හද සාගරේ – 6

0
615

දෙව්රම් සන්දනායක එදා උදයෙන් ම අවදි වූයේ ය. අවදි වෙත්දීත් නො පැහැදිලි මීදුමක් සේ  සන්තාප මාත්‍රයක් සිත පුරා ඉහිරී තිබිණි. නමුත් ඔහු ට සියල්ල පැහැදිලිව දැකීමේ දැඩි උවමනාවක් විය. මීදුම් පටලයන් මුළුමනින් පළවා හැර හිත පැහැදිලි කරගන්නට අවශ්‍ය වී තිබිණ. නා පිරිසිඳු වී කාර්යාලයට යන්නට පිටත් වූයේ එබැවිනි. මනස යනු සිතිවිලි ඇති කරන්නා ද සිතිවිලි වල මූලිකයා ද වන බව ධම්ම පදයේ ගාථාවක සඳහන් වේ. නමුත් මනස අයිති වන්නේ අපට බව ද මනසේ මූලිකයා අප බව ද අපි අමතක කරමු. අප මනසෙහි මූලිකයා වන නිසාවෙන් මනස පාලනය කිරීමේ බලවත්කම අප සතු නො විය යුතු ද? හිත හැදුවා නම් සියල්ල හැදුවා වෙයි. දෙව්රම් දවස ආරම්භ කළේ එකී සිතිවිලි තමාට ම ඒත්තු ගන්වමිනි. යන අයට යන්නට හැරිය යුතු වේ. අපෙන් ඈත් වනුයේ අපට තව දුරටත් ප්‍රයෝජනවත් විය නොහැකි දෑ ය. සොබා දහමේ නියතය එයයි. එතැන්හිදී අප කළ යුත්තේ ඒ අහිමි වෙන දේවල් වෙනුවෙන් සන්තාප වඩමින් තැවෙනා එක හෝ ඔවුන්ට වෛර කරන එක නොවේ. සැහැල්ලු සිතින් ඒවා ගිලිහී යන්නට හැරීම ය. එවිට අලුත් දේවල් ජීවිතය වෙතට ආකර්ෂණය වේ. අලුතෙන් යමක් පිරිය හැක්කේ හිස් බඳුනකට මිස පිරුණු බඳුනකට නොවේ. එබැවින් නො අයිති දේවල් හිස් කොට දැමූ විට හිමි දේවලින් දිවි බඳුන් පුරවා ගත හැකි ය. හොඳ ම දේවල් බලාපොරොත්තු විය හැක්කේ ඉදිරියේ දී යයි සිතීම ජීවිතාශාව දල්වයි.

ගෝල්ඩන් ලීෆ් කාර්යාල පරිශ්‍රයට ගොඩ වෙන විට දෙව්රම් ගේ හිත සැහැල්ලුවේ තිබිණ. කැලෑ සතෙකු  වුණත් මෙල්ල කොට හීලෑ කරගත් විට සුරතලෙකු මෙන් වෙයි. හිත ද එහෙම ය. ඒ සතුට විඳින්නට නම් අපට අවැසි පරිදි හිතිවිලි පාලනය කොට පුරුද්දක් ඇති කරගත යුතු වේ.

ඔහු ගේ කාර්යාලය තිබෙන්නේ සිව් වන මහළේ ය. සාමාන්‍යයෙන් වෙනදාට විදුලි සෝපානය පාවිච්චි කරන්නේ වී ද පඩි පෙළ නැගෙනා එක ශරීර සෞඛ්‍යයට යහපත් ලෙස බලපෑ හැකි යයි සිතා ඔහු ඉක්මන් අඩි තබා පියගැට පෙළ නගින්නට වූයේ ය.

ඒ වෙලාවේ ආදියා තේ   අපනයන තොග බර පිළිබඳ සංඛ්‍යාලේඛණ වාර්තාවක් සසඳමින්, එම පිටපත දෙස බලාගෙන පියගැට පෙළ බසිමින් සිටියා ය. මේ වතාවේ අපනයනය කෙරෙනා තේ තොග වල බර, පසුගිය වතාවට වඩා යම් අඩුවක් වාර්තා කරයි. පිටපතට දෑස් යොමාගෙන සිටි බැවින් ඇය එක් පඩියකින් අනෙකට පිය තැබුවේ හෙමිහිට ය. නැවතිල්ලේ ය. පියගැට පෙළ දිගේ දිව එන පියවර හඬක් ඇසිණි ද ආදියා ගේ අවධානය ඒ වෙතට යොමු නොවුණේ කාර්යාල සේවකයන් ඕනෑම වෙලාවක මෙහි ඉහළ පහළ යමින් සිටිනා බව දන්නා නිසා ය. කඩදාසියකට මූණ ඔබාගෙන පහළට එන යුවතියව, පියවර කිහිපයක් එපිටදී ම දෙව්රම් හැඳින්නේ ය. ඇගේ විලාශය එකවර ම ඔහු ගේ මුහුණට සිනහවක් කැඳවන්නට සමත් විය. ඔහු ගේ ගමන් වේගය බාල වූ අතර, ආදියා නම් දෙව්රම් ව දුටුවේ එක ම පඩියක් මත ඔවුන් දෙපැත්තට මාරු වෙන්නට යත්දී ය.

“ගුඩ් මෝනිං”

ඔහු යටතේ වැඩ කරන සේවිකාවකට මුලින් ම උදෑසනට සුබ පතන්නට තරම් දෙව්රම් සරල හා නිහතමානී මිනිසෙකු වූයේ ය. ඔහු ගේ දෙතොල් මත වූ සිනහව ද අව්‍යාජ එකකි. ආදියා පඩිය මත ම පාෂාණිභූත වූවා ය. සිනහවකට ඇය වෙත එන්නට අමතක විය. ඕ දෙව්රම් දෙස බලා සිටියේ බිරාන්තව ය. ඔහු මෙතැන පියගැට පෙළ මත කොයින් ද? විදුලි සෝපානය මිස කිසි දිනෙක ඔහු පියගැට පෙළ භාවිතා කරනු ඇය දැක නැත. ඊටත් වඩා සාමාන්‍යයෙන් දෙව්රම් කාර්යාලයට එන්නේ මඳක් දවල් වී ය. මේ තරම් උදයෙන් නම් එන්නට විදිහක් ම නැත. එසේ නම් මෙතැන මේ ඉන්නේ, ඇයට උදෑසනට සුබ පතන්නේ කවුරුන්ද?

“මොකද බය වෙලා… මාව පේන්නෙ කළු කුමාරය වගේවත්ද…”

දෙව්රම් සිනහවෙන් ම මඳක් හිස නවා ඔහු ගේ ම සර්වාංගය දෙස බැලුවේ ය.

“අ… ගුඩ් මෝනිං මිස්ට දෙව්රම්. අනේ නෑ. මං මේ බැලුවෙ… මිස්ට දෙව්රම් ලිෆ්ට් එක මිසක් ස්ටෙයාකේස් එක යූස් කරනව කියල මං හිතුවෙ නෑ. ඒක නිසා… ඇත්තටම ඒ මිස්ට දෙව්රම්ද කියල ශුවර් කරගන්න බැරි වුණා වගේ”

එවර දෙව්රම් ගේ සැහැල්ලු සිනහව මඳ හඬක් ද ඇති කරමින් නැඟිණි.

“ඔය කොළයක් කියෝ කියෝ පඩි බැහැල අඩිය එහෙ මෙහෙ වුණොත් එහෙම නතර වෙන්නෙ තට්ටු දෙක තුනක් පහළ හොඳේ”

“මං මේ බල බල ගියේ… මේ සැරේ එක්ස්පෝට් කරන ස්ටොක් එකේ  වේට් එක ගොඩක් අඩු වෙලා මිස්ට දෙව්රම්”

“අ… අ…ලි…”

ආදියා ගේ නම මතක් කරනා උත්සාහයක් සමගින් දෙව්රම් සිනහවකින් ඇගේ මුහුණ මත නෙතු          රඳවාගත්තේ ය. ඒ සිනහවේ වූ අසරණ බව දැක ආදියා ගේ මුහුණට සිනහවක් නැඟිණි.

“අලියා නෙවෙයි ඉතිං… ආදියා”

“අන්නහරි. ආදියා. ඔය රිපෝට් එකත් අරං මගෙ කැබින් එකට එන්නකො ඔයා ඔය යන වැඩේ ඉවර කරල”

“ඕකේ මිස්ට දෙව්රම්”

උදේ පාන්දරින් ම එහෙම පිණක් පල දුන්නේ සැලකිය යුතු වාසනා මහිමයක් නිසා යයි සිතන්නට ආදියා කැමති වූවා ය. ගිය වැඩේ හරි ඉක්මනින් අවසාන කළ ද ඇය ආපසු අසුනට පැමිණෙන විට දෙව්රම් සිටියේ දුරකතන ඇමතුමක යි. ඇය වීදුරු කුටිය ඉදිරියෙහි පේන්නට සිටියදී ඔහු අතින් කතා කළේ ය. මේ කුටිය තුළ වන්නේ ආදියා කැමති ම සුවඳකි. ඒ සුවඳ සීතල ය. සංකේත් සමගින් දුරකතන සංවාදය නිමා කළ දෙව්රම්, අසුන මේසය ළඟට ම ඇද, දෑත් ලං කොටගෙන ආදියා දෙස බලා ලස්සනට සිනහ වූයේ ය. ඒ සිනහවට උමතු වී ඇය සිහිසන් ව බිම ඇද වැටේවි ද යන සාධාරණ සැකය ඇති වූයෙන් ආදියා මේස දාරයක් අල්වා ගත්තා ය.

“එක්ස්පෝට් කරන ටී ස්ටොක් එක අඩු වෙලා කිව්ව නේද…”

දෙව්රම් එසේ විමසූයේ ඔහු අභියස වන අසුන ආදියා ට අතින් පෙන්වමිනි. ඔව් යි වාචික ව නො කියා, හිස ඉහළ පහළ සලමින් ඇය ඒ සංඛ්‍යාලේඛණ වාර්තාව ඔහු ඉදිරියේ තැබුවා ය. මේ නම් සිහිනයක් ද කියා සිතන්නට වෙන තරම ය. කෙතරම් මිත්‍රශීලී පුද්ගලයෙකු වුව දෙව්රම් කාර්යාලයේ සගයන් සමගින් ලොකු ඇසුරකට යන්නේ නැත. අනේක වාරයක් ඔය කුටිය තුළට ගොස් ඇත ද ඔහු අසුන්ගන්නට ඇරයුම් කළ මතකයක්, මීට පෙර තිබුණා කියා ඇයට සිහි කරගත නො හැකි ය. සැබවින් දෙව්රම් ට අවැසි වී තිබුණේ යම් කාලයක් ඉදිරියට යාගන්නටයි. ඒ සඳහා මිනිසුන් සමග කතා බහ කිරීම හොඳ ම මාර්ගයක් වන බව ඔහු දැන සිටියේ ය. නමුත් මේ වූ කලී මිනිසුන් ඔහු දෙස වපරැසින් බලනා සමයකි. රංගන ක්ෂේත්‍රයෙහි අය පමණක් නොව ශ්‍රී ලාංකික රසික ප්‍රජාව ද මේ වන විට සපූ ව මුළුමනින් විශ්වාස කරමින් ඔහු ව දඬුකඳේ ගසා ඇති බව දෙව්රම් නො දන්නවා නොවේ. ඔහු කිසිවෙකු ට නිදහසට කාරණා කියන්නට ගියේ නැත. පසු ගිය දින දෙක තුළ පත්තර වලින් ද යූ ටියුබ් නාලිකා වලින් ද රූපවාහිනී නාලිකා වලින් ද සම්මුඛ සාකච්ඡා සඳහා වෙලාව ඉල්ලා සිටින්නට බොහෝ ඇමතුම් පැමිණියේ ය. නමුත් දෙව්රම් පැවසූයේ මේ වෙලාවේ ඔහු ඊට සූදානම් නැති බවයි. ඒ ගැන වඩාත් කෝප ගත්තේ සංකේත් ය.

“උඹනං මහ මීහරකෙක්. උඹට තියෙන්නෙ ඔය චැනල් එකකට දෙකකට ගිහිං ඔය බැ ල් ලි ව නැති කරලම දාන්න. ප්‍රසිද්දියෙ ඕකිගෙ රෙදි ගලවන්න. උඹ සද්ද වහල ඉන්නකොට මිනිස්සු වුණත් හිතන්නෙ ඒකි හරි උඹ වැරදියි කියල. ඇත්තටම උඹ ඒ ගම්බට්ටිට ජෙලස් නිසා ඒකි උඹව ඩිවෝස් කළා කියල. අඩු ගානෙ ඔය පේජ්කාරයො ටිකක් අල්ලගෙන හරි ඇත්ත එළිකරන්නයි තියෙන්නෙ”

“උඩ බලාගෙන කෙළ ගැහුවොත් වැටෙන්නෙ මූණටයි කියල සපූ දන්නැති වුණාට මං දන්නව සංකේත්. ඒක නිසා ඇත්ත එළි කරන්න කියල අපි අමුතුවෙන් කලබල වෙන්න ඕන නෑ. නියම වෙලාවෙදි ඇත්ත එළි වෙයි. ඇත්ත දැනගෙන නොදන්නව වගෙ ඉන්න එකෙත් ආතල් එකක් තියනවනෙ බං. දැනට අපි ඒ ආතල් එක ගමු”

දෙව්රම් ගේ අදහසක් වෙනස් කළ නො හැකි බැව් සංකේත් දනී. ඔහු නිහඬ වූයේ එබැවිනි. කොහොමටත් දෙව්රම් වූ කලී ආත්මීය වශයෙන් ශුද්ධවත් මිනිසෙකි. ඔහු කියනා දෙයක් නොකර ඉන්නේ නැත. කළ නො හැකි දෙයක් කියන්නේ ද නැත. කළ දෙයක් නොකළා යි කියන්නේත් නැත. නො කළ දෙයක් කළ බවට පිළිගන්නේ ද නැත. ඔහු ගේ ඍජු ප්‍රතිපත්ති පිළිබඳව ඔහු සමග වැඩ කළ හැම කෙනෙක් ම මැනවින් දැන සිටියහ. එබැවින් දෙව්රම් සන්දනායක වූ කලී රංගන ක්ශේත්‍රය තුළ නම කැත කර නො ගත් ශිල්පියෙකි.

“හ්ම්‍. මේ විදිහට ටී ප්‍රඩක්ශන් එක අඩු වෙන එක ගැන ඔයාට මුකුත් අදහසක් තියෙනවද…”

සංඛ්‍යාලේඛණ වාර්තාව දෙස බලා සිටීමෙන් පසු දෙව්රම් ඇසූ පැනයෙන් ආදියා ට සිනහ නැඟිණ.

“නෑ”

“තේ ගැන මොනාද දන්නෙ…”

“බොනව කියල”

“පුදුමයි ඒකවත් දැනං හිටිය”

දෙව්රම් අසුනෙහි හරි බරි ගැහුණේ ය. ආදියා සැහැල්ලුවෙන් සිනහ වූවා ය. ඔහු ඇයට මේ තරම් සුවපහසු කලාපයක් තනා දෙනු ඇතැයි සිහිනයෙන්වත් ඈ නො සිතුවා විය යුතු ය.

“මදැයි ඒකවත් දන්න එක… නේ…මෙහෙමයි අ…”

“ආදියා”

“ආදියා. අපි මොකක්හරි ෆීල්ඩ් එකකට එනවනං වැදගත්ම දේ මුලින්ම අපි ඒ ෆීල්ඩ් එක ස්ටඩි කරන එක. අපේ ෆීල්ඩ් එක ගැන මහ ගොඩක් දේවල් නැතත් ටිකක් හරි අපි දැනං ඉන්න ඕනෙ. දැන් මේ ටී ප්‍රඩක්ශන් එක අඩු වෙන්න හේතු කීපයක්ම තියනව. වැදගත් ම දේ තේ ගස් වලට හොඳ සාත්තුවක් ඕනෙ. නිතරම පස පොහොර කරන්න ඕනෙ. තේ දල්ල ගුණාත්මක වෙන්නෙ එතකොට. ප්‍රඩක්ශන් එක වුණත් එතකොට වැඩි වෙනවනෙ. අනිත් එක ඔය වතු සේවක ප්‍රශ්නත් බල නොපානව කියන්න බෑ. හැම තේ දල්ලකට ම පිටිපස්සෙන් ඒ මිනිස්සු ඉන්නව. එයාලගෙ ප්‍රශ්න එදා ඉඳල අදටත් තවම එහෙමමයි. ඕනම ෆීල්ඩ් එකක ප්‍රඩක්ශන් එක හොඳ වෙන්නනං ඒක පිටිපස්සෙ ඉන්න මිනිස්සු සැටිස්ෆයිඩ් වෙන්න ඕනෙ. ඒ මිනිස්සු එයාකාර දුක් විඳිද්දි අපේ ටී ප්‍රඩක්ශන් එක මෙහෙම තියන එකත් ලොකු දෙයක්. නයින්ටීන් නයින්ටි ෆයිව් අපි ලෝකෙ තේ නිෂ්පාදකයො අතරෙං අංක එක. ලෝකෙට වැඩියෙන්ම ටී එක්ස්පෝට් කළේ අපි. කොච්චරද කියනවනං ලෝකෙ මුළු තේ නිෂ්පාදනයෙන් සීයට විසි තුනක්. හැබැයි දැන් අපි හතරවෙනි තැනට වගේ පහුබැහැල ඉන්නව”

“ඉතිං මිස්ට දෙව්රම්… තේ දලු කඩන්න මැශින් ගෙනාවනං ඔය වතු සේවක ප්‍රශ්න අඩු කරගන්න පුළුවං වෙයිනෙ. මං කියන්නෙ… කාර්යක්ෂමතාවත් වැඩි වෙයිනෙ…”

කල් බලා තමන් ගේ මුවින් පිට වූයේ මෝඩ ම කතාවක් යයි ආදියා ට සිතුණේ දෙව්රම් ගේ මුහුණේ ඇඳුණු සිනහව දුටු විටයි.

“ප්‍රඩක්ශන් එක වැඩි වෙයි. හැබැයි ඒ ප්‍රමාණාත්මකව. මොකද පළපුරුදු අතකින් කැඩෙත්දි එයාල තෝරගන්නෙ අන්තිම දලු දෙකයි අංකුරයයි විතරයි. තේ වල රසම කොටස තමයි ඒක. මැශිනරි දලු කැඩුවොත් එහෙම තේරීමක් වෙන්නෙ නෑ. එතකොට මෝරපු කොළයි නටුයි අතුකෑලියි ඔක්කොම කැඩිල එන්න පුළුවන්. ප්‍රමාණය වැඩි වුණාට ඒකෙන් වෙන්නෙ අපේ ටී වල ගුණාත්මක බව අඩු වෙන එක. සිලෝන් ටී කිව්වහම ලෝකෙ පුරා අපේ තේ වලට තියන තත්වයට ඒක ඩැමේජ් එකක් වෙන්න පුළුවං ආදියා”

ආදියා ගේ දෙතොල් පෙති මලක් සේ පිපිණි. දෙව්රම් ආයාසයකින් තොරව මතකයෙන් ඇගේ නම කී ප්‍රථම වතාව එයයි. ඔහු ගැන ඇගේ හිතේ වූ දැවැන්ත බව තවත් විශාල වූවා සේ ආදියා ට දැනිණ. දෙව්රම් සන්දනායක වූ කලී වාණිජ චිත්‍රපට වල පෙම්වතා වූවාට ඔහු නිකං ම සීනි බෝල නළුවෙකු නොවේ. මිස්ට යුනිවර්ස් වූ නිසා මේ සුවිසල් තේ සමාගමේ ඉහළ ම තනතුරක් ලැබුණාට, තේ කර්මාන්තය ගැන ද ඔහු මැනවින් අධ්‍යයනය කොට ප්‍රමාණවත් දැනුමක් ලබා ඇති බව පෙනේ. සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු ට අසභ්‍ය වචනයෙන් බණිනා තරුණ ප්‍රජාවට දෙව්රම් ඉදිරියෙහි ඔහු ගේ ක්ෂේත්‍රයන් ගැන හිස කෙළින් තබාගෙන කතා කරන්නට හෝ හැකි වනු ඇත්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here