හේමන්ත සන්ධ්‍යා – 45

ඇතැම් වෙලාවට ජීවිතය වූ කලී අදහා ගත නො හැකි මායාවකි. මායාමය ග්‍රහණයන් ට හසු වූ කල සැබෑව කුමක් ද කියා වෙන් කොට හඳුනා ගත නො හැකි තත්වයන් පවා උද්ගත විය හැකි ය. මේ ත් එහෙම නිමේෂයකි. විදත් හා මංජුල යන දෙදෙනා ම පසු වූයේ කිසියම් මායාමය මනෝ භාවයක ය. මෙහෙම මොහොතකට මේ ආත්ම භවයේ කිසි දාක ඔවුන් දෙදෙනා ම මුහුණ දී නැතිවා විය යුතු ය. නමුත් පෙර සංසාරයේ කොතැනක දී හෝ කවදාක හෝ ඔවුන් දෙදෙනා මේ විදිහට මුහුණ ට මුහුණ හමු වී මේ හැඟීමෙන් උනුන් දෙස බලා සිටි බවට මතක මාත්‍රයක් දෙදෙනා ගේ ම සිත් හි ඇඳී මැකී යන ලදී.

ඒ අතරේ ම විදත් ගේ යෝජනාව මංජුල ගේ මනසේ පිළිරැව් නැගෙමින් තිබිණි. විදත් ඉල්ලා සිටින්නේ ඔහු ගේ බිරිඳව ය. ඇය ව දන් දෙන්නට ඔහු වෙස්සන්තර ද? හදිසියේ ම මංජුල ට එසේ සිතිණ. 

“නොන්සන්ස්”

ඊළඟට සිනහවකුත් එක්ක ම මංජුල එසේ කීවේ ය.

“විදත්…”

මීට පෙර හමු වූ වතාවේ ඉතා නො වැදගත් ලෙස හැසිරුණ මංජුල, මහත්මා විලාශයකින් විදත් ඇමතුවේ ය.

“යම් යම් දේවල් වුණා තමයි. මං පිළිගන්නව. මගෙත් වැරදි ඇති. පිරිමි විදිහට ඉතිං අපි හිතන විදිහට නෙවෙයිනෙ ලේඩීස්ල හිතන්නෙ. ඒකයි මෙතන තියන ලොකුම අවුල. හැබැයි කොහොම වුණත්…මං ඊයෙ නිකිනි ගෙ ග්‍රැනීටත් කතා කළා. නිකිනි ත් එක්ක සමාදාන වෙන්න මං කැමතියි”

දෙදණහිස් මත දෙවැලමිට බර කළ විදත් හිස මඳක් බිමට හරවා ගත්තේ ය. කඩයකින් බඩුවක් ගන්නට ගියා සේ කුළ ගෙදරකට විත් එහි පතිණිය ඉල්ලා සිටිය නො හැකි ය. නමුත් දැන් ආපසු හැරෙන්නට ද නුපුළුවන් බව විදත් දනී. 

“නිකිනි හොඳටම හිත බිඳිල ඉන්නෙ. ඔයා හිතනවද ආයෙ එයත් එක්ක හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් වෙයි කියල…ඊට වැඩිය නරකද…එයාගෙ සතුට ගැන හිතල…”

“ප්ලීස්…”

මංජුල විදත් ට බාධා කරමින් කතා කළේ ය. ඉල්ලීමක් නොව ඒ තනි වචනයෙහි වූයේ විධානයකි.

“ඒ තීරණේ වෙනස් කරන්නෑ”

විදත් යළිත් හිස පහළට නැඹුරු කර ගත්තේ ය. ඔහු වඩාත් කැමති කතා කොට ප්‍රශ්න විසඳා ගන්නට ය. සිය අසාර්ථක විවාහයන් දෙකෙහි දී ම, දික්කසාදයේ රතු එළි දැල්වෙත්දී විදත් ඒ සඳහා උත්සාහ කළේ ය. නමුත් ඔහු ගේ බිරින්දෑවරුන් දෙදෙනා ම ඒ සඳහා සහයෝගයක් දුන්නේ නැත.

නිකිනි දික්කසාදයක් සඳහා යොමු වේවි යි සිය විවාහ ජීවිතය තුළ එකදු අවස්ථාවක හෝ මංජුල ට සිතී නැත. ඇය ව නීතියෙන් අයින් කළ යුතු ය කියා ඔහු ට සිතී ද නැත. ඇගේ කිසිදු වරදක් මේ වන තුරු මංජුල ට දෘශ්‍යමාන වී නොමැත්තේ ය. නිකිනි ඉතා හොඳ බිරිඳක ලෙස ගෙදරට සිය යුතුකම් ඉටු කරමින් සිටියා ය. ඇය පැතූ පිරිමියා ඔහු නො වන්නට ඇත. ඒ හිස් තැන හැම හුස්මක් ගානේ ම ඇය විඳවමින් සිටින්නත් ඇත. නමුත් ඕ කිසිදු ඉල්ලීමක් කරන්නට ඉදිරිපත් නො වුණා ය. අඩු තරමින් රණ්ඩුවක් වන්නට හෝ ඉදිරිපත් නො වුණා ය. ප්‍රශ්නය තිබුණේ එතැන බව මංජුල වටහා ගත්තේ නැත.

ඔහු හිතුවේ ඇය සුවච කීකරු බිරිඳක ය කියා ය. ගෙදර පිවිසුම් දොරටුවෙන් ඔබ්බට ගිය කල ඔහු කොහේ කුමක් කර ආවත් ඇයට එහි වගක් නැතැයි ඔහු සිතුවේ ය. නිකිනි හැසිරුණේ ත් එසේ ය.

බිරිඳක ගෙදර සිටින එක පහසුවකි. ඇය ගෙදර බලා ගන්නී ය. ලෝකය ඉදිරියේ සිය පතිණිය ලෙස පෙන්වා සිටිය හැකි ය. ඇය ගේ අවශ්‍යතා සපිරෙන්නේ නම් එපමණකි. 

ගෙදරින් පිටත පුරුෂයා ට තවත් පෙම්වතියන් හෝ බිරියන් කෙතරම් සිටියත්, නීත්‍යානුකූල බිරිඳට හා දරුවන්ට කන්න අඳින්න සපයනවා නම් එහි ගැටළුවක් නැතැයි සිතන්නට අනාදිමත් කාලයක සිට අපේ දූපත් මානසිකත්වය සැකසී තිබේ. 

මංජුලත් විවාහයෙන් ඉක්බිති වෙනත් ස්ත්‍රීන් ඇසුරු කිරීමට වැටුණේ ජානගත ඒ පදනම මත ම වන්නට ඇත. එක ස්ත්‍රියක ගේ ප්‍රේමයට ඇබ්බැහි වෙන පිරිමියා ඒ ප්‍රේමය වෙනුවෙන් වෙනත් බොහෝ අවශ්‍යතා යටපත් කර ගන්නට සමත් වන්නේ ය. නමුත් එවන් ප්‍රේමයක් නොවන පුරුෂයා ස්ත්‍රී ශරීර වල වන වෙනස ට මුලා වී සංසාය දිගු කර ගන්නේ ය.

මංජුල අයත් වූයේ ඒ දෙවන ඛාණ්ඩයට ය. ඔහු ගුවනි සේ ම තවත් තරුණියන් දෙතුන් දෙනෙකු සමග ම විටින් විට සබඳකම් ඇති කර ගත්තේ නිකිනි ගේ වරදක් හෝ අඩුපාඩුවක් දැනුණ නිසාවෙන් නොවේ. පසුව එය පුරුද්දට ගියේ ය.

“නිකිනි මට ආදරෙයි”

දිගු නිහැඬියාවකට පසු විදත් හඬ අවදි කළේ තීරණාත්මක ව ය. මංජුල ගේ හිතට කටුවකින් අනින්නා සේ දැනිණි. නමුත් ඔහු ඒ බවක් නො පෙන්වා සාවඥ සිනහවක් නගා ගත්තේ ය.

“විකාර”

“ඔයා එයාව මැරි කරල ගෙදර තියං ඉන්න ගමන් තවත් සම්බන්ධ තියා ගත්ත කෙනෙක් මංජුල. නිකිනි තව දුරටත් ඒ වගේ ජීවිතයක් ගත කරන්න ඕන නෑ”

“හරි හරි මං ඒව නිකිනි ත් එක්ක කතා කර ගන්නංකො. මේ…මට දැං ලේට්”

අමාරුවෙන් යටපත් කර ගෙන සිටි සිය සැබෑ වේශය ඉස්මතු වී ගෙන එන්නා සේ මංජුල ට දැනිණ. ඔහු වහා අසුනෙන් නැගිට ගත්තේ ය. මේ මිනිසා සමග හරවත් ලෙස කිසිත් කතා කළ නො හැකි බවක් විදත් ට දැනිණ. ඔහු මංජුල ට වඩාත් සමීප වූයේ හොඳින් නො හැකි නම් නරකින් හෝ සිය අරමුණ කරා යා යුතු බව ඉඳුරා දැන සිටි නිසාවෙනි.

