වියෝ ගී ගැයෙනා හදේ – 3

0
756

පෙත්මලීගේ පේරන්ට්ස් මීටින් එකට තමන්ට යන්නට බැරිවෙච්ච එක වරදක් බව දන්න නමුත් චිරත් උන්නේ හිත ඇතුලෙන් මේධාවිණී කිව්ව හැමදේම කිරා මැන බලන ගමන් ය. තමන් මේ හැමදේම කරන්නේ මේධාවිණිත් පෙත්මලීගේත් ජීවිතේ මීට වඩා සුඛිත මුදිත කරන්න බව දන්න නමුත් මේධාවිණීගේ ඔලුවට ගිණි ගෙඩි දාන්නේ ඇගේ අම්මා බව චිරත් නොදන්නවා නොවේ.  ඒ අම්මා කැම්පස් යන කාලේ ඉඳන්ම කලේ තමන්ගෙත් මේධාවිණීගේත් ආදරේ කඩා කප්පල් කරන්න බව චිරත්ට රහසක් නොවේ. 

“ඔයා කොච්චර මගෙ පැත්තට කතා කරත් මම හිතන්නෙ නෑ බබා ඔයාලගෙ අම්මා අපේ මැරේජ් එකට කවදාවත් කැමති වෙයි කියල. එක පැත්තකින් ඉතින් ඒ මිනිස්සු අසාධාරණ නෑ. මොන අම්මා තාත්තද කැමති තමන් මේ දෙන්න පුලුවන් උපරිම සැප දීලා හදපු දරුවව මං වගේ එකෙක්ට දීලා දුක් විඳිනවා බලන්න. ඒ නිසා ඔයාත් මම කියන්නෙ ආයෙ පාරක් මේක ගැන හිතලා බලන්න. අෆෙයාර් එකකින් බ්‍රේක් අප් වෙන එක ලේසියි නේද කසාද බැඳලා අපිට වෙන්වෙන්න උනොත්?”

කියා තමන් එදා කියද්දී මේධාවිණි දැරුවේ අදට වඩා සෑහෙන වෙනස් අදහසක් බව චිරත්ට අමතක නැත.

“මොන දේ උනත් මම මේ අෆෙයාර් එක නතර කරන්නෙ නෑ චිරත්. අපේ අම්මල හිතන්නෙ සල්ලි ගොඩගහන එක තමයි ජීවිතේ කියන්නෙ කියල. අම්මිට මතක නෑ තාත්ති උනත් ඔය අද ලොකුවටම පේන බිස්නස් ගොඩනගන්න තරුණ කාලෙ සෑහෙන මහන්සි වුණා කියන එක. එහෙම එකේ එයාලා ඔයාට මෙහෙම කතා කරන එකට ඇත්තටම මම කැමති නෑ. එයාලා මොන දේ කිව්වත් අපේ අෆෙයාර් එකවත් මැරේජ් එකවත් නොවී තියෙන්නෙ නෑ. ඔයා කැමති නම් මට ඒක විතරයි වැදගත්.” කියා මේධාවිණී එදා කිව්වට අද ඒ කතා සියල්ලම වෙනස් වී ඇති බවක් චිරත්ට නොතේරෙනවා නොවේ. 

පෙත්මලීගේ පාසලේ පේරන්ට්ස් මීටින් එකට දෙමව්පියන් දෙදෙනාම සහභාගි විය යුතු බව පාසලෙන් දන්වා එවා තිබුනේ දරුවෙකුගේ ඕඩියන්ස් එක වෙන්නට අම්මාත් තාත්තාත් දෙදෙනාටම වගකීමක් සහ යුතුකමක් තිබෙන බව පාසලේ කලමනාකරණය හිතපු හන්දාය. කොහොමත් පෙත්මලීගේ පාසලේ පේරන්ට්ස් මීටින් එකට පෙත්මලිගේ පංතිවල දරුවන්ගේ අම්මාත් තාත්තාත් දෙන්නාම සහභාගි වන බව මේධාවිණි නොදන්නවා නොවේ.එහෙත් කොච්චර එන්න කිව්වත් මේ එක පේරන්ට්ස් මීටින් එකකටවත් එන්න චිරත්ට ඉඩක් ලැබුනේ නැත.

“මට එන්න විදියක් නෑ බබා, ඔයා ටීචට කියනවද මම ඇත්තටම ඇපොලොජයිස් කරා කියලා ඒකට. මට අද සෑහෙන ක්ලයන්ට් මීටින්ස් වගයක් තියෙනව. හවස අර අලුත් බිස්නස් එකට බිල්ඩින් ස්පේස් එකක් බලන්න යන්නත් තියෙනව. කොහොමත් මම එද්දි අදත් රෑ වෙයි” කියා චිරත් ඉස්සර කියද්දී නම් “අනේ ඇත්තටම එයා මෙච්චර මහන්සි වෙන්නෙ අපි වෙනුවෙන්නෙ”

කියා හිතුවට අම්මා නිතර දෙවෙලේ කතා කර කියන්නට යෙදුණ කාරණා එක්ක තවදුරටත් චිරත් දිහා පරණ විදියට බලන්න හැකියාවක් මේධාවිණීට තවදුරටත් තිබුනේ නැත. 

“තමන්ගෙ දරුවෙක්ගෙ දේකට සහභාගි වෙන්න බැරිනම් ඒ තාත්ත කමෙන් වැඩක් තියෙනවද? ඔයාගෙ මොන දේටද කියන්නකො පොඩි කාලෙ ඉඳලා තාත්ති නැවිත් ඉඳියෙ. මට එන්න බැරිඋනත් තාත්ති කවදාවත් කිසිම දවසක ඔයාගෙ වැඩක් මිස් කරලා නෑ. අන්තිමට බලද්දි ළමයො ඔයාටයි දරුවටයි දෙන්නටම ඔය මනුස්සයගෙන් කිසිම ප්‍රයෝජනයක් වෙලා නෑනෙ.”

 කියා අම්මා කියද්දී මේධාවිණී වෙනදා වගේ ඒකට විරුද්ධව දෙයක් කියන්න නොගියේ මොන දේ උනත් අම්මා කියන දේ බොරුවක් නොවන බව හිමින් හිමින් හිතට තේරෙන්න පටන් අරගෙන තිබුණ නිසාවෙන් ය. එහෙත් චිරත් ගැන ආදරේ හිත අස්සේ පිරී තිබෙන නිසාවෙන්ම චිරත්ට විරුද්ධව දෙයක් කියන්න කට නොඇරියත් හිත තිබුනේ දෙපැත්තම කිරා මැන බලමින් චිරත්ගේ පැත්තටත් අම්මාගේ පැත්තටත් කතාකරමින්. තමන්ගේ හිත එක්කම තර්ක කරමිනි. 

“හැමදාම පේරන්ට්ස් මීටින් වලට මිනිස්සු මගෙන් ඇවිල්ලා අහනවා කෝ හස්බන්ඩ් කියලා. ඒවට උත්තර දෙන්න ඕන මමනෙ චිරත්. ඔයාගෙන් මිනිස්සු ඇවිල්ලා අහන්නෙ නෑනෙ ඇයි ආවෙ නැත්තෙ කියල.හැම තැනකදිම අන්තිමේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නෙයි. බොරු දාහක් කියන්න වෙන්නෙයි මටනෙ. ඔයාලට ඒව තේරෙන්නෙ නෑ. ඔයාලා හිතන්නෙ මේ මම හරි සන්තෝසෙන් ජීවත්වෙනවා කියලා.

ඔයාට දෙයක් කිව්වම ඔයා හැමතිස්සෙම හිතන්නෙ මම මේ ඔයා එක්ක රණ්ඩු වෙන්න බලාගෙන දේවල් කියනවා කියලා. මට නම් ඇත්තටම එපා වෙලා තියෙන්නෙ චිරත් මේ ජීවිතේ. කසාදෙ කියන්නෙ මෙහෙම දෙයක් බව දන්නවනම් ඇත්තමයි කසාදයක් කරගන්න තියා මම කොල්ලෙක් එක්ක යාලුවෙන්නවත් හිතන්නෙ නෑ” කියා තමන් ඇඟට කඩං පනිද්දී චිරත් ගෙදර ඇවිත් ඉන්නේ මහන්සි වෙලා බව මේධාවිණීට වෙනදා වගේ සිතන්න පුලුවන් උනේ නැත. 

“ඔයාගෙ ඔලුව විකාර කරන්නෙ වෙන කවුරුවත් නෙවෙයි මේධා ඔයාගෙම අම්මා. මොන මල විකාරයක්ද මේක? මහන්සිවෙලා ගෙදරට ආව ගමන් ඔයත් කරන්න හදන්නෙ ඇඟට කඩන් පනින එකනෙ. මට නම් දැන් එපා තියෙන්නෙ. මං මේ දවස තිස්සෙ නැහෙන්නෙ මට තනියෙන් බුදුවෙන්න නෙවෙයි, තමුන්වයි දරුවවයි දෙන්නවම උඩට අරගෙන උන්න. 

මං ඔයාට කියලා නෑනේ මාත් එක්ක ඇවිල්ලා මෙතන මේ ක්ලයන්ට්ලව හම්බෙන්න යන්න කියලා, අනික ඔයායි ඔයාගෙ අම්මයි දෙන්නා නිකන් හරියට කතාකරන්නෙ මම මේ ඔයාව බලෙන් රස්සාවකට දැම්මා වගේනෙ. ඔයාට විතරක් තනියෙන් මහන්සි වෙන්න බැනෙ, මමත් ජොබ් එකකට ගියාම ඔයාට ඒක ලොකු සපෝට් එකක්නෙ කියලා රස්සාවකට යන්න නැහුනෙ ඔයා මිසක් මම ඔයාව බලෙන් එක්කරගෙන ගියේ නෑනෙ රස්සාවකට.

 නිකන් මුල අමතකයි වගේ හැසිරෙන්න එපා මේධා. බුදු වෙන්න යන මිනිහෙක්ට උනත් එපාවෙනවා ගෙදර ඉන්න ගෑණි හැමතිස්සෙම මුස්පේන්තු පාටට ඉන්න ගියාම.වෙන මිනිස්සුත් මේ වගේ මහන්සිවෙලා රෑ වෙලා තමයි ගෙදර එන්නෙ. උන්ගේ ගෑණු ඔහොම නාහෙන් අඬන්නෙ නෑ.

ඔයායි ඔයාගෙ අම්මයි හිතාගෙන ඉන්නෙ මෙතන මම මේ රෑ තිස්සෙ එලියට ගිහින් වෙන ගෑණු එක්ක ලැගලා එනවා වගේනේ.

ඔයාගෙ අම්මට කියන්නකො දවසක ඔය කියන ඒව ඔක්කොම මට කියන්න කියලා. මම දෙකක් අමතන්න හොඳට අනුන්ගෙ පවුල් ජීවිත අස්සෙ ඇඟිලි ගහනවට වයසට ගිහිල්ලා බණක් භාවනාවක් කරගන්නෙ නැතුව” කියා චිරත් කියද්දී මේධාවිණීට දැනුනේ මෙච්චර වෙල චිරත්ව හිත අස්සේ “අනේ එයා මහන්සිවෙන්නෙ අපි වෙනුවෙන් නෙ” කියා එල්ලාගෙන උන් අන්තිම රැහැන් පටත් ගිලිහුනා කියාය. අත ඉස්සුණේත් ඇඟිල්ලක් උරුක් වී ඒ ඇඟිල්ල චිරත් වෙත යොමු උනේත් නොසිතා ය. කෝපයෙන් ය. වේදනාවෙන් ය.

“චිරත් මේ තමුන් මට ඕන දෙයක් කියන්න. හැබැයි මගේ අම්මිට නම් මුකුත් කියන්න හිතන්න එපා. ඔයා මෙතන මේ ගෙදර එක තප්පරේකටවත් නැති එකේ ලෙඩක් දුකක් හැදුණමත් අපිව බලන්න, ඩොක්ටර් කෙනෙක් ලඟට එක්කරගෙන යන්නවත් අපිට හිටියෙ අම්මි විතරයි. ඔයාලගෙ පැත්තෙ නෑයන්ට නම් අපිව ඉතින් මතක් වෙන්නෙ මොකක් හරි උදව්වක් පදව්වක් කරගන්න ඕන උනාම විතරනෙ. මට ඒව අමතකයි කියලා හිතන්න එපා.

කසාද මිනිහා කියල පෙන්නන්න එකෙක් නෑ මට. මරණෙටයි මගුලටයි කඩේටයි ඉස්කෝලෙටයි ඔක්කොම ඒවට නැහීගෙන මම යන්නත් ඕන. තව ඒවට මම කතා අහන්නත් ඕන. ඒ මදිවට මේ කොහෙවත් ඉන්න මගෙ අහිංසක අම්මිවත් අල්ලගෙන ඒ මනුස්සයටත් කතා හදනවා. ලැජ්ජ නැද්ද චිරත්” කියා මේධාවිණී කියද්දි චිරත් උන්නේ ඇත්තටම කෝපයෙනි. 

එදා රැයේ කෝපයෙන් ගෙදරින් පිටවෙච්ච චිරත් නැවතුනේ යාලුවෙකුගේ නවාතැනේය. පෙත්මලී නිදාගත්තයින් පස්සේ චිරත්ට කොච්චර දුරකතන ඇමතුම් දුන්නත් ඔහු ඇමතුම හා සම්බන්ධ නොවූ තැන මේධාවිණී නින්දට ගියේ හැඬූ කඳුලින් ය. චිරත් දැන් මෙහෙම කරන්නේ ඇත්තටම අම්මා කියන විදියට චිරත්ට තමන්ටත් දුවටත් වඩා බිස්නස් එක ලොකු හින්දා බව නොහිත ඉන්න මේධාවිණීට පුලුවන් උනේ නැත.

රැයේ හොඳටම අඬා රෑ දෙගොඩහරියත් පහු වී නින්දට ගිය මේධාවිණීට උදේ ඇඳෙන් නැගිටින්න බැරිවුනේ දරාගන්න බැරිවෙච්ච හිස කැක්කුමත් උණත්, වමනෙත් නිසාය. අම්මා ඇඳට වී කෙඳිරි ගගා ඉද්දි ඔක්කොටම වඩා කලබල උනේ පෙත්මලී ය. අම්මා ලඟටම වී උන්නත් කරන්න ඕන කුමක්ද කියා හිතාගන්න බැරිවෙච්ච එක වසරේ උන්න පොඩි බටු කෙල්ලට කරන්න පුලුවන් වෙච්ච එකම දේ අම්මා ලඟට චූටි අතින් ඔලුව අතගාන එක පමණකි. 

චිරත් දැන් දැන් කෝල් කරාවි කියල හිතුවත් ඇමතුමක් දුන්නේ චිරත් නොවේ. මේධාවිණී අම්මාට දුරකතන ඇමතුම ගත්තේ හිස කැක්කුම දරාගන්න බැරි තැනමය. 

කෙල්ලෙක්ට හිත සනසගන්න වගේම වරුවක් උනත් අඬා හිත නිදහස් කරගන්න පුලුවන් එකම තැන අම්මා ලඟ පමණක් බව මේධාවිණිට හිතුනේ දුරකතන ඔස්සේ “බබා ඔයාට කොහොමද?” කියා අම්මාගේ කටහඬ ඇහෙද්දීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here