මල්වර මල් සර -26

හැන්දෑවේ මන්දාරම් ව තිබි අහස අඳුරත් එක්ක දිය වෙන්නට පටන් ගත්තේ ය. ප්‍රියන්ති අලගියවන්න ගේ හදවත වඩ වඩාත් බර කරන්නට ඒ වැස්ස අලගු තැබුවේ ය. කිසි ම වෙනසක් නෑ වාගේ පෙන්වන්නට ඇය උත්සාහ කළා ය. වෙනදාට වඩා සරුසාර රෑ කෑම වේලක් පිළියෙල කළා ය. මෙතෙක් දුල්නෙත් ගේ ජීවිතයේ වැදගත් ම ප්‍රාණියා වී සිටියේ ප්‍රියන්ති ය. ඔහු අම්මා ට අතිශය ආදරය කළේ ය. කුඩා කල සිට ම තාත්තාට වඩා ලං වූයේ අම්මාට ය.  තාත්තා ට කිව යුතු යමක් වී ද කීවේ අම්මා ට ය. අම්මා ලවා තාත්තාගෙන් අවශ්‍ය දේ ඉටු කරවා ගත්තේ ය. ලොකු වෙන්නට වෙන්නට මේ ගතිය අඩු වී යනවා වෙනුවට සිදු වූයේ වැඩි වෙන එක ය. තාත්තා ගෙන් ඇසුවා නම් ඒ ප්‍රියන්ති පේන්නට නැති වෙලාවක අම්මා කෝ කියා පමණකි. 

නමුත් ඔහු තාත්තා කෙරේ ගෞරව පූර්වක ආදරයක් හද දරා සිටියේ ය.

හිනා වී සතුටෙන් ඉන්නවා වාගේ පෙන්නුවාට ඒ රාත්‍රියේ අම්මා දුකෙන් යයි දුල්නෙත් ට දැනිණ. එම සිතිවිල්ල ඔහු ගේ හද බර කරන්නට සමත් විය.

“මං අම්මට ඔයා ගැන කිව්ව. ඔයාගෙ ෆොටෝ එකකුත් පෙන්නුව”

නිදන්නට යහනට වැටී අයානා ට දුරකතන ඇමතුමක් ගත් දුල්නෙත් කීවේ ය. උදරයෙහි සීතල සංවේදනයක් ඇය අත්වින්දා ය.

“අම්ම මොකද කිව්වෙ…”

මඳ වෙලාවක් ඒ සීතල විඳ ගත් ඕ මන්ද්‍ර වූ භාෂිතයකින් විමසුවා ය.

“ඔයා ලස්සනයි කිව්ව”

“එච්චරද…”

“හ්ම්. එච්චරයි ඉතිං…”

“ඒත්…”

“ඇයි…”

“සමහර වෙලාවට…ඔය ගැන හිතද්දි මට බය දැනෙනව”

ඒ බය දුල්නෙත් ට ද නො දැනෙනවා නොවේ. නමුත් එවැන්නක් කියා ඇය තවත් බිය ගන්වන්නට ඔහු ට ඕන වුණේ නැත.

“බය වෙන්නෙ මොකටද…බය වෙන්න හේතුවක් නෑ”

“මං ගැන හරියටම දැන ගත්තහම ඔයාගෙ ගෙදරින් කොහොම රිඇක්ට් කරයිද කියල හිතාගන්න බෑ”

“අවුලක් වෙනේකක් නෑ”

“ඔයාගෙ අම්ම අකමැති වුණොත්…”

දුල්නෙත් ගේ බඩ පපුව දැවිල්ල ගත්තේ ය. අතුණුබහන් පෙරළී ගියේ ය. ඔහු අමාරුවෙන් හුස්ම ගත්තේ ය.

“අම්ම කැමතී කිව්ව”

ඔහු අසීරුවෙන් වචන පිට කොට ගත්තේ ය.

“ඒ දැන්නෙ…පස්සෙ අකමැති වුණොත්…ඔයා මොකද්ද කරන්නෙ දුල්නෙත්…අපි මොනාද කරන්නෙ…”

ඒ වෙලාවේ ඔවුන් දෙදෙනා ම අවුළුවමින් තිබුණේ එක ම ගින්නකි. ආදරය හිමි විය යුතු ම නැති බව පවසති. ආදරය හමු වීමත් මහා වටිනාකමක් බව පවසති. නමුත් අහිමි වූ ආදරයක් යනු ගින්දරක් ම බව ඒ ගැන සිතත්දීත් අනුමාන කරන්නට පුළුවන. ඒ ගින්දරින් ඉතිරි ජීවිත කාලය ම දැවි දැවී ජීවත් විය යුතු ද? 

“ඔයාට තෝර ගන්න වුණොත්…අම්මද මංද කියල…අනේ ඔයා දුක් විඳින්න එපා දුල්නෙත්…දෙපාරක් නොහිතා ඔයා අම්මව තෝර ගන්න. මං දන්නවනෙ ඔයා මට ආදරෙයි කියල. මේ දවස් කීපෙක මතක මට මේ ආත්මෙට හොඳටම ඇති දුල්නෙත්. ඔයාට පින් සිද්ද වෙනව මැරෙනකල් තුරුල් කරං ඉන්න මට මෙහෙම ආදරයක් දුන්නට. මේක මගෙ පළවෙනි ආදරේ. පිරිමියෙක්ගෙ ආදරයක් විඳින්නැතුව මැරෙන්න නියම වෙලා හිටිය කෙල්ලෙක්ටයි ඔයා ආදරේ කළේ. එහෙම කරල ඒ කෙල්ලට මැරෙනකල් තුරුල් කරං ඉන්න හිතෙන ලස්සන ආදරයක් දුන්නෙ. අම්ම එපා කිව්වොත්…ඔයා මාව අමතක කරල දාන්න. මං ඔයාව මතක තියං ඉන්නං. මං ඔයාව මතකේ දරං ඉන්නව කියල ඔයා දැනං ඉන්න. මට ඒ ඇති”

“මට එහෙම කරන්න බැරි වෙයි. ඔයාව අමතක කරන්නවත්… අත් ඇරල වෙන ජීවිතයක් ගැන හිතන්නවත් බැරි වෙයි. එහෙම තෝර ගන්න වුණොත්…අමාරුවෙන් වුණත් ඒ වෙලාවට මං ඔයාව තෝර ගනී”

අයානා තදින් පපුව අල්ලා ගත්තා ය. ඇය හයියෙන් හුස්ම ගත්තා ය. 

දුල්නෙත් ගේ ඇස් කොනකින් කඳුළක් රූරා වැටිණ.

“දුල්…නෙත්…”

“මට ඔයා නැති කර ගන්න බෑ අයානා. මං ඇත්තටම ඔයාට ආදරෙයි. ඒ ඇත්තම ආදරේද කියල තෝර ගන්න බැරුව මගෙ ජීවිතෙන් ටික කාලයක් ගෙවිල ගියා. සමහර වැරදි තීරණත් අරගෙනයි මට ඒක කන්ෆර්ම් කර ගන්න පුළුවන්  වුණේ. දැං මං ඉස්සරහ ලොකු චැලේන්ජ් එකක් තියෙනව. ඔයාගෙ අතින් අල්ලගෙන ඒ ඕන දේකට ෆේස් කරන්න දැන් මට පුළුවන්. අම්ම මට නැති වෙන්නෑ කියල මං දන්නව. කවද හරි එයා මාව තේරුං ගනී…ඒත් ඔයා නැති වුණොත් ජීවිතේ ඉතුරු වුණත් ආයෙ මට සතුටක් කියල දෙයක් හොයා ගන්න පුළුවන් වෙන එකක් නෑ”

“දෙයියනේ දුල්නෙත්…”

ඇස් පියන්පත් තද කොට අයානා කඳුළු මිරිකා හැරියා ය. කවදාවත් විඳ නැති, දැනී නැති විදිහේ සංකීර්ණ හැඟුම් සමුදායක් හතර අතින් ඇය වට කොට ගත්තේ ය. 

පිරිමියෙකු තමන් පෙම් කරනා ගැහැනියට එවන් ප්‍රකාශයක් කිරීම යනු සුළුවෙන් තැකිය හැකි යමක් නොවේ. එවන් ගැහැනියකට ස්වකීය පුරුෂයා වෙනුවෙන් ආත්ම ගණනක් පෙරුම් පිරිය හැකි වනු ඇත. වචන වලට පෙරලා ඔහු වෙත කියා ගත නො හැකි භාවයන් රැසකින් අයානා දෝරෙ ගලන්නට වූවා ය.

“ඔයා වාසනාවන්තයි. මොනා වුණත් දුල්නෙත් වගේ කෙළින් කතා කරන පිරිමි හරි අඩුයි”

දුරාශා අයානා ට උදේ බත් මුලෙන් කටක් කවන අතරේ කීවා ය. 

“ඒ වුණත් එයාට එයාගෙ අම්ම අත් ඇරෙද්දි මට එයාගෙ අතින් අල්ල ගන්න අමාරු වෙයි දුශ්”

“අපි ප්‍රාර්ථනා කරමු එහෙම දෙයක් වෙන්න එපා කියල. කාලෙකට පස්සෙ ඔයාගෙ කකුල් දෙක ළඟට ආදරයක් ගෙනත් දීල ආයෙ ඒක උදුර ගන්න තරං සොබා දහම දුෂ්ට වෙන එකක් නෑ”

දුරාශා ඒ ප්‍රාර්ථනය කළේ හදවතින් ම ය. අයානා පපුව පුරා හුස්මක් ගත්තා ය. කෙසේ වෙතත් ඇගේ හිතේ බියක් තිබිණ. දුල්නෙත් පෙර දා රාත්‍රියේ දෙඩු ආකාරය ඒ බිය තීව්‍ර කරන්නට සමත් වී තිබිණ.

“කොහොම වුණත් පවුල් ජීවිතයක් කියන්නෙ එක ම විදිහට හැමදාම හරි සුන්දරව තියෙන තැනක් කියලනං හිතන්න එපා අයා. ඒක අපිට හිතා ගන්න බැරි තරං සංකීර්ණයි. හරියට ගැඹුර තේරුං ගන්නනං වතුරට පනින්නම ඕනෙ. හැබැයි බයේ වතුරට පනින්නෙ නැතුව හිටියොත් අපිට ඒ කම්ප්ලිකේටඩ් කම කොච්චරද කියල නෙවෙයි පවුල් ජීවිතයක් ඇතුළෙදි විතරක් මුණ ගැහෙන..වෙන කිසි තැනකදි දකින්න ලැබෙන්නැති දේවලුත් මගඇරෙන්න පුළුවන්. ඒක නිසා අපි මේකට මූණ දෙමු. දුල්නෙත් කිව්ව වගේ මුලදි ටිකක් අකමැති වුණත් අම්මව ශේප් කර ගන්න බැරි වෙන එකක් නෑ”

දුරාශා කීවා සේ ම අයානා මේ මොහොත තුළ පමණක් ජීවත් වීමට තීරණය කළා ය. මේ මොහොත පිරී තිබුණේ ප්‍රේමයෙන් ප්‍රීතියෙන් හා බලාපොරොත්තුවෙනි. 

විදුර සයුරංග ඒකනායක කාලයට සමානුපාත ව අයානා නිසාවෙන් උමතු වෙමින් සිටියේ ය. ඇය තවමත් විවාපත් ව නැති බව රෝහණ වෙතින් දැන ගැනීම තුළ ඔහු යළිත් බලාපොරොත්තු දල්වා ගත්තේ ය. හිතෙන් තමන් හා දුල්නෙත් ව එක පෙළට තබා සන්සන්දනය කරන්නට තරම් ඔහු වයසින් ළාමක වන්නට විණි. දුල්නෙත් කියන්නේ තවමත් සරසවි සිසුවෙකි. නමුත් විදුර ඒ පාරේ දුරට ගොස් හිඳී. වෘත්තීය හා ආර්ථික යන මට්ටම් වලින් ඔහු දුල්නෙත් ට වඩා බොහෝ ඉදිරියෙනි. පිරිමියෙකු පරිනතිය කරා එළඹීම තුළ අත්පත් කර ගන්නා කඩවසම් බව අතින් ද කිසි සේත් දුල්නෙත් ට දෙවැනි වන්නට හේතුවක් ඔහු ට නැත. මඳ උත්සාහයක් තුළින් සියල්ල උඩු යටිකුරු කරන්නට විදුර හීනයක් මවා ගත්තේ ය. ඒ හීනය ඔහු තව තවත් කෙළිලොල් හා ආකර්ෂණීය පිරිමියෙකු බවට පත් කරවමින් තිබිණ.

ඔහු ගේ වෙනස දෙස මංජරී බලා සිටියා ය. විදුර නව නිවසක් ඉදි කරමින් හිඳිනා බව ද ඇය දැන ගත්තේ ඔය අතර ය. මෙතෙක් දිනක් අඹු සැමියන් ලෙස එකට ජීවත් වීත් ඒ තරම් වැදගත් කාරණයක් ඇගෙන් සැඟවීම ගැන ඇය කෝපත් වූවා ය.

“ඔයාව ස’ප්‍රයිස් කරන්න ළමයො හැදුවෙ…ගේ හදල ඉවර වුණාට පස්සෙ ඔයාව එක්කගෙන ගිහින්…”

විදුර ඇඟට පතට නො දැනී මුසාවක් කීවේ ය. නමුත් මංජරී ට නො දැනී ගේ සැදීමේ කටයුතු කර ගෙන යන්නට හැම විට ම ඔහු උත්සුක වූයේ ය. අයානා අවිවාහකයි කියා දැන ගැනීමෙන් පස්සේ ඔහු සිය නව නිවස පසුබිම් කර ගෙන අයානා එහි පෙම්බර ගෘහණිය ලෙස මනස් රූප මවා ගනිමින් රහසිගත සතුටක් ලැබුවේ ය.

“අපි ඉතිං මේ ගෙදරට රෙන්ට් එක ගෙව ගෙව ඉන්නැතුව ඒ ගෙදර පදිංචි වෙමුකො. එක රූම් එකකුයි බාත් රූම් එකකුයි කම්ප්ලීට් කර ගත්තනං ඇතිනෙ. අනිත් වැඩ ටික ඔය කරන විදිහට කරං යමු”

මංජරී බලාපොරොත්තු සහගත ලෙස කීවා ය. සැබවින් තමන්ගේ ම වූ නව නිවසක පදිංචි වීම යනු ඇයට සිහිනයකි. සයුරංග නිසා සිය සිහින ඉතා ඉක්මනින් හැබෑ වෙමින් තිබීම ඇයට අපමණ සතුටකි.

“හ්ම් හ්ම්. බලමුකො”

විදුර එසේ කීවාට කිසි දාක මංජරී සමග ඒ නිවසේ පදිංචි වීමේ බලාපොරොත්තුවක් ඔහු ට ඇත්තේ නැත!

දවසකට වතාවක් හෝ නිර්වාණයට ගොඩ වැදීම දැන් විදුර ගේ දෛනික ජීවන අංගයකි. අයානා ද රෝහණ ද ඔහු ට යළි එහි එන්න එපා කියා තිබියදීත් ඔහු එසේ කළේ ඒ බව අමතක වීමකින් නොවේ. අයානා ලාට ම දිනෙක ඒ කතාව අමතක වී යාවියි විශ්වාසවත් බලාපොරොත්තුවකිනි. නිකරුණේ හෝ ඊට ගොඩ වැදී ඔහු අයානා ව කතාවට අල්ලා ගන්නට බලයි. ඇය තරහ ගැනීමෙන් හෝ ප්‍රතිචාර නො දක්වන්නට සිතා ගෙන සිටියා ය. විදුර එය පිළි ගත්තේ සුභ නිමිත්තක් ලෙසිනි.

එක සන්ධ්‍යාවක දුල්නෙත් නිර්වාණයෙහි පුස්තකාල කොටසේ පොතක් පෙරලා ගෙන සිටියා ය. අයානා කෝපි එකක් ගෙන ඔහු වෙත ගොස් යාබද ව අසුන් ගත්තා ය. ඔහු පොතට මූණ ඔබා ගෙන උන් නිසා බාධා නොකොට මේසය මත නිකට තබා ගෙන දුල්නෙත් දෙස බලා ගත්තා ය.

“මොකෝ…”

අයානා දෙතොල් තද කොට ගෙන සිනහ වූවා ය. දුල්නෙත් පොත වසා තැබුවේ ය.

“පොත කියවන්න ඉතිං…”

“මට නිවන් දකින්නවත් දෙන එකක් නෑ මෙහෙම දැවටි දැවටි ඉඳියි…”

අයානා හුරතල් දැරියක ලෙස හිචිස් ගා සිනහ වූවා ය. 

“සංසාරෙ දික් වෙන්නෙ ඔයා නිසානං…ඔයා එක්කමනං…මන්නං ඒකට කැමතියි දුල්නෙත්…”

‘කොහෙද කොහෙද ඔය යන්නෙ…යනව එළියට’ යනුවෙන් ඇහුණ දුරාශා ගේ හඬ නිසා අයානා සේ ම දුල්නෙත් ද වහා හැරී බැලූහ. පුස්තකාල කොටසට වේගවත් පියවර තබා එමින් සිටියේ මංජරී ය. දුරාශා ඇය පසු පස දිව ආවා ය. 

“මොකද්ද ආ තමුසෙ කරන මේ වැඩේ තේරුම…දුල්නෙත්ව රවට්ටගත්ත. දැන් සයුරංගව පස්සෙං ගෙන්නෝගන්නව. ඇයි මෙහෙම කරන්නෙ…ඇයි මට මෙහෙම කරන්නෙ…තමුසෙ මගෙ ජාති වෛරක්කාරයෙක්ද…”

මංජරී අයානා අභියස හිට ගනිමින් කෑ ගසන්නට වූවා ය. සිදු වී ඇත්තේ කුමක් දැයි කිසිවෙකුට සිතා ගත හැකි වූයේ නැත. 

“මොකද්ද මේ..”

 මංජරී සිය සුරතේ ඇඟිලි වලින් අල්ලා ගෙන අයානා ගේ මූණ ඉදිරියේ පැද්දූයේ රත්රන් අත් පළඳනාවකි. අයානා ගේ ද විදුර ගේ ද නම් කැටයම් කළ හදවත් සලකුණු දෙකක් එහි විය.  

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles