ජීවිතය  කවියක් නොවේ – 4

0
4374

ජීවිතයේ පැතූ  බොහෝ දේ තමාගේ ගිලිහී ගියේ බලා සිටියදීයැයි  නිර්මිතාට සිතිණ.එහි පළමු තැන වූයේ නිපුණය. වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහායැයි පවසමින් ඇමරිකාවට ගිය ඔහු යළිත් සිය රටට නොපැමිණ එහි නතර වූයේ නිර්මිතා සිය ජීවිතය ගැන සිහින එකතු කරමින් සිටියදීය.එවකට ඇය විශ්ව විද්‍යාලයෙන් සමුගෙන සිටියාය.වාසනාවකට මෙන් නිර්මිතාටත් හසාරාටත් රැකියාව ලැබුණේ එකම පුද්ගලික ආයතනයකය.දෙදෙනා රැකියාවන් වලට ඉල්ලුම් කළේත් එකටමය.තම දුක පවසමින්  පැය ගණනක්,  දින ගණනක් , මාස ගණනක් ඇගේ උරහිසෙහි හිස හොවාගෙන හඬා වැටුණු අයුරු නිර්මිතාට සිහි වූයේ ඒ හදිසියේමය.

එතැන් සිට මේ ජීවිතයට සිදු වූ සියල්ලම අහිමිවීම්ය. කිසිදා විවාහ නොවන්නට තමා ගත් තීරණය දිගු කලක් තිස්සේ රැක ගන්නට ඇයට හැකියාවක් නොවූයේ ඇයත් හසාරාත්  සේවය කළ පුද්ගලික ආයතනයට පැමිණි ගණුදෙනුකරුවෙකු වූ කසුන් නිසාය.ඔහුව අහිමි කරගන්නට සිතක් නොවූ යුවතිය ඉක්මන් වූයේ ඔහුව තේරුම් ගැනීමට නොව විවාහයකට පිවිසෙන්නට.ධනංජයවත් හසාරාවත් මෙවර ඇයට හරස් නොවුණේ ඒ හොඳම තීරණයයැයි විශ්වාස කළ නිසාය.එහෙත් නොගැළපීම් දහසක් ගලපා ලන්නට උත්සාහ කළ තරුණ යුවළට බොහෝ කලක් ඉක්ම යන්නට මත්තෙන් ඔවුනොවුන්ව එපා වී තිබිණ.එදත් හසාරාට අසන්නට සිදුවූ නඩු බොහෝ විය.යෙහෙළියක ලෙස හෝ ඔවුන්ගේ පවුල් ජීවිතයට මැදිහත්වීමේ සීමාව අභියස හසාරා නතර වූවාය.

“ අනේ මන්දා එයාට පිරිමි යා දෙන්නේ නැද්ද කියලා..”

අවසන හසාරා ධනංජය හා පැවසුවේ යෙහෙළිය ගැන සැබෑවටම උපන් අනුකම්පාවකින්ය.

“ මේ විදිහට රණ්ඩු වෙවී එකට ඉන්න එක තේරුමක් නෑ. මම නං කියන්නේ ඒ දෙන්නට වෙන් වෙන්න කියලා…”

ධනංජය සෑම විටකම එසේ පැවසුවත් හසාරා උත්සාහ දැරුවේ මිතුරියත් ඇගේ සැමියාත් එක්කරන්නටය..ඒ වෙනුවෙන් ඇය දෙපාර්ශවයේම  දුක් ගැනවිලි අසා සිටියාය.යෝජනා , චෝදනා දරා උන්නාය.එහෙත් නිර්මිතා කසුන්ගෙන් ගුටිකා රෝහල් ගතවද්දී හසාරා තම යෙහෙළිය වෙනුවෙන් නොබියව පෙනී සිටියාය.ඕ ඇගේ සැමියාට කෙලින්ම චෝදනා කළාය.

“ හැමදේම නැති වුණේ මට… මං නිකම්ම නිකං ගෑණියෙක් දැන්…හැබැයි හොස්ටල් එකේ මාත් එක්ක එක ඇඳ බෙදා ගත්තු හසාරා ජීවිතේ හැම දේම ලැබිච්ච ගෑණියෙක්…හැම දාම  එයා ළඟදි මම සකන්ඩ් උනා.මට ලැබිච්ච දෙයක් නෑ..”

යළිත් නිර්මිතා තම හිසකේ  අදිමින් කෑ ගසා පැවසූයේ අම්මා ඇයත් පමණක් ජීවත් වූ කුඩා නිවස දෙවනත් කරමින්ය.වරින් වර ඈ තුලින් මතුවන මේ හැසිරීම් රටාව චන්ද්‍රාට නුහුරු නුපුරුදු එකක් නොවේ.එනිසා පෙර මෙන් දැන් ඇයව සන්සුන් කරන්නට හෝ ඇය හා දුක බෙදා ගන්නට චන්ද්‍රා ඉක්මන් වන්නේ නැත.අවසන වෙහෙසකර අයුරින් සිමෙන්ති පොළවේම වැතිරුණු නිර්මිතා දෑස් වසා ගත්තේ තමාටම සාප කර ගනිමින්ය.⁣වෛර්ණ විදුලි බුබුළු මැද උන් හසාරා මල් කළඹවල් , සම්මාන අත දරාගෙන දිළිසෙන අයුරු ඒ දෑස් රිදවමින් යළි යළිත් ඒ දෑස් මානයේ මැවී නොපෙනී යන්නට විය.

ඒ යාන්තමින් වැටුණු හිරු එළිය මහපොළොව සිප ගනිද්දීය.

ලා හිරු රැස් තිර රෙදි අතරින් කාමරය පුරා රටා මවද්දී හසාරා නැගී සිටියේ වෙනදා තරම් ප්‍රබෝධයකින් නොවේ.කොතරම් කාර්ය බහුල වුවත් නිවසේ සියලු වැඩ කටයුතු සිදු කෙරුණේ ඈ අතින්ය.ඒ ඈ කුඩා කල සිට ප්‍රිය කල ආකාරයටමය.සේවිකාවක නිවසට ගෙන්වා ගමුයැයි වරින් වර ධනංජය යෝජනා කළත් ඈ එසේ නොකළේ තමා තරමටම අන් කිසිවෙකු විශ්වාසයේ නොවූ නිසාය.බොහෝ දිනවල ඇය උදෑසන ආහාර සැකසීම සඳහා අවශ්‍ය එළවළු වර්ග කපා වෙන වෙනම ඇසුරුම් කර ශීතකරණයේ තබන්නේ රාත්‍රියේමය..මස් මාළු වැනි යමක් පිසගන්නේ දිනක් දෙකක් තබා ගත හැකි පරිද්දෙන්ය.නිවස සුද්ද පවිත්‍ර කිරීම, දූවිලි පිස දැමීම, මල් පැල වලට සාත්තු කිරීම වැනි කාර්යයන් ඈ අතින් සිදුවන්නේ සෙනසුරාදා හෝ ඉරිදාය.ඒ අතරේම ධනංජය වෙනුවෙන් වෙනස් ආහාරයක් සැකසීමද ඈ සිදු කරන්නේ ඉතාමත් ඕනෑකමින්ය.හසාරා  අවැසි වූයේ සිය රැකියාවත් පුද්ගලික ජීවිතයත් සමබර කර ගැනුමටය.අන් සියල්ලටම වඩා  කාර්යබහුල රැකියාවක නිරත වන ඈ මෙම නිවස තුළ වන නිදහසට ප්‍රිය කළාය.ඉදහිට නිවසින් පිට නිදහස් තැනකට ගොස් ස්වභාව ධර්මය හා හෝරා කීපයක් ගත කළාය.ඒ සොඳුරු තැන් තම කැමරා කාචයට හසුකර ගත්තාාය.
එපමණක් නොව ජීවිතය ගැන විවිධ මානයෙන් ලියූ සටහන් මුහුණු පොතෙහි මිතුර මිතුරියන් හා බෙදා ගත්තාය.

අද නිවාඩු දිනයක් බව ඇයට පසක් වූයේ අවදි වී විනාඩි කිහිපයක් ගතව ගියාට පසුවය.වෙනදා ඇඳේ සිට අඩ  හෝරාවක් පමණ භාවනා කරමින් අලුත් දිනයකට සැහැල්ලුවෙන්  මුහුණ දීම ඇගේ සිරිතය.එහෙත් වෙනදා සේ  ඒ කාර්යයට සන්සුන් මනසක් හසාරාට නොවූයේ දිගු කලිසමත් ඊයේ ඇදි කමිසයත්  පිටින් ඇඳේ වැතිර සිටි සැමියාව දකිද්දීය.යළිත් සුදු කළු චිත්‍රපටයක රූප රාමු පරිද්දෙන් පෙර දින සිදුවීම් එකින් එක ඇයට සිහි විය. තත්පර කිහිපයක් ඔහු දෙස බලා උන් හසාරා නැගී සිටියේ සිහින් කුසගින්නක් සමග බඩ දැවිල්ලක් දැනෙද්දීය.පෙරදා රාත්‍රියේ කිසිවක් ආහාරයට නොගත් බව ඇයට සිහිවූයේ එවේලෙහිය.ධනංජය උත්සව ශාලාවෙන් පිටව ගියායැයි දැනගත් මොහොතේ සිට හසාරාට උවමනා වූයේ නිවසට පැමිණෙන්නටය.කෙතරම් රස මසවුළු වුවත්  ඇය ආහාර ලබා ගන්නටවත් විනාඩි කිහිපයක් වැය නොකළාය.යහමින් කහටත් කිරිත් යෙදූ තේ කෝප්පයක් සාදාගත් හසාරා උඩු මහළේ  සඳැල්ලට පැමිණියේ ක්‍රීම් කැක්‍රර්  බිස්කට් දෙකකුත්  රැගෙනය.ධනංජයව  අවධි නොකරන්නට ඇයි සිතුවේ සිතා මතාමය.

‘ මොන ප්‍රශ්නේ තිබුණත් ධනා  එහෙම දාල එන කෙනෙක් නෙමෙයි.අවුරුදු ගාණක්ම එයා හරියට හෙවනැල්ලක් වගේ මගේ පිටිපස්සෙන් හිටියා.එයාගේ හිත රිදෙන්න මොනවා හරි දෙයක් වෙලා තියෙනවා…’

හසරා එසේ සිතුවේ සිදු වූ සියල්ල අග සිට මුලටත් මුල සිට අගටත් ගැලපූවාට පසුවය..හරිහැටි මතකයේ නොවූවත් පෙර දින  ඔහුගේ මුවින් පිට වූ වදන් සිත පාරවන සුළු ඒවා විය.

“ ඔයා….ඔයාගේ හිතේ ඒ කියන්නේ වෙනදා  තරම් ආදරයක් නැද්ද දැන්..”

එසේ සිතත්දීත්  හසාරා වෙව්ලා ගියාය.විශ්ව විද්‍යාලය තුළදී ඈ දුටු කඩවසම්ම රුව ඔහුය.ඒ කඩවසම් බව තරමටම ඔහු ආදරණීය පිරිමියෙකු විය.
පෙම්වතියකට,  බිරිඳකට අවැසි ආදරණීය රැකවරණය ඔහුගෙන් ඕනෑවටත් වඩා විය.

‘ ධනා එහෙම  කතා කරන්න .එයාගේ හිත රිදෙන මොනවා හරි දෙයක් එතන වෙන්න ඇති..එහෙම දෙයක් වුනානම් එයා එතනින් ආපු එක හොඳයි.’

අවසන හසාරා එසේ තීරණය කළේ කිසිවක්ම ඔහුගෙන් නොඅසමින්ය. විනාඩි කිහිපයකට පසු ඈ  ධනංජය සොයා යළිත් කාමරයට ගියේ පුරවා ගත් තැඹිලි වීදුරුවක් අතැතිවය.අඩු මාසයෙන් පීදෙන තැඹිලි පැළය සිටවූයේ ඔවුන් මෙම නිවසේ පදිංචියට පැමිණිය දාය..ගරාජයේ වූ  ඉනිමග ගසට හේත්තු කරගත් හසාරා තැඹිලි ගෙඩියක්  කඩා ගත්තේත් ඔහු වෙනුවෙන්ය.

“ ධනා නැගිටින්න good morning….අටත් පහු උනා.ඔයා ඊයේ  රෑ නිදාගත්තේ පරක්කු වෙලා නිසා මං උදේම කතා කළේ නෑ…”

හසාරා එසේ පැවසූයේ ඒ නළලත මත මෘදු සිපුමක් තැබුවාට පසුවය.බොහෝ දිනවල ධනංජය ඇහැරෙන්නේ ඈ උදෑසන කෑම පිළියෙල කරද්දීය.ඒ බොහෝ දිනවල  ඔහුත් මුළුතැන් ගෙයට  පැමිණේ.දෙදෙනාගේ උදෑසන තේ කෝප්ප පිළියෙළ  වන්නේ ඔහු අතින්ය.කාර්යාලවල සිදුවන යමක් දෙදෙනා හුවමාරු කරගන්නේද එවේලෙහිය.

ධනංජය නැගී සිටියේ කලබලයෙන්ය.ඒ කලබලයෙන්ම ඔහු තමා අසල  ඉඳගෙන සිටින බිරිඳ දෙසට හැරුණාය.ඇය ඔහු දෙස බලා උන්නේ වෙනදා තරම්ම ආදරණීය සිනහවකින්ය.එහෙත් ධනංජයට ඕනෑ වූයේ ඇයව මඟහැර යන්නටය.කිසිවක්ම නොකියූ තරුණයා ඇඳෙන් බැස නාන කාමරයට වැදුණේ ඇඳුම් වැටෙහි වූ තුවායත් රැගෙනය.අන් සියල්ලටම වඩා ඔහුට වූයේ හසාරාට මුහුණ දීමේ අපහසුකමකි.

“ මං ඊයේ  හසාරා  ඉස්සරහ මොනවා කියෙව්වද මන්දා..”

එවර ධනංජය තමාටම මුමුණා ගත්තේ නාන කාමරය තුළ වූ කන්ණාඩියෙන් තම මුහුණ දෙස බලා ගෙනය..ඒ දෑසුත් කොපුළුත් ඉදිමී තඩිස්සි වී  තිබිණ.වෙනදාට වඩා තමන් මත්පැන් පානය කලබව පමණක් ඔහුට මතකය.

“ නෑ එහෙම වෙන්න විදිහක් නෑ….එහෙම උනානම් ගෑනි ඔය විදිහට හිනා වෙලා මගේ දිහා බලන් ඉන්නේ නෑ..”

අවසන එසේ සිතූ ඔහු ඇඳුම් උනා දමා  වතුර මල යටට වූයේ දිගු සුසුමක් මුදා හරිමින්ය.ඒ සුසුමේ එතී පිටව ගියේ ගත රිද වූ මත්පැන් මත මිස හසාරා ගැන උපන් අපහැදීමවත් කෝපයවත් නොවේ.

“ පව්…ධනාට හිතෙන්න ඇති මට ෆේස් කරන්න බැහැ කියලා.හෙමිහිට අහනවා මොකක්ද උනේ කියලා..”

හසාරා එසේ සිතුවේ අල්මාරිය තුළ වූ කොට කලිසමක් සහ අත් රහිත බැනියමක් ඉන් පිටතට ගනිමින්ය.පසෙක වූ ඇගේ ජංගම දුරකථනය නාද වූයේ එවේලෙහිය.එහා පසින් වූයේ නිර්මිතාය.

“ අවුලක් නෑ නේද…”

ඇය එසේ ඇසුවේ හසාරා දුරකථනය කන් පෙත්තක් මත රඳවාගෙන “ හලෝ “ යැයි පැවසූ සැණින්මය.

“ ඒක මමයි අහන්න ඕනේ.ගේ තියෙන තැන හොයාගන්න පුළුවන් උනාද.ඇත්තට මොකද බං ඊයෙ උනේ.උඹ එහෙම ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක් නෙමෙයිනේ.පිරිමි පරාදයි…”

“ නෑ ඉතින් එතන තිබුණා මං බිව්වා.උඹ පිස්සු කියෙව්වට මට එහෙම වැඩි වෙලා හිටියේ නෑ.කෝ ධනංජය..”

“ පිස්සු කියෙව්වා නෙමෙයි.ඔෆිස් එකේ අයටත් ඒක නෝට් වෙන්න ඇති.අනිත් එක්කෙනත්  මං ගෙදර එද්දි හොඳට බීලා.ඇති ඔළුවේ කැක්කුමක් නෑ බං.මටත් හිතාගන්න බැරි මොකක්ද සිද්ධ උනේ කියලා.දැන් තමයි නැගිට්ටේ. තම බාත්රූම් එකේ.මට මූණ දෙන්න බැරුව තමයි ඔක්කොටම කලින් බාත් රූම්  එකට රිංග ගත්තේ.හෙමිහිට අහන්න ඕනේ මොකක්ද උනේ කියලා.”

“ කොහොම වුණත් මිනිහා හිටියේනම් හොඳකින් නෙමෙයි.ඇත්තටම මූණ දිහා බැලුවට පස්සේ මටත් හිතුනෙ හෙඩේක් එකක් කියලා.”

“ හෙඩේක් එකක් නං සිහි නැති වෙනකම් බොන්න බෑනේ.අපරාදෙ දෙන්නටම තිබුණේ බාර් එකකට ගිහිල්ලා හොඳට බොන්න.”

“ එහෙම බීල මේ හැම දෙයක්ම අමතක කරන්න පුළුවන්නං බාර් එකම  උනත් බොනවා.”

“ පිස්සුද අනේ… අමතක කරන්න බැරි තරම් දේවල් ඔයාට මොනවද වෙලා තියෙන්නේ?.මං ඔයාට හැමදාම කියනවනේ යටගියාවත්  එක්ක ජීවත් වෙන්න එපා කියලා.එහෙම මිනිස්සුන්ට අඩිය තියලා ඉස්සරහට ඇවිදගෙන යන්න හරි අමාරුයි.”

“හරි හරි උඹේ බණ අහන්න නෙමෙයි මම උදේ පාන්දරම කෝල් කලේ. අවුලක් නෑ නේද කියලා අහන්න.මං තියෙනවා එහෙනම්.දැන් තමයි මට හෙඩේක්…”

දුරකතනය විසන්ධි කරන්නට පෙර එහා පසින් ඇසුනේ මද සිනහ හඬකි.

“ හරි.. පරිස්සමෙන් හවස් වරුවේ පුළුවන් වුනොත් ඔය පැත්තෙ ඇවිල්ල යන්න එන්නම් අපි දෙන්නා.”

දුරකථන ඇමතුම විසන්ධි වී ගියේ එහා පසින්ය.හසාරාගේ මුව මත සටහන්ව තිබුනේ මද සිනහවකි.නාන කාමරයේ දොර ඇරුනේත් ධනංජය ඉන් පිටතට පැමිණියේත් එවේලෙහිය.

( යළිත් හමු වෙමු….)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here