ගෙදර පැමිණි ගමන් දිය නාගෙන දෙව්රම් සංකේත් සමගින් කෑම මේසයට හිඳගත්තේ ය. කෑම පිසින්නට තරුණයෙකු ගෙදරට එන්නේ සපුමලී නිළියක වීමේ ආරම්භක පියවර තැබූ දිනවල පටන් ය. ඊට කලින් ඇය හොඳ බිරිඳක ලෙස කදිමට ගෘහ පාලනය සිදු කරගෙන සිටියා ය.
“දෙන්නම කාර්යබහුල වෙන්න ගත්තහම පවුල් ජීවිතේට මොකද්ද පුතේ වෙන්නෙ…”
කියා ඒ දිනවල සාලිය විමසා තිබේ. දෙව්රම් කළේ මඳහසක් නගාගන්නා එකයි.
“එයාගෙත් ආසාවනෙ තාත්තෙ”
ඇගේ ආශාව ඉටු කරනු වස් හිතට එකඟ නැති එක ම එක දෙයක් කරන්නට ඔහු ට සිදු විය. ඒ, සපූටත් අවස්ථාවක් ලැබෙනවා නම් පමණක් ඔහු ට ලැබුණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය ආරාධනා ලබා ගැනීම ය. එසේ කළේ ද ඇයට වූ ආදරය නිසාවෙනි. ආශා දෙයක් කොට ඇය සතුටු වෙනු දකින කැමැත්ත නිසා ය.
“ගෑනුංව ඕවට යවල කොහොමද… අන්තිමට බතක් මාළුවක් උයාගන්නවත් ගෙදර ගෑනියෙක් නැති වෙනවනෙ”
නාලිනී නො රිස්සුම සඟවා ගැනීමේ උත්සාහයක් දරමින් කීවා ය. දෙව්රම් කළේ අම්මා ගේ හිත නො රිදෙන පරිදි සපුමලී වෙනුවෙන් පෙනී සිටීමයි.
“ගෑනියෙක්ගෙ උරුමෙ කුස්සියට වෙලා බත් මාළු උයන එක විතරයි කියල හිතන්න නරකයි අම්මෙ. ඒ කාලෙ පහු වෙලා. දැන් තියෙන්නෙ ගෑනුන්ටත් දක්ෂතා එක්ක ලෝකෙ ඉස්සරහට යන්න පුළුවං කාලයක්. සපුමලී එයා ආස ලෝකෙ දකින එක වළක්වන්න තරං නරුම මිනිහෙක් වෙන්න මට බෑ”
නාලිනී ඉන් මනතට ඒ ගැන හ්ම් කීවේ නැත. සපුමලී කාර්ය බහුල වෙත්දී නාලිනී හා සාලිය කීවා සේම ගෙදර කටයුතු අතපසු වී ගියේ ය. එහිදී දෙව්රම් කළේ කෑම පිසීම වෙනුවෙන් දක්ෂ තරුණයෙකු සේවයට එක් කර ගැනීම හා සතිපතා නිවස පිරිසිඳු කිරීම් ආයතනයකට පැවරීමයි. එබැවින් සපුමලී ඔහු ගේ ජීවිතයෙන් ගියා කියා ගෙදර දෛනික කටයුතු වල අල්ප මාත්‍රික වෙනසක් සිදු වූයේ නැත.
“කාල ඉමු. මටනං ඇත්තටම බඩගිනියි දැං”
දෙව්රම් සංකේත් ට කෑම බෙදාගන්නා ලෙසට ඉඟි කළේ ය. ගමේ ගෙදර ගිහින් පැමිණීමෙන් පසු දෙව්රම් මඳක් වෙනස් වී ඇති බව සංකේත් ට දැනේ. ඔහු සතුටෙන් ඉන්නා බවක් පෙනෙන්නට තිබේ. සපූ ගැන වචනයකුදු කතා කරන්නේ නැත. නිර්ණාමික ඇමතුම් දෙන ගෑනු ළමයා කවුරුන්දැයි සොයා බැලීමේ උනන්දුවක් ද හදිසියේ ම ඔහු ට ඇති වී තිබේ.
“බලපංකො ඉතිං. අර ගෙදර මිනිස්සු උඹව ඇඳිරුව. අංකල් නැතුවට අනික් අය ඔය ටෙලි නාට්ටි එහෙම බලනවනෙ. නෝන්ඩිනෙ බං. තමංගෙ තැන තියාගෙන හිටාං. අර එකියක් උඹේ පැත්තක් කාල දාල ගියා. දැං උඹ විහිං ඉතුරු ටිකත් කාල දාගන්න එපා බං. මොනා වුණත් උඹ දෙව්රම් සන්දනායකනෙ මචං. උඹේ වටිනාකම උඹ එදා තේරුං ගත්තෙත් නෑ අද තේරුං ගන්නෙත් නෑ. අන්න ඒකයි අවුල”
සංකේත් බත් පතට අත තැබුවේ ම දේශනාවක් එක්ක ය. දෙව්රම් ඔහු ට පුරුදු මන්දහාසය නගා ගත්තේ ය.
“විරිත්තපං ඉතිං. උඹ දන්නෙ ඔච්චරනෙ… “
“මචං මං දෙව්රම් සන්දනායක කියන එක ලොකුවට ගන්න ඕන නෑ බං. ඔය මිස්ට ශ්‍රී ලංකා මිස්ටර් යුනිවර්ස් කෑලි අයින් කළාම මාත් සාමාන්‍ය කොල්ලෙක්නෙ. ඔය ඔටුනු ඔළුවෙ දාගෙන ඉන්න එක උඹල හිතන තරං ලේසි නෑ. ඒක නිසා තමයි මං කැමති සාමාන්‍ය කොල්ලෙක් වගේ ජීවත් වෙන්න…”
“ඒත් අකමැත්තෙන් වුණත් දැන් ඔය ඔටුනු මේන්ටේන් කරන්න වෙනව දෙව්”
“හරි හරි. ඒත් මට ඔය සීක්‍රට් කෝලර් කවුද කියල දැනගන්න හරි ආසයි බං. ඒකයි මං ඒ වගේ ගමනක් වුණත් ගියේ”
“ඒ කවුද කියල දැනගෙන කසාද බඳින්නද…”
ඒ ප්‍රශ්නය දෙව්රම් ට මගහැර යා නො හැකි තරම් ඍජු එකක් වූයේ ය.
“එහෙම නෙවෙයි ඉතිං…”
“එහෙනං ඉතිං දැනගෙන මොකටද…”
“කවුරු වුණත් එයා ලියන දේවල් හරි ලස්සනයි. අමුතුයි. ඒ කියන්නෙ ඒ ළමයට ලස්සන හිතක් තියෙන්නම ඕනෙ”
“ළමය…”
සංකේත් සිනහ වූයේ මුවෙහි වන කෑම පිටතට විසි වී යතැයි බියෙන් අතින් මුව තද කරගෙන ය.
“හරක් පැටියො… උඹට ෆේස් නොකරන්න ඒ කාට වුණත් ලොකු හේතුවක් තියනව කියල තේරෙන්නැද්ද… එක්කො ඒ ආන්ටි කෙනෙක් වෙන්න පුළුවං. බැඳපු ගෑනියෙක් හරි ළමයි ඉන්න ගෑනියෙක් හරි ආබාධිත ගෑනියෙක්හරි වෙන්නත් පුළුවං. නැත්තං ඔය උඹට ක්‍රශ් වෙච්ච අනිත් මළහෝන්තු වගේ ඉස්සරහට ඇවිත් මූණත්තහඩුව පෙන්නන්න පුළුවන්නෙ. අඩු ගානෙ මූණ නොපෙන්නා ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන්නෙ. සමහර විට අර බඩට වැඩිය ලොකු මැටර්නිටි ෆ්‍රොක් එකක් ඇඳං හිටිය බඩදරු අම්මණ්ඩිම ඕක කරනවද කියන්න බෑ. අංකල් චූටි දුව කෙනෙක් ගැන කිව්වෙ එයා ගැනද දන්නෑනෙ. කමක් නෑ උන්දැගෙ දොළදුකවත් ඒකෙං සන්සිඳුනනං පිණක්නෙ”
“අඩෝ මොනාද බං උඹ මිනිස්සුන්ට කියන කතා… එහෙම කෙනෙක් නෙවෙයි. ඒ කෝල්ස් පිටිපස්සෙ ඊට වඩා විශේෂ කෙනෙක් ඉන්නව. එයා ඉන්නෙ ඔය ගෙදරමයි කියල මට දැන් ශුවර්. මං දවසක ඒ කවුද කියල හොයාගන්නංකො”
“හොයාගෙන… දෙවනි කසාදෙ කරගන්නද…”
“අයියෝ සංකේතය… කසාද බඳින එක විතරද බං මේ ලෝකෙ තියෙන්නෙ… හිර කරගන්නැතුව ඔන්න ඔය කෑම ටික කාල හිටහං”
සංකේත් එවර මඳක් මෙල්ල වූ බවක් පෙනිණ. නමුත් නැවත නැවතත් අසනා ලද ඔහු ගේ ප්‍රශ්නය දෙව්රම් ගේ සිතේ එක් පැත්තක් ද හදිසියේ අවදි වී විමසා සිටින්නට ගති. නමුත් සමහර ප්‍රශ්න වලට පිළිතුරු හොයන්නට වෙහෙස නොවී ඉන්නා එක හොඳ ය. සමහර දේවල් වෙනස් කරන්නට නොයා ඔහේ වෙන්නට හරිනා එක හොඳ ය. එබැවින් දෙව්රම් උත්තරයක් ගැන හිතුවේ නැත.
ආදියා ගේ හිසරදය තුනී වූයේ දෙව්රම් තණකොළ කපා නික්ම ගියාට පස්සේ ය.
“හොඳ ඉලන්දාරියෙක් කවුරු වුණත්”
නිශ්ශංක මුළුතැන්ගෙයි උළුවස්ස මත හිටගෙන ලා සිනහවකින් කීවේ ය.
“වැරදිලා කෝල් එක ගිහින් හරි ඇවිත් ඕක කරල දුන්නෙ තියෙන මනුස්ස කමටනෙ”
“ජනප්‍රිය අය එහෙම තමයි. ඒගොල්ලො හරි හොඳයි කියල ලෝකෙ මිනිස්සුන්ට පෙන්නන්න ඔය වගේ දේවල් කරනව. සමහර විට ඊළඟ ඡන්දෙදි පාර්ලිමේන්තු යන්න හිතං ඉන්නව වෙන්නැති”
ඒ අදහස සාරධා ගේ ය. නිශ්ශංක මුණිවත රැක්කේ ඇය කීවේ පණ්ඩිත කතාවක් මුත් එහි සත්‍යතාවයක් තිබෙන්නටත් බැරි නැති නිසාවෙනි.
“බත් ටිකක් කාල යන්න කිව්වට හිටියෙ නෑනෙ”
“මාත් වැඩිය ඉන්න කියල බල කළේ නැත්තෙ අද හරියකට මොනාත් නැති නිසා”
“ආයෙ දවසක එන්නං කිව්ව කාල යන්න. කොල්ල මාත් එක්ක හොඳට හිතවත් වුණා. මොනා වුණත් හොඳ කොල්ලෙක්”
“එහෙනං එදාට හොඳ කෑම වේලක් හදල කන්න දෙමු”
කෑම බෙදනා ගමන් ජිනාදරී හැරී බැලූයේ සෙවණැල්ලක් ඇසට වැටුණු බැවිනි. නිදිමත චරිතයක් රඟපාමින් ආදියා මුළුතැන්ගෙට එමින් සිටියා ය.
“මෙයා කොච්චර කතා කළත් නැගිටල ආවෙ නෑනෙ එයාව බලන්න”
“අයියෝ අම්මෙ… නළුවෙක් කියන්නෙ මැජික් එකක්ද ඕගොල්ලොන්ට…”
ආදියා බොරුවට නො රිස්සුම් පෑවා ය. නමුත් දෙව්රම් ඇගේ හදවත තුළ මොන තරම් මායාවක් ද කියා ඇය තරම් දන්නා කෙනෙකු නැත. පිරිමියෙකු ගැන වන සුවිශේෂ කැමැත්තක් පවුලේ අයට පෙන්වන්නට ඇති ලැජ්ජාවට ඈ කිසි දාක දෙව්රම් ගැන වදනකුදු කතා කොට නැත. ඈ ගෝල්ඩන් ලීව්ස් සමාගමේ රැකියාවක් ලබන්නට ඒ තරම් උනන්දු වූයේ දෙව්රම් නිසා බව කිසිවෙකු හෝ දන්නේ ද නැත. එමතු නොව ඔහු එහි ඉහළ නිලධරයෙකු බව හෝ ඇය ගෙදරට දැනුම් දී නැත. ඒ, දෙව්රම් ගැන කතා කරත්දී ඇගේ ඇස් අනවශ්‍ය ලෙස දිළිසෙන්නට ගෙන, එයින් ගෙදර අය නොවුවමනා යමක් සිතාගනු ඇතැයි බිය නිසා ය. දෙව්රම් සන්දනායක වූ කලී තනිකර ම ඇගේ හදවත මැද රහසකි. ලෝකයට ම හොරෙන් තනිව කියවා රස විඳින පොතකි. රස තැන් ආයෙ ආයේ ම කියවන කවියකි.
“ඒ ලත්තන මාම අනිද්දවසෙ මට චොක්ලට් ගේනව කිව්ව”
සිත්මි එසේ කියා වැඩිහිටියන්ගේ මුහුණු බලා ලැජ්ජාවට සිනහ වුණා ය. ඇය ව මිරිකා සිපගත් ආදියා,
“මං ඔයාට චොක්ලට් ගෙනත් දෙන්නං අනේ”
කියා කීවා ය. දැරිය “අදද”කියා ඇසුවේ සතුටෙනි. ආදියා ඔව් යි හඟවන්නට හිස සලමින් දැරිය ගේ හිස පිරිමැද්දා ය. මේ පොඩි කෙල්ල ගැන ඇයට දැනෙන්නේ අනුකම්පාවකි. ඈ අහිංසක ය. බියගුළු ය. ඒ පියගුළු බවට හේතුව තාත්තා බීමතින් විත් ඇති කරනා රංඩු සරුවල් ය යන්න ආදියා ගේ නම් අදහසයි.
“දිනේශ් අයියට කියනව අක්කෙ මේ ළමය ගැනවත් හිතන්න කියල. තාත්තල ඔහොම බීගෙන ඇවිත් ගෙදර කෑකෝ ගහන එක ළමයින්ගෙ මනසට හොඳ නෑ. මේ ළමයට විතරක් නෙවෙයි ඔය බඩේ ඉන්න ළමයටත් හොඳ නෑ. පව් මුකුත් දන්නැති ළමයි”
ආදියා එය කියා දැමුවේ දින ගණනාවක් තිස්සේ තනිව හිතීමෙන් පස්සේ යි. සාරධා එරෙහිව කිසිත් කීවේ නැත. නංගී, ආදියා ඇත්තට ම සිත්මි ට ආදරේ බව ඇය දනී.
“ඒ කා ල කණ්ණියට ඕවයෙ ගාණක් නෑ”
කියන්නට නො හිටියත් නිශ්ශංක ට එසේ කියවිණි. නමුත් ඔහුට ඊලඟට හිතුණු තරම් දේවල් නම් කියන්නට ගියේ නැත.
“ඕව ගැනනං කතා කරල වැඩක් නෑ. අපි මේ ඉවසන ඉවසිල්ල වුණත් මේ කිරිසප්පය නිසයි. නැත්තං ඔය මිනිහට මේ හතර මායිමට එන්න දෙන්නෙ නෑ ඇත්තමයි. හරියට අපි කරල දීපු කසාද වගේ අපිටනෙ දැං කරුම ගෙවන්න වෙලා තියෙන්නෙ”
“මං දන්නව අම්මලට මං කරුමයක් කියල”
“සාරධා මේ. වැරදි තැනිංම අල්ලගෙන දඟලන්න එපා. පොඩ්ඩක් මොළේ කල්පනා කරල කතා කරනව. අඩු ගානෙ තමුංගෙ මිනිහව හදාගන්න බලනව. මොකද්ද මේ හැමදාම කණමදය වගේ බීගෙන ඇවිත් කෑගහන එකේ තේරුම… දෙයියනේ කියල රත්‍කරගත්ත දෙයක් කාල අපිට සැනසිල්ලෙ නිදාගන්නවත් නෑනෙ මේ මනුස්සය නිසා. ඔයාට ආයෙ දරුවෙක් හම්බවෙන්න ඉන්න නිසා දොට්ට බැහැල පලයං කියන්න අපිට හිත හදාගන්න බෑ සාරධා. හැබැයි එහෙමයි කියල අපිට දොට්ට බැහැල යන්න බෑ මේක උඹලට දීල. ඔය මිනිහට කියහං අනුංගෙ තැනක වැටිල ඉන්නවනං ඒ විදිහට ඉන්න කියල… ලොකුකං වලට එන්නෙ නැතුව. මං මේ තාත්තව මේවට පටලන්න බැරි නිසා ඉවසනව. හැබැයි ඒ ඉවසීම කෙලවර වෙන්නෙ කොයි වෙලාවක හරි මං දොර පොල්ල හරි අරං ඔය මිනිහගෙ ඔළුවට පතබාවලයි… ඒක නිසා සාරධා තමුංගෙ මනුස්සයට හොඳින් කියල මේක තේරුං කරල දුන්නනං හොඳයි”
හිතේ වූ ආවේගයට කියවාගෙන ගිය ජිනාදරී පුටුවෙහි හිඳ හතිලන්නට වූවා ය. සාරධා එකට එක කියවාගෙන නාවේ තාත්තා සිටි බැවිනි. ජිනාදරී ද හිතේ තිබුණ කේන්තිය පිට කර ගත්තේ ඒ බව දන්නා නිසා ය. කෙසේ වෙතත් සාරධා කෑම කෑවේ මූණ පුම්බාගෙනයි.
“අපේ මිනිහටත් ලැජ්ජාවක් නෑ… කතන්දර අහගන්නව එක එක්කෙනාගෙ… අපිට ඉන්න තැනක් කුළියටවත් ගන්නැතුව”
අවසන ඇය අසුනෙන් නැගී සිටියේ එසේ මුමුණමිනි.
“හරි වැරැද්දක් කියන්න බෑ මේගොල්ලොන්ට. අපි කටවල් වහගෙන ඔහේ ඉන්න ඕනෙ වෙන දෙයක් බලාගෙන”
ජිනාදරී කේන්තියෙන් පිපිරුවා ය. ආදියා හෙමිහිට අම්මා ගේ අතක් මත අතක් තබා කතා කළා ය.
“සද්ද නැතුව ඉන්න අම්මෙ. එයා ඉන්න තත්වෙ නිසා මුකුත් වුණොත් ඊලඟට… ඒකත් යන්නෙ අපේ පිටින්…අපි හවසට ටිකක් එළියට යන්ද තාත්තෙ…ටිකක් ඇවිදල… එළියෙන් රෑට කාල… රෑ වෙලා එමු. මේ ගෙදර රෑ වෙන එක මටනං දැං හරිම ස්ට්‍රෙස් අප්ප”
නිශ්ශංක සිය වම් අත ආදියා ගේ හිස මතින් තැබුවේ ය. ඒ වලාවේ ඇගේ ඇස් වල ගැඹුරෙහි නො හෙළා දරාගත් කඳුළු කැටියක් විය.