ඔබ දකින තුරා -38

හිරු දවසේ විඩා නිවමින් බටහිර අහසේ ගිලී යන්නට සූදානම් ව තිබිණි. ඒ අවට අහසේ වූයේ දීප්තිමත් රතු තැඹිලි හා කහ පැහැයන් ය. වැරැන්ඩා කුළුණකට හේත්තු වී අමාරසී නෙතු පිය දල්වා එදෙස බලාන සිටියා ය. ඇගේ හිත සුදු කඩදාසියක හිස් බව දැරී ය. 

දිසත් සමගින් අජිත් කතාවට වැටී සිටියේ ආලින්දයේ ය. එ් දිසත් මේ ගෙදරට එන්න පටන් ගත් ආරම්භක දින වල වූ විදිහේ සැහැල්ලු කතා බහක් නොවේ. ඒ දින වල අමාරසී ඔවුන් දෙස බලා ගෙන ඒ කතා අසා සිටියේ හදවතේ පිටාර ගලනා ඇය ම අරුත් පසිඳින්නට නො දන්නා හැඟීම් සමුදායකින් යුතුව ය. ඒ දින වල ඔවුන් ප්‍රේමයක් ගැන කතා කොට තිබුණේ හෝ නොවේ. නමුත් අප්‍රකාශිත ප්‍රේමයෙන් හැම රුධිර බින්දුවක් ම සන්තෘප්ත ව තිබි බව ඇය දැන සිටියා ය. අජිත් සින්දු කියත්දී තාල අල්ලන දිසත් දෙස බලා ඉන්නට ඇය ආශා කළා ය. තාත්තාට වාගේ ගැඹුරු හඬක් හෝ ගායන හැකියාවක් දිසත් ට ඇත්තේ නැත. නමුත් ඔහු රස විඳින්නට දන්නා පුද්ගලයෙකි. සවන් දීම මත හදවතක් බදා වැළඳ ගන්නට හැකි පුද්ගලයෙකි.

තාත්තා ව හා දිසත් ව තරාදියක දෙපසට දැමුවොත් කොයි පස බර වේවි දැයි සිතන්නට අමා ට ඕන විය. එය බෙහෙවින් අසීරු විනිශ්චයකි. එය, ගැහැනු ළමයෙකුට සිය ජීවිත කාලයේ දී මුහුණ දෙන්නට වන දුෂ්කර ම පරීක්ෂණ වලින් එකක් වන්නට පුළුවන. අමාරසී ලොකු හුස්මකින් පපුව පුරවා ගත්තා ය. දැන් මේ මොහොතේ දී ඇය එළඹ තිබෙන්නේ ද ඒ පරීක්ෂණයට මුහුණ දීමේ අවස්ථාවටයි. හදවත් පටක ඉරිතලා ලේ ගලන බවක් දැනුණ ද තාත්තා ගේ තීරණයට එරෙහිව වචනයක් කතා කළ නො හැකි බවක් ඇය ට දැනේ. 

“පොඩි කාලෙ ඉඳලම ඔය කෙල්ල ගැන මං දන්නවනෙ පුතා. මං බීල ටිකක් සද්දෙට අම්මණ්ඩිට කෑ ගැහුවත් කුස්සිය පැත්තට වෙලා වෙව්ලනව. අනිත් දෙන්නට බැන්නත් උන් මට එකට එක කියං එනව. ඒක නිසා උන්ට බණින්න මං බය වුණෙත් නෑ. ගහන්න බය වුණෙත් නෑ. ඒත් මේකි දිහා රවල බලන්න තරං හයියක් මට තිබුණෙ නෑ. ඒ ඒකිට තියෙන්නෙ කොහොම හිතක් ද කියල දන්න නිසා. ඒ වගේ කෙල්ලෙක්ව අර යොහාන් වගේ මිනිහෙක්ව කතා කරල බන්දල දෙන එක මොන තරං අසාධාරණයක් ද කියලමයි මට හැම තිස්සෙම හිතුනෙ. පුතා ගැන මගෙ අහිතක් නෑ කියල දන්නවනෙ. අර පිස්සු යකා ඇවිත් පුතාව ගෙන්නන්න එපා කියල තර්ජනය කරපු වෙලාවෙත් මං කිව්වනෙ එන්න කියල. ඒක නෙවෙයි ප්‍රශ්නෙ. කොටිංම පුතා කලින් බැඳපු කෙනෙක් වුණ එකවත් පුතාගෙ කලිං මාමණ්ඩි සල්ලි වලිං රජ වෙන මිනිහෙක් වෙන එකවත් නෙවෙයි ප්‍රශ්නෙ. උං මට මොනාහරි කරයි වගේ බයකුත් මට නෑ. ඒත් මේ කෙල්ල බය වෙලා මානසික රෝගියෙක් වෙනව බලං ඉන්න මට බෑ පුතා”

දිසත් බිම බලා ගත්තේ ය. අමාරසී ගේ කම්මුල් දිගේ කඳුළු පේලි දෙකක් අනවරත ගමනක යෙදී සිටියේ ය. හිත ඇතුළේ පිළිස්සුම් තුවාලයක වේදනාව ඇය විඳිමින් සිටියා ය. නමුත් ඕ පිටතට ඇහෙන්නට ඉකි හඬක් හෝ පිට නො කළා ය.

“ඒ මිනිස්සු ඩිවෝස් වෙන්න කැමති නෑ කියන්නෙ මේ වෙලාවෙ නඩුවට සාක්කි එකතු කරනව. මං ඔය කැළණි ගමනට විරුද්ද වුණෙ ඒකයි. පුතාට අවාසි වෙන විදිහට නඩුව කැරකෙන්න ඉඩ තියන්න ඕන නෑ. අනිත් එක රසීව වුණත් උසාවියට ගෙන්නන්න ඉඩ තියෙනව මෙහෙම ගියොත්. ඒ හැම දේම කළයි කියමුකො. හැබැයි පුතා මට අර පිස්සු ගෑනි ගැන කිසිම විශ්වාසයක් නෑ. ඒ ගෑනිත් එක්ක පැටලෙන්න යන්න යන්න වෙන්නෙ අපිට කරදරේකට මූණ දෙන්න වෙන එක. මං ඔය කරදර වලට බය මිනිහෙක් නෙවෙයි. ආයෙ මේ මිදුලට ආවොත් තාත්තද දුවද කියල නෑ අම්මප ගස් බැඳල පොලීසියට කතා කරනව මං. ඒත් පුතා ඔය මොනා කළත් වැඩක් නෑ මේ කෙල්ලව ලෙඩෙක් කර ගෙන. ඇඟේ පතේ හැදෙන ලෙඩකට වඩා හිතේ හැදෙන ලෙඩක් දරුණුයි. රසී වගේ හිතක් තියෙන කෙනෙකුට ඒක හරි අමාරුයි. ඒක නිසා මේව ටිකක් යටපත් වෙලා යනකල් මං කැමතියි පුතා රසීව හම්බ වෙන්නෙ නැතුව ඉන්නවනං. වැරදියට හිතන්න එපා මං මේ කියන්නෙ පුතාට අපි අකමැතියි කියන එක නෙවෙයි”

“මට තේරෙනව අංකල්”

දිසත් සිය කලිසම් සාක්කු වලට අත් දෙක ඔබා ගනිමින් අසුනෙන් නැගී සිටියේ ය. 

“මං ටික දවසක් අමා ගෙන් ඈත් වෙලා ඉන්නං”

ඔහු වැරැන්ඩාව වෙත දිගු අඩි තබත්දී අමා ගේ කඳුළින් පෙඟුණ දෑස් දැල්වී තිබිණ. ඇය අත් දෙකෙන් ම මූණ වසා ගත්තා ය.

“මං ඔයාට මුලදිම කිව්වනෙ. හුඟක් දේවල් දරා ගන්න වෙයි කියල. හිත හයිය කර ගන්න අමා. මං වෙනස් වෙන්නෙ නෑ”

එපමණක් කියූ ඔහු මිදුලට බැස රියට නැගුණේ ය. අමාරසී දිව ගෙන ගොස් කාමරයේ යහනට වැටුණා ය. කදුළු ගැලුවාට චෝදනා කරන්නට කෙනෙකු සිටියේ නැත. ඔහු එන යන එක තාත්තා ගේ ජීවිතයට අනතුරක් නම් හොඳ ම දේ එසේ නොකර හිඳීම බව අමා දැන සිටියා ය. නමුත් එය දරා ගැනීම පහසු නැත. ඔහු ට ප්‍රේමය වෙනුවෙන් රැකියාවෙන් සමු ගන්නට සිදු විය. දැන් අමාරසී හමු වෙන්නට ගෙදරට ද පැමිණිය නො හැකි ය. අමා ගේ සේ ම දිසත් ගේ ද හිත් බිඳී ගොස් තිබිණ. සියල්ලට හේතුව මිනිසුන් ගේ ආත්මාර්ථකාමී  දුෂ්ට කම් ය. ඔවුන් ට ආදරය කියනා දේ ගැන සංවේදනයක් ඇත්තේ ම නැත. අනුන් ගේ සතුටක් ඉවසා දරා ගන්නට හැකියාවක් ඔවුන් ට ඇත්තේ ම නැත. කෙනෙකු සිනහ වී ඉන්නවාට වඩා ඔවුන් කැමති ඇස් අග කඳුළු දකින්නට ය. 

දිසත් සුපර් මාකට් එකෙන් බීර  බෝතල කිහිපයක් ම මිල දී ගත්තේ ය. රෑ කෑම වල උවමනාවක් නො දැනුණත්, පුරුද්දට වගේ කෑම එකක් ද ඩෙවල් එකක් ද මිල දී ගත්තේ ය. චිකන් ඩෙවල් වලට අමාරසී කැමති බව ඔහු ට සිහි විය. 

මේ අමාරු දවස් ඉක්මනින් ගෙවී යනු ඇතැයි හිතන්නට දිසත් උත්සාහ කළේ ය. නමුත් හුදෙකලාවේ කාමරයට වී සින්දුවක් අසමින් බීර විතක තිත්ත රස විඳිත්දී ඔහු ගේ ඇස් වල කඳුළක් නො තිබුණා නොවේ.

“මිනිහෙක් වතුරට පනින්න ඕනෙ ඒ වතුර කොයි තරං ගැඹුරුද පීනල ගොඩ එන්න පුළුවන් වෙයිද බැරි වෙලා ගහං යයිද ගිලෙයිද වගේ දේවල් ගැන හිතලයි. එහෙම නැතුව වතුරට පැනල අනේ මට බෑ කියල අඬල වැඩක් නෑ. අවදානමක් ගන්න නං හිත හයිය කරං ඉන්න ඕනෙ කොහොමත්”

රෑ කෑම කන ගමන් අජිත් දේශනයක් ඇරඹුවේ ය. කෑම රුචියක් පේන මානයක හෝ නො වුව ද අජිත් ගේ කතා අසා ඉන්නට අමාරසී කවදත් රිසි වූවාය.

“ඒක ඕලොල්ලංගෙ කැමැත්තට ඇති වෙච්ච සම්බන්දයක්නෙ. ඒක වටේට ප්‍රශ්න තියෙනව කියල දැන ගෙන ඇති කර ගත්ත සම්බන්දයක්නෙ. තමන් කරන දේ වල වගකීම ගන්න තරං මනුස්සයෙක්ට හයිය තියෙන්න ඕනෙ. තීරණයක් ගත්තට පස්සෙ ඒකත් එක්ක එන්න පුළුවන් ඕනම අභියෝගයකට මූණ දෙන්න ඕන. රසී ඔය කාරණා ගැන ටිකක් නිදහසේ හිතන්න. ඔයාට ඒවට මූණ දෙන්න බැරි නං හොඳ ම දේ ඔය සම්බන්දෙං අයිං වෙන එක”

වරින් වර නිර්මලා අජිත් ගේ මූණ දෙස බැලුවේ ඔය ඇති යයි කියන්නට මෙනි. ඇගේ අදහස දැනුණා වුණත් අජිත් දියණිය ට කිව යුතු ව තිබූ සියල්ල කීවේ ය. පපුව තුළ හිර වී තිබූ යමක්, ලොකු ජල පහරකින් ගසා ගෙන ගියා වන් හැඟීමක් අමාරසී ට දැනිණ.

“ඒ වුණාට මන්නං එකඟ නෑ ඔයා මේ කරපු දේට. දිසත් ට මෙහෙට එන්න අනුබල දුන්නෙ ඔයාමයි. අන්තිමට එන්නෙපා කිව්ව. කෙල්ල හොඳටම අඬනව. මටනං බයයි රසී ගැන”

නිදි යහනේ දී නිර්මලා කීවා ය. අජිත් සිවිලිම දෙස බලා ගෙන පපුවේ රෝම පිරිමැද්දේ ය.

“මං අදත් කියන්නෑ දිසත් ට එන්නෙපා කියල. හැබැයි දිසත් එනවනං ඉතුරු තත්ව වලට මූණ දෙන්න හයියක් රසීට තියෙන්න ඕන”

“රසී බය ඔයාට කරදරයක් වෙයි කියල. එයා කවදත් තාත්ත කොච්චර වැරදි කළත් තාත්තගෙ පැත්ත ගත්ත දූනෙ”

“තාත්තද ආදරේ කරන කොල්ලද කියල තේරීමක් කරන්න කිසිම කෙල්ලෙක්ට පුළුවන් කියල මං හිතන්නෑ. මට ඕනෙ රසීට එයාව ම හොයා ගන්න ඉඩ අරින්න. හැංගිලා ඉන්න හදන ගුහාවෙන් එයා එළියට එන්න ඕනෙ. සූරියකාන්ත මලක් ඉර දිහාටම හැරෙනව වගේ…තමන්ගෙ ජීවිතේට ඕන දේවල් මොනාද කියල පැහැදිලිව තේරුං ගන්න ඕන එයා. ඒ ඕන ම දේවල් මොන යුද්දයක් කරල හරි දිනා ගන්න ඕන කියන ගැම්ම එන්නත් ඕනෙ එයාගෙ ඇඟෙන්මයි. දැන් එයාට ඒකට අවස්ථාව තියෙනව කියලයි මට හිතෙන්නෙ”

නිර්මලා වම් අත යට වන සේ පැත්තට හැරී අජිත් ගේ මූණ දෙස ම බලා සිටියා ය. අමාරසී ට අජිත් ට වඩා හොඳ පියෙකු කිසිදු ආත්මයකදී හමු නොවනු ඇත. එසේ ම ඇය තාත්තා හැරුණු කොට දිසත් ට තරම් වෙන කිසිදු පිරිමියෙකුට ආදරය නොකරනු ඇති බව ද ඇගේ ගැහැනු හිතට දැනේ.

දෙදිනකට පස්සේ උදේ ඇය යළි සේවයට යාමට සූදානම් වූවා ය. අජිත් හා නිර්මලා උනුන් ගේ මුහුණු දෙස බලා ඉවත බලා ගත්තා මිස කිසිත් කියන්නට ගියේ නැත. කොට්ටයක් බදා ගෙන ඇඳට වී කඳුළු සැලීම වුව එපා වන දිනක් එන බව අජිත් නම් දැන සිටියේ ය.

පියවි තත්වයට පත් වෙන්නට තැත් කළත් තවමත් ඇගේ යටි හිතේ තිබිය හැකි බිය ගැන සිතූ අජිත් අමා ව කාර්යාලය ළඟට ගෙන ගොස් ඇරලුවේ ය. 

“මොනා වුණත් තාම තනියට තාත්ත එනව නේ…”

පිය ගැට පෙළ ළඟ දී හමු වූ ගීතානි බොහෝ සුහද ශීලයෙන් සේ කීවේ ඇනුම් පදයක් බව තාත්තාටත් දූටත් නො වැටහුණා නොවේ. නමුත් දෙදෙනා ම කළේ ව්‍යාජ සිනහවක් විතරක් ඇයට පිරිනමන එක ය. 

“ආව එක හොඳයි. ගෙදරට වෙලා කල්පනා කර කර හිටියනං වෙන්නෙ පිස්සු හදාගෙන නතර වෙන්නයි”

මිතුරියෝ දෙදෙන, යළි රැකියාවට පැමිණි අමාව සතුටෙන් පිළි ගත්හ. හොඳ ම යාළුවන් ළඟදී ජීවිතයේ දුෂ්කර ම අවස්ථා වුව පහසුටවන් තරණය කරන්නට පුළුවන. ඔවුන් ට උවමනා හිතක් රිද්දන්න බිඳවන්න නොව බිඳුණු හිතක් වුව සනසන්නට වන නිසාවෙනි. ඔවුහු සිනහ වෙන්නට කාරණා සොයා දුන්හ. අමාරසී ඉස්සර වාගේ ම යළි සිනහ වන්නට වූවා ය.

“බලාපල්ලකො ගානක් නැතුව හිනා වෙලා ඉන්න හැටි. අර මනුස්සයට රස්සාවයි පවුලයි නැති වුණ එකනෙ වුණේ. අනේ ඇත්තට මෙහෙමත් ගෑනු”

“දැන් තව හොඳ කොල්ලෙක් බලල ලස්සනට හේත්තු වෙයි”

“මන්නං හිතුවෙ ලීව් වෙන්නෙ දුකට රිසයින් වෙන්න හදනව කියලයි”

අමාරසී හිනා වී පුරුදු ලෙස සිටියදී ගීතානි හා ඇගේ කුලකයේ අය කීවේ එබඳු කතා ය. සමහර කතා ඇය ට ඇසිණ. නෑහුණ ඒවා ඊට වැඩි ය. නමුත් ඕ නෑහුණා සේ ම ඉන්නට උත්සාහ කළා ය. හිතේ වන දුකත් කණගාටුවත් වසා ගනු වස් වෙනදාටත් වැඩියෙන් සිනහ වූවා ය.

“මිනිස්සුන්ට ඉවසගන්න බැරි මොකක් හරි වුණාට පස්සෙ අපි ආයෙත් ඔළුව උස්සන්න බලන එකයි. එහෙමම චප්ප වෙලා යට වෙලාම යනවනං කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ආයෙ මතු වෙන්න හැදුවොත් තමයි ගැටළුව”

තේරුම් ගිය සත්‍යය අමා යෙහෙළියන්ට කීවේ ද මඳහසකිනි. නමුත් ඒ මඳහස යටින් වන සංවේගයේ හෙවනැල්ල ඔවුන් නොදුටුවා නොවේ.

දිවා ආහාර විවේකයේ දී අමා දිසත් ට දුරකතන ඇමතුමක් ගත්තා ය.

“මං හිතුව මට ආයෙ කතා කරන එකක් නෑ කියල”

ඔහු ගේ ස්වරයේ අවංක ශෝකයක් විය. අමාරසී ඇස් පිය පහළට හරවා ගෙන බත් පත අත පත ගෑවා ය.

“ඇයි මං එහෙම කරන්නෙ..”

“ප්‍ර්ශ්නත් එක්කම ඔයාට මාවත් එපා වෙලා කියල හිතුණා”

“ටිකක් අමාරු දවස් ටිකක් තමයි. ඒත් එහෙම දෙයක් වුණෙ නෑ. තාත්ත ගැන ඇත්තටම මං බය වුණා. ඔයාට දුවෙක් හිටිය දවසක දැනෙයි..”

“දුවෙක් හදමු”

අමා ගේ ඇස් වහා එසවුණේ යෙහෙළියන් වෙතට ය. ඔවුන්ට ඒ ඇසුණු බවක් පේන්නට තිබුණේ නැත. ඔවුන් දෙදෙනා හිටියේ වෙනම කතාවක ය.

“මට ඔයා දකින්නැතුව ඉන්න බෑ අමා”

“ම්…මටත්…”

එය කියා ගන්නට අසීරු සෙයක් දැනුණ ද නොකියා ඉන්නට හැකි වූයේ ද නැත.

“හවසට එනවද ඔෆිස් එක ළඟට…”

දිසත් ට සිනා නැගිණ. දිලිනි හා තරුෂි වහා සිය යෙහෙළිය දෙස බැලූහ. අමාරසී බයාදු බැල්මක් හෙළුවා ය.

“මෙහෙම ටික දවසක් ගියාවෙ අමා. කොහොමත් නඩුව ලබන සතියෙ. අපි දුර්වල නොවී ඉමු. මට තේරෙනව මාත් හැසිරුණා බොළඳ වැඩියි. මේ වෙලාවෙ අපි දියාරු වුණොත් ඉස්සරහට අඬන්න වෙයි. මට අඬල ඇති වෙලා අමා. දැන් ඕනෙ හිනා වෙන්න. ඒ හිනාව උදුර ගන්න කේෂිට ඉඩ දෙන්න බෑ. ප්‍රශ්න ඉවරයි කියල හිතන්නැතුව ඉමු. ඔයා හයියට ඉන්න ඕන. තේරුණාද…ඔයාගෙ අම්මයි තාත්තයි වගේ දෙමවපියො දෙන්නෙක් ගැන හිතා ගන්නවත් බෑ. ඒ දෙන්න ඉන්නව ඔයාට හිත හයිය කර ගන්න. අපි ඉවසල ඉමු. තේරුණා නේද…අපි නඩුව දිනන්න ඕන අමා”

අමාරසී දෙතොල් තද කොට දුක්බර සිනහවක් පෑවා ය. කෙසේ වෙතත් ඒ සිනහවේ අරමුණක් තිබිණ. ඉරණම විසින් අහඹු දිනයක ඇය ට ඔහු මුණ ගස්වන ලද්දේ අතර මගක අත් හැරෙන්න දෙන්නට නොවේ!

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles