හේමන්ත සන්ධ්‍යා -38

විනෝද ගමනේ පසු භාගය වන විට පාලිකා සිටියේ දැඩි නො රිස්සුමකිනි. ඇතැම් විට එය කේන්තියක් සේ ද පිටතට පැන්නේ ය. විදත් ගේ අවධානය සදිසා කෙරේ යොමු නො වීමත්, ඔහු නිකිනි ගැන විශේෂ කරුණාවක් දැක්වීමත් ඇගේ ඇස් මත කටු ඇන්නේ ය. එපමණකුදු නොවේ. සහස් අනවශ්‍ය ලෙස ගුවනි කෙරේ කුළුපග වීම ඇයට ඉවසා ගත නො හැකි වූයේ ය. යවනවා නම් ඒ කේන්තිය යැවිය යුත්තේ නිකිනි පිටිනි. ගුවනි ව මේ ගමන කැටිව ආවේ ඇයයි. ඍජුව ම සියල්ලන් ඉදිරියේ, විශේෂයෙන් ම විදත් ඉදිරියේ නිකිනි ට බැණ වැදීම නුවණට හුරු නැතැයි ඇය ට සිතුණෙන්, ඇය කේන්තිය ඉවසා ගත්තා ය. නමුත් වක්‍රාකාර වලින් නිකිනි මතින් සේ ම සහස් මතින් ද පාලිකා ගේ අප්‍රසාදය ගලා ගියේ ය.

“මං අල්ල ගන්නංකො ගෙදර ගියහම”

වතාවක් ඕ සහස් ට රවා කීවා ය. නිකිනි ගේ සිත් හි ගැස්මක් ඇති විය. පාලිකා ගේ ඇස් කිහිප වතාවක් ම ද්වේශයෙන් සේ ගුවනි වෙතට එල්ල වනු නිකිනි දැක තිබේ. එක අතකට පාලිකා ගේ ඒ කේන්තිය සාධාරණ බව ද නිකිනි පිළි ගත්තා ය. සහස් ගුවනි ගැන උනන්දු වන බව දැනුණ මුල් අවස්ථා වල දී නිකිනි තුළ ද කැළඹීමක් ඇති වූ බැවිනි. අම්මා කෙනෙක් වශයෙන් පාලිකා ට එවන් ඇසුරක් ඇති වෙන්නට යනවා නම් බලා සිටිය නො හැකි වන්නට පුළුවන.

“මමයි වැරැද්ද කළේ. මං ගුවනිව මේ ගමනට එක්ක ආපු එක වැරදියි කියල දැං හිතෙනව”

තනි ව කතා කරන්නට ලැබුණ අවස්ථාවක දී නිකිනි විදත් ට කීවා ය.  ඔහු තත්පර කිහිපයක නිහැඬියාවක් තුළ කල්පනා කළේ ය.

“හැම වැරැද්දක් ම ඔයා පිට පටෝගන්න එපා ඉතිං. සහස් පොඩි ළමයෙක් නෙවෙයිනෙ. අනික ඔයාට ගුවනිව ආශ්‍රය කරන්න පාලිකාගෙං අවසර ගන්න ඕන නෑනෙ”

“ඒත් නැන්දි එක විදිහක්නෙ…කොහොමත් එයා මාත් එක්කත් තරහෙං ඉන්නෙ කියල මට තේරෙනව”

“ඔයා මේ මොහොත සතුටෙං ඉන්න නිකිනි. වෙන්න තියෙන දෙයක් ගැන අපි ඒ වෙලාවට බලා ගමු”

විදත් නිකිනි ගේ අතැඟිල්ලකුදු ස්පර්ශ කළා නොවේ. නමුත් ඇය ට දැනුණේ හිස පිරිමදිනා සුවයකි. එය තාත්තා කෙනෙකු ගේ රැකවරණයේ දී දැනෙනා හැඟීමකි. ජගත් සිය දියණියන් දෙදෙනා ට ඒ හැටි සමීප වූ පියෙකු නොවේ. ඔහු දියණියන් දෙස බලා සිටියේ ඈතින් සිට ය. කුඩා කල වුව ඔවුන් තුරුලේ තබා ගෙන සිප වැළඳ හුරතල් කළ පියෙකු නොවේ ඔහු. දරුවන් කෙරේ ජගත් ගේ ආදරය වූයේ සිතේ ය. ඔහු එය ලෝකය ට තබා මවු අහිමි ව හුදෙකලා වූ දියණියන් ට වුව දැනෙන්නට හැරියේ නැත. 

“තාත්තට අපි ගැන ගාණක් නෑ”

බිනුරි යමක් කමක් තේරෙන වියෙහි දී අනන්ත වාරයක් එසේ කියා තිබේ. නමුත් තාත්තා ගේ ආදරය නිකිනි මැනවින් වටහා ගෙන සිටියා ය. සයුරක වුව ගැඹුරු පත්ල අතිශය නිහඬ බව ඇය අවබෝධ කොට ගෙන සිටියා ය.

විදත් ගේ ආදරයත් නිකිනි ට දැනෙන්නේ තාත්තා ගේ ආදරය සේ ය. එය මහා රැකවරණයක් සමග දැනෙනා දෙයකි. ඔහු සිටිනා නිසාවෙන් ඇය ට ඇය ගැන දැනෙමින් තිබුණා වූ සියල් බර අහෝසි වී ගොස් තිබේ. දැන් ඇය සැහැල්ලුවක පා වෙමින් සිටින්නී ය. වලාකුළක පා වෙමින් සිටින්නී ය.

විවා පත් වන තුරු ම ගැහැනු දරුවෙකු ඒ සැහැල්ලුව අත් විඳින්නී ය. ඇයටත් නො දැනී ඇය ව සැහැල්ලුවට පත් කරමින් ඇගේ බර උහුලා ගෙන හිඳින්නේ තාත්තා ය!

ඔවුන් ගෙදර එන විට මැදියම් රැයත් පහු වී තිබිණි.

“අදත් කොහෙ හරි හොටෙල් එකක නතර වෙලා හෙට ම යමු”

හැන්දෑ වෙත්දී විදත් යෝජනා කළේ ය. නමුත් පාලිකා මුරණ්ඩු ලෙස ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා ය.

“බෑ බෑ. අදනං කීයට හරි ගෙදර යන්න ඕනෙ. දවස් දෙකකටනෙ අපි ආවෙ. මේගොල්ලො මේ අතන මෙතන ලත වෙවී පරක්කු කරපු නිසයි මෙහෙම වුණේ”

පාලිකා කෙළින් ම චෝදනා කළේ නිකිනි ට ය. ඒ තරමින් පුපුරා හැලෙන්නට තරම් වරදක් ඇය පාලිකා ට කළා දැයි නිකිනි සිතුවා ය.

“ඉතිං අම්මෙ හෙට හවස් වෙද්දි ගෙදර යන්න පුළුවන් නෙ. තව කොහෙ හරි ඇවිදල බලල එහෙම”

සහස් පාලිකා ගේ හිත වෙනස් කරන්න ට තැත් කළේ ය.

“අනේ මේ මගෙං බැණුං අහ ගන්නෙ නැතුව ඉන්නව සහස්. මං මේ හිතන්නෙ අපරාදෙ මේ ගමන ආවෙ කියල. ගෙදර හිටියනං කීයක් වැඩ කර ගෙනද…”

සුමනා පාලිකා දෙස රවා බැලුවා මිස කිසිත් කියන්නට ගියේ නැත. ඒ මෙතැන ගෙදර අය විතරක් නොව විදත් හා ගුවනි ද සිටින නිසාවෙනි. නො එසේ වී නම් සුමනා ට දැනෙමින් තිබුණේ පාලිකා ගේ කන් වල ඇඟිලි ගසා ගන්නට තරම් බැණ වදින්නට හිතෙන විදිහේ කේන්තියකි.

“කමක් නෑ එහෙනං කීයට හරි ගෙදර යමුකො”

විදත් දෙස නිකිනි බැලුවේ දයානුකම්පාවෙනි. ඔහු විශාල මුදලක් වැය කරමින් මේ වගේ ගමනක් සංවිධානය කළේ ඇය ළඟ රැඳිය හැකි මානයේ දින දෙක තුනක් ගත කරන්නට තිබූ ආශාවට ය. නමුත් පවුලේ අයත් එක්ක ඒ ගමන යන්නට උවමනා වූයේ නිකිනි ටයි. සහස් කීවා සේ ඔවුන් සිව් දෙනා එක දිනක ගමනක් ගොස් ආවා නම් විදත් ට මෙහෙව් පසුතැවීමක් නො දැනෙන්නට තිබිණැයි නිකිනි සිතුවා ය.

“සොරි. පාලිකා නැන්දි නිසා ඔයාගෙ හිත රිදුණනං සමා වෙන්න”

ඔබේසේකර මැදුර ළඟ දී කට්ටිය රියෙන් බැස එහෙ මෙහෙ වෙත්දී නිකිනි විදත් ට මිමිණුවා ය. ඇගේ ස්වරයෙහි සැබෑ පසුතැවීමක් ඔහු ට දැනිණ. විදත් මඳහසක් නගා ගෙන ආදර බර දෑසකින් ඇය දෙස බැලුවේ ය.

“මං සතුටෙං. මං දන්නවනෙ ඔයා සතුටෙං කියල. ඒක නිසා මට අවුලක් නෑ”

මංජුල ත් එක්ක ජීවිතය බෙදා හදා ගන්නවාට වඩා විදත් එක්ක එසේ කිරීම කෙතරම් පහසු දැයි නිකිනි සිතුවා ය. නමුත් විදත් ව ද ස්ත්‍රීන් දෙදෙනෙකු විසින් ම හැර දා ගොස් තිබේ. එසේ වන්නට හේතුව අපේ තෝරා ගැනීම් වල වරද විය නො හැකි ද?  අප වෙනුවෙන් මැවුණු අනිත් අර්ධය ලොව කොතැනක හෝ ඉපිද සිටින්නේ ය. නමුත් ඔහු හෝ ඇය හමු වීමට පෙර ජීවිතය තීරණය කරන්න ට යාම නිසා දෙතුන් දෙනෙකු ගේ ම ඉරණමෙහි අවුල් සහගත විපර්යාසයන් සිදු විය හැකි ය.

“ගුවනිව මං ඩ්‍රොප් කරන්නං”

විදත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම නිකිනි ට සහනයක් විය. නො එසේ වී නම් ඇය ව මේ රෑ තනිව බෝඩිම වෙත යැවිය නො හැකි ය. අනිවාර්යයෙන් ම මේ රෑ ඔබේසේකර මැදුරෙහි ගත කරන්න ට ඇයට ඇරයුම් කරන්න ට නිකිනි ට සිදු වේ. එය ගැටළුවක් නොවේ. නමුත් පාලිකා ගේ පාලනයක් නැති මුවින් කවරක් පිට වනු ඇත්දැයි කාට නම් කිව හැකි ද? එවැන්නක් වී ගුවනි හිත රිත රිදුවා ගන්නවා දකින්නට නිකිනි ට ඕනෑ වූයේ නැත.

“අනේ තෑන්ක් යූ සර්. මං හිතුවෙ මේ වෙලාවෙ කැබ් එකක්වත් තියෙයි ද කියලයි”

ගුවනි වහා ස්තූති වන්ත වූවා ය.

“ලොකු උදව්වක් විදත් අයියෙ”

සහස් ගේ ඇස් වල පවා ඒ ස්තූතිවන්ත බව වූයේ ය. විදත් සහස් ගේ උරහිස වටා අතක් දමා ගත්තේ ය.

“උඹට නොකරන උදව්වක් තියෙනවද කොල්ලො මං ළඟ…එහෙනං…අපි හම්බවෙමු ආ…”

රාත්‍රිය එසේ නික්ම ගියා ට පාලිකා ආරූඩ වූයේ උදා වූ උදාසන ය. තේ හදනු වස් මුළුතැන්ගෙයට ගිය නිකිනි ගේ ඇඟට ඇය කඩන් පැන්නේ නිකිනි කොහෙත් ම බලාපොරොත්තු නොවූ අයුරිනි.

“මංජුලගෙ හොර අඹුවත් එක්ක ඔයා මොන ගනු දෙනුවක් තියා ගත්තත් මට කමක් නෑ නිකිනි. හැබැයි මගෙ කොල්ලව ඔය කුණු ගොඩවල් වලට පටලවන්න හදල මං නරක ගෑනියි කියන්න එපා”

“මොකද්ද නැන්දෙ ඒ කතාව…”

පාලිකා ගේ කටේ සැරට නිකිනි මඳක් තිගැස්සී සිටියා ය.

“අනේ මේ නිකං බබා වෙන්න හදන්න එපා. ඔයාගෙ ජීවිතේ කාලකණ්ණි වෙලා ගියා කියල අපි මොනා කරන්නද…අපේ ළමයි මොනා කරන්නද…ඔයාගෙ අම්ම හොඳ ගෑනියෙක් නෙවෙයිනෙ. ඒව ඉතිං ආරෙට යන දේවල්. එහෙමයි කියල මගෙ කොල්ලගෙ ඇඟට අර කුණු ලොරිය හරවන්න හදනව එහෙම නෙවෙයි. කොහොමත් වැරදිච්ච එකා කැමති අනිත් උන්ටත් වරදිනවනංනෙ”

ඇතුළාන්තයෙන් ම ඈ වෙව්ලනවා නිකිනි ට දැනුණේ ය. කේතලය පිරී වතුර පිටාර ගලමින් තිබිණි. පයිප්පය වසා දමන්නට තරම් නිනව්වක් නිකිනි වෙත වූයේ නැත. පාලිකා ගේ හිතේ යමක් වැඩ කරන බව පෙර දා සිට ම දැනී තිබුණත් එය මේ තරම් ද්වේශී ස්වරූපයකින් පිටතට පැමිණේවියි නිකිනි සිතුවේ නැත. ඇගේ නෙත් බැමි පිපිරී කඳුළු පිටාර ගලන්නට වූයේ ය.

“අඬනව. ඕකනෙ ඉතිං කරන්න දන්න ලොකුම දේ. ඔයාට තියෙන්නෙ ඊරිසියාව නිකිනි. ඔයාගෙ පවුල රැක ගන්න බැරි වුණානෙ. ඒකට අපිට කරන්න දෙයක් නෑ. ඒක ඔයාට අම්මගෙං ආපු අවාසනාවක්. එහෙමයි කියල මගෙ දරුවන්ගෙ ජීවිතත් අවුල් කරන්න හදන්න එපා”

“මොකද මොකද ආ මේ…”

සුමනා මුළුතැන්ගෙට දිව ආවේ පාලිකා ගේ උස් හඬ ගේ පුරා දෝංකාර නැංවෙමින් තිබි නිසාවෙනි. පයිප්පයෙන් වතුර ගලමින් ද කේතලය පිටාර ගලමින් ද තිබිණි. නිකිනි ගේ ඇස් වලින් ද කඳුළු සොරොව් වාං දමයි. සුමනා දෑස් ලොකු කර ගෙන මාරුවෙන් මාරුවට දුව දෙසත් මිණිපිරිය දෙසත් බලන්නට වූවා ය.

“ඇයි මේ…”

ඇය කතා කළේ සුසුමක් පරිද්දෙනි.

“නිකී…ඇයි රත්තරනේ…”

“රත්තරං තමයි. කෙහෙල්මල! රත්තරං නෙවෙයි අම්මෙ තබක්ක මේ. අම්මල තවත් ගේ අස්සෙ දාගෙන හුරතල් කරනව. හැබැයි මේගොල්ලංගෙ හිත් වල තියෙන්නෙ අපිට වළ කපන්නෙ කොයි වෙලාවෙ කොහොමද කියන එක”

නිකිනි දෝතින් ම මුහුණ වසා ගත්තා ය. ඇයට ඕනෑ වූයේ කෑ ගසා හඬන්නට ය. ඒ මොහොතේ දැනෙමින් පැවති අසරණ කම ඒ සා විශාල ය. මෙතැන ඇගේ ය කියන්නට ඉන්නේ ඩෙස්මන් හා සුමනා පමණකි. පාලිකා වනාහි ඇගේ නැන්දා වූවා ට මේ මොහොතේ ඇය සම්පූර්ණයෙන් ම පිටස්තර ය.

“මොනවද පාලිකා මේ දොඩවන්නෙ…පිස්සු හැදීගෙන එනවද උඹට…උදේ පාන්දරම මේ කෙල්ලව කන්න තියා ගත්තෙ…”

සුමනා නිකිනි ගේ අතකින් ඇද ඇය ව තමන් වෙත ලං කර ගනිත්දී ම සඑස් නිදි මත කඩමින් එහි පැමිණියේ ය.

“මොකද්ද අප්ප ටිකක් නිදා ගන්නවත් දෙන්නැද්ද…කෑ ගහන්නෙ…”

“ඔව් ඔව්. උඹට දැං මගෙ හඬ හරී අමිහිරියි කියල මට පේනව. හැබැයි පුතේ මතක තියා ගනිං…මෙයා හරි ආදරෙං වගේ උඹට කරන්න හදන නස්පැත්තියට මං ඉඩ දෙන්නෑ. ඇයි යකෝ… මොන පවක් සමා කර ගන්නද අර සක්කර වට්ටමව මේ කොල්ලගෙ කරේ එල්ලන්න හදන්නෙ”

Mini Stories

වෙනස

ළපෙති මල්

ළපෙති මල් -33

Mini Stories

පසුතැවීම

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 31 වන කොටස

Mini Stories

මතක අහුරු

ළපෙති මල්

ළපෙති මල් – 32

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

“මොනාද මොනාද අම්ම මේ කියන්නෙ..”

නිකිනි ට ඉකි බිඳිණි. කිසිවෙකුට නපුරක් කරනා අදහසකින් ඇය කෙදිනකවත් හුස්මක් හෝ ගෙන නැත. එහෙව් කෙනෙකුට පාලිකා ගේ මේ වගේ චෝදනාවක් දරා ගැනීම කොහෙත් ම පහසු නැත.

“විකාරෙංද…අම්මලගෙ හිතේ තියෙන දේවල් කර ගන්න බෑ කියල දැනුණහම ඒ කේන්තිය වෙන කාගෙවත් පිටිං යවන්න එපා. නිකං බොරුවට”

ඉතා තදින් එසේ කියූ සහස් නිකිනි ව ඇද ගෙන එතැනින් නික්ම ගියේ ය. මේ වහල යටදී මීට පෙර කිසි දා එහෙව් චෝදනාවකට ඈ ලක් වී නැත්තේ ය. දරා ගන්නට බැරි ඒ නිසාවෙනි. නමුත් අට ලෝ දහමට අවනත විය යුතු බව නිකිනි නො දන්නවා නොවේ. ප්‍රශංසා සේ ම නින්දා ද දිනෙක අප සොයා පැමිණිය හැකි ය.

“අනේ මල්ලා…මං ඔයාට වරදක් කරන්න හිතනවද….ඒත් ඔයා ගුවනිට විහිළු කරනකොට මුලිංම බය වුණේ මම. ඔයා මගෙ මල්ලි. ඒත් නැන්දා මේ කියන කතා…”

“අඬන්නෙපා ඉතිං…අඬන්නෙපා…”

සහස් නිකිනි ගේ කොපුල් පිසිමින් කඳුළු වියළා හැරීමේ උත්සාහයක් ගත්තේ ය. ඔහු තුළ කිසියම් සංවේගයක් හෝ සන්තාපයක් ඇත්තේ නැත. ගුවනි වූ කලී කාගේ කවුදැයි මුල සිට ම ඔහු දැන සිටියේ ය. ඒ කෙසේ වෙතත් ඇය ගේ කුමක්දෝ පෞරුෂයක් කෙරේ ඔහු ආකර්ශනය වෙමින් හිඳින බව සහස් දැන සිටියේ ය.

“මං හිතන්නෙ මං ඉක්මන් වුණොත් හොඳයි වගෙයි. ඔයා තවත් දුක් විඳින්න ඕන නෑ”

පාලිකා ගේ ආඩපාලිය ගැන දැන ගත් විදත් කල්පනාකාරීව කීවේ ය. නිකිනි ඇතුළාන්තයෙන් සැලී ගියා ය. 

“ඔයා මේවට ඉන්වෝල්ව් වෙන්නෙපා. මට නැන්දා ගෙදර ඉන්න දෙන එකකුත් නෑ”

“ඉතිං මොකෝ…රෙන්ට් එකට ගෙයක් අරං මං අරං යනවනෙ එහෙට”

විදත් ගේ දෙතොල් පෙති, දඩබ්බර සිනහවකට ලිහිණි. නිකිනි දෑස් පියන් බිමට හරවා ගත්තා ය. ඒ වෙලාවේ පොත් හල් ගොඩනැගිල්ලේ සිටියේ ඔවුන් දෙදෙනා පමණකි. පිය ගැට පෙළ නැගෙන හඬක් ඇසිණි. නිකිනි කන් දුන්නේ සහස් ද කියා ය. නමුත් වීදුරු දොර ඇර ගෙන ඇතුළට ආවේ මංජුල ය.

5 3 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
දිල්හාරා ❤️
3 months ago

❤❤❤❤