දැන් දැන් උදේ කාලයේ දී සුළු වේලාවක් හෝ ගෝල්ඩන් ලීව්ස් හි රැඳී, ඉන් අනතුරුව රූගත කිරීම් සඳහා කාලය ලබා දෙන්නට දෙව්රම් උත්සාහ කරයි. ඒ, උදෑසන කාර්යාලයට පැමිණීම තුළ දවස පුරා පවතින කිසියම් නැවුම් බවක් ඔහු අත්විඳිමින් සිටි නිසාවෙනි. ඊට හේතුව ආදියා කියා සිතන්නට හෝ ඊට බලපාන වෙනත් හේතුවක් තිබේ ද කියා සිතන්නට ඔහු උත්සාහ කොට නැත. මීට අමතරව දෙව්රම් සිය පෞද්ගලික ජීවිතය වෙනුවෙන් තවත් එක් තීරණයක් ගත්තේ ය. ඒ ඉදිරියේ දී තෝරාගැනීමක් මත පමණක් රංගනය සඳහා ටෙලි නාට්‍ය භාර ගැනීමට ය. අනවශ්‍ය ලෙස කාර්යබහුල වෙනවාට වැඩිය දැන් ඔහු ට නිදහස් – ඉඩපහසු ජීවිතයක අවශ්‍යතාව දැනෙමින් තිබේ!
මේ උදයේ ඔහු කාර්යාලයට පැමිණෙන විට ආදියා පේන්නට සිටියේ නැත. වෙනදා ගිනුම් අංශය පැත්තෙහි විසිරෙන දඟකාර කුමරි සිනහ රැල් නොමැතිව ඒ පැත්ත පාළු වී ගොසිනි. මල්ෂා පාඩුවේ වැඩ කරමින් සිටියා ය. මුළු ගිනුම් අංශය ම ජීවයෙන් පිරෙනුයේ ඇය සිටියදී ද?
දෙව්රම් විසින් අත්සන් තැබිය යුතු ලිපි ගොනුව ඔහු වෙත ගෙන ආවේ මල්ෂා ය. අත්සන් යෙදීමෙන් පසු ඔහු “අද යාළුව නැද්ද” කියා ඇගෙන් ඇසුවා ය. මල්ෂා මලක් සේ සිනහ වූවා ය.
“ආදි අද ඇබ්සන්ට් මිස්ට දෙව්රම්”
කියාගෙන ඇය නික්ම ගිය අතර ඊට වැඩි හේතුවක් කියන්නට ගියේ නැත.
ආදියා සිටියේ කාර්යාලයට පැමිණිය හැකි මානසික තත්වයක නොවේ. දිනේශ් ගේ කරදරයේ නිමක් නොවෙන තැන මේ ගැන නීතිමය වශයෙන් කටයුතු කළ යුතු යයි ඇය දිගින් දිගට ම සිතුව බැව් සැබවි. වතාවක් ඇය ඒ ගැන නිශ්ශංක ට ද අවධාරණය කළා ය. අවසාන වශයෙන් ඇයට හැකි දේ කළා ය. ඒ අනුව දිනේශ් ව බීමතින් ම පොලීසියට කුදලාගෙන යනු ලැබිණ. නමුත් සියල්ල එතෙකින් කෙළවර වූයේ නැත. මුළු රාත්‍රියෙහි ම සාරධා විලාප නැගුවා ය. දෙස් දෙවොල් තැබුවා ය. ඒ විලාපයන් ආදියා ගේ හදවත හාරා පාරාගෙන පිළිරැව් දිණි. ගැබ්බර සොයුරියට ඇගේ අතින් බලවත් වරදක් සිදු වූවාය යන වැරදිකාර හැඟීමෙන් නිදහස් වෙන්නට ඇයට පහසු වූයේ නැත. නිදි නො ලද කෙඩෙත්තුව ද මානසික වෙහෙසකර බව ද නිසා ආදියා රැකියාවට නොයා නිවාඩුවක් ගන්නට තීරණය කළා ය. දිනේශ් ගෙදර පැමිණීමෙන් පසු තත්වය කෙසේ වේවිද කියා නිශ්චිත නොවන බැවින් නිශ්ශංක ද එදා ගෙදර නතර වූයේ ය.
කාගේවත් හිත් වලට නිවනක් වූයේ නැත. විශේෂයෙන් ම සාරධා පළි දරමින් සිටි නිසාවෙන් ඔවුන්ට හිත් එකලාස කරගෙන සිටින්නට ද නො හැකි තත්වයක් විණි. ආදියා යහනේ පෙරළීගෙන සිටියා ය. තවත් මොහොතකින් නැගිට ගෙතුළ සක්මන් කළා ය. මුළුතැන්ගෙට ගොස් අම්මා ළඟට වී සිටියා ය. තාත්තා ළඟට ගොස්, “දිනේශ් අයිය අපෙන් පළිගනීද තාත්තෙ” කියා ඇසුවා ය. අක්කා සනසන්නට ගොස් ඇගෙන් බැනුම් ඇසුවා ය. සාරධා ඇයව එලවත්දී ඇවිත් යළිදු යහනට වැටුණා ය.
දෙව්රම් ගේ නමින් දුරකතනය හැඬවෙන්නට ගත්තේ එහෙව් චංචල මොහොතකයි. ඈ සිය ජංගම දුරකතනයෙහි ඔහු ගේ අංකය ගබඩා කරගත්තේ එදා ඔහු ඉදිරියේ දී ම ය. පිළිතුරු දෙන්නටත් පෙර ඇය වෙත වූයේ අවිනිශ්චිත බවකි.
“හෙලෝ… මිස්ට දෙව්රම්… “
තැතිගත් ප්‍රශ්නාර්ථයක් ඇගේ හඬේ ඇයට ම දැනිණ.
“ඔයාට අසනීපයක් එහෙමද ආදියා…”
ඇයිදෝ මන්දා ඇගේ උගුර පාමුල ගුලියක් හිරවූවා සේ දැනෙන්නට ගති. ආදියා සුරතින් උගුර අල්වාගත්තා ය.
“මිස්ට දෙව්රම් මං… ලීව් එකක්…”
“නෝ නෝ ඉට්ස් ඕකේ… ලීව් එකක් ගත්ත එකේ අවුලක් නෙවේ. මං හිතුව ඔයා ලීව් ගත්තෙ හදිස්සියෙම අසනීපයක්වත් වෙලාද කියල”
උගුරේ හිර වූ ගිනි බෝලය ඉන් ඔබ්බට විසිරී පැතිරී යන හැටියක් ආදියා ට දැනිණ.
“න් නෑ මිස්ට දෙව්රම්… ඒත්…”
“මොකක් හරි ප්‍රශ්නයක්ද ආදියා…”
මුලින් ම ඇගෙන් ගිලිහුණේ සුසුමකි. ඒ ඔහු ට ඇසුණා ද කියා සිතා හිර කරගන්නට තනත්දී හුස්ම ගිලිහී අවසන් ය. දෙව්රම් ඒ සුසුම් හඬ නිසසල ව අසා සිටියේ ය.
“නෑ. එහෙම නෑ. මට පොඩි… රෙස්ට් එකක් ඕන කියල හිතුණ”
“ආහ්. එහෙනං කමක් නෑ. ඔයා රෙස්ට් කරන්න එහෙනං. මං තියන්නං”
“තෑන්ක්ස් මිස්ට දෙව්රම් හොයල බැලුවට”
“හැබැයි එක දෙයක්නං කියන්නම ඕනෙ”
“මොකද්ද මිස්ට දෙව්රම්…”
“අද අකවුන්ට්ස් ඩිපාර්ට්මන්ට් එක පැත්තම පාළු වෙලා ගිහිං”
ඉරිතලා ගිය බිමක ළය පැලී කුසුමක් පිබිදෙන්නා සේ ආදියා ගේ මුහුණේ සිනහ මලක් පිපිණි. ඒ වූ කලී නිරායාස සිනහවකි. හිරු එළිය පොදක් වැටෙන තුරු පිපෙන්නට බලා උන් මලක් සේ පිපුණු සිනහවකි.
සාරධා ගැන ඇති වූ කණගාටුව මත නිශ්ශංක ඇය සමගින් පොලීසියට ගියේ ය. පොලිස් ඇප මත ඔහු නිදහස් කරගන්නට සිදු වූයේ ද නිශ්ශංකට ම ය. ගෙදරට හා අසල්වැසියන්ට හිරිහැරයක් වන ආකාරයට හැසිරීම ගැන පැමිණිලි ආවොත් නැවත ඔහු අත්අඩංගුවට ගන්නා බවට ද පොලිස් ඇප මත නිදහස් නොකොට උසාවි දමනා බවට ද පොලීසියෙන් අනතුරු ඇඟවිණ. මී පැටවෙකු සේ ගෙදර විත් දිනේශ් කාමරයට රිංගා ගත්තේ ය. එදා ඔහු පේන්නටවත් පිටතට පැමිණියේ නැත.
“හොඳ වැඩේ. ඔහොම තමයි කරන්නෝනෙ ඔය වගේ ඇල්කොහොල් චණ්ඩින්ට. අපරාදෙ හැබැයි. උසාවි දාල සති දෙකකට රිමාන්ඩ් කරන්නයි තිබුණෙ උන්දව”
මල්ෂා කීවා ය.
“ඒත් අක්ක ගැන මං බයවුණා මල්. මට තේරෙන්නෑ අප්ප ආදරේ කියන්නෙ ඔච්චර මරිමොංගල් දෙයක්ද කියල. නැත්තං අනේ ඔහොම කනමදය වගේ බීගෙන ඇවිත් කන්දොස්කිරියාවක් වෙන පිරිමි මත්තෙ ඔහොම නැහෙන්න පුළුවන්ද ගෑනුන්ට… ඒක ආදරේ නෙවෙයි මෝඩකම කියලයි මට හිතෙන්නෙ”
“මෝඩකම නෙවේ ආදි… අක්ක ළඟ තියෙන්නෙ කපටිකම කියලයි මට හිතෙන්නෙ. එයා මිනිහගෙ බේබදුකම චණ්ඩිකමක් කියල හිතාගෙන… ඒ චණ්ඩිකම ඉස්සරහට දාං ගේ මංකොල්ල කන්නයි හදන්නෙ. එහෙම නොහිතන ගෑනියෙක්ට බෑ තමුංගෙ මිනිහ නිසා ගෙදර අයට මෙහෙම ගින්දරක් දෙන්න”
දෙව්රම් හුළඟක් වාගේ එතැනින් ගියේ ඒ වෙලාවේ ය. මුදු විලවුන් සුවඳ ඔහු පසුපස හමා ගියේ ය. මල්ෂා ආදියා දෙස බැලුවේ විශ්මිත හසරැල්ලකිනි. ඔහු ඇතුළට ගොස් විනාඩි කිහිපයකින් අභ්‍යන්තර දුරකතන මාර්ගය ඔස්සේ ඇමතුමක් ආවේ ය.
“ආදියාට එන්නලු”
මංගලා එහෙම කියා දුරකතනය තැබුවේ “ඒ මොකද ඒ” යයි අසමිනි. ඒ ප්රශ්නය වෙනුවට ආදියා තුළ වූයේ සසල බවකි. එහෙව් හැඟීම් පොදියක් දරාගෙන පුරුද්දක් ඇගේ හදවතට වූයේ ම නැත. රහසින් තනිවම දෙව්රම් ට වසර ගණනාවක් තිස්සේ පෙම් කළත් ඔහු ඒ බව දැන සිටියේ හෝ නැත. ඉඳහිටෙක නිර්ණාමික ඇමතුම් දී ඔහු ගේ හඬ අසා සිටින්නට කැමති එක ම එක හදවතක් ලෝකයේ කොතැනක තිබුණාද කියාවත් ඔහු ට වගක් වූයේ නැත. එදවස ඈ ඔහු ගේ කුටියට ගියේ පැනගෙන ය. දෙව්රම් කෙරේ ඇගේ වන උන්මාදය ගැන කාර්යාලයේ බොහෝ අය යම් තරමකින් දැන සිටිය ද එය විහිළුවක් සේ සලකනු විනා කිසිවෙකු ඊට බරක් දුන්නා ද නොවේ. දෙව්රම් මේ කිසිවක් ගැන හාංකවිසියකුදු නො දැන සිටියේ ය. එබැවින් ආදියා ගේ හිත පුළුන් රොදක සැහැල්ලුවේ පැවතිණ. නමුත් දැන් ඊට අලුත් බරක් එක් වී තිබේ.
වීදුරු දොරට ද වැඩිය සිය අත් සීතල වී ඇති සෙයක් ඇයට දැනිණ. ඈ යත්දී ඔහු ඉක්මන් දුරකතන සංවාදයක සිටි අතර අසුන් ගන්නා ලෙසට අතින් ම ඉඟි කළේ ය. ආදියා අසුනේ යන්තම් හිඳ, උකුල මත වන සිය දෑත් දෙස බලා ගත්තා ය. දෙව්රම් ට මුහුණ දීමේ දී කලින් දැනෙන පහසුව පළා ගොසිනි. මල්ෂා කියන ලෙසට රහසිගත ඇමතුම් දෙන්නිය හා ආදියා මන්දරී බෙත්මගේ යනු එක් අයෙකු ලෙස දැනටමත් දෙව්රම් අනුමාන කරන්නේ නම් සැබවින් මෙහෙම මූණ දෙනවාට වඩා පොළොවේ වළක් කපාගෙන හැංගෙන එක පහසු ය.
දුරකතන සංවාදය අතරේ දෙව්රම් වඩාත් පහසුවෙන් ආදියාව නිරීක්ෂණය කළේ ය. මේ තරම් සමීපව වැඩි වෙලාවක් ඔහු ඇය දකින ප්‍රථම වතාව මෙය විය යුතු ය. ඇගේ ඇස් බැල්මේ බාධාවකින් තොරව ඔහු ට ඇය දෙස බලා සිටිත හැකි වූ අතර, එබැවින් ම දුරකතන සංවාදය තවත් තත්පර කිහිපයකින් දිගු වූ බව පිළිගත යුතුව තිබේ.
“ඉතිං”
කියාගෙන ඔහු හරි බරි ගැහී මේසය වෙත නැඹුරු වීමට ගත වූ කාලය තුළ, ආදියා අයිස් කැටයක් හිරුට නිරාවරණය වූවා සේ දිය වන්නට වූවා ය.
“දැං ඔයා ඕකේද… රෙස්ට් කරලද ඉන්නෙ හොඳට…”
ඇය මඳහසක් පෑවා පමණකි. මෙහෙම ලැජ්ජාශීලී යුවතියක ඈ තුළ සිටිනවා කියා හෝ ආදියා නො දැන සිටි තරමි.
“තාමත් ඔයා ඕකේ නැත්තං ලීව් ගන්න. මොකද වැඩ කරන්නනං මුලින්ම අපි ෆිසිකලි මෙන්ටලි ඕකේ වෙන්න ඕනෙ. ආයතනයකට පුළුවන් වෙන්න ඕනෙ තමන්ගෙ එම්ප්ලෝයීස්ල වැඩකරන්න සුදුසු තත්වයෙ නැත්තං එයාලට අවශ්‍ය විවේකය දෙන්න”
“නෑ මිස්ට දෙව්රම්… එහෙම ඕනෙ නෑ. දැං මං ඕකේ”
“ගුඩ්. එහෙනං මං ඔයාට කතා කළේ දෙයක් පෙන්නන්න. ඉරාක් වලට කරපු ගෝල්ඩන් ලීව්ස් ටීවී කමර්ශල් එක”
දෙව්රම් සිය ලැප්ටොප් දුරකතනය විවර කළේ ය. ප්‍රකට දැන්වීම් ප්රචාරක ආයතනයක් විසින් විශාල වෙහෙසක් හා නිර්මාණශීලී දායකත්වයක් යොදා නිමවන ලද විනාඩියක් පමණ දිගු එකී වෙළෙඳ දැන්වීමෙහි ප්‍රධාන භූමිකාව රඟදක්වන්නේ දෙව්රම් ය. තුර්කි හා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිරූපිකාවක් කාන්තා නියෝජනය දරන්නී ය. දැන්වීම කෙතරම් ඉහළ ජාත්‍යන්තර මට්ටමක පැවතී ද යත් ආදියා ට මොහොතකටවත් ඉන් දෑස් ඉවත් කරගත හැකි වූයේ නැත. ඇය ඒ නැවත ද මුල සිට නැරඹූයේ එබැවිනි. දෙව්රම් එහි කෙතරම් සරාගී ආකර්ෂණයක් දැරුවේ ද යත් ගෝල්ඩන් ටී ගෙදරට ගෙනෙන්නට හැම ඉරාක ස්ත්‍රියක ම පෙළඹෙනවාට සැක නැත. එමතු නොව තුර්කි ශ්‍රී ලාංකික නිරූපිකාව මෙන් දෙව්රම් ගේ නග්න පපුව සපර්ශ කරන්නට එක මොහොතකට හෝ ඉරාක ස්ත්‍රියකට නො සිතුණොත් ඇය ගැහැනියක නො විය යුතු ය.
“මොකද ඔයා හිතන්නෙ…”
ආදියා මූණ ඇද කොට දෙතොල් උල් කරගත්තා ය.
“ඇයි… ගෝල්ඩන් ටී එකක් බොන පෙළඹීමක් ඇති කරන්නෑ වගේද මේ ටීවී කමර්ශල් එක…”
“එහෙමනං හිතෙයි”
“එහෙනං… “
“ඉරාක් වල ගෑනු කට්ටියට තේ බිබී මෙහෙම ඉන්නත් ඕන වෙයිද දන්නෑ”
ඇය එසේ කීවේ නෙතගින් යළිත් ලැප්ටොප් තිරය දෙස බලමින් මේසය මත නිකට තබමිනි. දෙව්රම් වඩාත් හොඳින් යුවතිය දෙස බලාගෙන සිටියේ ය. ඒ අතරේ ම ඔහු ගේ දෙතොල් සිනහවකින් පිරිණි. නමුත් ඒ සිනහව පුපුරවා නො හරින්නට වග බලාගනිමින් ම ඔහු කම්මුලෙහි අත ගසාගෙන ඇදෙස බලා සිටියේ ය. මේ තරම් හුරුබුහුටි කෙල්ලක රංගන ශිල්පිනියන් අතරේවත් ඔහු ට හමු වී නැත!