කෑම මේසයට රසවත්ව මාලු මිරිස් පිළියෙල කරන ක්‍රම 3ක්.

උත්සව අවස්ථාවන්වලදී වගේම නිවසේ විශේෂ කෑම වේලකදී සාදාගන්නට පුළුවන් රසවත් ආහාරයක් ලෙස මාලු මිරිස් හඳුන්වන්නට පුළුවන්.ඉතින් මේ අප ඉදිරිපත් කරන්නේ මාලුමිරිස් යොදාගෙන සාදාගන්නට පුළුවන් රසවත් ආහාර වට්ටෝරු කිහිපයක්.ඉක්මනින්ම රස බලන්නට අමතක කරන්න එපා.

මාලු මිරිස් පිරවුම

මෙය හරිම ජනප්‍රිය ඒ වගේම රසවත් ආහාරයක්.

අවශ්‍ය දේවල්

  • මාළු මිරිස් කරල් 10 ක් පමණ
  • ලියාගත් ලොකු ළූණු ගෙඩි පහක්
  • තම්බා පොඩිකරගත් අල ගෙඩි දෙකක්
  • පොඩි කරගත් සැමන් හෝ මාලු ටිකක්
  • කෑලි මිරිස් තේ හැඳි හතරක්
  • ලියාගත් අමු මිරිස් කරල් 5ක්
  • උම්බලකඩ කෑලි මේස හැදි දෙකක්
  • මිටිකිරි කෝප්ප එකක්
  • කහ කුඩු තේ හැඳි කාලක්
  • තුනපහා තේ හැන්දක්
  • මිරිස් කුඩු තේ හැන්දක්
  • රස අනුව ලුණු
  • රම්පේ,කරපිංචා

සාදන ක්‍රමය

මාලුමිරිස් හොඳින් සෝදා තෙත බේරෙන්නට තබන්න.ඉන්පසු පිහි තුඩකින් දිග අතට පැල්මක් දමාගෙන ඇතුලේ ඇට පරිස්සමින් ඉවත් කරගන්න.
ඉන් පසු තෙල් රත්වන්නට තබා එයට ලියාගත් ළූණු රම්පෙ කරපිංචා අමුමිරිස්,උම්බලකඩ, කෑලි මිරිස් ,අල සහ පහේ වර්ග එකතු කර මදක් තෙම්පරාදු කරගන්න. රස අනුව ලුණු එකතු කරගන්න.
එය හොඳින් නිවුණු පසු මාලු මිරිස් කරල ඇතුලට පුරවාගන්න.
එය පැතලි භාජනයක පිළිවෙළට අසුරා මිටි කිරි වලට ලුණු සහ කහ කුඩු ටිකක් මිශ්‍ර කර භාජනයට දමන්න.
මදගින්නේ මාළු මිරිස් කරල් තැම්බෙන තුරු හැඳි නොගා පිසගන්න.නොන්ස්ටික් භාජනයක් භාවිතා කිරීමට හැකි නම් වඩාත් සුදුසුයි.එසේ නොමැති නම් නොමැතිනම් හැඳිගෑම වෙනුවට භාජනය දෙපසින් අල්ලා හොදින් සොලවා ගන්න.

මාලුමිරිස් කට්ලට්

අවශ්‍ය දේවල්

උණු වතුරේ විනාඩි තුනක් තම්බාගෙන මදය හිස් කර දිග අතට පැල්මක් දැමූ මාලු මිරිස් කරල් 10ක්

පිරවුමට

  • ලියාගත් ලොකු ළූණු ගෙඩි පහක්
  • තම්බා පොඩිකරගත් අල ගෙඩි දෙකක්
  • කෑලි මිරිස් තේ හැඳි හතරක්
  • ලියාගත් අමු මිරිස් කරල් 5ක්
  • උම්බලකඩ කෑලි මේස හැදි දෙකක්
  • කහ කුඩු තේ හැඳි කාලක්
  • ගම්මිරිස් කුඩු
  • ලියාගත් සුදුලූණු බික් හතරක්

බැටර් එකට

පාන්පිටි කෝප්ප එකක්
බිස්කට් කුඩු අවශ්‍ය පමණට

සාදන ක්‍රමය

තෙල් ටිකක් ලිප තබා,මාලු,අල,ඇතුළු පිරවීමට අවශ්‍ය සියලුම දේවල් එකතු කර තෙම්පරාදු කරගන්න.
පාන් පිටි, කහ කුඩු සහ වතුර මිශ්‍රකර බැටර් එක සාදා ගන්න.
මාළු මිරිස් කරල් ඇතුලට පිරවුම පුරවා ගන්න.
දැන් බැටර් එකෙහි හොදින් දවටා බිස්කට් කුඩු වල දවටා ගන්න.
ගැඹුරු තෙලේ හොඳින් බැදගන්න.

මාලුමිරිස් ව්‍යංජනය

අවශ්‍ය දේවල්

  • මාළු මිරිස් කරල් හයක්
  • තක්කාලි ගෙඩි එකක්
  • ලොකු ලූනු ගෙඩි දෙකක්
  • රම්පෙ කරපිංචා
  • මිටිකිරි කෝප්පයක්
  • මිරිස් තුන පහ කුඩු තේ හැන්ද බැගින්
  • රස අනුව ලුණු
  • පොල්තෙල් ටිකක්
  • අබ සහ කෑලි මිරිස් මේස හැන්දක්

සාදන ආකාරය

සෝදා පිරිසිදු කරගත් මාලුමිරිස් සෙන්ටි මීටර් එකහමාරක පමන කැබලි වලට කපාගන්න.තක්කාලි ද තරමක් කුඩා කැබලි වලට කපා ගන්න.ලොකු ලූණු,රම්පේ කරපිංචා ආදිය සිහින්ව ලියාගන්න.භාජනයක් ලිප තබා එයට තෙල් දමා හොඳින් රත් වන්නට තබන්න.තෙල් රත් වූ පසු අබ එකතු කරන්න.දැන් කපා ගත්ත කපාගත් මාළු මිරිස් ,තක්කාලි ලූනු ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය එකතු කරන්න.අවසානයේදී කෑලි මිරිස් දමා මිටිකිරි එකතු කරගන්න.තැම්බුන පසු ලිපෙන් බා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles