නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද සතුට ද මිශ්‍ර වූ ත්‍රාසය ද භීතිය ද කරුණාව හා ආදරය ද සම අනුපාත වලින් එක් වූ අරුම පුදුම සිදුවීම් වලින් ගහන චිත්‍රපටයක් වන් එකකි. ආපසු හැරී ඒ සිදුවීම් සිහි කරත්දී මට දැනෙන්නේ මා සුවිශේෂ චාරිකාවක් නිමා කොට අද මේ නැවතුමට එළඹ සිටිනා බවකි. ඒ චාරිකාවේ බොහෝ තැන් මට පහසු නොවූ බව, මගේ කතාවෙන් යම් කොටසක් දන්නා ඔබ දැනටමත් අවබෝධ කර ගෙන සිටිනු ඇත. ගිරි දුර්ඝ, අගාධ, ඝණ වනාන්තර මෙන් ම තැනිතලා ද පසු කර එන්නට මට සිදු විය. වන සිව්පාවුන් වැනි මිනිසුන් ද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ද ඒ ගමනේ දී මට හමු විය. මා ශක්තිමත් කළේත් මා ගොඩනංවාලූයේත් ඔවුන් බව අද මෙතැන සිට සිතත්දී පිළිගන්නට සිදු වේ. ඒ නිසා මා බිඳ දමන්නට උත්සාහ කළ අය ගැන හෝ උපේක්ෂා සහගත බවක් මිස වෛරී හැඟීමක් දැන් මා තුළ නැත්තේ ය.

නමුත් මල්ලී ව අභූත චෝදනාවකට පටලවා සිර ගත කරන්නට තැත් කළ මව් පස ඥාතීන් ගැන ඒ වෙලාවේ මට වූයේ වෛරී හැඟීමක් බව පිළි ගත යුතුව තියේ. 

ලෝචන මදුරාපුර විසින් මල්ලී ව නිදහස් කර ගෙන ආ දා තරම් කර්මය විශ්වාස කළ දිනයක් තවත් මගේ දිවියට උදා වූයේ නැත. අප කරනා හොඳ නරක වලට විපාක විඳින්නට සිදු වන මොහොතක් එන බව මම දැන උගෙන සිටියෙමි. ඒ නිසා ම මම පවට අතිශය බිය ද වීමි. මේ ආත්මයේ අප දුක් විඳින්නේ ගිය ආත්මයේ දී එකට එක් වී සිදු කළ පවක් නිසාවෙනැයි අප කුඩා කල අම්මා නිතර කීවා ය. අප කුස ගින්නේ සිටිනුයේත් ගිය ආත්මයක අනුන්ට කන්න නොදුන් නිසාවෙනැයි ඈ කියනු මට මතක ය. අපේ ගෙය ගිනිබත් වූ වෙලාවේත් “ගිය ආත්මෙක අපිත් කාගෙ හරි ගෙයක් ගිනි තියල ඇති” යනුවෙන් ඇය කියනු සිහිනයකින් සේ මට මතක ය. බොහෝ විට මහා දුකක සාන්ද්‍රණය අඩු කොට තණුක කරගනු වස් අම්මා මේ බණවරය සිය ජීවිතයට තදින් බැඳ ගෙන සිටියා වන්නට පුළුවන. අනිත් අතට එහෙම හිතනා එක ඇගේ පටු හා සීමිත ලෝකය තුළ අම්මාට ජීවිතයේ කටුක බව සම සිතින් විඳ ගන්නට හේතු වූවා විය හැක.

මල්ලීව නිදහස් කර ගන්නට ලෝචන දැවැන්ත මෙහෙයුමක් දියත් කොට තිබේ. මල්ලීගේ පාසලේ විදුහල්පති තුමා ද ග්‍රාම නිලධාරී මහතා ද රෝහල් අධ්‍යක්ෂවරයා ද ඒ සටනේ දී ඔහුත් සමග එකට අත්වැල් බැඳ ගෙන හිඳ තිබේ. අවන්තට රෝහල් ගත ව සිටින්නට තරම් කාරණයක් වෛද්‍ය අධීක්ෂණයන්ට අනුව නොමැති වී ද ඔහු දිගින් දිගට ම එහි රැඳී සිට තිබෙන්නේ විවිධ ආබාධ හා අමාරුකම් ගැන පැමිණිලි කරමිනි. මල්ලී නිදහස් ව පැමිණීම ගැන මහ ගෙදර ඇත්තන් උදහස් ව හිඳින බව අපට කීවේ අසල්වැසියෙක් ය.

මල්ලී නිදහස් වී ආ බවට ආරංචිය නිසා හැන්දෑවේ අපේ ගෙදර ගම්මුන්ගෙන් පිරිණි. අප තනි වී නැති බවට මහත් සහනශීලී හැඟීමක් ඔවුන් නිසා මම වින්දෙමි. වැඩ නිම වී පැමිණි සඳනි ද සමගින් තේ හද හදා මම ඔවුන්ට සංග්‍රහ කළෙමි.

“ආච්චිට බැනල එලෝපු වෙලාවෙ මං හිටියනං දෙයියම්ප මෙතන ලොකු කේස් එකක් ෆයිල් වෙන දෙයක් වෙනව. මං ඔය ගෑනිට එදා ගේ ගිනි ගත්ත වෙලාවෙත් ලුණු ඇඹුල් ඇතුව කිව්වනෙ. මෙදා හිටියනං දොර පොල්ල තමයි ගන්නෙ”

සඳනි කීවේ දින කිහිපයකින් සිනහ වී නොතිබි මගේ මුහුණේ හසරැල් මවමිනි.

“අර වල් කොල්ලව මට බන්දන්න බැරිද දන්නෑ. මං දන්නව ඔහොම එවුන්ට දෙන්න ඕන බෙහෙත්”

“අනේ මාව හිනස්සන්න එපා සඳ”

“කෝල් එකක් දීල එන්න කියමුද ආච්චි මමීට…තේ එකක් බීල යන්න…”

“මේ දෙන්න හිනා වෙන හැටි…මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත්…”

කියා ගෙන ලෝචන අප වෙත ආවේ ය. මම සිනහව දෝරෙ ගලනා ඇස් දෙකෙන් ඔහු දෙස බැලුවෙමි. ඒ බැල්මෙහි වූයේ පොත් සියයක් ලිවිය හැකි තරම් ආදරයකි. 

“කොච්චර දෙයක් වුණත් කෙල්ල දැං දන්නව කොල්ල වීරය වගේ ගිහිං ලෝකෙ පෙරලල හරි දිනුම ගෙනත් කෙල්ලගෙ කකුල් දෙක ළඟින් තියනව කියල”

මම සඳනි ගේ කකුලක් පෑගුවෙමි. ඇය කෑ ගසා “ඌයි” කීවා ය.

“කකුල පාගන්නෙ…බොරුද ඉතිං මං කියන්නෙ…හැබැයි මෙහෙම දේකුත් තියෙනව නිබ්බුතා. ඔය මුලදි අලි දෙන්න කොටි දෙන්න වුණත් ලෑස්ති වෙලා ඉන්න අය ඉන්නව නේද…පහු වෙනකොට බළල් පැටියෙක්වත් දෙයි කියල හිතන්න බැරි සයිස් එකක් තියෙන්නෙ”

“ඕව හිතේ අමාරුවට කියන කතා නිබ්බුතා”

ලෝචන එතැනින් නික්ම ගියේ නැවතත් මගේ මුවට සිනහවක් ගෙන එමිනි. ඇස් වලින් මිස ඔහු ට මා සිඹින්නට විදිහක් නැත. හදවතින් මිස අපට අප ස්පර්ශ කරන්නට විදිහක් නැත. නමුත් මට ඔහු දැනේ. පිරිමැද බලන්නට නො හැකි ඒ ආදරය හදවතට දැනේ.

“ගොඩාක් දේවල් අහිමි වෙච්ච ජීවිතයක් ගත කරපු ඔයාට දෛවය ඒ හැම දේටම වඩා වටින දෙයක් දීල තියෙනව නිබූ. ඒක තමයි දෛවයෙ ස’ප්‍රයිස් එක. කාලයක් බලං ඉඳල දීපු උත්තරය. මේ කොල්ල මහ පුදුම විදිහට ඔයාට ආදරෙයි. ඒක එයාගෙ ඇස් දෙකෙන් පේනව. මුළු ලෝකෙම බලං හිටියත් ඒ ගැන කිසි ගාණක් නැතුව එයා ඔයා වෙනුවෙන් කරන්න ඕන දේවල් කරනවනෙ. සමහර වෙලාවට ලෝකෙ මිනිස්සු අහන්න හිතං ඉන්න ප්‍රශ්න වලට උත්තර එයා සද්ද නැතුව කලින්ම දෙනව වගේ. ජීවිතේට හම්බ වෙන්න ඕන එහෙම මිනිස්සු තමයි නිබ්බු”

සඳනි කතා කළ රිද්මයෙහි වූයේ මිත්‍රත්වය යනු මේ යයි කියනා තානයකි. ඔහු සේ ම ඇය ද ජීවිතයේ දී හමු විය යුතුම මිනිසුන් අතරේ සිටින්නී ය. අන්ත කටුක නියං කාල වලදී පවා සිත් මත මල් පුබුදුවාලනුයේ එවන් මිනිසුන් ය. නියඟයන් පරයා වියළි පොළොව මත වැස්සක් ව ඇද හැළෙනුයේ එවන් මිනිසුන් ය. 

“ජීවිතේට හම්බ වෙන්නම ඕන විදිහෙ තුන් දෙනෙක් මට හම්බුණා. ඔයයි මධාරා අක්කයි ලෝචන අයියයි. මට මතක දවසක ඉඳන්ම මං හැදුනෙ ඔය තුන් දෙනා දිහා බලං. ඔය තුන් දෙනාම මට පෙරහැරක් තරං චමත්කාරයක් මවපු තුන් දෙනෙක් සඳී. ඒ කාලෙ…අපි පුංචි කාලෙ…අපි අන්තම දුප්පත් මිනිස්සු කාලෙ…ඕගොල්ලො ලස්සන ජීවිත ගෙවන ගමන් වෙනසක් නැතුව මං එක්ක හිනා වෙලා කතා කරනකොට මං පුදුම වුණා. ලෝචන අයියනං එහෙම කතා කළේ නෑ. ඒත් අවන්තල වගේ එයා වුණත් අපිව කොන් කළේ නෑ. අප්පිරියා කළේ නෑ. මට හිතා ගන්න බැරි වුණා ඕගොල්ලො වගේ සුරංගනා ජීවිත ගත කරන මිනිස්සු කොහොමද හිඟන පැටව් වගේ ඉන්න අපිට කරුණාව පෙන්නන්නෙ කියල. කාලෙත් එක්ක ඒක ලොකූ ගෞරවයක් ආදරයක් වෙලා වැඩෙන හැටි මං බලං හිටිය. වැටෙන්න යන වෙලාවට අත දෙන මිනිස්සු වගේ ම වැටුණහම නැගිට්ටන මිනිස්සු මේ ලෝකෙ ඉන්නව කියල මට කියල දුන්නෙ ඔය තුන් දෙනා. නරක මිනිස්සු විතරක් දකින්න තිබුණ ඇස්…හොඳ මිනිස්සු කියල ජාතියක් ඉන්න බව දැන ඉගෙන ගත්තෙ ඔය තුන් දෙනා නිසා. මැරෙනකල් ම මට ඒ තුන් දෙනා දකින්නයි එයාල එක්ක කතා කරන්නයි තිබුණොත් ඇති කියල හැම වෙලේම මං හිතනව. ඔයා මට නැති වෙන්නෙ නෑ. මධාරා අක්ක වුණත්…”

මා ඉතිරි ටික කියන්නට පෙර සඳනි මගේ මුව සියතින් වැසුවා ය. මට මහා දුකක් දැනිණ. මේ විදිහේ මිනිසුන් අතරේ හුස්ම ගත්තා ම ඇති ය. නමුත් ප්‍රේමය කියා හිතට පිවිසි හැඟීම නිසා දිනෙක ඔවුන්ගේ සුළඟ වැදෙනා මානයක රැඳීම වුව මට අහිමි ව යාවිද කියා ඒ වෙලාවේ මම නො දැන සිටියෙමි.

“දොඩවන්නෙපා. එයා නැති වෙන්නෑ. එයාව ඔයාට නැති කරන්න කාටවත් බැරි වෙයි. මුළු ලෝකෙම එක්ක හරි තනියම ෆයිට් කරයි ඒකා ඔයා වෙනුවෙන්. ලෝචන ගෙ ඇස් ඒකට සාක්ෂි. එහෙම දවසක් ආවොත් එයා එක්ක එකතු වෙලා මාත් ඔයා වෙනුවෙන් ෆයිට් කරනව”

ඔවුන් හිරු වාගේ අනිත් මිනිසුන් ගේ ලෝක එළිය කරන්නට හදනා අය ය. මල් වාගේ අනිත් ජීවිත සුවඳ කරන්නට හදනා අය ය. ලෝකයේ වැඩිපුර සිටින්නේ අනිත් මිනිසුන් ඉවසා දරා ගන්නට බැරි අය ය. අනෙකෙකු ගේ දියුණුව දෑසින් දකින්නට අකමැති අය ය. ඒ දියුණුවට අකුල් හෙළනු වස් ඕනෑ ම නින්දිත වැඩක් කරන්නට සූදානම් අය ය. එවන් බහුතරයක් අතරේ යහපත් මිනිස්සු මල් සේ පිපී සුවඳ සලති.

පිරිස නික්ම ගිය පසු අපේ ගෙදර ඉතිරි වූයේ ලෝචනත් සඳනිත් මල්ලී නැති දින වල රෑ වන තුරු ලෝචන සමග අපේ ගෙදර තනි රැකි තරුණයන් දෙතුන් දෙනාත් පමණකි. අපේ ජීවිත වලට වඩාත් ම සමීප මිනිස් කවය ඒ බව මට වැටහී යමින් තිබිණ. මෙතැන ශාරීරික ව නැති වී ද මධාරා අක්කා ද එ අතරේ සිටින්නී ය. 

අම්මා ඉක්මන් කොට රෑ බතට යමක් සූදානම් කළා ය. තරුණ පිරිස නික්ම ගියේ අපේ ගෙදරින් රෑ කෑම ගෙන ය.

“සඳීව ගේට් එක ළඟටම එක්කං යන්න”

ඔවුන් සමු ගත්දී මම ලෝචන ගෙන් ඉල්ලා සිටියෙමි.

“ඕන්නං අපේ ගෙදරටම එක්කං යන්නං”

තරුණයෙකු විහිළුවක් කළේ ය..සඳනි ඔහු ගේ පිටට ‘දඩං’ගා ගැසුවා ය.

“හිතේ ඇති මෙයාගෙ”

“හිතේනං තිබුණා. ඒත් මුකුත් කර ගන්න බැරි වුණා”

“මුංගෙ කටවල්”

ඔවුන් ගේ සිනා කතා හඬවල් ඈතින් නෑසී ගිය පසු අප ගෙතුළට විත් දොර වසා ගතිමු. එදා රැයේ නිදන්නට මම මල්ලීව අපේ කාමරයට කැඳවා ගතිමි. යුගල ඇඳේ හරස් අතට, මල්ලීව මැද තියා ගෙන අම්මාත් මමත් දෙපසින් නිදා ගතිමු. එක ඇඳක් හිස් ව තිබියදී හිර වී නිදා ගන්නේ අපරාදේ කියා කිසිවෙකු කීවේ නැත. 

මම මල්ලි ගේ පිට පිරිමැද්දෙමි. එදා පොලීසියට ගෙන ගිය රාත්‍රියේ දී ඔහු ට පහර දුන්නාද යන පැනය මසිත්හි විය. නමුත් මා ඒ ගැන කිසිවක් ම විමසන්නට ගියේ නැත.

“බුක් ශොප් වලට කතාකර ගෙන  කාඩ් ටිකකුයි බුක් මාක්ස් ටිකකුයි වැඩිපුර හදල දාමු මල්ලි. තව ළමයි ටිකකුත් හොයා ගන්න ඕන ටියුශන් වලට. ෆැකල්ටි පටන් ගත්තත් ඕව නවත්තන්න නරකයි. ඒ මොනා කළත් ඔයා ඉගෙන ගන්න ඕන. දැන් ඉස්කෝලෙ ගියාම ළමයි අනං මනං කියයි කියල හිතන්න එපා. ප්‍රින්සිපල් සර් එහෙම දෙයක් වෙන්න දෙන එකක් නෑ. සර් තමයි ලෝචන එක්ක එකතු වෙලා ඔයාව නිදහස් කර ගන්න ගොඩක්ම මහන්සි වෙලා තියෙන්නෙ. ඔයා කොච්චර හොඳ ළමයෙක්ද කියල සර් දීපු සාක්ෂි නිදහස් කරන්න ගොඩක් හේතු වුණාලු. මහන්සි වෙලා විභාගෙ කරමු මල්ලි. අපිට ඊට වඩා මහන්සි වෙන්න දේවල් තියනව ඊට පස්සෙ”

“ඒ මොනාද සුදූ…”

“මහ ගෙදර ඉඩමෙ අයිතිය ගන්න ඕන ඔයාට. ඒක අම්මගෙන් ඔයාට අයිති වෙන්න තියන දෙයක්. නඩු කියමු අපි. හැබැයි නඩු කියන්න සෑහෙන්න සල්ලි වියදං වෙනව. අනික කොටි වලිගෙ අල්ලගත්ත වගේ තමයි. ඒත් කමක් නෑ දවසක අපි ඒක කරන්න ඕන”

කවදාවත් මට ඉඩ කඩම් වල තන්හාවක් වූයේ නැත. වැටී හිටින්නට දර මඩුවක් පමණක් තිබියදීත් ඒ බිමෙහි අයිතියක් වෙනුවෙන් සටන් කරන්නට මට සිතී තිබුණේ නැත. නමුත් දැන් ප්‍රබලව ඒ හැඟීම හිස ඔසවා ගෙන හිඳී. මහ ගෙදරින් අපට රිදවූවාට වැඩිය දිනෙක ඔවුන්ට රිදිය යුතු යයි මට හිතෙන්නට පටන් ගෙන තිබේ. ඊට හේතුව ඔවුන් මගේ මල්ලී ව අල්ලා ගැනීම ය. පාසල් ගමන හෝ නිමා නොකළ පොඩි කොල්ලෙකු අමානුෂික ලෙස පොලිස් අත් අඩංගුවට ද රිමාන්ඩ් භාරයට ද පත් කිරීම ය.

“සුදූ ඕව හිතන්න එපා. ඒක අපි ගමු. ඒක වෙනම දෙයක්. ඒත් ඒවට ඔයා පැටලෙන්න එපා. ඔයා අහිංසකයි. මට මගෙ අක්කව දකින්න ඕන හැමදාම එහෙම අහිංසක විදිහට. මං උං එක්ක හැප්පෙන්නං”

“ඉස්කෝලෙ ඉවර වෙනකල් හැප්පිලි ගැන හිතන්නවත් එපා. ඔයාට තියෙන්නෙ ඉගෙන ගන්න..ආයෙ මට මොනා කිව්වත් ඔයා ඇහෙන්නෑ වගේ යන්න ඕන. මට පොරොන්දු වෙන්න මල්ලි එහෙම කරනව කියල”

“මට මොනා කළත් මං ඉවසං ඉන්නං. ඒත් සුදූට…”

“මල්…ලි. ඔයා මට පොරොන්දු වෙන්න ඕන”

ඉන්පසු උදා වූ බොහෝ අවස්ථාවන් ඔහු අසීරුවෙන් හෝ ඉවසා ගත්තේ මට වූ ඒ පොරොන්දුව නිසා බව මම දනිමි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles