අනෝරා මල් වැහි 20

“මම දන්නෙ නෑ මහිල් මම මොකද්ද වෙන කරන්න ඕන කියල. මට ඇත්තටම මොකද්ද කරන්න ඕන කියල අදහසක් නෑ. මටතේරෙන්නෙත් නැ. ඔය හිතන්න එපා මම මේ හස්බන්ඩ් ගෙදර ඉද්දි ඒ මනුස්සයගෙ කිසිම වරදක් නැතුව මෙහෙම ඔයාව අල්ලගන්න හිතාගෙන කතාකරනව කියල.

මගෙ තුන් හිතකවත් එහෙම අදහසක් නෑ මහිල්. මට ඇත්තටම මේ හැම දෙයක්ම කියන්න ඉන්නෙ ඔෆිස් එකෙ අමන්දා කියල යාලුවෙක් ඉන්නව එයා විතරයි. 

ඔයාට මතකද දවසක් ඔයා හෙඩ් මසාජ් එක දෙද්දි මගෙ ඇස්වලින් කඳුලු වැටුනා. ඔයා හිතුවෙ ඔයාගෙ ප්‍රෙශර් එක නිසා කියලනෙ. නෑ මහිල් මම එදා හොඳටම් හිත රිද්දගෙන හිටියෙ. මට ඇඬුනෙ ඇත්‍තටම ඒ නිසා.

මම් ඔෆිස් ඇරිල වයිබ්ස් එකට එන්න පටන් ගත්තෙත් මට පාලු ගෙදරක තනියෙන් ගිහින් ඉන්න බැරි හන්දා. මම ඇත්තටම මනුස්සයෙක් විදියට ජීවත් වෙන්නෙ ඔෆිස් එකේදියි මෙතනදියි විතරයි. ගෙදරදි මම මලමිනියක් වගේ ඉන්නෙ. මට දැන් ඒ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ. 

ඩිවෝස් වෙනව ඇරෙන්න මට වෙන ඔප්ශන් එකක් පේන්නෙ නෑ මහිල්”

ගෙදර ගොස් කා බී අහවර කල නිදාගන්නට ගියද නින්ද තිබුනේ මහිල් අහලකවත් නොවේ. තාරා විසින් කියන්නට යෙදුන කාරණා හිත ගිලන් කර නින්ද අහිමිකර ඇති බවක් මහිල්ට සිතුණි.

තාරා විවාහක කාන්තාවක් බව සිතට දරාගන්නට අපහසු වූ බව ඇත්තකි. එහෙත් එයටත් වඩා දරාගන්නට අපහසු වූයේ ඇයගේ නෙතින් වැටුණු කඳුලුය.

තාරාගේ දෙනෙතින් වැටුණු කඳුලු කම්මුල් දිගේ රූරා විත් ලී මේසය සිපගන්නට පෙර මහිල් ඒ කඳුලු බිඳුවලට නිදහසේ හුස්ම ගන්නට තම අත තාරාගේ නිකට යටින් තැබුවේය.

අඬන්න එපා කියා කියන්නට තිබුනා නම් අපූරුය. එහෙත් මහිල් උන්නේ මේ අලුතෙන් දැනගන්නට ලැබුණු විස්තරයෙන් තිගැස්සීය. වචන තිබුනේ බොහෝ ඈතය. මේ මොහොතේ තාරාට වඩා උවමනා මේ වේදනාව කාට හෝ කියා නිදහස් වෙන්නට බව මහිල් තේරුම්ගත්තේය. ඉතින් ඒ ඉඩකඩ නිදහස හදන්නට සිත සැදී පැහැදී උනි.

“ඔයා දැන් හිතනව ඇති බඳින්න කලින් මට එයාගෙ වෙනසක් තේරුනේ නැද්ද කියල. එහෙම පේන්න තිබුනනම් මම කීයටවත් බඳින්නෙ නෑ.මට එහෙම දැන දැන කරදරේක වැටෙන්න ඕන උනේ නෑ මහිල්.

මට ඔක්කොටම වඩා දුක ඒකයි. යාලුවෙලා උන්නු කාලේ මට කිසිම වෙනසක් නොකරපු මනුස්සය බැඳලටික කාලයක් යද්දි වෙනස් කම්කරන්න ගත්ත එක”

තාරාට ඔහේ තම සිතැඟි පවසන්නට ඉඩ දී මහිල් අසා සිටියාය. සුලඟට සෙලවි සෙලවි උන් දම් පැහැ කොබොලීල මලක් විත් මේසය මත වැටුණි. ඒ මල අතට ගත් තාරා එය කරකවන අතරතුරේ මහිල් එක එල්ලේ ඇගේ දෙනෙත්දෙසම බලා උන්නේය.

“අයෑම් සොරි මහිල්. මට ඕන උනේ නෑ ඔයාට මෙහෙම කියන්න. ඒ උනාට…”

“ප්‍රශ්නයක් හිතේ තියෙන වෙලාවට කාටහරි කියන එක හොඳයි හිතේ තද කරගෙන ඉන්නවට වඩා”

“කාට කිව්වත් උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න මහිල් මට තියෙන්නෙ” 

“ඒ ඔයා හිතන දේ. ඔයාට ඔය ප්‍රශ්නෙ පේන්නෙ ඔයාගෙ පැත්තෙන් විතරනෙ. වෙන කෙනෙක්ට වෙන පැත්තකින් පේන නිසා ඔයාට නොතේරෙන සොලුශන් එක එයාට පේන්න පුලුවන්.

අනික ප්‍රශ්නයක් ආහම කලබල වෙලා ඩිසිශන්ස් ගන්න එපා ඉතින්. එහෙම අරගෙන ආයෙ පස්සෙ රිග්‍රෙට් කරන්න උනොත් අපරාදෙනෙ”

“මම දැන් නම් ඉන්නෙ සම්පූර්ණයෙන්ම වෙච්ච හැම දෙයක් ගැනම රිග්‍රෙට් කරන ගමන් මහිල්. ආපහුහැරිල යන්න බැරි බව මම දන්නවා. ඒ උනාට මට හිතාගන්න බෑ මේ විදියටම තව කොච්චර කල් මට ඉස්සරහට යන්න පුලුවන් වෙයිද කියල. ඉවසනව කියල එහෙම කොච්චර කල් ඉවසන්නද? දැන් මම මේ ඉවසන ලිමිට් එක පැනල තියෙන්නෙ මහිල්”

“ප්‍රශ්නයක් තියෙන බව තේරුනාම ඔයා එයාට කතා කරේ නැද්ද?”

“කතාකරන්න ඉතින් එයා කතා කරන්න ඕනනෙ මහිල් නේද?” තාරා සිනාසුණද ඒ සිනහව තාරාගේ අසරණ ආත්මය මුලුමනින්ම විදා පාන සිනහවක් බව මහිල් තේරුම් ගත්තේය. සිනහවකට කොපමණ චිත්තවේගයන් කියා පාන්නට හැකිද කියාත් මහිල්ට ඒ මොහොතේම සිතුණි.

“අපි බලමු මොකද කරන්නෙ කියල. ඒ උනාට කලබල වෙලා කිසිම තීරණයක් ගන්න එපා. ඔයාට ඕනම වෙලාවක මට කතා කරන්න. මම අද මගේ ෆෝන් නම්බර් එක දෙන්නම්. හිතට දුකක් කරදරයක් දැනිච්ච ඕන වෙලාවක මට කතාකරන්න. මම අහගෙන ඉන්නම්”

මහිල් එසේ පැවසුවේ නෙත් වෙතටම එබීය. ඒ මොහොතේ දැනුන හැඟීම කුමනාකාරයේද කියා තාරාට තවමත් සිතාගන්නට නොහැක. 

වයිබ්ස් කැෆේ එක සුපුරුදු පරිදි එහෙමකට කියා පිරී නැත. කොහොමත් කලබලකාරී මිනිසුන් හෝ ඝෝශාකාරී සංගීතයෙන් පිරී තිබෙන තැනක් නොවෙන නිසාවෙන් වයිබ්ස් කැෆේ එකේ කොහොමටත් තිබෙන්නේ නිස්කලංක බවකි.  

“අද ඔයා සින්ග් කරන්නෙ නැද්ද?”

“මට අද මූඩ් එකක් නෑ වගේ සින්ග් කරන්න” මහිල් කියන්නේ සිහින් සිනාවක් දෙතොල මත තවරමිනි.

“ඇයි ඒ, මං කියපු ඒව අහන් ඉඳලද?”

“ඕකනෙ ඉතින්. නෑ එහෙම දෙයක් නෙවෙයි.මට අද ඔයාව මෙතන තනියෙන් තියල ගිහින් සින්ග් කරන්න බෑ වගේ”

“මේ… එහෙම බෑ. ප්ලීස් අන්තිමේ මං හින්දා ඔයාට මෙතන සින්දු කියන්නත් බැරිවෙනව. ඒ නිසා ගිහින් සින්ග් කරල එන්න. මම මොනවහරි කන්න ඕඩර් කරගන්නම්. චුට්ටක් බඩගිනි. ඔයා කාලද ආවෙ?”

“ඔව්. ඇයි බඩගිනි? දවල් කෑවෙ නැද්ද?”

“කන්න හිතක් තිබුනෙ නෑ. ඒ නිසාම නොකාම ආව”

“ප්‍රශ්න තියෙනව කියල නොකා ඉන්න එපා. ලෙඩවෙයි අන්තිමේ. එහෙනං මොනවහරි බඩපිරෙන්න කනවද මම සින්දුවක් දෙකක් කියල එනකම්?”

තාරා හා කියන්නට මෙන් හිස දෙපසට සෙලවුවාය. 

“ඔන්න එහෙනං කන්න හොඳේ. මම බලන් ඉන්නෙ” කියමින් මහිල් ගී ගයන තැනට ගියේ සුන්දර සිනහවක් තාරා වෙත තිළිණ කරමිනි.

චිකන් ටෝස්ටඩ් සැන්ඩ්විච් එකක් ඕඩර් කර තාරා මින්ට් තේ කෝප්පය සමග එය කමින් මහිල්ගේ ප්‍රේමණීය ගීතයන් හදවතින්ම රස වින්දාය. මහිල්වත් නොහිටියානම් මේ සන්ද්‍යාවන් ගෙවී යන්නේ වේදනාවත්, කඳුලත් මුසු ව බව අමතක කරන්නට තාරාට නොහැක. එහෙත් ඒ වෙනුවෙන් තමා මහිල්ට ස්තුතිවන්ත විය යුත්තේ කෙසේද කියා තාරා දැන උන්නේ නැත.

මහිල්ගේ ගීතයන් ද රසබර කෑමද සිහිලැල් වටපිටාවද සිත සනසන නිසාවෙන් හිඳ හුන් පුටුවෙන් නැගිට ගෙදර යන අදහසක් තාරාට තිබුනේ නැත. ගොස් කරන්නට දෙයක් නැත. කතා කරන්නට කෙනෙක් නැත. මෙහි ගෙවෙන එක් සැඳෑවක් එහි වේදනාවෙන් ගෙවෙන දින කිසිවක් හා සම කරන්නට බැරි බව තාරාට සිතුණි. ඉතින් නිවෙඅ බලා යන්නට තාරා සිතුවේ බොහෝ පමාවීය. අනෙක් අතට තමා එනතුරු කිසිවෙකුත් එහි බලා නොඉඳින බව ස්තිරය. 

“අද යන්නෙ නැද්ද? වෙනදට මෙච්චර පරක්කු වෙනකල් ඉන්නෙ නෑනෙ”

“තාරාගේ සැන්විච් පිඟාන සමග ආ අල කූරක් සෝස් වල අතුරගෙන මුව රුවා ගනිමින් මහිල් ඇසුවේය.

“දැන් යනවා. ඔයා එනකම් ඉඳියෙ. නොකිය යන්න හොඳ නෑනෙ”

“හා” කියන්නට මෙන් මහිල් හිස සොලවන්නේ හුරතල් ලෙසිනි. 

සෙමෙන් සැරේ පුටුවෙන් නැගී උන් තාරා  අත් බෑගය ගෙන පඩිපෙල බැස කාරය ඇති තැනට ගියාය. මහිල් සුපුරුදු පරිදි තාරා පිටුපසින් ඇදුණේය. 

කාරයට නැගි තාරා ශටරය පහත් කරේ මහිල්ට සමුදෙන්නටය. තම උසැති ශරීරය නවා ඒ ශටරයෙන් එබුණු මහිල් සුපුරුදු සිත් සනහන සිනහවෙන් බිඳක් තාරාගේ දෙතොල අත තැබුවේය.

“මගෙ නම්බර් එක තියෙනව නේද ලඟ?”

ඒ සුපුරුදු හඬටවඩා වෙනස් රැකවරණයක් ආදරයක් මුසු වූ හඬකි. 

“මම සේව් කරගත්තා”

“මට ගිහිල්ල කියනවද ගෙදර ගියා කියල. මට බයයි”

“ඇයි?”

“මුකුත් නෑ කල්පනා කර කර ඩ්‍රයිව් කරන්න එපා. පරිස්සමෙන් යන්න”

තාරා ඒ මොහොතේ එතනින් නික්ම ගියාට මහිල්ට තාරාව මොහොතකටවත් අමතක කරන්නට හැකි වූයේ නැත.  නිවස බලා එද්දීත්, නිදාගන්නට යද්දීත් තාරාව මොහොතකටවත් සිතෙන් ඉවත් කරගන්න හැකි වූයේ නැත.

තාරා විවාහක බව දැන  ගැනීම සිත තිගැස්සු බව ඇත්තකි. ඇයට ඒ බව තමාට කලින්ම කියන්නට තිබුනා නොවේදැයි සිත සිතන්නට කටයුතු කරත් අනෙක් අතට එය නැතැයි කියන්න කටයුතු කරේත් ඒ සිතමය.

තාරා තමන්ට එය හැංගුවා නොවේ. නොකීවා පමණකි. අනෙක තමා කවදාවත් තාරාගෙන් ඒ ගැන ඇසුවේවත් නෑ නොවේද? 

තාරා නිදි ද නොඑසේනම් තනි වී කඳුලු සලනවාද යන්න තමාගෙන් නින්ද ඈත් කරන බව මහිල්ට සැකයක් නැත. 

ඇය කෙසේදැයි අසන්නට තිබුණා නම් හොඳය. දුරකතනය අතට ගත් මහිල් තාරා හවස ඇය ගෙදර ආ බව පවසා එවා තිබූ වට්සැප් පණිවිඩය සහිත චැට් එක විවෘත කරගත්තේය.

“අයෙ අඬන්න එපා. මට බලන් ඉන්න අමාරුයි තාරා”

ඒ පණිවිඩය එද්දී තාරා උන්නේත් නිදි නැතුවය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles