අකල් වැහි -11

“ඔයා බලල තියනවද තාල මූවි එක..”

ගෙනා කෙටි කෑම වර්ග ද පාන වර්ග ද අරගලයේ නිරත තරුණයන්ට ලබා දී සිතිජ සමඟ සුහද කතාබහක නිරත වෙද්දී හිරුදි විමසුවා ය.සිතිජ ඈ දෙස බැලුවේ සිනාමුවිනි.බැස යන හිරුගේ රශ්මිය මුසු මුහුදු සුළඟ යුවතියගේ හිසකෙස් අවුල් කරන්නට සමත් ය.එය නිතරෝම අතින් සකසමින් කතාබහ කරන ඇය බලා ඉන්නට තරම් අපූරු දර්ශනයකි.

“බැලුවා.මං සාමාන්‍යයෙන් ඕනම ෆිල්ම් එකක් බලනවා.”

හිරුදි ඒ අසා හිනැහුණා ය.සිතිජ සමඟ කතාබහ කරද්දී ඈ වැඩිපුරම පවසා ඇත්තේ මුසාබස් ය.අද ඔහුට එක් සත්‍යයක් කියන්නට ඈ තීරණයක් ගත්තා ය.

“මංනම් බැලුවේ හේමාල් නිසා.මගේ සදාකාලික ක්‍රෂ් එකක් එයා..”

සිතිජ උස් හඬින් හිනැහේ.හේමාල් රණසිංහ ද නිතරම මෙතැන බව කියමින් ඔහු ඒ සිනාව අලුත් කළේ ය.වෙනත් තරුණයෙකුට තදබල ආකර්ෂණයක් ඇතැයි කියද්දී ඔහු එයට සරදමක් හෝ නොකරයි.නමුත් චේතනගේ හැසිරීම එයට සහමුලින්ම වෙනස් ය.

“මොකාද ඕයි ඒ.හූනෙක් වගේ උගෙ කැත විතරක්..”

සිද්ධාර්ත් මල්හෝත්‍රාට පවා චේතන එක් වරක් එසේ පැවසී ය.බොලිවුඩයේ සිහින කුමාරයෙකුටත් වඩා තමන්ට තරුණියන්ගේ ආකර්ෂණය ඇතැයි ඔහු විශ්වාස කරයි.ඒ ධනයෙන් ද බලයෙන් ද අන්ධ වී ඇති හන්දා ය.

“තමුසෙට ඔය හින්දි චිත්‍රපටිවල ඉන්න කොල්ලො ලස්සන වුණාට මේ රටේ කෙල්ලන්ට නම් මම හීන කුමාරයෙක්.”

චේතන දේශපාලනයට එන්නට සැරසෙද්දී “චේතන දේවතිලකට පෙම් කරන කෙල්ලන්ගේ සංසදය” නමින් ෆේස්බුක් සමූහයක් ගොඩ නැඟුණු අන්දම හිරුදිට මතක ය.චේතනගේ පෙනුම කඩවසම් ය.ඇතුළාන්තයෙන් මෘගයෙකු වුවද ඔහුට ඇත්තේ කුමාර පෙනුමකි.රටේ ප්‍රධානින්ගේ පුතුන්ට ද වඩා කාන්තා ආකර්ෂණය ඩැහැ ගන්නට ඔහුට හැකි වූයේම ඒ පෙනුම හන්දා බව හිරුදි විශ්වාස කරන්නී ය.

“ඔයා එක වචනයක් කියලා ලොකු කල්පනාවකට වැටෙනවනෙ.ඇයි ෆිල්ම් එක ගැන ඇහුවේ..”

සිතිජ නෙත් නොපියා තමන් දෙස බලා හිඳින බව සිහිව හිරුදි පියවි ලෝකයට ආවා ය.ඔහු සමඟ වචන තෝරමින් කතා කරද්දී එයට බොහෝ වෙලාවක් ගත වෙන බව කියන්නට සිතුණ ද ඇය ඔහුට පිළිවදන් දුන්නා ය.

“ඒකෙ තියෙන්නෙ සින්දුවක්.මට ඔයාලා දැක්කම ඒක මතක් වෙනවා. පඩිපෙළක යට පඩිය ගැන උඩ පඩිය දන් නෑ කියලා පද පේළියක් තියෙන්නෙ.මට ඒක මතක් වුණා ඔයාලා දැක්කම..”

සිතිජ කිසිත් නොකියා හිනැහුණේ ය.සිහිනයක් ජය ගන්නා රිසින් සටනක නිරත වෙද්දී සියුමැලි යුවතියක මෙසේ පැවසීම ම සතුටකි.සියුමැලි යුවතියන්,කුඩා දරුවන්,ධෛර්යමත් තරුණයන්,පරිණත දෙමාපියන් සියල්ලන්ම මෙතැන ය.
ඔහුට වඩාත්ම සතුටක් දැනෙන්නේ ඒ හන්දා ය.

“ඔයාලා කරපු උදව්වට බොහොම ස්තූතියි හිරූ.”

ඔහු එපමණක් පවසා ඇගෙන් සමු ගත්තේ ය.කරන්නට අප්‍රමාණ දේ ඇති හන්දා ඇයට දෙන්නට බොහෝ වෙලාවක් ඔහු සතු නොවේ.

“පරිස්සමින් ඉන්න.හැමවෙලාවකම පරිස්සම් වෙන්න.”

ඈ එසේ මිමිණුවා ය.නිසල්ගේ නිසලව ගිය සිරුර මතකයේ තිබෙනතුරු ධෛර්යමත් සහ අසාධාරණයට එරෙහි වන්නට සැරසෙන ඕනෑම තරුණයෙකුට ඒ ඉරණම අත්වේයැයි හිරුදිට බිය දැනේ.සිතිජ සම්බන්ධයෙන් ඇයට දැනෙන්නේ තරමක වැඩි බියකි.නිසල් සටන් කළේ ඔහුගේ ආදරය රැක ගන්නට ය.සිතිජ සටන් කරන්නේ ඔහුගේ රට රැක ගන්නට ය.නිසල්ටත් වඩා සිතිජ හිඳින්නේ අවදානමක නොවේදැයි හිරුදිට සිතේ.බිය දෙගුණ තෙගුණ වන්නේ එනිසාම ය.

“නිසල් හිටියානම් එයත් මෙතන ඉඳී නේද නිපූ.”

ඇය මිතුරියගෙන් එසේ ඇසුවේ හදිසියේ ය.නිපුනි මිතුරියගේ උරහිස සෙමින් පිරිමැද කිසිවක්ම නොකියන්නට ප්‍රවේසම් වූවා ය.කියන්නට කිසිවක්ම නොවේ.

“මට මේ අනිත් ගෑනු ළමයි වගේ වෙන්න තිබ්බානම් නිපූ..”

මිතුරියගේ තැන ගන්නට ප්‍රභූ පවුල්වල කෙල්ලන් අතර තරගයක් වූ බව නිපුනි දැන සිටියා ය.තරගයට සහභාගී වන්නට සිහිනයකින්වත් නුවුමනා වූ හිරුදිට දේවතිලක මහත්මිය වන්නට සිදු වූයේ අකමැත්තෙනි.එනිසාම ඇය මේ සාමාන්‍ය ගැහැනු ළමයින් අතර සාමාන්‍ය කෙල්ලක වීම ප්‍රිය කරන්නී ය.කියන්නට නොසිතූ වාක්‍යයක් නිපුනිගෙන් පිට වූයේ ඒ හන්දා ය

“එහෙම වුණානම් ඔයත් බොරු කිය කියා හැංගි හැංගි නෑවිත් මෙතන පදිංචි වෙයි හිරූ..”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles