම. නංගිට විතරක් නෙවෙයි මටත් මේවයෙ අයිතියක් තියනව. ඒකනෙ දිනේශ් වුණත් කියන්නෙ. මේ ගේ දෙකට බෙදල අපේ කොටස අපිට ලියල දෙන්න. එතකොට අම්මලට අපෙං කරදරයක් නෑනෙ”

“මේ සාරධා. මගෙ යකා අවුස්සන්නනං එපා හොඳේ. මේව මගෙ මිනිහ හම්බ කරපු දේවල් මිසක් උඹේ මිනිහ හම්බ කරපුව නෙවෙයි ලියල දෙන්න. අපි   මැරෙනකල් අපිට නිදහසේ වැටිල ඉන්නයි මේව හදාගත්තෙ. අනික ගෙවල් වල හිටපු කෙල්ලො හොරෙං පන්නගෙන යනකොට ඔය දෑවැදි මතක් වුන්නෑනෙ උන්දැට. මං මේ බොහොම කරුණාවෙන් කියන්නෙ. අර මනුස්සයට හවසට ගෙදර ඇවිත් නිදහසේ වැටිල ඉන්න ඕනෙ. උඹේ මිනිහගෙ ගුටිකෙළි බේරන්නයි උන්දැගෙ තිත්ත කුණුහරුප අහන්නයි ඕනකමක් නෑ තාත්තට. ඒක නිසා මොන විදිහකින් හරි කාමර කෑල්ලක් හොයාගෙන පලයල්ල. අපිත් පුළුවං උදව්වක් කරන්නං”

“අපිට සල්ලි නෑ ගෙවල් ගන්න. බත් කටක් කන්න දීල කියවන හැටි විතරක්. දෙමව්පියොද ඇත්තට මේ…”

කියමින් නැගිටගත් සාරාධා, බිම හිඳගෙන බත් කමින් සිටි සිත්මි ගේ අතින් ඇදගෙන කාමරයට ගියේ ගස්සාගෙන ය.

“කතා කරන්න බෑ මේකි එක්ක. දැං අපිට වෙලා තියෙන්නෙ මුන්ට මේක දීල පාරට බහින්න”

ජිනාදරී තමන්ට ම මුමුණා ගත්තා ය. පිට කෙනාට නොව තමන්ගේ දුවටවත් මේ කාරණය පැහැදිලි කර දෙන්නට බැරි කම ගැන ජිනාදරී ට තිබෙන්නේ පුදුම වේදනාවකි. කලකිරීමකි. නිදහසේ ඉන්නට ඔවුන් සිය තරුණ විය කැප කොට තනා ගත් ගෙදර, දැන් දිනේශ් කියනා අමනුස්සයාට බියෙන් ඉන්නට සිදු වී තිබේ. ගෙදර තිබූ සතුට හොරු ඇන්න ගියා මෙනි. ඇය වැඩියෙන් ම බිය මේ ප්‍රශ්නයට නිශ්ශංක හෝ ආදියා පැටලෙනු ඇත කියා ය.

ඉරිදා නිසා ආදියා කාමරයට වී විවේකයෙන් සිටියා ය. පෙර දා රාත්‍රියේත් දිනේශ් බීගෙන විත් අක්කා සමග රංඩු කරගත් නිසා හිතේ සැනසීමෙන් නිදන්නට හැකි වූයේ නැත. ඒ කෙඩෙත්තු බව නිසා ඇස් පියවීගෙන එත්දී ම සාරධා ගේ උස් හඬින් නිදි දැහැන බිඳිණි.

 “පොඩි දුව කෑම කන්න එන්න දැං දවල් වෙලා”

අම්මා ගේ ඇමතුම ගෙතුළින් ඇසුණ ද ආදියා තවත් ටික වෙලාවක් යහනේ පෙරළීගෙන ම සිටියා ය. නිවාඩු දිනෙකවත් මේ ගෙදර නිදහසේ ටිකක් නිදා ගත නො හැකිය යන නො රිස්සුම ඇය පාලනය කරගත්තේ, ඒ ජීවිතය පටලවාගෙන සිටින්නේ ඇගේ ම අක්කා බව සිතා ය. පොඩි කාලේ සිට ම සාරධා තුළ ආදියා ගැන ඊර්ෂ්‍යාවක් විය. නමුත් ආදියා හැමදාමත් අක්කා ට ආදරය කළා ය. අනුකම්පා කළා ය.

නීරස අලසකම අතරින් ඇයට දෙව්රම් සිහි වූයේ සිහිනයෙන් ගෑ සුවඳක් තරම් සව්මිය ලෙසයි. මඳහසක් සරැලි නැගුවේ ය. ආදියා සිය කුඩා බොත්තම් දුරකතනයෙන් දෙව්රම් ගේ දුරකතනය අංකනය කළා ය. එහා ඉම හිත නිවනා ඉංග්‍රීසි ගීතය අනුනාද විය. ඇස් පියාගෙන ගැඹුරු වූ සුවයකින් යුතුව ඕ අසා සිටියා ය.

ඒ ඇමතුම එන විට දෙව්රම් සිටියේ වෙහෙසින් යුතුව යහන මත වැටීගෙනයි. ඔහු සපු සමග බැඳුණු සියල් මතක සලකුණු උදේ සිට ඉවත් කරමින් සිටියේ ය. ඔහු ගේ සෙවනින් ඈ නික්ම ගියාට පසු වුව ඔවුන්ගේ විවාහ මංගල ඡායාරූප ඇතුළු බොහෝ සැමරුම් එලෙස ම පැවතිණි. ඒවා ඉවත් කළ යුතු යයි දෙව්රම්ට සිතුණේ හෝ නැත. නමුත් ජනප්‍රිය නිළිය ලෙස සම්මාන ලැබීමෙන් පසු සපූ මාධ්‍යය ඉදිරියේ හැසිරුන ආකාරය නිසා තව දුරටත් ඒවා ඇස් දෙකට දකින්නට ඕනෑ නැති බවක් ඔහු ගේ සිත කීවේ ය. ඔහු ඇයට සතුට සොයා දෙන්නට මෙතුවක් සිය ජීවිතය කැප කළේ ය. ඇයට ඔහුගෙන් මිදී යන්නට ඕනේ කියූ විට, වෛරයකින් තොරව ඔහු ඊට ද අවස්ථාව උදා කොට දුන්නේ ය. ඉතින් එපමණකි. යළිත් ඇයට එන්නට ඔහු ගේ හදවතේ කිසිදු ඉඩක් නොවේ.

කාගේදැයි නො දන්නා සුපුරුදු අංකයෙන් තිරය ආලෝකවත් වන විට ඔහු ගේ දෙතොල් මත මඳහස පිපිණ. පුරුදු ලෙසට ම ඔහු කිහිප විටක් ම ‘හෙලෝ’ කීවේ ය. පුරුදු පරිදි ම එහා ඉම නිහඬ ය. අවසන කුහුල් හදකින් සබඳකම විසංදි කරන්නට ඔහු ට සිදු විය.

මේ එසේ වූ ප්‍රථම වතාව නොවේ. නමුත් ඔහුගේ හඬ අසා ඉන්නට ඒ තරම් උවමනාවක් තිබෙන්නේ කාට දැයි දැනගන්නට, ප්‍රථම වතාවට ඔහු තුළ උනන්දුවක් ඇති විය. හරි බරි ගැහී යහන මත එරමිණියා ගොතා හිඳගත් දෙව්රම්ගේ මුහුණේ වූයේ හොරා අල්වා ගත් බවට ජයග්‍රාහී සිනහවකි. මුලින් ම ඔහු ඒ හුරුපුරුදු දුරකතන අංකය සිය ජංගම දුරකතනයෙහි ගබඩා කර ගත්තේ ය. ඒ ‘හැපී පිල්’ යනුවෙනි. පසුගිය කාලය පුරා ම ඔහු යම් යම් කුණාටු හරහා ගමන් කරත්දී, නො දැනුවත්ව හෝ මේ ඇමතුම සතුටු පෙත්තක් වූ බව අමතක කළ නො හැකි ය. ඉන්පසු වහ වහා වට්සැප් වෙත ගොස් ඔහු විපරම් කොට බැලූවේ ඒ කවුරුන්ද කියා ය. නමුත් එහෙව් වට්සැප් අංකයක් නො තිබිණ. නො සන්සුන් වූ දෙව්රම් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒ දුරකතනය අංකනය කළේ ය. එහා ඉමෙන් ඒ හැඬවෙත්දී ඔහු තමන් සූදානම් කර ගත්තේ ය.

ආදියා ගේ කුඩා බොත්තම් දුරකතනය වූයේ ආලින්දයේ පුටු අතක් මත යි. ඊට මඳ වෙලාවකට පෙර නිශ්ශංක එම දුරකතනයෙන් ඇමතුමක් ගත්තේ තණකොළ කපන මිනිසාට ය. නමුත් ඔහු පිළිතුරු දුන්නේ නැත. එබැවින් ඔහු දුරකතනය එහි තබා විත් කෑම කන්නට පටන් ගත්තේ ය.

“තාත්තෙ අන්න ෆෝන් එක රිං වෙනව. තණකොළ වසන්ත ගන්නව ඇති”

ආදියා කුස්සියේ සිට ම හඬගෑවා ය. නිශ්ශංක පුටුවෙන් නැගිට ගොස් දුරකතනය කනේ තබාගත්තේ ය.

“තණකොළ ටික කපල දාන්න කවද්ද එන්න පුළුවං…”

ඒ වචන පෙළ දෙව්රම් ගේ සවන් තුළින් රිංගා යත්දී ඔහු හිස ගසා නැවත ද දුරකතන තිරය දෙස බැලුවේ ය. අංකය වැරදී නැත.

“මොකද්ද…”

“මං නිශ්ශංක බං. ඇවිත් තණකොළ ටික කපල දාහං. අද මං ඉන්නව. හැබැයි ගොයියො කපල දාල විතරක් යනු බෑ. ඔක්කෝම අතුගාල එකතු කරල ගොඩක් ගහල යන්න ඕනෙ. මං මේ කන ගමන්. එහෙනං තව පැයකින් වගේ එමුකො…ම්…”

එපමණක් කියා නිශ්ශංක දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. දෙව්රම් තවමත් මුව අයා තිරය දෙස බලාගෙන ය. ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ අහිංසක ගෑනු ළමයෙකු ගේ මිහිරි හඬක් අසන්නටයි. එතකොට හැමදාමත් ඒ ඇමතුම ආවේ තණකොළ කපන්නෙකුට ද?

තාත්තා ඇමතුම ගෙන තිබෙන්නේ දෙව්රම් ට බව දැනගත් වෙලාවේ ආදියා ට දෙලෝ රත් විය. ඒ සමග ම ඇයට සිනහව නතර කරගත නො හැකි ද විණි. සිනහව තුනී කර ගැනීමෙන් පසු ඕ යළිත් දෙව්රම් ගේ දුරකතනය අංකනය කොට, දෙතොල් තද කරගෙන අසා සිටියා ය.

“තණකොළ කපන්න වෙන්නෑ අද මැශින් එක කැඩිල”

යි කියූ ඔහු වහා දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. ආදියා දෙකට නැවී බඩ අල්වාගෙන සිනහ වෙන්නට පටන් ගත්තා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here