“ඉක්මනට ඩිවෝස් එක ඉවරයක් කරමු”

විදත් කීවේ තදිනි. මංජුල සමච්චල් සිනහවක් නගා ගත්තේ ය.

“නැත්තං…”

“නැත්තං….නැත්තං හුඟක් දේවල් වෙයි. ඒ කොයික වුණත් අන්තිමට ඩිවෝස් එක දෙන්නත් තමුන්ට සිද්ද වෙයි. නිකං බොරුවට කරදර හදා ගන්න ඕන නෑනෙ…නේ…”

 එපමණක් කියූ විදත් මංජුල ගේ ගෙදරින් දොට්ට බැස්සේ ය. හොඳින් කතා කොට ඔහු ත් එක්ක කිසිත් කර ගත නො හැකි වන බව විදත් ට වැටහිණි.

“සර් මට මාර කතාවක් කිව්වනෙ මිස්”

එදා දහවල නිකිනි ට දුරකතන ඇමතුමක් දුන් ගුවනි කලබලයෙන් කීවා ය.

“මොකද්ද ගුවනි…”

“මට කීයක් ඕනද ඇහුව”

“ඒ කිව්වෙ…”

“වන්දි”

ගුවනි සිනහ වූවා ය.

“සර් එක්ක මගෙ කිසිම සහ්බන්ධයක් තිබුණෙ නෑ කියල ඕන වුණොත් උසාවියෙදි කියන්න වෙයි කියල…ඒකට මට කොච්චර සල්ලි ඕන ද ඇහුව”

මංජුල කියන්නේ පත පොතින් උගත් මිනිසෙකු බව නිකිනි නො දන්නවා නොවේ. ඔහු ඕනෑ ම දෙයක් කරන්නේ වාසිය හා අවාසිය ගැන සිතා ය. ලාභය හෝ පාඩුව ගැන සිතා ය. ගුවනි නිකිනි ගේ පසට වැටීම ගැන ඔහු මුල සිට ම චකිතයක සිටියේ, එය දිනෙක ඔහු ට අවාසි සහගත ලෙස බලපෑ හැකැයි සිතුණ බැවිනි.

“ඉතිං..ගුවනි මොකද කිව්වෙ…”

“මොනා කියන්නද මිස්…ඒ වගේ පිරිමින්ට එක දවසකට හරි ආදරේ කරපු එක ගැන ගෑනු අපි අපි ගැන ම දුක් වෙනව මිසක්”

සිනහ වී කතා කළා ට ගුවනි ගේ ස්වරයෙහි සන්තාපයක් ඇතිල්ලී තිබෙනු නිකිනි ට දැනුණේ ය.

“මිනිහෙක්ට පැය කීපෙකට ගෑනියෙක්ව ඕන කරනවනං ගාණ අහල ඒ ගනු දෙනුව කරන එක හරි සාදාරණයි මිස්. මොකද ඒක ගනු දෙනුවක්නෙ. ඒත් තමන්ට ආදරේ කරපු ගෑනියෙක්ට…එහෙම සම්බන්ධයක් තිබුණෙ නෑ කියල සාක්ෂි දෙන්න ගාණ අහන එක…ෂී මිස්…මට නං කලකිරුණා”

“ඔයා ඕව එච්චර හිතට ගන්න එපා”

එහෙම කොඳුරා ගත්තා ට නිකිනි සිටියේ ත් අප්‍රාණික ව වාගේ ය. 

එදා ජගත් මහ ගෙදර ආවේ ය. සත්තකට ඔහු ගේ උවමනාවකට ආවාට වඩා සුමනා දුරකතන ඇමතුම් කිහිපයක් දී ඔහු ව ගෙන්වා ගත්තා කීවොත් නිවැරදි ය. ජගත්, ඩෙස්මන් හා සුමනා ගෙන් සමන්විත කමිටුව රැස් වූයේ මතු මහලේ ය. සුමනා ට වැඩිපුර උවමනා වූයේ පාලිකා ඊට සම්බන්ධ වී ජගත් එක්ක ප්‍රශ්නයක් ඇති වන එක වලකන්නට ය. ඒ නිසා ම පහල මාලයේ විසල් කෑම මේසය ඇය සිය සාකච්ඡා මේසය ලෙස තෝරා ගත්තේ නැත.

“දැං නිකිනි ගෙ කැමැත්ත මොකද්ද…”

කල් ඇතිව ප්‍රශ්නයේ ස්වභාවය දැන සිටි ජගත්, නිකිනි ව එහි කැඳවුණ ගමන් ඈ විමසුවේ ය. ඇය පියා ගෙන් දෑස් සඟවා ගත්තා ය. ජගත් ට සිහි වූයේ නිකිනි ගේ මව ය. ගැහැනියකට හිතේ සතුට නොමැති නම් වෙනත් කිසිදු සැප සම්පතකට ඈ නතර කර ලිය නො හැකි බව ඔහු අත්දැකීමෙන් ම දනී.

“තාත්ති…”

ඇගේ හඬ පිට වුණ නො වුණ ගාන ය.

“තාත්තියි ග්‍රැනීයි පප්පයි අකමැති දෙයක් කරන්න ඕන්නඋ මට. ඒත් තාත්ති….ආයෙ මංජුල ළඟටනං යන්න කියන්න එපා මට. ජීවිතේ ඉතුරු කාලෙ සදහට ම තනියම ඉන්නං. ඔය බුක් ශොප් එක පටන් ගත්තට පස්සෙ කාටවත් බරක් නොවී ජීවත් වෙන්න මට පුළුවන් කියල මං දන්නව”

“නෑ නෑ නිකිනි බෑ කියනවනං මංජුල එක්ක ජීවත් වෙන්න අපි බල කරන්නෙ නෑ”

ජගත් එසේ කියත්දී නිකිනි ගේ හදවතට මහත් සැනසීමක් දැනිණ. නමුත් සුමනා යමක් කියන්නට කට ගත්තා ය.

“ඒ වුණත් ලොකු පුතා…”

“සුමනා”

ඩෙස්මන් හෙළුවේ දැඩි බැල්මකි.

“නිකිනිට එහෙම බල කරන්න අපිට බෑ අම්ම. ඒක එයාගෙ අයිතිය. එයයි ඒ ජීවිතේ ගෙව්වෙ”

“මේ මනුස්සයට ඕක කොච්චර කියලවත් තේරුං කරල දෙන්න බෑනෙ”

“නිකිනි ට විදත් ව මැරි කරන්න ඕනෙනං මගෙ ප්‍රශ්නයක් නෑ ඒ ගැන”

ජගත් ගේ අන්තිම තීරණය එය විය. නිකිනි වහා ඔහු ගේ ගෙල වැළඳ කුඩා සන්දියේ දී සේ ඔහු ට තුරුලු වූයේ ය.

“තෑන්ක් යූ තාත්ති”

සුමනා මුහුණ හකුළා ගත්තත් එරෙහි ව යමක් කීවේ නැත. ඩෙස්මන් ගේ කට කොනක් සිනහවකට ඇද වී තිබුණත්, ඒ සිනහව සුමනා දැක උදහස් වෙතැයි බියෙන් ඔහු එය ඇය ට පෙනෙන්නට හැරියේ නැත.

කාමරයට වැදී දොර වසා ගත් නිකිනි ඇඳුම් පිටින් ම වතුර මල යටට වී අඩ හෝරාවකට වැඩි වෙලාවක් හැඬුවා ය. ඒ හැඬීම ආයාසයකින් කළ එකක් නොවේ. කඳුළු ගලා ගියේ වේල්ලකින් වතුර ගලා යන්නා මෙනි. 

දිය නෑමෙන් ද කඳුළු සැලීමෙන් ද සැහැල්ලුවට පත් ඕ විදත් ට කෙටි පණිවිඩයක් යැව්වා ය. 

“තාත්ති කැමතියි”

“තාත්ත අකමැති වුණත් මං උස්සං යනව”

කියා ටයිප් කළ හෙතෙම ඒ අකුරු වේගයෙන් මකා ගෙන ගියේ ය. ඇගේ තාත්තා පරයා යන්නට උත්සාහ කිරීමෙන් මෙලොව කිසිදු ගැහැනියක දිනා ගත නො හැකි බව ඔහු දැන සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles