Office එකේදි කන්න රසම රස snacks ගෙදරදීම හදාගමු

ඔෆිස් එකේ ඉන්නකොට දැනෙන පොඩි බඩගින්නට වෙනද වගේ පුංචි පුංචි කෑම වර්ග කන්නත් දැන් දෙපාරක් හිතන්න ඕනනේ. 

පුංචි වුනත් සමහර කෑම වර්ග වල මිළ ගණන් නන් පුංචි නෑ.

ඔන්න ඒ නිසා ගෙදරදීම හරිම පහසුවෙන් හදාගෙන ඔෆීස් අරන් යන්න පුළුවන් කෙටි කෑම වර්ග කීපයක් හදන විදිහ ඔබත් එක්ක බෙදාගන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. 

Egg lollipop

අවශ්‍ය ද්‍රව්‍ය 

  • තම්බාගත් බිත්තර 03 ක් 

බිත්තර 01 ක් 

කොටුවට කපාගත් ලොකු ලූණු ගෙඩි ½ ක්

සිහින්ව කපාගත් අමු මිරිස් හෝ වියළි මිරිස් 

සිහින්ව ලියාගත් කරපිංචා 

කුඩාවට කපාගත් සුදුළූණු

රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු හා කෑලි මිරිස් කුඩු 

බිස්කට් කුඩු 

සාදාගන්නා ආකාරය 

මුලින්ම තම්බාගත් බිත්තර වල කටුව ඉවත්කර ග්‍රේටරයක් ආධාරයෙන් කුඩා කැබලි වලට ගාගන්න. 

නැත්නම් පිහියක් ආධාරයෙන් සිහින් කැබලි වලට කපාගන්න. 

ඊළඟට ගාගත් බිත්තර වලට කපාගත් ලූණු, කරපිංච, අමු මිරිස් හෝ නයි මිරිස් සහ රස අනුව ලුණු කුඩු, කෑලි මිරිස් සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරන්න. 

දැන් කුඩා බිත්තර බෝල සාදාගෙන පසෙකින් තබාගන්න. 

වෙනම භාජනයක් ගෙන එයට බිත්තරයක් කඩා දමා බිත්තර සුදුමදය සහ කහමදය කලවම් කරගන්න. 

පැතලි භාජනයක් ගෙන එයට බිස්කට් කුඩු දමා සූදානම් කරගන්න. 

තෙල් තාච්චියක් ලිපතබා රත් වීමට තබන්න. 

සාදාගත් බිත්තර බෝලවල බිත්තර සාරු සහ බිස්කට් කුඩු පිළිවෙලින් ගිල්වා, ගා ගෙන රත්වූ තෙලට දමා රන්වන් පාට වනතුරු බැඳගන්න.

බිස්කට් කුඩු සහ බිත්තර සාරු ගා ගත් බිත්තර බෝල හුළං නොවැදෙන සේ පෙට්ටියක අසුරා ශීතකරණයේ තබා අවශ්‍ය වෙලාවට බැඳගෙන ආහාරයට ගන්නත් ඔබට පුළුවන්.

Air fryer corn 

අවශ්‍ය ද්‍රව්‍ය

ළපටි බඬ ඉරිඟු කරල් 02 ක්

බටර් හෝ තෙල් ස්වල්පයක්

ගම්මිරිස් කුඩු

ලුණු කුඩු

මිරිස් කුඩු

සිහින්ව ගා ගත් චීස්

සාදාගන්නා ආකාරය

මුලින්ම ළපටි බඬ ඉරිඟු කරල් කොටස් 04 කට පමණ කපා ගන්න.

දෙකට පලාගෙන කපා ගන්නත් පුළුවන්.

ඊළඟට, බඬ ඉරිඟු ඇට උඩින් බටර් හෝ තෙල් ආලේප කරගන්න.

කපාගත් බඬ ඉරිඟු air fryer තැරියේ අතුරා air fryer ඌෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 180 විනාඩි 10 ක් පිසගන්න.

බඬ ඉරිඟු කැබලි එළියට ගෙන ඉක්මණින් බටර් හෝ තෙල් ස්වල්පයක් ආලේප කර ඊට උඩින් ගම්මිරිස් කුඩු, ලුණු කුඩු හෝ මිරිස් කුඩු ඉස ගන්න.

ග්‍රේට් කරගත් චීස් ද උඩින් දමා සාදාගන්න. 

Homemade potato chips

අවශ්‍ය ද්‍රව්‍ය

අල ගෙඩියක්

අයිස් වතුර

ලුණු කුඩු

ගම්මිරිස් කුඩු

මිරිස් කුඩු

බැඳගැනීමට තෙල්

සාදාගන්නා ආකාරය

මුලින්ම අල ගෙඩිය හොඳින් සෝදා සිහින් පෙති වලට කපාගන්න.

පොත්ත ඉවත්කර හෝ පොත්ත සහිතව පෙති කපාගන්න ඔබට පුළුවන්. 

දැන් කපාගත් අල පෙති ලුණු මේස හැඳි 01 ක් දමාගත් අයිස් වතුරට දමා විනාඩි 30 ක් පමණ තබන්න. 

කුඩා භාජනයක් ගෙන එයට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු ඔබේ රස අනුව එක්කර මිශ්‍රණයක් සාදාගන්න.

විනාඩි 30 කට පසු අල පෙති ඉවතට ගෙන ටිෂූ හෝ රෙදි කැබැල්ලක් මත අතුරා වතුර ඉවත්කර ගන්න.

දැන් භාජනයක් ලිපතබා එයට තෙල් දමා රත්වීමට තබන්න.

රත්වූ තෙලට අලපෙති දමා රන්වන් පාට වනතුරු බැඳගන්න.

තෙල් බේරීමට තබාගෙන සාදාගත් කුළුබඩු මිශ්‍රණය අලපෙති මතට ඉස ආහාරයට ගන්න ඔබට පුළුවන්.

ආහාරයට ගන්නා වෙලාවට කුළුබඩු මිශ්‍රණය අලපෙති මතට ඉස ගැනීමෙන් අලපෙති පෙඟීමෙන් වළක්වා ගන්න පුළුවන්. 

එහෙමනම්, වැඩි වියදමක් නැතුව හරිම ලේසියෙන් පහසුවෙන් රසට හදාගන්න මේ snacks හදල බලමුද?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles