හසරැලි වැස්සෙ – 27

“අම්මෙක්ගෙ බඩෙන් නූපන් කාලකන්නි..”

හිංසකයාගේ කමිස කොලරයෙන් අල්ලා ගත් මැදි වියේ පුද්ගලයා කෝපයෙන් පවසයි.මම කඳුළු පිටි අත්ලෙන් පිස ගතිමි.තාත්තා හෝ අයියා මෙතැන හුන්නේ නම් යන ක්ෂණික හැඟීම මකා දැමූ ඒ කරුණාවන්ත පුද්ගලයා මා ඔහුගේ අසුනින් හිඳුවාලී ය.හිංසකයා වෙනුවෙන් කළ කී දෑ ගැනවත් විමසීමක් නොමැතිව මම හඬමින් අසුනට වී හුන්නෙමි.

කාරුණික මිනිසාට මා අසල ඉඩ පැමිණියේ මඳ දුරක් පැමිණි පසු ය.

“දුව බය වුණාද?”

ඔහු අසන්නේ කරුණාවෙනි.තාත්තා මා අසල හිඳින්නාක් මෙන් මට දැනිණ.

“කාලකන්නි කොහෙ කොතනත් ඉන්නව..ඒ වගෙ වෙලාවට කෑගහලා බනින්න.නැත්නම් අතේ තියන එකකින් පාරක් ගහන්න..”

ඔහු පවසන්නේ මඳ සිනාවකිනි.මම කඳුලු පිස දා ඔහු සමඟ හිනැහුණෙමි.දියණියන් තබා ඔහුගේ වයසේ ගැහැනුන්ටවත් පාරේ යන්නට බැරි තරමට සමාජය පිරිහී ඇතැයි කියමින් ඔහු සමාජ විෂමතාවය ගැන බොහෝ දේ මට පැවසී ය.

“දැන් නෙවෙයි කොයි කාලෙත් මිනිස්සුන්ට මනුස්සකම් අඩුයි..”

ඔහු එසේ කියද්දී මා ද හිස වනා එකඟ වූයෙමි.එකාතකට මා මේ දිනවල වේදනා විඳිමින් හිඳින්නේ පවා එවැනි මිනිසත්කම ගැන ගැටළුවකින් බව මට හදිසියේ සිතිණ.එය ආදරය එසම්බන්ධ ප්‍රශ්නයකටත් වඩා මනුෂ්‍යත්වය ගැන ගැටලුවකි.

නාඳුනන මිනිසුන් සමඟ කතා කිරීමෙන් කරවල වාඩියකට වැඩට යන්නට සිදු වෙතැයි අම්මා පැවසුවේ මා බාල කාලයේ දීය.තරුණ වියට එළඹෙද්දී නොදන්නා අය පමණක් නොව දන්නා අය සමඟ ද මගේ කතාව අඩු වූ තරම් ය.එනිසා මේ නොදන්නා මිනිසා සමඟ මෙසේ කතා කරන්නට සිත් වීම ම මට මා ගැනම පුදුමයක් අත් කළ කාරණාවකි.

“මම තරුණ කාලේ මගේ යාලුවෙක් හිටියා දූගෙ හැඩහුරුකමමයි..”ඔහු එවැනි වාක්‍යයක් පවසන තුරුම මා සිටියේ සිදු වූ අනතුරින් මානසිකව යථා තත්ත්වයට පත් වෙමිනි.නමුත් ඒ කතාව මට ගැටලුවක් ඇති කළේ ය.

“දුව පන්නිපිටිය හරියෙන්ද බහින්නෙ?”

ඔහු එසේ අසා සුසුමක් හෙළී ය.මා එයට පිළිතුරු දුන්නේ ද හිස සැලීමෙනි.

“මං ඒ කියපු මගේ යාලුවා ඒ කාලේ හරි සැරයි..ඔහොම දෙයක් වුණානම් අත පුරෝලා පාරක් දෙන ජාතියේ..”

ඔහුගේ සිනාවේ ඇත්තේ ළතැවිල්ලකි.මා දරන්නේ අම්මාගේ රුව ද මම්මාගේ රුව ද සිතමින් මම මොහොතක් ගත කළෙමි.නමුත් ඒ මොහොත ඉක්මනින් ගෙවී ගියේ නාඳුනන මිතුරාට මගෙන් සමු ගන්නට වෙලාව පැමිණි නිසා ය.

ඔහු මගේ හදවත පුරා ප්‍රසන්න සිතුවිලි අතුරා සමුගත් වැඩිහිටියෙකි.මට ලෝකයේ හොඳ මිනිසුන් ද සිටින බව පහදා දී සමු ගත් “අංකල්” ගැන මම ගෙදර ආ විගස අම්මාට ද මම්මාට ද පැවසීමි.

“කෙල්ලෙකුට පාරේ බැහැල යන්නත් බෑ..මහ වනචර මිනිස්සු ජීවත් වෙන්නේ.”

මම්මා මා තුරුලට සිර කර ගත්තේ එසේ කියන අතරේ ය.

“ඉස්සර මං..”

අම්මා කුමක් දෝ කියන්නට ගොස් වචන ගිල ගත්තා ය.අනතුරුව නැවතත් වචන සොයා ගත්තා ය

“ඔහොම උන්ට අත දිගෑරල කනට ගහනවා..”

මගේ සිතේ විදුලියක් කෙටිණ.ආගන්තුක උදව්කාරයා ඔහුගේ අතීත මිතුරියක ගැන පැවසූ කතාව මට සිහිව ආවේ ය.මා අම්මා දෙස බැලුවේ ඔහුගේ හැඩරුව ගැන කියන්නට සිතමිනි.නමුත් අම්මා ම කතාව ඇරඹී ය.

“මගේ යාලුවෙක් හිටිය සුගත් කියලා..මම ඔහොම වලියක් පටල ගත්තු ගමන් උදව්වට ආවා.එයා ඒ කාලෙ කියනව නැත්නම් මම නවතින්නෙ හිරේ විලංගුවෙ කියලා.මිනිහෙක් මරලා..”

අම්මාගේ දෙකම්මුල් කාන්තිමත් පැහැයකින් එළි වැටී මැකී ගියේ තත්පර ගණනකිනි.මම අමුත්තාගේ මුහුණේ වූ අකාලික ශෝකය සිහි කළෙමි.

එසේ නම් මේ දිනක් අම්මාගේත් මම්මාගේත් කතාවක මට ඇසුණු සුගත් ය.අද මා බේරා ගත් ගැලවුම්කාරයා ද ඔහු බවට මට සැක නොවේ.

සුගත්ව අහිමි වූයේ ගොළු හදවතේ දම්මිට පමණක් නොවේ.මගේ අම්මාට ද එය සිදුව තියේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles