සුළං සීනු – 12

මා එදා ආවේගයට මුසා පැවසූ බව තහවුරු කර ගන්නට ලෝචනාට උවමනා විය. ඈ ඒ බව විමසමින් නිරතුරු මා සමඟ රැඳුණා ය.

“එදා මට කරපු ජෝක් එක මේ ඔෆිස් එකේ අනිත් අය එක්ක එහෙම කරනවා නෙවෙයි..”

ඈ නිතරම පැවසුවේ එහෙම ය

“අනුන්ට පදයක් හදන්න තියනං මෙතන කට්ටියට තමන්ගෙ උගත්කම් වැදගත්කං මතක නෑ. ඊටපස්සෙ ඕවා සංකල්පටත් ආරංචි කරවයි..”

ලෝචනා අනතුරු හැඟවූවා ය.

“හොඳයිනෙ.මටත් ඕන ඩිවෝස් වෙන්නනෙ. මං නිසල්ට කියනව මං එයාට ආදරෙයි කියල. එතකොට හරිනෙ…”

ලෝචනා මා විහිලුවකට ගෙන හඬ නඟා හිනැහුණා ය. ඇගේ සිනාව තුළ වූයේ මා ගැන කිසිසේත් සැකයක් නැති බව ය. සය වසරකටත් අධික කාලයක් මගේ එකම මිතුරිය වූ ඇයට වංචා කිරීම ගැන මට ඒ මොහොතේ දුකක් දැනුණේ ද නැත.

“ඔය ඩිවෝස් මන්තරේ නං ඉතිං මට අහලා ඇති වෙලා. දැන් ඒක අලුත් වෙලා. ඩිවෝස් වෙලා නිසල් මැරි කරනවා. විහිලු කිරිල්ලේ සීමාවක් තියා ගනිං බං..”

එහෙත් ඈ නැවත මට සමීප වූයේ අනතුරු හැඟවුම් දෑසක් සහිතව ය.

“ඒ උනාට ඔය විකාර සංකල්පට දැන ගන්න එහෙම තියන්න එපා. එයා නිසල්ට කතා කරොත්. නිසල් උඹට බනියි. බැනල නිකං ඉන් නෑනෙ.ලැජ්ජා කරයි.
මට හිතෙන්නේ එයා ඉන්නේ අර පොඩි කෙල්ල ගැන පිස්සු වැටිලා.උඹ ඔහොම විකාර කතා සංකල්ප අවුස්සන්න හිතන් කිව්වා වගේ නෙවෙයි. ඕවා මහ බූමරංග වගේ කතා…”

තිසුරි නිසල්ට ඉතා සමීප වෙමින් පවතින බවක් මට නොදැනුණා නොවේ. මා කණාටු වී කේඩෑරි ව ගිය ගසක් බඳු ය. මල් පිබිදවීමේ අදහසක් හිතේ කොනකවත් නොමැතිව කාන්තාර බිමක ඔහේ ජීවත් වූ මට නිසල් වසන්ත වර්ෂාවක් බඳු කෙනෙකි.මා ඇතුළාන්තයෙන් ගොඩ නැගෙමින් හුන්නේ ඔහුගේ වචන අසමිනි. මිතුරෙකුට වඩා ඔහු මා ගැන සොයා බලද්දී මට ප්‍රේමයක් දැනීමේ අරුමයක් නැත. මම ආදරය කිරීම බොහෝ කාලයකට පෙර අතැර දැමු ගැහැනියක් මි. ඒ වසත් වර්ෂාව මලින් පිරී ගිය බිමක් වෙත ඇද හැලෙන්නට පටන් ගතහොත් මා යළි කාන්තාර වෘක්ෂයක් ව යනු ඇත. මා සිටියේ එහෙව් සිතුවිලි වල පැටලීගෙන ය.අසම්මතය වැරදි බව දැන හුන්න ද නිසල් ගැන සිහින මවමිනි.නිසල්ට ආසක්ත වන්නට හේතු දහසක් පෙන්වා දෙන්නට හැකි වුව ද සංකල්ප ප්‍රතික්ෂේප කරන්නට හේතු අසන්නෙකුට මට දිය හැකි වූයේ ඉතා කෙටි පිලිතුරකි.

“එයා මට ආදරෙත් නෑ. වෙලාවක් හොයා ගන්නෙත් නෑ..”

සංකල්ප මේ කිසිවක් නොදැන ඔහුගේ ඊළඟ විභාගය වෙනුවෙන් වෙහෙසෙමින් සිටියේ ය. ඔහු රිදවන්නට හේතුවක් සහිත වූ බැවින් මා ඔහුට ළං වූයේ ඔහුගේ මුළු හවස් වරුවම අවුල් කර දමන්නට සිතමිනි.

“මට චාරුනීව මීට් වුණා දවසක්..”

ඔහු තිගැස්මක් නැති මඳහසකින් මදෙස බැලී ය.

“එයත් ඔයාව දන්නව ඇති.. කතා කරාද?”

නැතැයි කියන්නට හිස සැලූ මට ඔහුට කියන්නට තවත් දෙයක් විය.

“එයා මෙහෙ ප්‍රයිවෙට් හොස්පිටල් එකේනෙ වැඩ. ඔයා දන් නැද්ද?”

ඈට ඇත්තේ විදෙස් රටක වෛද්‍ය උපාධියක බැවින් ඈ පෞද්ගලික රෝහලක් තෝරා ගන්නට ඇතැයි කී සංකල්ප විදෙස් වෛද්‍ය සිසුන් ලංකාව තුළ මුහුණ පාන ගැටලු ගැන සංවාදයකට මුල පිරී ය. මට ඒ කාරණා වැඩකට නැත. මට ඕනෑ වූයේ ඔහුගේ පළමු පෙම්වතිය දුටු බව කියන්නට ය. ඔහුට රිදේදැයි බලන්නට ය.

“ඔයාට චාරුනීව බලන්න යන්න හිතෙන් නැද්ද සංකල්ප…”

“බලන්න යන්න හිතෙන් නෑ.දැක්කොත් කතා නොකර ඉන්නෙත් නෑ..”

ඔහු පැවසුවේ එබන්දකි.

“මං අතීතෙ ඔලුවෙ පුරවන් ඉන්න මනුස්සයෙක් නෙවෙයි පවී. අපි නොගැලපෙන නිසා කතාබහ කරලා වෙන් වුණු මිනිස්සු. කාලයක් ජීවිතේ ලස්සන කාලයක් බෙදා ගත්තු චාරුට මං මොකටද වෛර කරන්නේ. ඒත් දැන් එයා අතීතයක්නෙ. මගෙ වර්තමානේ ඔයයි සීනුයි. අනාගතෙත් ඔයාලා..”

ඔහු කියන බණ අසන්නට මගේ කැමැත්තක් ඇත්තේම නැත.

“අවසිහියෙන් ආපු ලොරි කාරයෙක් හින්දා සමුගන්නවත් බැරි වෙච්ච අවසානයක් ඔයාටයි දේවකටයි ඉතුරු උනාට අපට තියෙන්නෙ වෙන් වෙන්න ඕනම තැනක ගත්තු තීරණයක්නෙ පවී. ඉතිං අතීතෙ ගැන දුකක්වත් පසුතැවීමක්වත් මට නෑ..”

මම අඳුරු අහස දෙස බලා හුන්නෙමි.” මට නම් දේවකව අමතක වෙන් නෑ..” අනතුරුව මිමිණුවෙමි.

“ඔයාලට වෙන් වෙන්න උනේ ආදරේ නැතුව නෙවෙයිනෙ. ඒකයි එයාව ඔයාගෙ හිතෙන් මැකෙන්නෙ නැත්තෙ.මං ඒක තේරුම් අරන් ඉන්නෙ. දේවක කියන්නේ හොඳ කොල්ලෙක් කියල මාත් දන්නව. මං සරනිගෙන් දේවක ගැන අහලත් තියනවනෙ.සීනු ටික ටික ලොකු වෙනකොට ඔයාගෙ හිත හරියයි.. ඇත්තටම හිතක් හදා ගන්න කාලෙකුත් නෑනෙ. අපි බැන්දනෙ.. “

සංකල්ප අහිතක් නැති හඬකින් එසේ කියමින් යළි පරිගණකයේ ඇස අලවා ගත්තේ ය.

“මං ඔයාට තේ එකක් හදන්නද?”

මම ඔහු රිදවීම පසෙක ලා ඇසීමි.සංකල්ප මා තේරුම් ගත් තරමට මා ඔහුව තේරුම් නොගැනීම ගැන ජීවිතයේ පළමු වතාවට මට ලැජ්ජාවක් දැනෙමින් තිබිණ.මට සංකල්ප දෙස හැරී බලන්නට හේතුවක් සොයා දුන් ඒ ක්‍රියාශීලි තරුණ වෛද්‍යවරිය සොයා ගොස් “සංකල්ප ඉස්සරත් බෝරිං” දැයි අසන්නට හදිසි සිතිවිල්ලක් මට ගත්තේ ය. යළි හැරී ගොස් සංකල්ප වැළඳගෙන “ඔයාට බැරිද මට මීට වඩා දැනෙන්න ආදරේ කරන්න සංක” අසන්නට මට ඕනෑ විය.

නමුත් දෛවය මා හසුරවමින් සිටියේ වෙනත් දිසාවක ට ය.

“පවී, හෙට චුට්ටක් එළියෙදි මීට් වෙමු..මට ඔයාට කියන්න දෙයක් තියනව..”

නිසල්ගෙන් එහෙම පණිවිඩයක් පැමිණ තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles