දරු සෙනෙහස.

“මට නම් ලක්ෂිව අප්පිරියම වුණා..”

මිතුරියන්ගේ හමුව අහවර කරලා ගෙදරට ගිය කුමලි මුලින්ම කරේ ඒ විදියේ පණිවිඩයක් දෙව්මිට යවපු එක.කාලෙකට පස්සේ ඉස්කෝලේ කාලේ හොඳම යාළුවෝ රංචුව එකතු වෙලා කතාබහ කරලා ගෙදර එනකොට මෙහෙම අපබ්‍රංශයක් ඔලුවේ පටලා ගන්න වෙයි කියලා කුමලි කීයටවත්ම හිතුවේ නෑ.

“අනේ ඉතින් ධනූගේ බබා එන්නේ කවද්ද?”

ඒ ප්‍රශ්නය මුලින්ම ඇහුවෙත් ලක්ෂිකා.ලක්ෂිකා එහෙම අහලා ධනුකිගේ කුසට අතක් තියාගෙන නූපන් පුංචි පැටියා එක්ක කතා කරනකොට කුමලි බොහොම සීරුවට කතාවක් ආරම්භ කළා.

“ලක්ෂි..ඔයා ඩොක්ට වරුසවිතාන මුණ ගැහුණොත් මොකද? “

ඒ කතාවට ලක්ෂි කුමලිගේ මුහුණ දිහා බැලුවේ පුදුමයෙන් වගේ.ඊටත් පස්සේ ලක්ෂිට ආවේනික හිනාවත් එක්ක “ඒ මොකටද අප්පේ ” අහනකොට කුමලි කාරුණික හිනාවක් පැළඳ ගත්තා.

“බබාලා නැති එකට ඩාලිං”

කුමලි කරුණාව පිරුණු හඬකින් එහෙම කියනකොට ලක්ෂිකා හිනා වෙන්න පටන් ගත්තේ ඉන්න තැන පවා අමතක කරලා.කසාදයක් බැඳලා අවුරුදු හතරකටත් වඩා ගෙවිලා නිසා ළමයි නැති එක ලක්ෂිකාව පිස්සු වට්ටලා ඇති කියලා කුමලි හිතා ගත්තා.

“මමයි ගිම්හානයි ඉන්නේ බබාලා හදන්නේ නැතුව ඉන්න තීරණේක..”

ලක්ෂිකා එහෙම කියනකොට දෙව්මි ඇය දිහා බැලුවේ කලබල බැල්මකින්.ලක්ෂිකා එකොළහේ පන්තියේ ඉඳන් ගිම්හානට හොරෙන් හොරෙන් ආදරේ කරපු තාලේ දෙව්මිට අමතක නෑ.සෑහෙන සටන් ජවනිකාවලට පස්සේ ඒ විවාහය සිද්ධ වුණාම දරු මල්ලෝ හදාගෙන සන්තෝසදායක ජීවිතයක් එයාලා අරන් යයි කියලයි දෙව්මි නම් හිතුවේ.

“ඔයාලා ඩිවෝස් වෙන්නද යන්නේ..අනේ ඇයි ඒ?”

දෙව්මි ඇහුවේ ඒ කලබලයෙන්මයි.අනේ මෙච්චර යුද්ධයක් කරලා කසාද බැඳලා දික්කසාද වෙනවා කියන්නෙම විහිලුවක් කියලා ඇයට හිතුණා.

“ඩිවෝස් වෙනව කියලා නෙවේ කිව්වේ අනේ.අපි හරිම බිසී.මං මේ තව ඩිග්‍රි එකකටත් ලෑස්ති වෙනවා.අපි දෙන්නට ලංකාවෙන් යන තීරණේකුත් තියනව.ඒ හින්දා බබෙක් හදන්න අපි ලෑස්ති නෑ.ගොඩාක් දුරට අපි බබාලා හදන එකක් නෑ..”

මේවා නම් මේ ෆේස්බුක් කාන්තා සමූහවලින් ඔලුවට පුරෝගන්න රැඩිකල් බහුබූත කියලා කුමලි හිතුවා.හැබැයි කවුරුමහරි රැඩිකල් වෙනවා කියන්නෙ මොකක්ද ඇහුවා නම් ඒකට දෙන්න උත්තරත් කුමලිට නෑ.”මොකක් හරි එකක්! මෙන්න මේ වගේ පලක් නැති බූත හිතන එක තමයි රැඩිකල් වෙනව කියන්නේ..” එහෙම තමයි කුමලි උත්තර දෙන්න හිතුවේ.

“ඒක මොන අසාධාරණයක්ද අනේ..ගිම්හාන ආස නැද්ද බබාලට..”

කුමලි ඒ හින්දම මුහුණ වෙනස් කරගෙන ඇහුවා.බබාලට නම් කුමලි ආසත් නෑ. ඒ වුණාට පළවෙනියා කෙල්ලක් හින්දා දෙවැනි පාර ෆේස්බුක් එකේ තියන චීන කැලැන්ඩරේ බලලවත් පුතෙක් හදා ගන්න ඕන.කණිෂ්කගේ අයියට කොල්ලොම තුන්දෙනෙක් ඉන්න නිසා දේපල ප්‍රශ්න ඇති වෙන්න කලින් එහෙම කරන්න කුමලි හිතාගෙන ටික කාලයක්.

“ගිම්හාන නෙවෙයි මාත් ආසයි.ඒ උනාට ඉතින් අපිට බබෙකුට දෙන්න වෙලාව නැත්නම් එයාව මේ ලෝකෙට ගේන එකම අසාධාරණයක්.බලමු ඉතිං..හැමදේම හොඳින් වුණොත් සලකලා බලනවා..”

තමන්ට මොකක් හෝ ගැටළුවක් තියන බව කියන්නේ නැතුව යාළුවන්ට එහෙම අමුතු කතා කියන එක ලක්ෂිකාට කොහෙන් පුරුදු වුණාද කියලා කුමලි ආයේ හිතුවා.සමහරවිට කැම්පස් එකෙන් වෙන්නත් ඇති.

“ජීවිතේ මොනව තිබ්බත් මොකටද අනේ පොඩි බබෙක්ගේ හිනා සද්දයක් නැතුව..”

‘බොරු කියන ලක්ෂි’ට රිද්දන්න හිතාගෙන කුමලි එහෙම කියනකොට ලක්ෂිකා හිනා වුණා.

“සම්පූර්ණ කාලය එයාට දෙන්න පුලුවන් වෙන කාලෙට මං අම්මෙක් වෙන්න බැරි තරමට නාකි වුණොත් තමා වැඩේ..”

දරුවෙක් කියන්නේ අහම්බයක් නොකර ආශ්චර්යයක් කරගන්න හිතමින් අනාගතය සැලසුම් කරනකොට ලක්ෂිකා ගිම්හානට එහෙම කියනවා.

“ඔයා කැමති විදිය තමා.මේ ප්ලෑන්ස් ඔක්කොම අත් ඇරලා අම්මා කෙනෙක් වෙන එක ඔයාගේ තෝරා ගැනීමනම් මාත් ලෑස්ති තාත්තෙක් වෙන්න..”

ගිම්හාන එහෙම කියලා හිනා වෙනකොට ජීවත් වීම සටනක් වුණු ලෝකයක බොහොම ස්ථාවරකමක් හදානොගෙන දරුවෙක් හැදීම ගැටළුවක් බව ලක්ෂිකා ආයෙම හිතන්න පටන් ගන්නවා.ඒවා ඒ විදිය වුණත් කුමලිත් දෙව්මිත් තමන්ව මැන ගන්න ඇති බවක් ලක්ෂිකාට නොවැටහෙනව නෙවෙයි.සිතුවිලිවලට වැට බඳින්න බැරි ලෝකයේ ඒ ගැන නොහිතා ඉන්න ලක්ෂි හිතා ගත්තා.

ඒත් කුමලි ඒ කතාව බිම තියන්න ලෑස්ති නෑ.ගෙදර ඇවිල්ලත් ඒ ගැන දෙව්මි එක්ක ආයේ ආයේ විවේචනය කරන්න කුමලිට හිතුණේ ඒ හින්දමයි.

“ළමයින්ට ආස නෑ කියන්නේ පවක් ඉතිං..”

දෙව්මි එහෙම කියනකොට කුමලිත් ඒ කතාවට එකඟ වුණා.

“ළමයි හදන්න බැරිනම් අනාථ නිවාසෙක ළමයෙක්වත් අරන් හදා ගන්න එපැයි..එහෙමටවත් හිතක් නෑ.මාර ජීවිත..”

කුමලි එහෙම කිව්වේ ලක්ෂිකාගේ අසංවේදී බව ගැන කලකිරෙන ගමන්.තමන්ගේ දරුවෙකුට ආස නැති ගෑනි එහෙම අම්මා තාත්තා නැති ළමයි හදා ගනීවියැ කියලා එයා ආයේ පාරක් හිතුවා.

ඒ සති අන්තයේ “මල් කැකුළු” ළමා නිවාසෙට දානයක් අරන් යන ගමන් කුමලිට ආයේ ලක්ෂිකා මතකයට ආවා.අවුරුදු පතා හාල් පොල් එළවලු ටිකක් අරන් යන මේ ගමනට ලක්ෂිකාට එන්න කියන්න තිබුණු බව ඇයට හිතුණා.අනාත ළමයෙක් ගැන දුක හිතුණොත් එහෙම ළමයෙක් අරන් හරි හදා ගනීවි කියලා දෙව්මි කිව්වට කුමලිට ඒකත් විශ්වාස නෑ.ළමයින් හදන්න අකමැති ගෑනි ඔය අනාත ළමයින්ට ආදරේ කරාවියැ.

බඩුමුට්ටු ටික ගිහින් තියපු කුමලි පාලිකාව දිහා බැලුවේ ළමයි කෝ අහන්න.ළමා නිවාසේ දරුවෝ පෝලිමට ඇවිල්ලා පින් දීමේ වාක්‍යය කියනවට කුමලි හරිම කැමතියි.එතකොට කුමලිට දැනෙනවා තමන් මොනතරම් වාසනාවන්ත මනුස්සයෙක් ද කියලා!

“අපේ ළමයින්ට පීට්සා අරගෙන එන ලක්ෂිකා මිස්ලා ඇවිල්ලනෙ කුමලි මිස්..එයා හැම ඉරිදම එනවා.පීට්සායි බීමයි අරන්..පොඩි උන් වෙන වෙන ඒවා ඉල්ලුවම ඒවත් ගේනව.අන්න අතන සින්දු කියනව.ඒකයි පොඩි උන් ටික නැත්තේ..”

පාලිකාව නිදහසට කරුණු කියනකොට කුමලි ළමා නිවාසයේ සියඹලා ගහ පැත්තට ගියා.පොඩි උන් නටනට සින්දු කියනවා.ගිම්හාන ගිටාරය වයනකොට පුංචි උන් එක්ක සින්දු කියන කෙනා කුමලිට හිනා වෙලා අත වැනුවා.

“ඒ ළමයින්ට පොඩ්ඩක්වත් ආදරේ නෑ කියල කුමලි චරිත සහතික දුන්නු ලක්ෂි!”

More Stories

Don't Miss


Latest Articles