විනිශ්චය

මෙලනි උදෙන්ම ඔෆිස් එකට ඇවිත් ඇගේ අසුනෙන් වාඩිවෙලා අත්බෑගයට අත පෙව්වේ ඇගේ පුංචි මේකප් කට්ටලය හොයන්න. ඔෆිස් එකේ පරණම සේවිකාවක් වුන සන්ධ්‍යා ,මෙලනි දිහා බලාගෙනම හිටියා . මෙලනි ඔෆිස් එකට ඇවිත් මේ ගෙවෙන්නේ පළවෙනි සතිය . ඒ නිසා ඇය වැඩිය කාත් එක්කවත් කතා බහ කළේ නැහැ .

” මෙලනි ඔෆිස් එන්නේ කොහේ ඉදන්ද ? “

සන්ධ්‍යා ඇහුවේ එච්චරම හිතවත් කමකින් නං නෙමෙයි

” මම එන්නෙ රත්මලානේ ඉඳන් අක්කේ”

” තනියමද එන්නෙ ? “

” ඔව් “

” බස් එකේ? “

” සමහර දවසට බස් එකේ එනවා .නැත්තං ටැක්සි එකක් දාගෙන එනවා .සමහර දවස් වලට බස් වල පුදුම සෙනඟ නේ. මේ එක සතියට මට එපා උනා “

” රත්මලානේ ඉඳන් කොල්ලුපිටියට ටැක්සි එකක එන්න ලොකු ගානක් යනවා ඇතිනේ “

” ඔව් ඉතින් “

එහෙම කියපු මෙලනි පුටුවෙන් නැගිටලා එලියට ආවා . ඒ එනකොටම ඇගේ ඉදිරියට ආවේ අමිත් .අමිත් ඔෆිස් එකට ආවෙත් මෙලනි ආව දවසෙමයි . හැබැයි ඊට කලින් අවුරුදු ගාණක ඉඳලම ෆේස්බුක් මිතුරන් වෙච්ච ඔවුන් දෙදෙනා හැබෑවටම මුණගැහිලා තිබුනේ ඉන්ටර්විව් ආව දවසේ

” ගුඩ්මෝනින් මෙලනි “

” ගුඩ්මෝනින් අමිත් . යමුද කන්න ? මට විනාඩි පහක් දෙන්න .ටක් ගාලා එන්නම් “

මෙලනි වොෂ් රූම් එකට ගිහින් ආවට පස්සේ කෑම කන්න අමිත් එක්ක ලන්ච් රූම් එකට යනවා සන්ධ්‍යා බලාගෙනයි හිටියෙ.

” අර ඩබල එකටමයි ඉන්නේ “

ඔෆිස් එකේ තවත් පරණ සේවිකාවක් වුණ සුජානි ආව ගමන් සන්ධ්‍යා එහෙම කිව්වා .

” ඒ දෙන්නා කලින් ඉඳන්ම යාළුවොලු “

සුජානි නම් සන්ධ්‍යාගේ කතාව ඒ තරම් ගනන් ගත්ත බවක් පේන්න තිබුණෙ නැහැ .

” කවුද දන්නෙ සුජානි ඕවා මොනවගේ යාලුකම් ද කියලා . දෙන්න ප්ලෑන් කරලා ඔෆිස් එකට ආවා වෙන්නත් බැරි නැහැ “

” දෙන්න එකට ඉන්ටවිව් ආව එක හරි කියමුකෝ සන්ධ්‍යා. ඒ උනාට තෝරගන්නේ මැනේජ්මන්ට් එකෙන් නේ ? “

” බලමුකො ඉතින් . හොඳ හොඳ සෙල්ලම් පස්සේ බලාගන්න බැරියැ “

ඔෆිස් එකේ පරණ සේවක සේවිකාවන් එක්ක හිතවත් වෙන්න ටික දවසක් යන නිසා මෙලනි වැඩිපුරම කතාබහ කළේ අමිත් එක්ක විතරයි . ගොඩක් වෙලාවට ඒ දෙන්නා කෑම කෑවේ එකට. අමිත් නතර වෙලා හිටියේ ගල්කිස්සේ නිසා ගොඩක් දවස් වල හවසට මෙලනි අමිත් එක්කම බස් නැවතුම් පලට ගියා .

” මේ, අර ජෝඩුව ඊයේ හවස හිනාවෙවි බස් හෝල්ට් එකේ ඉන්නවා මම දැක්කා”

මෙලනි අමිත් එක්ක දවල් කෑමට ගිය වෙලාවේ සන්ධ්‍යා ඇස් කරකවමින් ඔෆිස් කාමරයේ හිටපු අනිත් අයට කිව්වා .

” උන් දෙන්නම යන්නෙ එක පැත්තට නේ . ඉතිං බස් එකට නගින්න ඕනේ කොහොමත් ඔය බස් හෝල්ට් එකෙන් නේ බං “

එහෙම කිව්වේ නාලක . විනෝදකාමී පුද්ගලයෙක්වුන නාලකත් සන්ධ්‍යාගේ කතා ඒ තරම් ගණන් ගත්තෙ නැහැ

” ඒ උනාට ඉතින් බලන් ඉන්න මිනිස්සුන්ට පේන්නේ වෙන දෙයක් නේ “

සන්ධ්‍යා පරාජය බාරගන්න සූදානම් වුණේ නැහැ

” ඔහොම මේ ජෝඩු දාලා බස් හෝල්ට් ගානේ කතා කර කර ඉන්නකොට හොඳ නැත්තේ අපේ ඔෆිස් එකට නේ “

” එහෙම එකක් නැහැ බං . එහෙනම් ඔය ඕනතරම් එවුන් ඔෆිස් එකේ එවුන්ගේ වාහන වලත් නැගලා යන්නේ ? “

නාලකගෙ කතාවට සන්ධ්‍යා ටිකක් නිහඬ වුණා . කලින් දවසක ඔෆිස් එකේ හේමන්ත තමන්ව කාර් එකේ නග්ගගෙන ගේ ගාවින් බස්සගෙන ගිය හැටි සන්ධ්‍යාට මතක් උනා . නාලක ඒක දැනගෙනවත්ද ?

” ඔය ළමයි තරුණ ළමයි නේ සන්ධ්‍යා . අපි වගේ කසාද බැඳලා නැහැ නේ . අපේ කාලේ වගේ නෙමෙයි . දැන් තරුණ ළමයින්ට ඕන තරම් යාලුවෝ ඉන්නවා .උන්ට ගැහැනු පිරිමි කියලා වෙනසක් නැහැ “

සුජානි ඒ ටික කිව්වේ බොහොම ඉවසීමෙන්

” ඒ උනාට ඔය නාඩගම් මේ ඔෆිස් වලට හරි යන්නේ නැහැ “

ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් ගත කරන තරුණ තරුණියන් දිහා සන්ධ්‍යා බලන්නේ බොහොම ද්වේශ සහගත බැල්මකින් කියලා සුජානිට හිතුනා . සන්ධ්‍යාගේ මේ සිතුවිලි වලට ඇයට අහිමි වෙලා තිබුණ සුන්දර ළමා කාලයත් වගේම සැහැල්ලු තරුණ කාලයත් හේතු වෙන්න ඇති කියලයි සුජානිගේ නිගමනය වුණේ

මෙලනිත් අමිතුත් කතාබහ කරන බොහෝ වෙලාවල් වලදී සන්ධ්‍යාගේ දෑස් ඔවුන් වෙතම යොමු වෙලා තියෙන විදිහ ඔෆිස් එකේ කවුරුත් දැක්කා

” මිස්ටර් මිගාර දන්නවද අපේ ඔෆිස් එකේ අලුත්ම කපල් එක ගැන ? “

තමන්ගේ උවමනාවකට මානව සම්පත් අංශය ට ගිය සන්ධ්‍යා එහි ප්‍රධානියා වන මිගාරට තමන්ගෙ හිතේ තියෙන දේ කිව්වා

” කවුද සන්ධ්‍යා ඒ ?”

” අර අළුතෙන් ආවෙ , මෙලනියි , අමිතුයි ? “

” වෙන්න බෑ නේද ? මෙච්චර ඉක්මනට ? අමිත් බණ්ඩාරවෙල පැත්තෙ ළමයෙක් මට මතක හැටියට “

” මිස්ටර් මිගාර දකින්නේ නැහැනේ අපේ ඩිපාර්ට්මන්ට් එක ඇතුලෙ වෙන දේවල් . දෙන්නා ඔෆිස් එකේ ඉන්නෙත් එකට .කන්නෙත් එකට .හවසට යන්නෙත් එකට . එකට පවුල් කනවා ද දන්නෙත් නැහැ “

සන්ධ්‍යා ඇඟට පතට නොදැනී එහෙම කියද්දී මිගාරට ඇතිවුණේ පිළිකුලක් . විවාහක කාන්තාවක් වුණත් සන්ධ්‍යාට තවම වයස තිස් දෙකක් විතර . එහෙම වයසක ඉන්න ඇය වයස විසි තුනක් වෙච්ච තරුණ කෙල්ලකට කියන කතන්දර මිගාරට ගෙනාවෙ පුදුමයක් .

සන්ධ්‍යා මානව සම්පත් අංශයෙන් එළියට ආවේ සැහැල්ලුවෙන්

” දැන් ඉතින් වැඩේ පත්තු වෙයි”

ඇය හිතුවෙ එහෙම . තමන් කරපු දේ අනිත් අයට නොකියන්න සන්ධ්‍යා වගබලාගත්තා

” මේක මාර ලස්සනයි නේද අමිත් “

දවසක් උදේ මෙලනියි අමිතුයි ලැප්ටොප් එකට එබීගෙන ඉන්නවා දැකලා සන්ධ්‍යාත් එතනට ගියා

” මොනවද අප්පේ ලස්සනයි කිය කිය දෙන්න බලන්නේ ?”

සන්ධ්‍යා ඇහුවෙ අමුතුම හිතවත්කමක් පෙන්වන ගමන්

” ආ.. wedding decorations . දෙන්න බඳින්න ද යන්නේ ? අපිටත් කේක් කන්න පුළුවන් වෙයි නේද එහෙනම් ලගදිම ? “

සන්ධ්‍යා එහෙම කිව්වේ ඒ වෙද්දි ඔෆිස් කාමරේ හිටපු අනෙක් දෙතුන් දෙනාටත් ඇහෙන තරමේ උස් හඬකින්

” නෑ නෑ අක්කේ අපි මේ “

මෙලනිට උත්තර දෙන්න සන්ධ්‍යා ඉඩ තිබ්බෙ නැහැ

” හරි හරි ඔච්චර ලැජ්ජ වෙන්න ඕනෙ නැහැ . ඕක ඉතින් මේ ඔෆිස් එකට රහසක් නෙමෙයි දැන් “

මෙලනිත් අමිතුත් මූණෙන් මූණ බලාගත්තේ අනෙක් අය ගැන ඉතා වේගයෙන් විනිශ්චය කරන සන්ධ්‍යා කියන්නේ මොන වගේ ගැහැනියක් ද කියලා හිතාගන්න බැරුව .

” මම කිව්වේ බොරුද ? ඕගොල්ලො මාව විශ්වාස කලේ නැහැනේ . දෙන්න වෙඩින් එකත් ප්ලෑන් කරනවා “

සන්ධ්‍යා ජයග්‍රාහී හඬකින් එහෙම කිව්වේ මෙලනි අමිත් එක්ක දවල් කෑමට ගිය වෙලාවේ

” අනේ ඔන්න ඔහේ උන් දෙන්නට පාඩුවෙ ඉන්න දීපං බං . මේ ඔෆිස් එකේ අපිට කරන්න කොච්චර වැඩ තියෙනවද ? ඒ අස්සෙ උඹට ඕව හොයන්න වෙලාව කොහෙන්ද?

නාලක එහෙම අහනකොට සන්ධ්‍යාගේ මුහුණේ ඇඳුණේ නොරිස්සුමක්

” අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ නාලක.මේවා මේ ඇස් දෙකට පේන දේවල් “

සන්ධ්‍යා කියපු කරපු කිසිම දෙයක් මෙලනි වත් අමිත් වත් ගනන් ගත්තෙ නැති තැන සන්ධ්‍යා එක දවසකදි කාටවත් නොකියාම ආපහු මානව සම්පත් අංශයට ගියේ ඇගේ උවමනාවක් ඉටුකරගන්න මුවාවෙන්

” ගිය මාසේ paysheet එක ආවද මිස්ට මිගාර? “

” ඇවිත් තිබුණ සන්ධ්‍යා, ඉන්න මම දෙන්නම් “

” මිස්ටර් මිගාර අර වැඩේ ගැන බැලුවද ?”

” මොන වැඩේද සන්ධ්‍යා? “

” මම අර දවසක් කිව්වේ . අලුත් කපල් එක ගැන? “

” ආ.. ඒ ගැන සන්ධ්‍යා එච්චර හිතන්න එපා . ඒකේ ඒ හැටි කලබල වෙන්න දෙයක් නැහැ . ඒ දෙන්නගෙ රාජකාරි ඒ දෙන්නා කිසිම අඩුවක් නැතුව කරනවා කියලා ඔයාලගේ බොස් මට කිව්වා “

” කලබල වෙන්න දෙයක් නැත්තෙ කොහෙද මිස්ට මිගාර ? . ඔෆිස් එකේ එහෙම couples ඉන්න බැහැනේ”

” මෙන්න සන්ධ්‍යාගේ pay sheet එක . දැන් යන්නකෝ . මට අද කරන්න වැඩ ගොඩක් තියෙනවා “

සන්ධ්‍යා මානව සම්පත් අංශයෙන් එළියට ආවේ කේන්තියෙන්. සිද්ද වෙච්ච දේ තමන්ට මදිකමක් වගේ සන්ධ්‍යාට දැනුනා

ඊළඟ දවසේ අමිත් ඔෆිස් එකට ආවේ බොහොම ප්‍රබෝධයෙන්. අමිත් එනකොටම ඔහුට කලින් ඔෆිස් එකට ඇවිත් හිටපු මෙලනි පුටුවෙන් නැගිට්ටා

” invitations ටික ගෙනාවා ද අමිත් ? “

” ඔව්.. ගෙනාවා.. බලන්නකො “

ලස්සන කවර වල දාලා තිබුණු ඇරයුම් පත් කිහිපයක් අමිත් මෙලනිගේ අතට දෙනවා සන්ධ්‍යා වගේම ඔෆිස් එකේ අනිත් අයත් බලාගෙන හිටියා.

” අනේ මේවා හරිම ලස්සනයි අමිත් “

මෙලනි එහෙම කියද්දී අමිත් ඒ ඇරයුම්පත් එකින් එක ඔෆිස් කාමරයේ හිටපු හැමෝටම බෙදුවා

” wedding එක ලබන විසි වෙනිදා . ඔයාලා හැමෝම එන්න ඕනේ “

අමිත් කිව්වේ හැමෝටම ඇහෙන්න. නොඉවසිල්ලෙන් ඇරයුම් පත්‍රය දිගෑරලා බලපු සන්ධ්‍යා මනමාලියගේ නම තියෙන තැන මෙලනි වෙනුවට තියෙන්නෙ අශිකා කියලා දැක්කා

” මෙලනිගේ නමේ අශිකා කියලා කෑල්ලකුත් තියෙනවද අමිත්.අපි දැනගෙන හිටියේ නැහැනේ ? “

සන්ධ්‍යා උස් හඩින් එහෙම ඇහුවේ සමච්චල් හිනාවකුත් මූණෙ රඳවගෙන

” සන්ධ්‍යා අක්කේ , අශිකා කියන්නේ මම අවුරුදු හයක් තිස්සේ යාලු වෙලා ඉන්න ගෑණු ළමයා . මෙලනි කියන්නේ කියන්නේ මගේ හොඳම යාළුවෙක්.wedding එක ප්ලෑන් කරන්න අශිකාටයි මටයි ගොඩක් උදවු කළේ මෙලනි “

අමිත් හැමෝටම ඇහෙන්න සන්ධ්‍යාට එහෙම කියනකොට සන්ධ්‍යාගේ මුහුණ ලැජ්ජාවෙන් ඇකිලුනා. හැමෝගෙම මුහුණුවලින් සමච්චල් සහගත හිනාවක් සන්ධ්‍යා වෙත නිකුත් වෙනකොට සන්ධ්‍යාට ඒක දරා ගන්න බැරි වුණා

අනුන්ගේ ජීවිත වලට ඕනෑවට වඩා එබෙන්න හොඳ නැහැ කියන පාඩමත් , අනිත් අය ගැන හරියටම නොදැන ඒ අය ගැන විනිශ්චය කරන්න හොඳ නැහැ කියන පාඩමත් සන්ධ්‍යා නිසා හැමෝම වගේ ඉගෙන ගත්තෙ එහෙම

More Stories

Don't Miss


Latest Articles