ඉඳුදුන්න -44

“මං කවදාවත් හිතුවේ නෑ මං වැරදි කියලා.එයා මාව පිළි නොගත්ත නිසා මට ඉඳුවර එක්ක පුදුම තරහක් තිබුණේ. “

එදින රාත්‍රියේ අමන්දී අඳුර වෙත කෙඳිරී ය.අවිශ්ක ඇගේ හිසකෙස් අතරින් ඇඟිලි තුඩු යවමින් අසා සිටියේ ය.

“මං හිතුවෙ එයා ඕවට ගියාම මට නැති වෙයි කියලා.ඒත් ඒ වෙනකොටත් එයා මට අයිති නෑ කියලා මට හිතුණනම් මම මේ තරහ මෙච්චර කාලයක් අරන් එන් නෑ..”

අමන්දී දැන් ඇති තැවුල එය ය.ඇය ඉඳුවරගෙන් පලි ගන්නට සිතා තමන්ගේ ජීවිතය පවා ලංසුවට තබා බැලුවා ය.ආදරයක් නොදන්නා පන්නයේ මිනිසෙකු යැයි සිතුණු අවිශ්ක හා විවාහ වීමට දුෂ්කරම පළාතක් තෝරා ගැනීම ඉන් එකකි. මොකක්දෝ පෙර වාසනාවකට අවිශ්ක නරුමයෙකු නොවී ය.ඔහු අමන්දී දාස භාර්යාවක කර ගන්නට උත්සාහ නොකළේ ය.ඇගේ සිහින වෙනුවෙන් ඉඩ දී ඇයට සුවපහසුව සලසන්නට උත්සාහ දැරුවේ ය.

එසේ නොවූවානම්!

හදවතේ ඇති කරගත් වෛරය තමන්වද පුළුස්සා නොදමා හිඳින්නේ නැත.

“අයිති දේකට වුණත් නීති දාලා තේරුමක් නෑ අමා.
ඔයාට එහෙම හිතෙන් නැද්ද? මම ඔයාට ටීචින් යන්න එපා කිව්වානම් ඔයා මාත් එක්ක කොච්චර තරහ වෙයිද? නංගි සුරංගව අතෑරියේ අම්මා පොළොවේ පස්කකා කෑගහන හින්දා නෙවේ.ආයේ උසස් පෙළ නම් ලියන්න එපාය ඒ ලිව්වත් කැම්පස් යන්න දෙන්නේ නැහැය කියලා ඌ කියෝපු හින්දා.
මිනිස්සු කවුරුත් හිර වෙලා ඉන්න ආස නෑ මැණිකේ.තමන්ගේ නිදහස දෙන තැනක රැඳෙන්නනෙ මිනිස්සු කැමති.ඔය අනුන්ට ආඩපාලිම කියන අපේ අක්කා පවා උසාවි යන්නෙ අන්න ඒ නිදහස හොයාගෙන නෙවෙයිද?”

අමන්දී අඳුරේම අවිශ්කට තුරුළු වූවා ය.කාලයක් තිස්සේ කියන්නට බලා සිටි කතාවක් ඔහුට කියන්නට ඇයට ඕනෑ විය.

“ඔයාට පුදුම ජීවිත අවබෝධයක් තියෙන්නෙ අවිශ්ක.අපරාදේ ඔයාට හොඳට ඉගෙන ගන්න තිබ්බේ..”

අවිශ්ක අඳුර සමඟ හිනැහුණේ ය.

“මං ඉගෙන ගන්නව..”

අමන්දී පුදුමයෙන් ඔහුගෙන් මෑත් වූවා ය.

“මං අහසිනුයි පොළොවෙනුයි හැමදාම ඉගෙන ගන්නව මැණිකෙ.ඉවසීම ගැන මට උගන්නලා තියෙන්නේ අහසයි පොළොවයි.”

බොහෝ ආදායම් ලැබේයැයි සිතන වගාවන් අස්වැන්න නොදීම මිය යද්දී පවා ඔහු ඉවසීමේ පාඩම ඉගෙන ගත්තේ ය.නිදහසේ වැඩෙන්නට ඉඩකඩ දෙන විට ගහකොළ ප්‍රමාණයටත් වඩා අස්වැන්න දෙන බව ඔහු දැන සිටියේ ය.විෂඝෝර සර්පයන් පවා නිසොල්මන් මිනිසුන් මඟ හැර යන්නේ ය.වල් අලි ගමට කඩා වැදී අස්වැන්න විනාශ කරද්දී ද තැනට සුදුසු ලෙස නොහැසිරී පිළිතුරු සෙවීම උගහට ය.

අවිශ්ක සොබාදහම හා ගැටෙමින් උගනිනා මිනිසෙකි.ඔහු අහසක් සේ බොහෝ දේ දරා ගන්නේ එනිසා ය.

“අවිශ්ක..”

අමන්දී ඔහුට යළි ළං වූයේ ප්‍රේමයේ සැබෑ හැඟීම වැටහෙද්දී ය.

“අපේ මල්ලිට, ඉඳුවරට වඩා ඔයා හරි වෙනස්..මං ආසයි මට ඔයා වගේ පුතෙක් ලැබෙනවට.”

අවිශ්ක ඇය වැළඳ ගත්තේ ප්‍රවේසමෙනි; ප්‍රේමයෙනි.

“මං ආසයි එයා ලස්සනට සින්දු කියනවට.”

රාත්‍රී අඳුර අතර ප්‍රේමය පැතිර යන්නට පටන් ගත්තේ ය.

තවත් තැනෙක ඉඳුවර සිටියේ ආවේගය දරා ගත නොහැකිව ය.ඔහුට අධීෂ සමඟ සියල්ල බෙදාගන්නට සිත තිබුණේ නැත.ඔහු අමන්දී සිහි කරන්නෙකි. හුදකලාවේ තම නිවසට වී හුන් ඉඳුවර දකින්නට සිතිජ ද රනුක ද පැමිණිය හ.

“ඉඳුවර,සෝප් ඔපෙරා එකකට නම් හැමදාම උඹේ මූණ පෙන්නන්න ඕන නෑ.ඩ්‍රාමා එකට දින නොදී හිටියට කමක් නෑ.ඒ වුණාට මෙතන අර ආශිකී ෆිල්ම් එකේ කොල්ලා වගේ බොන්න තියා ගන්න එපා..”

සිතිජ තම මිතුරාට පැවසුවේ තදිනි.ප්‍රේමය ඇතැම්විට සියල්ල විනාශ කර දමන බවට සිතිජ සිතී ය.

“පොඩි උන් අටක් උඹ ගැන විශ්වාසේ තියාගෙන ඉන්නව.ඒ ළමයි අට ට්‍රේන් කරලා තරගෙට එවපං.අපි නිකං ඉන් නෑනෙ.අපි අපේ පොඩ්ඩන්ව ට්‍රේන් කරනවා..”

රනුක ඉඳුවරට පැවසුවේ ඔහුව ධෛර්යමත් කරන්නට සිතමිනි.

“තරූ කියලා කෙනෙක් හිටියෙ නෑ කියල හිතපං බං..අවංක ආදර කතාවක්ද ඒක උඹට ඔච්චර බොන්න..”

සිතිජ එසේ කියා ඉඳුවරගේ මේසය මත තිබූ මත්පැන් බෝතලය පසෙකින් තැබුවේ ය.

“මට තියෙන්නේ රැවටුණු ලැජ්ජාව..”

ඉඳුවර මිමිණී ය.

“රැවටුණා වෙන්නේ ඒකි ළමයා උඹේ කිව්වනම්..නැද්ද? ඒකි ඒක සහස්ටම බාර දුන්නනෙ.”

සිතිජ පැහැදිලි තර්කයක් ඉදිරිපත් කළේ ය.

“ඉඳුවර, මිනිහෙක්ට ටැලන්ට් එකක් තියෙන්න පුලුවන්..ඒත් උඹේ ටැලන්ට් එක හොඳටම පොලිෂ් එකක්.කාලයක් ගිහින් තමන්ගෙ ජනප්‍රියකම බහිනකොට මිනිස්සු ඒක තියාගන්න එක එක දේවල් කරනවා.සෙලිබ්‍රිටි කෙනෙක් කියලා මිනිස්සුන්ට තිස්සෙම මතක් කරන මිනිහෙක් වෙන්න සහස්ට ඕන වුණාට රවීෂා ඒ ලයිෆ් එක රිජෙක්ට් කරා.ඊටපස්සෙ ඉතින් උන් ඩිවෝස් වුණා.සහස් හෙටානිද්දා ඉඳන් තරිඳි එක්ක ෆේස්බුක් එකේ ඉන්ස්ටා වල රඟන්න ගනී.උඹ වැඩේ ඇතුළේ රඟපං..සහස් එක්ක රටම හොල්ලල මඟුලක් ගත්ත රවීෂා නෙක්ස්ට් මන්ත් තේමියව බඳිනවා.ඒක මේ හරි පොඩි පාටියක්.ඒත් සහස් තරිඳි කියන නම් දෙක මිනිස්සුන්ට විහිලුවක් වෙනකොට රවීෂා තේමිය හොඳ ස්ටාර් කපල් එකක් වෙයි.”

රනුක දිගු කතාවක් පවසන්නට ගත්තේ ය.ඉඳුවර නිහඬ වතින් ඒ කතාව ගැන දිගින් දිගටම සිතන්නට ගත්තේ ය.ඔහුගේ දුරකථනය නාද වූයේ එවිට ය. ඒ නොදන්නා අංකයකි.

“දැන් ගොසිප් කාරයෝ රංචු ගැහිලා කෝල් කරන්න ගන්නෙ.තරිඳි හොඳ යාලුවෙක් නිසා එයාට සුබ පතනවා කියලා ෆෝන් එක තියපං..”

සිතිජ උපදෙස් දුන්නේ ය.ඉඳුවර දුරකථනයට පිළිතුරු දුන්නේ ද කරදකාරී හැඟීමකිනි.

“ඉඳුවර,මම ජානක සෙනෙවිරත්න.”

ඉඳුවර මොහොතක් නිහඬව හුන්නේ ය.රටේ ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂකවරයෙකු හදිසියේ තමන් අමතන්නේ ඇයිදැයි ඔහුට ගැටලුවකි.

“කාරණා දෙකක්.පළමුවැනි එක මට මගේ ඊළඟ ෆිල්ම් එකේ සින්ග් කරන්නයි ඇක්ට් කරන්නයි ඉඳුවර අවශ්‍යයි.දෙවැන්න ඒකෙ සින්දු කියන්න මට අර ඉඳුවරගෙ ටීම් එකේ පොඩි බටු කෙල්ලත් ඕනෑ.ඔෆීෂියලි මේක කතා කරගන්න අපි මුණ ගැහෙමු.එතකන් මට ඉඳුවරගෙ කැමැත්ත දැන ගන්න ඕන..”

ඉඳුවර සිහි එළවා ගත නොහැකි ව මඳ වෙලාවක් හුන්නේ ය.නමුත් කළ යුතු කාර්යයන් කිහිපයක් එකපෙළට ඔහුට සිහිව ආවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles