පතොක් මලක ප්‍රේමය- 33

ධීර මගේ අම්මාත් තාත්තාත් හමුවට යනතුරුම මේ සියල්ල රහසක් කරගන්නට මට ඕනෑ විණි.චමත්කාට ද කේතකීට ද සත්‍යය පවසන්නට මට නොසිතුණා නොවේ.නමුත් අම්මා සහ තාත්තා ධීර ගැන ගන්නා තීරණයකට එකඟ වන්නට මට ඕනෑ විණි.එය හදවතට සහනයකි.

පසන්,මගේ තෝරා ගැනීමකි.ඒකමතික තීරණයකි.ධීර මගේ අම්මා සහ තාත්තාගේ ද තීරණයක් වන්නට ඉඩ හරින්නට මට සිතිණ.

පසුවදා ධීර මට ඇමතුවේ නැත.මගේ දෙමාපිය අවසරය ගන්නැයි ඔහුගෙන් ඉල්ලූ ඉල්ලීමට ඔහු කිපෙන්නට ඇතැයි මම සිතීමි.දවසක්වත් ආදරය කරන්නට ඉඩ නොදී දෙමාපියන් හමු වන්නැයි ඉල්ලීම මොනතරම් අසාධාරණදැයි මට සිතුණේ ඔහුගෙන් කෙටි පණිවිඩයක්වත් නොඑන තැන ය.
දේශනයක උගන්වන කිසිවක් මතකයේ නොරැඳෙන කල මම ඔහේ වටපිට බලමින් කල් ගෙවීමි.කිහිපවතාවක්ම චමත්කා මා කෙනිත්තුව ද මට දේශන අසන්නට ඕනෑ වූයේ නැත.

අප දිවා ආහාරය ගන්නට සැරසෙද්දී ම ධීර වට්ස් ඇප් පණිවිඩයක් එව්වේ ය.මම වහා එය විවෘත කළෙමි.එහි වූයේ ඡායාරූපයකි.මල් පුරවා ගත් ගසක සේයාරුව දුටු මා එය ඔහුට යැවූවා දැයි සිතිමී.ඉන් අනතුරුව ඈත සමනොළ කඳු වළල්ල පෙනෙන සේයාරුවකි.

මට මගේ බිම හඳුනා ගන්නට අපහසුවක් නැත!

“ධීර ඔයා කොහෙද ඉන්නේ?”

තවත් සේයාරුවකි.එහි හිඳින්නේ සාලයේ ඡායාරූපයක තොල පෙරලා අමනාප මුහුණින් හිඳින කුඩා සාරදී ය.

“ධීර!!”

“මං ඔයාලගෙ ගෙදර ආවා සාරදී.අම්මගෙ කෑම වැඩියෙන් රස උණුවට තියෙනකොට..”

අවන්හලේ මේසයට හිස ගසා ගත් මම වැලපෙන්නට ගතිමි.චමත්කා සහ කේතකී පමණක් නොව ඈත මේසයකට වී කොලු රංචුව සමඟ ආහාර ගනිමින් සිටි නිර්වාන් පවා මවෙත පැමිණියේ ය.හඬමින් සියල්ල හෙළි කරන්නට මට බොහෝ වෙලාවක් ගත වන්නට ඇත.නමුත් ධීරගේ ක්‍රියාත්මක වීම ගැන මම ඔවුන්ට පැවසීමි.

“ඔයා අඬන්නෙ ධීරට අකමැති නිසාද?” කේතකී ඇසුවා ය.

ඇගේ ජීවිත දැක්ම වෙනස් ය.ධීර වැනි තරුණයෙකුට සමීප වී මුල සිට ජීවිතය අරඹනවා වෙනුවට නිර්වාන් සමඟ ගමනක යෙදීම පහසු බව ඈ මට අනේක වර පැවසුවා ය.මම ඒ වචන පිළි නොගත්තෙමි. ඇයට අනුව පසන්ට රිදවීමට නම් තෝරා ගත යුත්තේ නිර්වාන් ය.

“පිස්සුද..සාරා ඒකට කැමැත්තෙන් හිටියෙ..”

චමත්කා පවසන්නේ සැරෙනි.

“සාරා මෙච්චර කාලෙකට කරපු නුවණක්කාරම වැඩේ ඔය ධීර තෝරා ගත්තු එක..” නිර්වාන් එසේ පැවසුවේ ය.තවමත් නිර්වාන් මා කෙරෙහි ළං කරන්නට කැමති කේතකී නොකැමැත්තෙන් බලා හුන්නා ය.

“කොල්ලෙක් ඔච්චර අවංකයි කියන්නෙ ආයේ අපි කවදාවත් ඔයාගෙ දුක අහන්නේ නෑ කියන එක සාරා..ධීරට තමයි ඔයා ඕනම..පසන් හිටියේ හොඳම කෙනෙක් නැති වුණොත් ඔයා තෝරා ගන්න බලාගෙන.ඇත්තටම ඇත්ත කීවොත් මං හිටියේ ඔයා පසන්ව අමතක කරනකං බලාගෙන.ඒත් ධීර ෆයිට් කරා. ඔයාට ඔයාව හොයලා දුන්නා.සාරා, ඇත්තටම ඔයා හරි ලකී..”

නිර්වාන් නැගී සිටියේ මගේ හිස මුදුනට අත තබා කෙහෙරැලි අවුල් කර දමමිනි. මා ධීරගේ වූ පසු හොඳම යහළුවෙකු ලෙස මා අසල රැඳෙන්නට නොහැකි බව නිර්වාන් පෙර දවසක පැවසූ අන්දම මම සිහි කළෙමි.වසර හතරකට ආසන්න කාලයක් මා අසල රැඳුණු ඔහු ඇතැම් විට මගෙන් ඈත් වී යන්නට ද ඉඩ ඇත.
මගේ දෙකොපුල දිග කඳුලක් රූරා ආවේ නිර්වාන් වෙනුවෙනි.හොඳම මිතුරෙකු වෙනුවෙන් ආදේශක සෙවීම අපහසු බව දනිමි.නමුත් ඔහුගේ අවංක හැඟීම මගේ හදවත මිත්‍රත්වයේ උණුසුමින් පිරවී ය.

“සාරා.. ධීර අයියා පල්ලෙහා.මං උඩට එන්න කියන්නම්”

රාත්‍රිය උදා වන්නට හෝරාවකටත් අඩු කාලයක් තිබියදී චමත්කා සුළඟක් ව මා සොයා ආවා ය.මමත් කේතකීත් රාත්‍රියට පැස්ටා සකසමින් හුන්නෙමු.

“එපා..ආන්ටි අවුල් යයි..අනික මොකද අනේ එයාව එකපාරම අයියා වුණේ..”

තෙම්පරාදුවක් වෙනුවෙන් ළූණු කපමින් හුන් කේතකී කට ඇද කර සරදම් කළා ය.

“මෙයත් හරිනං අක්කනෙ..මට දැන් ධීර ධීර ගාන්න හිතක් නෑ..අයියා උඩට එන එක අවුල් නම් පහලට යන්න සාරා..ඇන්ටිගෙ බෙන්ච් එක තියනවනෙ..”

චමත්කා මා මුළුතැන්ගෙයින් එළියට තල්ලු කළා ය.

“මට නම් තාම එයා අපිට කෑම උස්සං ආපු ඩිලිවරි කොල්ලා..”

මා පිට වෙද්දී කේතකී පැවසූ දේ මට ඉතා පැහැදිලිව ඇසිණ.මට ඕනෑ වූයේ හඬන්නට ය.ඔහු රජසැප අතැර පලා ගිය ගැමුණු කුමරුගේ වර්ගයේ කොල්ලෙකි.දෙමාපියන්ගෙන් ලැබුණු කිසිවක්ම විඳින්නට අකමැති ඔහු තනිව ගොඩ නැගෙන සිහිනයක එල්බ හිඳියි.සැබෑවටම ඔහු කිසිත් නැති කෙනෙකු වූවාට කම් නැතැයි මම සිතුවෙමි.සියල්ල උපයා ගන්නට අපට නොහැකි වන්නේ නැත.

“ඔයා එච්චර හිතුවක්කාර උනේ කොහොමද ධීර.නිකං ඇඩ්‍රස් එකකට ගෙයක් හොයන් යන්න.අනික අපේ අම්මලා පන්නා ගත්තනම්..”

මම ඔහු අසලින් හිඳ ගත්තේ ඔහුගේ උරහිසට අනින අතර ය.මා දකින්නට ආසා කරන මන්දස්මිතය පිපී ආවේ ය.

“ඔයාගෙ අම්මලා ඒ ජාතිය මිනිස්සු නෙවෙයි කියල මං තේරුම් අරන් හිටියෙ..”

ඔහු ඔහුගේ වීර චාරිකාව ගැන අගය වඩවමින් මට බොහෝ දෑ කීවේ ය.මම ධීරගේ හැම වචනයක් ම අහුලා ගනිමින් සිටියෙමි.

“අන්තිමට මං දිනුවා.ඔයා මගෙ ක්‍රෂ් එක වුණේ එදා අහම්බෙන් මෙතනදි දැක්කම..හැබැයි ඔයාට ආදරේ කරන්න මං හිතා ගත්තේ එදා බුක් ෆෙයා එකේදී.දැන් මං දිනලා ඉවරයි..”

ඔහු කියන්නේ සොම්නසිනි.මා බොහෝ කාලයකින් නොඉපදුණු දඟකාර හිනාවකට තොල් අතර පිපෙන්නට හැරියෙමි.

“ඒ උනාට මං තාම ඔයාට කැමතියි කීවෙ නෑනෙ..”

ඔහු කලාතුරකින් නගන උස් සිනාව නැගිණ.

“ඔයා සමහර දේවල් ගැන ඇත්ත කියන්නෙ නම් නෑ තමයි සාරා..ඒත් ඔයා නොකියන ඇත්ත ඇස් වලින් අල්ල ගන්න මං දන්නව…”

වසන්තය දෑස් සමීපයේ හිනැහෙද්දී මම එය දෝත විදා පිළි ගන්නා සතුටක ගිලී ගියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles