මා හද මට නැතිවිට – 32

ලාවන්‍යා මිතුරියන් තිදෙනාම සිටින වට්ස්ඇප් සමූහයේ පණිවිඩ එකක්වත් විවර නොකර අනුත්තරාට පණිවිඩයක් යැව්වා ය. එය කෙටි පණිවිඩයක් නොවේ. රචනාවකි. ඉන්ද්‍රා ආන්ටිගේ යෝජනාව ද ඒ ගැන ඇයට සිතුණු දේ ද විවාහයක් වෙනුවෙන් අම්මා බල කිරීම ද ලියන්නට ඇයට සෑහෙන වචන ගණනක් වැය විණ. අනුත්තරා ඒ පණිවිඩය ප්‍රවේසමෙන් කියවූවා ය.

“එයා දැන් ඉන්නේ වේදනාවකින් කියලා මට තේරිලා තියනවා. ඒක ලියෝන්ගේ අම්මා සම්බන්ධ මොකක්ම හරි සිද්ධියක් වෙන්න ඇති. එයා වේදනාවෙන් ඉන්නකොට එයාට ළං වෙන එක කිසිම තේරුමක් නැති වැඩක්.ඒකෙන් වෙන්නෙ එයා වගේම ඔයත්අමාරුවේ වැටෙන එක..”

අනුත්තරා ප්‍රවේසමෙන් පැවසුවා ය. එය ලාවන්‍යාට ගෙන ආවේ සැබෑ වේදනාවකි. භවන්තගේ ප්‍රතික්ෂේප කිරීම සහ සමුගැනීම  ඇයට කෝපයක් රැගෙන එද්දී මේ ප්‍රතික්ෂේප කිරීම ඇයට  ගෙනෙන්නේ වේදනාවකි 

“නිර්වාන් තාමත් සෙනූගෙන් ඔයා ගැන විස්තර අහනවලු. තේජගෙ ගැන එයාට කියන්නයැ. නිර්වාන් හිතන් ඉන්නේ භවන්තයා හින්දා ඔයා තාම ආදරේකට ලෑස්ති නෑ කියලා.”

මිතුරිය සැබෑ ප්‍රේමය මඟ හැරගෙන ඇති බවත් ඇය එය වටහා ගන්නා විට පෙරහැර සෑහෙන දුරක් ගොස් අවසන් බව අනුත්තරාට සිතිණ. ප්‍රතික්ෂේප කිරීම් හමුවේ ලාවන්‍යා භවන්තගෙන් ප්‍රේමය යදින්නට ඇත. නමුත් තේජගෙන් ප්‍රේමය යදින්නට නොහැක. හොඳම ප්‍රේමය ලාවන්‍යාට මඟ හැරුණු බව අනුත්තරාට  වැටහෙන්නේ ද නිර්වාන් කියන දේ අසා හිඳින විට ය. ඔහු හිතේ ඇති දේ සෘජුව පවසන තරුණයෙකි.

“නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය.. එහෙම අහලා නැද්ද ඔයා?”

ලාවන්‍යා එසේ පවසද්දී අනුත්තරා හිනැහුණා ය. ලාවන්‍යා ඇගේ වැඩසටහනෙහි නිතරෝම ඒ ගීතය වාදනය කරන්නී ය.ඇය ආදරය කරන තරුණයා කෙරෙහි උමතු ප්‍රේමයකින් බව රසිකයන් පවා දැන ගන්නා තරමට ලාවන්‍යා ඒ ගීතය තෝරා ගන්නට වග බලා ගන්නී ය.

“මම කියන්නේ මේ වෙලාවේ එහෙම දෙයක් හිතන්න නරකයි. ඔයා ඉන්නේ හොඳටම රිද්දගෙන. තව රිද්දා ගන්න එපා. අනිත් එක එයා ඉන්නේත් රිද්දගෙන.ආදරේ කරන්න බෑ එහෙම..”

කඩයිම් ප්‍රශ්නය නැඟුණේ ඉන්පසුව ය. ලාවන්‍යා ඇගේ වෘත්තිය කටහඬින්ම ඒ ප්‍රශ්නය ඇසී ය.

“සතුටින් ඉන්න කෙනෙක්ටමද ආදරේ කරන්න ඕන? ඇයි තේජට මගේ වේදනා තේරුම් ගන්න බැරි? මට ඇයි එයාට ළං වෙලා ලියෝන්ගේ අම්මා ගැන ඇත්ත දැන ගන්න බැරි?”

කෙනෙකුගේ ජීවිතයට ළං වීම බලහත්කාරයෙන් කරන්නට නොහැකි ය. ඒ පාඩම ලාවන්‍යා හීන් සීරුවේ ඉගෙන ගත යුතු බව අනුත්තරා අවසානයේදී තීරණය කළා ය. සෘජුව සහ වක්‍රව ඇය කිහිපවතාවක්ම ලාවන්‍යාගේ කැමැත්ත ගැන කියා තිබේ. එහෙත් ඔහු ගහක් ගලක් සේ නිහඬව හිඳියි.ඒකපාර්ශ්වික ආදරය හට ගන්නේ එය යථාවක් කළ හැකිදැයි නොහැකිදැයි පෙර මං බලා නොවේ. තේජ කෙරෙහි ප්‍රේමය මෙවැනි වේදනාවක තමා ගිල්වා තබන්නට සමත් වේයැයි ලාවන්‍යා නොසිතුවා ය. නමුත් එය එසේ වී අවසන් ය. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී එය ජීවිතාන්තය දක්වා රහස් හැඟීමක් ලෙස පවත්වා ගන්නට ද තිබිණ.නමුත් එය දැන් එසේ කරන්නට අසීරු වන්නේ  තේජ එය දන්නා හන්දා ය. තවදුරටත් ලැජ්ජාවට පත් නොවී හිඳීම යහපත් ය. ඒ හන්දා ඉන්ද්‍රා ආන්ටි කරන්නට ගිය යෝජනාව නවතා දැමීම නුවණැති ක්‍රියාවක් බව ඇය සිතුවා ය.

මම ඉස්සර වුණු එක වැරදී..”

ලාවන්‍යා එසේ යැවූ පණිවිඩය දෙස අනුත්තරා බලා සිටියේ වේදනාවෙනි. වගීෂ ඇගේ උරහිසට උඩින් දුරකථන තිරය දෙස බලා සිටියේ ය. අනතුරුව පිළිතුර ලියැවුණේ ඔහු අතිනි.

“ආදරේ කරන්න ඉස්සර වෙන්න ඕන කවුද කියල නියමයක් නෑ.ඔයා පොඩ්ඩක්වත් වැරදි නෑ.පසුතැවෙන්න එපා ඒ නිසා.”

ඔහු කිසිවක්ම නොකියා සිටීම සහ දේවල් නොදැන සෙල් රුවක පරිද්දෙන් හැසිරීම දරා ගත හැකි සීමාව ඉක්මවමින් ඇතැයි ලාවන්‍යා ලියා එව්වා ය. ඇය මේ මොහොතේ හඬමින් සිටින්නට ඇති ඉඩ වැඩි බව අනුත්තරා කියද්දී වගීෂ ඇයට අමතන්නට තීරණය කළේ ය.

“අපිට ආදරේ හිතෙන්න පුලුවන් වගේම අනිත් කෙනාට ඒක ප්‍රතික්ෂේප කරන්න හිතෙන්නත් පුලුවන් ලාවි.හැබැයි ඒ ප්‍රතික්ෂේප කිරිල්ල කරන විදියක් තියනව.අනිත් මනුස්සයාව ලේ ගලන තුවාලයක් කරලා ප්‍රතික්ෂේප කරන එක මහ පවක්. සමහරු කරන්නේ එහෙම. අරකි ටෝක් කරන්නවත් ඕන නැති බඩුවක් කියලා වත්ත වටේ කියන එක. තේජ එහෙම කිසිම දෙයක් කියන්නේ නෑ විතරක් නෙවෙයි, අනූ එහෙම දෙයක් ගැන කිහිප වතාවක් කිව්වා කියලා අඟවන්නෙත් නෑනේ. ඒකම ඇති සමාව දීලා හිත හදා ගන්න.”

හදවත ලේ ගලන තුවාලයක වී ඇති බව මිතුරන් පහසුවෙන් වටහා ගැනීම ගැන ලාවන්‍යාට දැනුණේ එක්තරා ආකාරයක සැනසීමකි. වගීෂ මේ ප්‍රශ්නය දෙස බලන්නේ කොලුවෙකුග්වෙ කෝණයකිනි. ඔහු කියන අන්දමට තේජ ඇය ගැන නිර්දය ලෙස දකින්නේ නැත.

“වන්සයිඩ් ලව් එකක් කියන්නේ මේ ලෝකෙ තියන දරන්නම අමාරු වේදනාවලින් එකක් .ඔයා අඩුම තරමේ ප්‍රතික්ෂේප වෙන්න හරි එයාට ඒක දැනෙන්න දුන්නා එහෙම කියන්න ලැබිලත් නැති කවදාවත් කියන එකකුත් නැති අය කොච්චර ඉන්නවද?”

වගීෂගේ ප්‍රශ්නයෙන් පසු ලාවන්‍යා රැකියාවට යන්නට සූදානම් වූයේ ඒ ගැන සිතමිනි. ඇයට අඩුම තරමේ ගෞරවනීය ප්‍රතික්ෂේප වීමක්වත් ලැබී තිබේ.

(ඔයාලාගේ ඒක පාර්ශවික ප්‍රේම කතා ගැන කැමතිනම් Smart Lady සමූහයට ලියලා එවන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles