ජීවිතය  කවියක් නොවේ – 7

0
1826

කෑමට නොපැමිණෙනවායැයි පැවසුවත් ධනංජය වෙනුවෙන් වෙන්කල කිරිබත් පිඟාන තවමත් මේසය මතය.ඔහු කිරිබත්  කැට කපනවාට කැමති වූ අයෙකු නොවේ.හසරා මදක් ඝනකම් වූ   කෝම්පිට්ටු හැඩයට කිරිබත  සකසන්නේ එනිසාය.ඔහු ප්‍රිය කරන්නේ මාළු ඇඹුල්  තියල්  සමඟ හෝ ඇඹුල් කෙසෙල් ගෙඩි සමඟ  කිරිබත්  අනුභව කරන්නටය.ඒ සියල්ලම මින් පැය හතරකට පමණ පෙර හසාරා මේසය මතින් තැඹුවාය. .තවමත් එක දිගට සුබ පැතුම් ගලා  එන ජංගම දුරකථනයට පිළිතුරු  සපයන්නටවත් සිතක් හසාරාට නොවූවාය.ඇය සැලසුම් කරගෙන සිටියේ නිදහසේ කොහේ හෝ ඇවිදින්නට ගොස් දිවා ආහාරයත් රාත්‍රී ආහාරයත් පිටතින් රැගෙන  නිවසට පැමිණෙන්නටය.ධනංජය එවන් නිදහස් ගමන්වලට ප්‍රියය.

දෙතුන් වරක්ම ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තත් එහි ප්‍රතිචාරයක් වූයේ නැත.

මේ අයුරින් ඔහු තමාව මගහැර සිටින්නේ මන්දැයි හසාරාට නොතේරේ.

දෑස් දෙපසින් ගලා ගිය කඳුළු කෑම මේසය මත වූ වීදුරුව මත වැටී බොඳව යන්නට විය..ඔහු සිටින්නේ තමන් සමඟ උපන් කුමක් හෝ කෝපයකින්යැයි ඇයට දැන් සහතිකය.ප්‍රශ්නය වූයේ ඊට හේතුව සිහිනයෙන්වත් ගලපාගත නොහැකි වීමයි.

මේසය මත වූ දුරකථනය යළිත් නාද වන්නට විය.සුභ පැතුම් ඇමතුමක්යැයි සිතා ඒ දෙස නොබලා  සිටියත් යළිත් ඇය හදිසියේම දුරකථනය දෙස බැලුවේ ඇමතුම ධනංජයගෙන් වන්නට ඇතැයි සිතා ගෙනය.එහෙත් එහි නම සදහන් වූයේ නිර්මි යනුවෙන්ය.හසාරා වහ වහා සිය ජංගම දුරකථනය දෑතට ගත්තේ කඳුළු පිසදා ගන්නා ගමන්ය..ධනංජය ඇයට හිතවත්ය.පෙරදා ඔහුගෙන් කුමක් හෝ වෙනසක් විද්‍යාමන  වූවාදැයි හරි හැටි දැනගත හැක්කේ ඇය ගෙන්ය..

“ නිර්මි….”

“ උඹලා  හවසට මෙහේ එනවද කියල බලන්න ගත්තේ ඩිනර් එකටත් ඉන්න බලාගෙනම වරෙන්.”

“ පොඩි ප්‍රශ්නයක්..එන්න වෙයිද කියලා හරියටම කියන්න බෑ…”

“ ප්‍රශ්නයක් කිව්වේ මොකක්ද  උනේ..”

“ අනේ මන්දා මොකද වුනේ කියලා මටත් හිතාගන්න බෑ.මට ඇත්ත කියපන් ඊයේ ධනංජය  මොකක් හරි අවුලකින් ද හිටියේ…උඹත් එක්ක මොනව හරි කිව්වද…”

“ අවුලකින්නම් තමයි හිටියේ. මං ඒ ගැන අහන එක හරි නෑනේ.හෙඩේක්  එකක් හින්දා යනවා කියලා විතරයි කිව්වේ..අනිත් එක මට උඹව බලන්න කියලත් කියල ගියේ..”

“ එයා එහෙම ඇවිත් තියෙන්නේ හෙඩේක් එකක් හින්ද නෙවෙයි.”

“ එහෙනම්..”

“ එයාට මොකක්ම හරි ප්‍රශ්නයක් තිබිලා තියෙනවා නිර්මි.මං දන්නෙ නෑ මොකක්ද කියලා..මමත් එක්ක මොනවා හරි අවුලකින් ඉන්නේ.වැඩිය කතා කළෙත් නෑ.”

“ ඔෆිස්  එකේ කවුරුහරි උඹ ගැන වැරදි දෙයක් කිව්වද..”

“ එහෙම කියන්න තරම් මං වරදක් කරපු කෙනෙක් නෙමෙයි නේ.අනික හැමෝම ධනා ගැන දන්නවා..”

“‘මිනිස්සුන්ට දේවල් කියන්න වැරදි කරන්නම ඕනේ නෑ කියලා ඔයයි මමයි  දෙන්නම හොඳට දන්නවනේ.සමහර වෙලාවට උඹ මෙහෙම කඩාගෙන බිඳගෙන ඉහලට යද්දී සමහරු හිතනව ඇති වෙන වෙන අයුතු සම්බන්ධකම්වලින් තමයි එහෙම කරගන්නේ කියලා.ඒ වගේ දෙයක්වත් මෑන්ගෙ ඔළුවට වැටුනද…”

“ අනේ ඔයා මේ මොනවද කියන්නේ? මං හිතන්නේ නැහැ නිර්මි කවදාවත් මට එහෙම දෙයක් කියන්න තරම් මනුස්සයෙකුට පුළුවන් වෙයි කියලා…”

“ ඔයා මොනවද මේ ලෝකෙ ගැන දන්නේ?…ඔයාට වඩා පරණ මිනිස්සු මේ ඔෆිස් එකේ ඕනතරම් ඉන්නවා.මං මේ කියන්නේ එහෙම දෙයක් උනා කියලා නෙමෙයි…මේ තරම් සතුටු වෙන්න ඕන දවසක ධනංජය වෙනස් වෙලා කියලා ඔයාට හිතෙනවනම් ⁣ඒකට හේතුවකුත් තියෙන්න එපැයි…”

එහාපස උන් නිර්මිතා නිහඬව සිනහසුනේ අවඥාවෙන්ය.එහෙත් හසාරා උන්නේ ඈ පැවසූ වදන් ගැන සිතමින්ය..යෙහෙළිය  පවසන්නේ සැබෑවකි.ඉරිසියාකාරයන්  ඇති වන්නේ කිසිවක් නොකර සිටීමේදී නොව දැනෙන්නට යමක් කරද්දීය
.තමා කිසිදු වරදක් නොකළත් වැරදි කියන්නට ඕනෑ තරම් අය සිටිය හැක.

“ ඒත් කවුද එහෙම දෙයක් කළානම් කරන්න ඇත්තේ?.”

“ එහෙම දෙයක් නොකරන්න නොහිතෙන්නෙ කාටද කියලා කියන්න.ආපස්සට හැරිලා බලන්න ඔයා මේ කම්පැනි එකට  ජොයින් උනේ කොතනින්ද අද ඉන්න තැන කොතනද කියල.මතක තියාගන්න මේක ඇතුලෙ අවුරුදු පහළොව විස්ස එකම පුටුවෙ වාඩිවෙලා ඉන්න අය ඉන්නවා.ඊයේ මං දැක්කා ඒ සමහරුන්ගේ මූණු ඇදවෙලා තිබ්බ හැටි…”

“ ඒකට මම මොනවා කරන්නද…”

“ දැන් ඒවි  ගැන එච්චර හිතන්න එපා. වටේ පිටේ මිනිස්සු ගැන බලන් ඉන්න ගියොත් අපිට අපේ ගමන යන්න ලැබෙන්නේ නෑ..ධනංජයම ඔයාට කියයි මොකක්ද සිද්ධ වුණේ කියලා.අනිත් එක මොනම හේතුවකට හරි ධනංජය  ඒ විදිහට ඔයාව මග හරිනවානම් ඒක වැරදියි.ඇයි ඇහුණු දෙයක් ගැන හරි අහපු දෙයක් ගැන  හරි ඔයත් එක්ක කතා කරලා ඒක විසඳගන්න බැරි..වෙච්ච දෙයක් හරියට කියන්න බැරි…”

“ ඒකම තමයි නිර්මි මමත් හිතන්නේ. ඊයෙ රෑ ඉඳලා කී සැරයක් මම එයා එක්ක කතා කරන්නේ ට්‍රයි කලාද..”

“ අපි බලමු. දැන් කොහේ ගිහින්ද…”

“ යන තැනක් කියල ගියේ නැහැ. හදිසි වැඩකට යනවා කියලා ගියේ. හැබැයි ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ.”

“ බලමු හවස් වෙනකන් ආවේ නැත්නම් මං ඔය පැත්තෙන් එන්නම්.ධනංජය කියන්නෙත් පිරිමියෙක්.පිරිමි වෙනස් වෙන්න ඕන උනහම හේතු මවනවා..”

දුරකථන සංවාදය නිමවූවත් හසාරාගේ  සිතට සැනසීමක් වූයේ නැත.සැබවින්ම තමාට හතුරන් සිටීදැයි ඈ සිතුවේ සිය හිස මේසය මේසයට බර කරගෙනය.

“ ඒ මොනව උනත් ඔයාට තිබුණා මේ විදිහට ඉන්නේ  නැතුව මට කතා කරන්න..”

අවසන ඇය තමාටම මුමුණා ගත්තාය.

තමාටත් නොතේරුණු කුමක්දෝ කුරිරු සතුටක් සිය හදවත වසා පැතිර ගන්නා බවක් නිර්මිතාට දැනෙන්නට විය.සතුටත් සමඟ වූයේ  අමුතු උත්තේජනයකි..හසාරා හොඳටම හඬා ඇතැයි ඇයට සිතුනේ ඒ හඬ බිඳී ගොස් තිබූ නිසාය.ඇය පැවසුවාටත්  වඩා වැඩි යමක් සිදුවී ඇති බව ස්ථිරය. ඊයේ ඇය ධනංජය දෙසට හැරුණේ අහම්බයකින් සේය.ඒ දෑස් මත දිළිසුණු කඳුළුත්  තරහවත් හඳුනා ගන්නට ඒ  අවට වූ  විදුලි ආලෝකය හොඳටම ප්‍රමාණවත් විය.එතැන් සිටම නිර්මිතා උන්නේ ධනංජය  ගැන අවධානයෙන්ය.වේදිකාව දෙසින් හසාරාගේ නම ඇසෙන සෑම වතාවකම , ඇය ගැන යමෙකුගේ මුවින් ප්‍රශංසනීය වදනක් පිටවන සෑම වතාවකම ඒ දෑස් කෝපයෙන් දිළිසුණ  බව නිර්මිතා හැඳින්නාය.අවසන තමා අසලට  පැමිණි ඔහු  හිස කැක්කුමක් නිසා පිටව යනවායැයි පවසද්දී නිර්මිතාට දැනුනේ තමා ජයග්‍රහණයක් ලැබුවාවන් සතුටකි.හසාරා වේදිකාව මත දිළිසෙද්දී තම සිතට දැණුන වේදනාව මදකට හෝ සමනය වූවාක් වන් හැඟීමක් අත් වින්දා මතකය.

දෙවරක් නොසිතාම  ඈ ධනංජයට දුරකතන  ඇමතුමක් ලබාගත්තේ ඒ සතුට සියලු ලේ නහරවල් ඔත්සේ ගලා ගොස් ශරීරයම උණුසුම් කරද්දීය.

පුදුමය.හසාරාට පිළිතුරක් නොදුන් ජංගම දුරකථනය දෙවන තුන්වර   නාදවත්ම ඔහුගේ හඬ එහා පසින් ඇසෙන්නට විය.

“ නිර්මිතා…..යාළුවාගේ පණිවිඩ අහන්න නං මට කතා කළේ  මෙහෙමම ෆෝන් එක තියන්න…”

එහා පසින් ඇසුණු ඔහුගේ හඬ මත් බවින් පිරී තිබූ එකක් යැයි නිර්මිතාට සිතිණ.

“ ඔයා මේ මහ දවාලේ ඩ්‍රින්ක්ස් අරගෙනද ඉන්නේ….පාටියකට ගිය බවක් හසාරා කිව්වේ නෑනේ…”

“ ඔව්…..ඇයි ඔයාට ඒක ප්‍රශ්නයක්ද…මේක මගේ ජීවිතේ.ඒක ගෙවෙන්න ඕනේ මට ඕන විදිහට.මම ඔය එක එක කම්පැනිවල ලොකු ලොකු  පුටුවල ඉන්න ගෑනුන්ගේ රූකඩයක් නෙවෙයි.එහෙම හිතනවනම් ඔයාටත් වැරදිලා..”

“ ඔව්… අපි හැමෝගෙම ජීවිත ගතවෙන්න  ඕන තමන්ට ඕන විදිහට ඒක අලුත් දෙයක් නෙමෙයි.මමත් මේ නිදහසේ ඉන්නෙ ඒකනේ..”

“ නිර්මිතා මට මේ වෙලාවේ කතා කළේ..ඇයි ඕගොල්ලන්ගේ මැඩම් සතුට බෙදාගන්න පාර්ටියක් ඇරේන්ජ් කලේ නැද්ද.ඒක එයා කොහොමද තනියම කරන්නේ නේ….වෙනදා ඒ ඔක්කොම කලේ මමනේ…”

“ කතා කළේනම් දෙයක් අහන්න.ඒ උනාට මේ වෙලාවේ අහන්න සුදුසු නෑ කියලා මට හිතෙනවා. ඔයාගේ ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නේ..”

එවර  නිර්මිතා පැවසූයේ කාමරය තුළ වූ කැටයම් කරන ලද කන්නාඩියට එබීගෙනය.

“ මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නය….
අපි කතා කරමු ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ අපි කතා කලොත්නේ…මට තියන ප්‍රශ්නේ කොහොමද ඔයාට තියෙන්නේ …”

“ අන්තිමට මට මගේ හොඳම යාළුවත් නැතිවුණා….”

නිර්මිතා පැවසූයේ සිය දෑස් හකුලමින්ය..වෙනදා කවදාවත් නොවූ  ආකාරයේ සතුටක් තම වත මත්තේ දිළිසෙන අයුරු ඈ දුටුවාය.

“ කවුද යාළුවා…ආ.. හසාරා…හසාරා තමයි යාළුවා…ඇයි මොකද උනේ…”

“ එයාට දැන් අපි වගේ සාමාන්‍ය මිනිස්සු ආශ්‍රය කරන එකේ මදිකමක්  ඇති.මට ඊයේ හරියට හිත රිදුනා ධනංජය.ඒවා ඕන නෑ..මං මේ වයිෆ්ගේ වැරදි ඔයා එක්ක කියනවා නෙමෙයි.අපි එකට කැම්පස් එකේ හිටියේ…”

“ ඒකිට ඔය තැනට යන්න උදව් කලේ මම.ඒ උනාට දැන් මම පුස් වෙඩිල්ලක් ගානයි. කිසි දේකට දුක් වෙන්න එපා.තමන්ගේ මිනිහට නැති තැන යාළුවෙකුට තියෙයිද.මං වගේ ජොලියෙ ඉන්න.දුක් වෙන්න එපා…එයා  බැලුම වගේ උඩටම උඩටම උඩටම ගිහිල්ලා පිපිරිලා වැටිලා පස්ස බිම ඇණුන දවසට අපිව ඕන වෙයි.දුක් වෙන්න එපා මං වගේ  කාලා බීලා සතුටින් ඉන්න…උඹත් වරෙන් මං ඉන්නේ ධනුෂ්කයගේ බෝඩිමේ..”

“ ඒකත් ඇත්ත ඉතින් ඔයාට වෙච්ච දේ ගැන අහද්දි මට මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයි නේ..අපි පස්සේ කතා කරමුද ධනංජය…ඔයත් සතුටින් ඉන්න. ඕන දේකට එදා වගේ මං ඉන්නවා..ආ..අපේ ධනුෂ්කයා මතක් කලා කියන්න..”

අවසන නිර්මිතා දුරකථනය විසන්ධි  කළේ පෙර වූ ජයග්‍රාහී සිනහවෙන්මය. ඊයේ දිනයේ දුටු මිතුරියව ඇයට කිසි දිනක අමතක කළ හැකි දසුනක් නොවේ..ඇගේ දෑස් වලින් සතුට බේරෙමින් තිබිණ.අද දින බොහෝ පුවත්පත්වල මුල් පිටු ප සැරසී තිබුණේ ඇගේ සේයා රුවෙන්ය..එහෙත් ඇයට වඩා තමා අඩියක් හෝ පෙරට තබා ජයග්‍රහණය කළ බවක සතුටක් නිර්මිතාට දැනෙමින්  තිබිණ.

( යළිත් හමු වෙමු….)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here