පෙමාතුර -15

ගැහැනු හිතක් විශ්ලේෂණය කරන්නට එක පොතක් නොව පොත් සිය දහස් ගණනක් ලීව ද හැකි වන්නේ නැත. එය එපමණට ම සංකීර්ණ ය. ගැහැනු හිතත් හරියට ගඟක් වගේ යයි මම සිතමි. එක මොහොතක දී පවතින ගඟ තවත් මොහොතකින් දැකිය නොහැකි ය. ගැහැනු හිත ද එසේ ය. තත්පරයක් ගානේ වෙනස් වෙයි. ඒ හැම තත්පරයක් ම කිරා මැන හාරා පාරා විශ්ලේෂණය කරන්නට මම කැමැත්තේ වීමි. 

ඉෂිනි ට මම ඊර්ෂ්‍යා කළෙමි. ඒ ඇය හා කතා කරන්නට පෙර දෙවරක් ම ඇය විසල් සමගින් සිටිනු දුටු අවස්ථා වල ය. නමුත් ඇය අපේ ගෙදරට ම ආ වෙලාවේ ඒ ඊර්ෂ්‍යාව කොහේ කොතැනක සැඟව ගියා ද කියා කියන්න ට මා දන්නේ නැත. ඇය හා කතා කරත්දී ඊර්ෂ්‍යාවක හැඟීම් මාත්‍රයකුදු මගේ හිත අහලක වූයේ නැත. ඒ වෙනුවට ඈ ගැන මහත් දයාවකින් මගේ හද පිරීතිරී ගොස් තිබිණි. අපි එක ම කුලකයක ගැහැනු වන්නෙමු. අපි එක ම පිරිමියෙකුට පෙම් කරනා ගැහැනු වන්නෙමු. අන්න ඒ කාරණයේ දී ඇය ගැන උපන්නා වූ ස්නේහවන්ත හැඟීම අති විශාල ය.

“දන්නවද මෙයා කවුද කියල..”

යළි කාමරයට ආ නදීරා ගෙන් මම විමසීමි. ඇය ඇස් කුඩා කළේ ප්‍රශ්නාර්ථයෙනි.

“ඕගොල්ලොන්ගෙ හුරතලා ගෙ නෑන”

ඒ හුරතලා කියන වචනය මා කිහිප වරක ම විසල් ව හඳුන්වනු වස් යොදා ගෙන තිබෙන නිසාවෙන් නදීරා වහා එය තේරුම් ගත්තා ය.

“හෑ…”

“මාරයි නේ..කැරකිලා කැරකිලා ඉෂිනිත් මෙහෙටම සෙට් වුණ එක..”

“මාරයි නේන්නං. අපි මේකිව තියං ඉඳල හවසට කොල්ලව ස’ප්‍රයිස් කරමු”

“අනේ මේ..ස’ප්‍රයිස් නෙවෙයි. මට බැනල එලවයි”

“එච්චර බයද එයාට…”

ඉෂිනි අහිංසක ලෙස සිනහ වූවා ය. ඇගේ මුහුණෙන් යමක් කියවා ගන්නට සෙයින් මම ඇදෙස ම බලා සිටියෙමි. ඇය තුළ විශ්වාසවන්ත හැඟීමක් නොවන බව මට දැනුණේ ඇයි කියා නො දනිමි.

තනි වූ මිනිස්සු ඒ තනි කමෙන් එතෙර වනු පිණිස කාගේ හෝ ඇසුරක් පතති. ගැහැනු ගෙදර හිටියේ හදවතින් තනි වූ ගැහැනුන් පිරිසකි. අනිත් තිදෙනා මා එවැන්නෙකු සේ කිසි විටෙක සැලකුවේ නැත. ඒ මා තවමත් යෞවනයෙහි සිටියා වූ බැවිනි. නමුත් ඒ සියල්ලන්ට ම වඩා තනි වී සිටියේ මා බව මම දනිමි. ඔවුන්ට නම් අතීතයක් හෝ තිබේ. මට තිබෙන්නේ අයිතියක් කිව නොහැකි පිරිමියෙකු ගැන තිබෙන්නා වූ  හැඟීමක් පමණකි. 

ඉතින් මේ හුදෙකලා ගැහැනුන් ඉෂිනි ව පිළිගත්තේ පවුලට එකතු වූ අලුත් සාමාජිකයෙකු ලෙසිනි.

“අනේ විසල් අයියට කියන්නෙපා මං මෙහෙ ආව කියල”

අපි කතා කරමින් හවස තේ බොන ගමන් ඇය කීවා ය. ඇගේ යටි හිතෙහි යම් යම් කාරණා ක්‍රියාත්මක වෙමින් තිබෙන්නට ඇත. 

“ඇයි අනේ…කොහොමත් එයා අපේ නේබර් කියල දැනගෙන ඔයා මෙහෙ ආව නෙවෙයිනෙ. ඒක අහම්බයක්නෙ. මන්නං ඒ අහම්බෙට හරි කැමතියි”

පුංචි කතා කළේ සතුටෙනි. අපට අලුත් සාමාජිකයෙකු හමු වීම ගැන ඇය උද්දාමයෙන් සිටියා ය.

ඒ කෙටි කාලය තුළ ඉෂිනි මටත් අපේ අනිත් සාමාජිකාවන් ටත් බෙහෙවින් සමීප වෙමින් සිටියා ය. අපි නොයෙක් දේ ගැන කතා බහ කළෙමු. අපේ ගැහැනු ගෙදර ගැහැනුන්ට බඳු පුළුල් ජීවන දර්ශනයක් නම් ඇය ට නැති බව මට දැනුණේ ය. කෙතරම් සුහද වී ද මම ඇය ව මගේ කාමරයේ සඳැල්ලට ගෙන ගොස් එතැනට විසල් ගේ සඳැල්ලෙහි වන සමීප බව නම් නො පෙන්වා සිටියෙමි.

“මං විසල්ට කකා කරල කියන්නං පොඩි උවමනාවකට එන්න කියල”

කළුවර වැටී ගෙන එත්දී සනෝජා පුංචි විසල් ට ඇමතුමක් ගත්තා ය. ඉෂිනි හිටියේ දෙගිඩියාවක බව පෙනිණ. ඊට හේතුව නම් පැහැදිලි වූයේ ම නැත. 

විසල් එන්නට පෙර සිට ම මගේ හද ගැස්ම තීව්‍ර ව තිබිණ. ඒ තත්වය වචන වලින් පහදා කියන්නට කවදාවත් මට නො හැකි වනු ඇත.

මා සිටියේ කෙලවර අසුනක ය. ඔහු සිනහ වෙවී ආවේ ය.

“මං හිතුව හදිස්සියක් කියල කිව්වහම සර්පයෙක්වත් ඇවිත්ද කියල”

“ඔයා සර්පයි අල්ලන්නත් දන්නවද..”

පුංචි ගේ ඒ ප්‍රශ්නයට කවුරුත් එක වර සිනහ වූහ. ඔහු ගේ ඇස් එක මොහොතක ඉෂිනි ළඟ නැවතී ගැස්සුණා කියා සිතමි. එතැන ඉෂිනිටත් වඩා වේගයෙන් හදවත ගැහුණේ මගේ ය.

“ස’ප්‍රයිස්”

නදීරා කීවා ය.

“ඔයා මොනාද මෙහෙ කරන්නෙ…”

විසල් ඉෂිනි වෙතින් ප්‍රශ්න කළේ නළල රැලි නංවා ගෙන ය. ඇය දුර්වල සිනහවක් පෑවා ය.

“ඇත්තටම විසල් ඉෂිනි ඔයාගෙ ගර්ල් කියල අපි දැන ගත්තෙ එයා මෙහෙට ආවටත් පස්සෙ. එයාව කලින් දැකල තියනව කියල අඳුරගත්තෙ මේ කිසා”

ඒ තත්පරය තුළ ඔහු ගේ ත් මගේ ත් ඇස් හමු වී සැනෙන් මහා විදාරණයක් සිදු විය. පිපිරුණ කැබලිති විශ්වය පුරා විසිර ගියේ ය. 

“ඉෂිනිව මං දන්නෙ අපි ඔයාව දැන ගන්නත් කලින් ඉඳන්. එයා මගෙ සැලෝන් එකට එනවනෙ. එයත් බියුටි කල්චර් කෝස් එකක් කරනව කිව්වට පස්සෙ ඉතිං අපි ක්ලෝස් වුණා. අපිට බිසී වෙලාවක සැලෝන් එකට ආවොත් ත්‍රෙඩින් එකක් කරල හරි මේ කෙල්ල මට උදව් කළා”

නදීරා ඇගේ හා ඉෂිනි ගේ ඉතිහාසය ගැන කෙටි හඳුන්වා දීමක් කළා ය.

“අද ඉෂී මෙහෙ ආවෙ එග්සෑම් එකට ටිකක් රෙඩි වෙන්නත් එක්ක. කවුද දන්නෙ ඉතිං ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල”

පෙම්වතිය ගැන වෙනදා ට අපේ කෙනෙකු කියත්දී ඔහු ගේ මුහුණේ තිබි සිනහව මේ වෙලාවේ වූයේ නැත. මම ඔහු දෙසත් ඉෂිනි දෙසත් මාරුවෙන් මාරුවට බලමින් සිටියෙමි. විසල් අසුනකට බර වූයේ ඔහු ගේ හිතේ ඒ වෙලාවේ තිබි බර බිමින් තබන්නට ඕනෑ වූ සෙයකිනි. 

“දැං කෙල්ලට බණින්නෙපා හරිද…අපියි එයාව තියා ගත්තෙ ඔයාව ස’ප්‍රයිස් කරන්න”

“නෑ”

ඔහු නපුරු ව සිටියේ ය.

“මං මොකටද බණින්නෙ…අනිත් එකට මං මොකටද ස’ප්‍රයිස් වෙන්නෙ..”

ඉෂිනි ගේ මුහුණ හැකිළි ගියේ ය. සිය පෙම්වතා ලෙස මේ ගැහැනුන් සියලු දෙන ම පිළිගෙන සිටි ඇය ගැන ඔහු අවතක්සේරුවෙන් කතා කළා සේ ඇය ට සිතිනි නම් ඒ ගැන පුදුම නො විය යුතු ය. 

ඇය නිර්භීත කෙල්ලක ලෙස ය මගේ සිතේ සිටියේ. විසල් ගේ අතක් අල්ලා ගෙන උස් වී ඇය විසින්  ඔහු ගේ කම්මුලක් සිප ගනු මම දෑසින් ම දුටිමි. දෙනෝදහක් අතරේ එසේ කරන්නට තරම් එඩිතර වූ ඇය අද මෙලෙස ස්ත්‍රීන් සිව් දෙනෙකු අතරේ දී හැකිළ සිටින්නේ ඇයි ද කියා මට සිතා ගත නො හැකි වූයේ ය. මම හැම ඇස් පිල්ලමක්, හැම හුස්මක්, හැම බැල්මක් අධ්‍යයනය කරමින් සිටියෙමි.

“රෑ වෙනකල් ඉඳල යන්නෙ කොහොමද ඔයා…”

ඊළඟට විසල් ඇය ව විමසුවේ ය. ඇතුළාන්තයෙන් මා පිච්චී යනයුරු පිටත සිට මම බලා සිටියෙමි. 

“ඇයි විසල් ඉන්නෙ”

එසේ කීවේ ඉෂිනි නොව සනෝජා පුංචි ය.

“නෑ නෑ. මං ඉෂීව ගිහින් දාන්නං බෝඩිමට. මන්නෙ කෙල්ලව එක්කං ආවෙ”

නදීරා වගකීම ඇය වෙත පවරා ගත්තා ය. ඔහු ගේ ඇස් ඇය දෙස බලනා බැල්මක ප්‍රේමය කියන දීප්තිය ලියවෙන්නේ නැති බව ස්ථිර කර ගන්නට මම තැත් කළෙමි. නමුත් ඉෂිනි ගේ දෑස් මත්තෙහි ඒ දීප්තිය ඕනෑවටත් වඩා දිළෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනී -71

"මමයි අම්මයි ඔයාට බෝධි පූජා තියන්න යන්නේ" සකී එක්තරා උදෑසනක අහස්ව අවදි කළේ එසේ කියමිනි.තරගාවලිය ඇරඹෙන්නට වැඩි දවස් නොවේ.අහස්ගේ...

නිබ්බුත ගීත -20

ප්‍රේමයේ වියෝගය පිළිබඳ කල්පනා මා ආතුර කොට තිබිණ. මධාරා අක්කා ගේ විවාහ මංගල්ලයෙන් පස්සේ දෙතුන් දිනක් ගෙවී ගියේ ඒ ඔත්පල වීම තුළ...

නිබ්බුත ගීත -19

ජීවිතයක් වෙනස් වන්නට එක නිමේශයක් ප්‍රමාණවත් ය. මධාරා අක්කා විවාපත් ව මදුරාපුර මැදුරෙන් නික්ම ගිය මොහොත මට ඒ වගේ නිමේශයකි.

අම්මාගේ ජීවිතය බේරා ගත් සිව් හැවිරිදි පුතා.

කුඩා ගේබ්ගේ පියා ඔහුව සහ ඔහුගේ මව වූ ඔෆීලියාව හැර යන විට ඔහුට වයස මාස නවයක් පමණයි.එදින සිට ඔෆීලියා ගේබ්ව ආදරයෙන් රැක...

සුහදිනි -70

සාරණ්‍යා උත්කර්ෂවත් විවාහ මංගෝත්සවයක් පවත්වා විවාහ වූවා ය.ඇය සතුටිනි.ඇයට අවශ්‍ය ලෝකය දිනා ගත් සතුට ඇගේ දෑස් මත පෙනෙන්නට තිබිණ.